Tuesday, March 17, 2020

මන්දාරම් හැන්දෑව



දවස් කිහිපයක් ගෙදර නවතින්න වුණේ පවත්නා තත්ත්වය මත දින හතරක් නිවාඩු ලැබුණු හන්දා. පසුගිය සතියේ ගීත තෝරන ගුවන් විදුලි වැඩසටහනකට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා. ඒ තමයි මන්දාරම් හැන්දෑව. එය අළුත් අත්දැකීමක්. ඇත්තටම කිව්වොත් එම අවස්ථාව ලැබුණේ ඉතා හදිසියේ.

ගුවන් විදුලි ප්‍රචාරයක් සඳහා ගීත දහයක් තේරීම අභියෝගයක් වුණා. එය ඇත්තටම ගීත විචාරාත්මක වැඩසටහනක් නොවෙයි. මා කැමති ගීත දහයක් තෝරා එය කැමති වීමට හේතුව නැත්නම් ජීවිතයට සමීප වන හැටි ගැන සඳහන් කිරීමයි වැඩසටහනේ අරමුණ වුණේ.

ඒ කාලය තුළ ජීවිතේ සමහරක් සන්ධිස්ථාන හරහා යන්න පුළුවන්කම ලැබුණා. ගැහැණු ළමයි චිත්‍රපටයේ වියෝ ගී ගැයෙනා හදේ ගීතය ගැන කියද්දි සහ විශාරද එඩ්වඩ් ජයකොඩි ගයන ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා යන ගීත දෙකේදීම මට මා ගිය පළමු පාසල සහ ඒ පරිසරය සිහියට ආවා. ගැහැණු ළමයි හි කුසුම් වගේ පොලේ බඩු විකුණන අම්මලාගේ දූලා වගේම ගමේ නොයෙකුත් රැකියාවල් කරන අයගේ ළමයි අපේ පන්තියේ සිටියා. ගංවතුර වලම අමතරව ඒ මතක අතර කොච්චි මිරිස්, ඉරටු වලින් හදපු ලොකු මල් වට්ටි සහ ඒවයේ ලස්සන රටා වලට අතුරපු මල්, ඇදිහැස බිස්කට්, ආදර්ශ වැකි ලියපු බාල්ක සහිත ශාලාවන්, කැන්ද කොලේ ඔතපු කඩල ආදී මෙකී නොකී රූප පෙලක් හිතේ ඇඳී ගියා.

වැඩසටහනේ පළමු සිංදුව ලෙස තෝරා ගත් කොහේද කොහේද අපේ ලොවක් ගීතයේ දී මඩොල්දූව නවකතාවේ යටිපෙළක් ඇති බව කිව්වත් එය කුමක් දැයි විස්තර කරන්න බැරි වුණා. ඒ ගැන මා කලිනුත් ලියා තිබෙනවා. මඩොල්දූව පොතේ අන්තිම පිටු වල ඇති වාක්‍ය කිහිපයක් මා උපුටා ගන්නම්.
“නිසන්සල මහා මූකළාන ද කඳුගැට ද අතුරන පද මහා ඉඳුනිල් මිනි පෝරුවක් වැනි නිසන්සල දියකඳ ද ඉමක් කොනක් නැති අහසට හිමි ගොළු බව තියුණු කරයි. මගේ සිත දොම්නසින් පෙළෙන්නට වූයේ වටපිටාවේ මේ ගොළු බව නිසා යැයි හැඟේ.

පියා මළේය: අකාලයේ නාකි වුණු කුඩම්මා අතීතය සිහි කරමින් ශෝක වෙයි: අනාගතය බලා බියෙන්ද තනිකමින් ද තැවෙයි. මගේ පැරණි යහළුවන් දකින්නට ලැබෙතොත් ලැබෙන්නේ කලාතුරකිනි.
ජින්නා ළඟදීම ආයිත් ගමට ගොහින් එන්න ඕනෑ යි මම කීවෙමි. මට මෙසේ කියවුණේ මගේ සිත දොම්නසින් පෙළෙන්ට වූ බැවිනි.  
වැඩ සටහන facebook හි දැමූ නිසා බොහෝ දෙනෙක් එයට ප්‍රතිචාර දැක්වා තිබුණා.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...