Sunday, March 29, 2020

සතුට රැගෙන යළි වඩින්න


දෙවන සතියටත් නිවාඩු ක්‍රියාත්මකයි. පසුගිය දවස් නමයටම එක දවසයි වැඩට ගියේ. ගෙදරින් එළියට බැහැලා නිදහසේ යන්න පුළුවන් කමක් නැහැ. තත්ත්වය අවිනිශ්චිතයි. බෙහෝ දෙනෙක් දී ඇති උපදෙස් පිළිපදින බව පෙනෙනවා. මේ තත්ත්වය යටතේ ගෙදර හිටියත් යම්කිසි නිශ්චිත වැඩක යෙදෙන්න තරම් හිතට නිදහසක් නැහැ. ඒ හන්දා පොත් කිහිපයක් කියවන එකට වඩා ලොකු දෙයක් කරන්නට බැරි වුණා.

අළුත් පොත් කිහිපයක් අතේ තිබුණා. සෝමසිරි ඒකනායක නම් වූ කතුවරයාගේ “ ඒ රිදුම කොයිතරම් ඉමිහිරි ද කාව්‍ය සංග්‍රහය සහ “අසනිපාත” නම් වූ දීර්ඝ නවකතාව. එය 1987-89 භීෂණ සමය ඇසුරින් ලියවුණු නවකතාවක්. මා හඳුනන රජයේ සේවකයකු යන සෝමසිරි තමන් ගේ අත්දැකීම් මේ සඳහා යොදා ගෙන ඇති බව පෙනෙනවා. ඔහුගේ ප්‍රතිභාව ඉහළ මට්ටමක ඇති බව පොත කියවද්දි දැන ගන්නට පුළුවන්.  පිටු 450 ක් පමණ දීර්ඝ වීම අවසානය කරා යද්දි අපව තරමක් වෙහෙස කරවනවා. ඊට අමතරව දෙවන භාගයේ දී අවසානය පිළිබඳ කුතුහලයක් මවන්න කතුවරයා උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ. එහෙත් මෙම නවකතාව සාකච්ඡාවට භාජනය විය යුතු එකක් හැටියට මම දකින්නේ. මානව හැඟීම් සහ ඒ අතර දෝලනය වන සාමාජික පෙලගැසීම් වල ගතිකයන් ඔහු අපූරුවට වචනයට නගනවා.

කැත්ලීන් ජයවර්ධනගේ ඉවුරු තවමත් කියවා ඉවර නැහැ. රත්න ශ්‍රී විජේසිංහගේ “මල් අහුර” නම් වූ කවි රසවින්දන කෘතිය සහ රාජාවලිය මා අත ඇති අළුත් පොත්.

ඊට අමතරව “ආරාධනා” නම් වූ සිංහල චිත්‍රපටය නරඹන්නට හැකි වුණා. විජය ධර්මශ්‍රී නම් වූ අධ්‍යක්ෂකවරයා තමයි මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නේ. ඔහු ප්‍රසිද්ධ වී ඇත්තේ මැද මාවතේ සිනමාකරුවකු ලෙස. පාසල් ගිය කාලයේදී නැරඹුවාට පස්සේ දෙවන වතාවට මේ චිත්‍රපටය බලන කොට සිතුනේ මෙය මැද මාවතට එහා ගිය චිත්‍රපටයක් කියා. ඒ තරම් අරුමැසියක් අප ඉදිරියේ මවන්නට චිත්‍රපටය සමත් වනවා. කතාවේ පුද්ගල සම්බන්ධතා ආදරනීයයි වගේම පුද්ගලයන් සහ සමාජය ඇසුරින් සිදුවන ගැටුම් තාත්විකයි. අසූ ගණන් වල ක්‍රියාත්මක වූ කඩිනම් මහවැලි ව්‍යාපාරය සහ ඒ හරහා ඒ ප්‍රදේශ වල ඇති වන වෙනස් කම් මේ කතාවට සම්බන්ධ වනවා. තරුණ හෙදියකගේ සහ ඉංජිනේරුවරයකුගේ ආදර අන්දරය මෙහි දිගහැරෙනවා. මාලනී ෆොන්සේකා නම් වූ නිලිය ගේ භාව ප්‍රකාශණ හැකියාව හරහා චරිතයක ජීවත්වීමට ඇය දක්වන සමත් කම මෙහි නැවත වරක් ඇය ඔප්පු කරනවා. සියුම් කෙළිලොල් බවක් එක්ක මිශ්‍ර වුණු එහෙත් serious චරිතයක් වන ජිනා ගේ චරිතයට මෙහි මාලනී පන පොවනවා යැයි කීම අතිශෝක්තියක් නොවේ. පරිසරයෙන් හා අතිශයින් ජනප්‍රිය වූ ගීත දෙකින් චිත්‍රපටයට ගෙන එන්නේ අලංකාරයක්. මුළු කතාවම ගත් කළ එහි හැම තැනකම පාහේ මොකක්දෝ හදවතට ළඟ බවක් තියෙන එක තමයි මෙහි ඇති අපූරුව. එය මට හෝ අප සමකාලීන පරම්පරාවට පොදු වූවක් පමණක් දැයි මා දන්නේ නැහැ.

P.S.
ආරාධනා චිත්‍රපටයේ ගීත තුනක් ඇති අතර ආරාධනා තේමා ගීතය ගයන්නේ විශාරද අමරදේව. අනෙක් ජනප්‍රිය ගීතය ගයන්නනේ මාලනී බුලත්සිංහල සහ මිල්ටන් මල්ලවආරච්චි. තෙවැනි ගීතය විජය කුමාරතුංග විසින් ගායනා කරන අතර එය ඔහුගේ පළමු නොවේ නම් මුල්ම ගීතයක්. ( ආරාධනා චිත්‍රපටයේ රූප රාමුවක බස් හෝල්ට් එකක ගසා ඇති ගඟ අද්දර චිත්‍රපටයේ පෝස්ටරය හන්දා මෙය පළමු ගීතය නොවේ යැයි සිතන්නට පුලුවන්)

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...