Sunday, March 29, 2020

සතුට රැගෙන යළි වඩින්න


දෙවන සතියටත් නිවාඩු ක්‍රියාත්මකයි. පසුගිය දවස් නමයටම එක දවසයි වැඩට ගියේ. ගෙදරින් එළියට බැහැලා නිදහසේ යන්න පුළුවන් කමක් නැහැ. තත්ත්වය අවිනිශ්චිතයි. බෙහෝ දෙනෙක් දී ඇති උපදෙස් පිළිපදින බව පෙනෙනවා. මේ තත්ත්වය යටතේ ගෙදර හිටියත් යම්කිසි නිශ්චිත වැඩක යෙදෙන්න තරම් හිතට නිදහසක් නැහැ. ඒ හන්දා පොත් කිහිපයක් කියවන එකට වඩා ලොකු දෙයක් කරන්නට බැරි වුණා.

අළුත් පොත් කිහිපයක් අතේ තිබුණා. සෝමසිරි ඒකනායක නම් වූ කතුවරයාගේ “ ඒ රිදුම කොයිතරම් ඉමිහිරි ද කාව්‍ය සංග්‍රහය සහ “අසනිපාත” නම් වූ දීර්ඝ නවකතාව. එය 1987-89 භීෂණ සමය ඇසුරින් ලියවුණු නවකතාවක්. මා හඳුනන රජයේ සේවකයකු යන සෝමසිරි තමන් ගේ අත්දැකීම් මේ සඳහා යොදා ගෙන ඇති බව පෙනෙනවා. ඔහුගේ ප්‍රතිභාව ඉහළ මට්ටමක ඇති බව පොත කියවද්දි දැන ගන්නට පුළුවන්.  පිටු 450 ක් පමණ දීර්ඝ වීම අවසානය කරා යද්දි අපව තරමක් වෙහෙස කරවනවා. ඊට අමතරව දෙවන භාගයේ දී අවසානය පිළිබඳ කුතුහලයක් මවන්න කතුවරයා උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ. එහෙත් මෙම නවකතාව සාකච්ඡාවට භාජනය විය යුතු එකක් හැටියට මම දකින්නේ. මානව හැඟීම් සහ ඒ අතර දෝලනය වන සාමාජික පෙලගැසීම් වල ගතිකයන් ඔහු අපූරුවට වචනයට නගනවා.

කැත්ලීන් ජයවර්ධනගේ ඉවුරු තවමත් කියවා ඉවර නැහැ. රත්න ශ්‍රී විජේසිංහගේ “මල් අහුර” නම් වූ කවි රසවින්දන කෘතිය සහ රාජාවලිය මා අත ඇති අළුත් පොත්.

ඊට අමතරව “ආරාධනා” නම් වූ සිංහල චිත්‍රපටය නරඹන්නට හැකි වුණා. විජය ධර්මශ්‍රී නම් වූ අධ්‍යක්ෂකවරයා තමයි මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඔහු ප්‍රසිද්ධ වී ඇත්තේ මැද මාවතේ සිනමාකරුවකු ලෙස. පාසල් ගිය කාලයේදී නැරඹුවාට පස්සේ දෙවන වතාවට මේ චිත්‍රපටය බලන කොට සිතුනේ මෙය මැද මාවතට එහා ගිය චිත්‍රපටයක් කියා. ඒ තරම් අරුමැසියක් අප ඉදිරියේ මවන්නට චිත්‍රපටය සමත් වනවා. කතාවේ පුද්ගල සම්බන්ධතා ආදරනීයයි වගේම පුද්ගලයන් සහ සමාජය ඇසුරින් සිදුවන ගැටුම් තාත්විකයි. අසූ ගණන් වල ක්‍රියාත්මක වූ කඩිනම් මහවැලි ව්‍යාපාරය සහ ඒ හරහා ඒ ප්‍රදේශ වල ඇති වන වෙනස් කම් මේ කතාවට සම්බන්ධ වනවා. තරුණ හෙදියකගේ සහ ඉංජිනේරුවරයකුගේ ආදර අන්දරය මෙහි දිගහැරෙනවා. මාලනී ෆොන්සේකා නම් වූ නිලිය ගේ භාව ප්‍රකාශණ හැකියාව හරහා චරිතයක ජීවත්වීමට ඇය දක්වන සමත් කම මෙහි නැවත වරක් ඇය ඔප්පු කරනවා. සියුම් කෙළිලොල් බවක් එක්ක මිශ්‍ර වුණු එහෙත් serious චරිතයක් වන ජිනා ගේ චරිතයට මෙහි මාලනී පන පොවනවා යැයි කීම අතිශෝක්තියක් නොවේ. පරිසරයෙන් හා අතිශයින් ජනප්‍රිය වූ ගීත දෙකින් චිත්‍රපටයට ගෙන එන්නේ අලංකාරයක්. මුළු කතාවම ගත් කළ එහි හැම තැනකම පාහේ මොකක්දෝ හදවතට ළඟ බවක් තියෙන එක තමයි මෙහි ඇති අපූරුව. එය මට හෝ අප සමකාලීන පරම්පරාවට පොදු වූවක් පමණක් දැයි මා දන්නේ නැහැ.

P.S.
ආරාධනා චිත්‍රපටයේ ගීත තුනක් ඇති අතර ආරාධනා තේමා ගීතය ගයන්නේ විශාරද අමරදේව. අනෙක් ජනප්‍රිය ගීතය ගයන්නනේ මාලනී බුලත්සිංහල සහ මිල්ටන් මල්ලවආරච්චි. තෙවැනි ගීතය විජය කුමාරතුංග විසින් ගායනා කරන අතර එය ඔහුගේ පළමු නොවේ නම් මුල්ම ගීතයක්. ( ආරාධනා චිත්‍රපටයේ රූප රාමුවක බස් හෝල්ට් එකක ගසා ඇති ගඟ අද්දර චිත්‍රපටයේ පෝස්ටරය හන්දා මෙය පළමු ගීතය නොවේ යැයි සිතන්නට පුලුවන්)

Tuesday, March 17, 2020

මන්දාරම් හැන්දෑව



දවස් කිහිපයක් ගෙදර නවතින්න වුණේ පවත්නා තත්ත්වය මත දින හතරක් නිවාඩු ලැබුණු හන්දා. පසුගිය සතියේ ගීත තෝරන ගුවන් විදුලි වැඩසටහනකට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා. ඒ තමයි මන්දාරම් හැන්දෑව. එය අළුත් අත්දැකීමක්. ඇත්තටම කිව්වොත් එම අවස්ථාව ලැබුණේ ඉතා හදිසියේ.

ගුවන් විදුලි ප්‍රචාරයක් සඳහා ගීත දහයක් තේරීම අභියෝගයක් වුණා. එය ඇත්තටම ගීත විචාරාත්මක වැඩසටහනක් නොවෙයි. මා කැමති ගීත දහයක් තෝරා එය කැමති වීමට හේතුව නැත්නම් ජීවිතයට සමීප වන හැටි ගැන සඳහන් කිරීමයි වැඩසටහනේ අරමුණ වුණේ.

ඒ කාලය තුළ ජීවිතේ සමහරක් සන්ධිස්ථාන හරහා යන්න පුළුවන්කම ලැබුණා. ගැහැණු ළමයි චිත්‍රපටයේ වියෝ ගී ගැයෙනා හදේ ගීතය ගැන කියද්දි සහ විශාරද එඩ්වඩ් ජයකොඩි ගයන ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා යන ගීත දෙකේදීම මට මා ගිය පළමු පාසල සහ ඒ පරිසරය සිහියට ආවා. ගැහැණු ළමයි හි කුසුම් වගේ පොලේ බඩු විකුණන අම්මලාගේ දූලා වගේම ගමේ නොයෙකුත් රැකියාවල් කරන අයගේ ළමයි අපේ පන්තියේ සිටියා. ගංවතුර වලම අමතරව ඒ මතක අතර කොච්චි මිරිස්, ඉරටු වලින් හදපු ලොකු මල් වට්ටි සහ ඒවයේ ලස්සන රටා වලට අතුරපු මල්, ඇදිහැස බිස්කට්, ආදර්ශ වැකි ලියපු බාල්ක සහිත ශාලාවන්, කැන්ද කොලේ ඔතපු කඩල ආදී මෙකී නොකී රූප පෙලක් හිතේ ඇඳී ගියා.

වැඩසටහනේ පළමු සිංදුව ලෙස තෝරා ගත් කොහේද කොහේද අපේ ලොවක් ගීතයේ දී මඩොල්දූව නවකතාවේ යටිපෙළක් ඇති බව කිව්වත් එය කුමක් දැයි විස්තර කරන්න බැරි වුණා. ඒ ගැන මා කලිනුත් ලියා තිබෙනවා. මඩොල්දූව පොතේ අන්තිම පිටු වල ඇති වාක්‍ය කිහිපයක් මා උපුටා ගන්නම්.
“නිසන්සල මහා මූකළාන ද කඳුගැට ද අතුරන පද මහා ඉඳුනිල් මිනි පෝරුවක් වැනි නිසන්සල දියකඳ ද ඉමක් කොනක් නැති අහසට හිමි ගොළු බව තියුණු කරයි. මගේ සිත දොම්නසින් පෙළෙන්නට වූයේ වටපිටාවේ මේ ගොළු බව නිසා යැයි හැඟේ.

පියා මළේය: අකාලයේ නාකි වුණු කුඩම්මා අතීතය සිහි කරමින් ශෝක වෙයි: අනාගතය බලා බියෙන්ද තනිකමින් ද තැවෙයි. මගේ පැරණි යහළුවන් දකින්නට ලැබෙතොත් ලැබෙන්නේ කලාතුරකිනි.
ජින්නා ළඟදීම ආයිත් ගමට ගොහින් එන්න ඕනෑ යි මම කීවෙමි. මට මෙසේ කියවුණේ මගේ සිත දොම්නසින් පෙළෙන්ට වූ බැවිනි.  
වැඩ සටහන facebook හි දැමූ නිසා බොහෝ දෙනෙක් එයට ප්‍රතිචාර දැක්වා තිබුණා.

Sunday, March 1, 2020

Coconut Tree Hill


පහුගිය සතිය හා සති අන්තයම කාර්ය බහුල වුනේ සුහද හමුවීම් හේතුවෙන්. සමහරක් ඒවා සොඳුරු හමුවීම්. තවත් සමහරක් ඒවා තරමක් අඳුරු ඒවා. ඒ අතරතුරේ මතකය රුසියාව දක්වා ගෙන යන්නත් පුළුවන් වුණා වගේම රුසියන් භාෂාවේ මතකය අළුත් කර ගන්නත් හැකි වුණා.  

ඊට කලින් සතිවල චාරිකා දෙකක් යන්න පුළුවන් වුණා. එකක් දකුණට අනෙක සිරීපාදයට. දකුණට ගිය චාරිකාවේදී අපි රෑ නැවතුනේ ගාල්ලේ. රාත්‍රියේ සෑහෙන වෙලාවක් ගාළු කොටුවේ ගතකළා. රාත්‍රියට ගාළු කොටුව නෙදර්ලන්තය සහමුලින්ම සිහිගන්වනවා. කොරෝනා වයිරසය එන්න පෙර හන්දා මුළු දකුණම සංචාරකයින්ගෙන් පිරී ගොස් තිබුණා. එහෙත් රාත්‍රියට ගාල්ල කොටුවේ සැරි සරන්නේ වැඩිකොටම දේශීය සංචාරකයින්.

පසුදා අපි මිරිස්ස දක්වා ගියා. මිරිස්සේ බලන්න ගියේ coconut tree hill නම් වූ ස්ථානය. මිරිස්ස කලපුවට අද්දර කබොක් පසෙන් යුතු උස්වූ බිමක ඇති පොල් රුප්පාවක් තමයි එසේ හැඳින්වෙන්නේ. ඒක පුද්ගතික ඉඩමක් වගෙයි පෙනෙන්නට තිබුනේ. එතනය යන්නට හෝ වාහන ගාල් කරගන්න කිසිම පහසුකමක් නැතත් දේශීය විදේශීය සංචාරතයන් විශාල ප්‍රමාණයක් තද අවු රශ්මියද නොතකා එහි සැරිසරනවා දකින්න පුළුවන්.








ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...