Wednesday, November 21, 2018

පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වලාවක්


අද ඉල් පොහොය.  උදේ පාන්දර 4 ට ඇහැරුණේ කටින පෙරහරේ සද්දයෙන්. බොහෝ ආනිසංස ලැබෙන බව කියන නිසාදෝ බොහෝ දෙනෙක් කටින පූජා වලට නොයෙක් ආකාරයෙන් සහභාගී වන බව පේනවා. ඒ ගැන නොවෙයි ලියන්න හිතුවේ.

පහේ පංතියට එනකම් මම ගියේ හොරණ නගරයට ආසන්නව පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක බව මම කලිනුත් ලියා ඇති. පාසල අවට තිබූ අප සිත්ගත් නැත්නම් අපේ අවධානයට ලක්වූ ස්ථාන වශයෙන් පාසලේ පිට්ටනිය අසලින්ම ගලා ගිය සහ වැසි දවස්වල පිට්ටනිය වසා ගෙන උතුරා ගිය කුළුපන ඇල නමින් හැඳින්වූ කළුගඟේ අතු ගංගාව, ගල් ඒදඬුගොඩ කන්ද උඩ පිහිටි පල්ලිය, පොකුණුවිට ගලේ පන්සල ආදී තැන් හැඳින්විය හැකියි.


ඒ අතරින් ඒදඬුගොඩ කන්දඋඩ පිහිටි ක්‍රිස්තියානි පල්ලිය අපේ කුහුල වඩාත් වැඩෙව්වා. එයට හේතුව ඉතා උස retaining wall එකක් සහිතව පාර අයිනේ තිබූ ශාලාව ( ශාලාව ඉදිරිපිට ජේසුතුමන්ගේ පිළිරුවක් තිබුණු බවත් මතකයි) සහ එක පැත්තකින් පඩි ගණනාවකින් යුක්ත පඩි පෙළකින් සහ සිග් සැග් ආකාරයට ඉදිවුණු වාහනයක් ගමන් කරන්න පුළුවන් අධික බෑවුමකින් යුතුව ඉහලට ඇදෙන පාරෙන් ලඟා විය හැකි පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ල අසලට අපට ඒ දිනවල යන්න නොලැබීම. එය අප විසින්ම හදා ගත් තහනම් කලාපයක් ලෙස තමයි අපට තේරුණේ. වෙනත් ආගමක් ගැන අපේ ආකල්පය ගොඩනැගී තිබුනේ එහෙම වගෙයි. කොහොම වුනත් අපි දෙමව්පියන්ගෙන් හෝ එහි යන්න ඕනා කියළා ඉල්ලූ බවක් මතක නැහැ.

මේ ගුප්තභාවය හන්දාම ඒ වටා නොයෙකුත් අත්භූත කතා ළමයින් අතර ප්‍රචලිතව තිබුණා. ගල්ඒදඹුගොඩ කන්දේ අනෙක් පැත්තේ තම නිවස පිහිටා තිබුණු අපේ පන්තියේ ශිෂ්‍යයකු ඉඳුරාම කිව්වේ පල්ලියේ කඳු මුදුනේ අහස් යාත්‍රාවක් නවත්වා ඇති බව. පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණය එයට හේතු වෙන්න ඇති. අර පුංචි කාලේ සැඟවී තිබුණු ආශාව සන්සිඳුවමින් පල්ලියට යන්න ලැබුණේ මෑත කාලේදී.

පසුව තමයි දැන ගන්නට ලැබුණේ මේ පල්ලිය සාන්තුවරයට පත්කරපු ප්‍රථම කළු ජාතික පූජකවරයා වන Martin de Porres වෙනුවෙන් නම්කර ඇති බව.  මෙම පියතුමා 1579 දී පේරු හිදී උපත ලබා ඇති අතර ඔහුගේ පියා ස්පාඤ් ජාතික රදලයකු වූ අතර මව පැනමා හි නිදහස ලැබූ වහලියකු බවත් කියවෙනවා.
මෙම පල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ වැලන්ටයින් ගුණසේකරයි. මෙය ලංකාවේ දකින්නට පුළුවන් සම්ප්‍රදායික රෝමානු කතෝලික පල්ලි වලින් සම්පූර්ණයෙන්ම වෙනස් බවක් ගන්නවා. වීදුරු සහ කොන්ක්‍රීට් යොදා ගෙන අවට පරිසරයේ හැඩතල හා බද්ධ වෙමින් ගෘහ නිර්මාණ ශිල්පියා ඔහුගේ නිර්මාණ ප්‍රකාශනය ඉදිරිපත් කොට ඇති බව සඳහන් කොට ඇතිවා වාගේම එය අපට හොඳින් බලා ගන්න පුළුවන්.


  (උපුටා ගැනීම් Quarterly Tours No.18, National Trust Sri Lanka, Nilan Coory)

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...