Friday, April 10, 2020

සුන්දර මතක


ඊයේ පෙරේදා අපේ සහෝදරියක් බොහෝ කාලයකට ඉස්සර නිවාඩු කාලෙට උඩරට යන ගමන ගැන ලියා තිබුණා. ඒ අම්මලාගේ ගමට යන ගමනයි. අපටත් ඒ හා සමාන අත්දැකීම් බොහොමයක් තියේ. ඒ ගමන් ගියේත් දුම්රියේ හෝ බස්රියේ. දුම්රියේ ගමනට පැය දොළහක් පමණ ගතවුණා. බස්රියේ නම් පැය පහයි. ඒ පානදුරයේ සිට බදුල්ල, මහියංගනය, කැටවත්ත, මඩකලපුව හෝ අම්පාර දක්වා දිවෙන ඕනෑම බස් එකකින් මාරුවීමකින් තොරව ඒ ගමන යන්නට පුළුවන් හන්දා. මුලින් තිබුනේ සීඝ්‍රගාමී බස්. පසුව එම යෙදුමේ අනුචිතභාවය හිතලා එය සීමිත නැවතුම් යනුවෙන් නම් කළ බව මතකයි.

කොහොම වුනත් අපට රයිගම හන්දියෙන් බසයට ගොඩවෙලා හාල්ඇටතැන්නෙන් බහින්නට පුළුවන් වුණා අපිට බහින්න අවශ්‍ය වුනේ වල්හපුතැන්නෙන් වුනත් සමහර කාල වලදී සීඝ්‍රගාමී බස් නැවැත්තුවේ හාල්ඇටතැන්නෙයි.  ඒ හන්දා ගෙනගිය බඩුමලුත් ඉහින් කනින් උස්සාගෙන හාල්අටුතැන්නෙන් ආපස්සට පල්ලම් බහින්න සිද්ද වුණා. ඒ දවස්වල අපි අරන් ගිය බඩුමළු වල පානදුර වැල්ලෙන් අරන් ඇවිත් උයාපු බල මාළු ව්‍යංජනයක් පොල් ගෙඩි දහයක් පහලොවක් වගේ දේවල් තිබුණා.

මුල් කාලෙදී බසයෙන් වේවා දුම්රියෙන් වේවා අපේ ගෙදර සියළු දෙනාම ගියේ එකට. පසුකාලවල අපේ මාමා කෙනෙකු (ආරිමාමා) නිවාඩු කාලය ඇරඹෙනවාත් සමග වාගේ අපව (මාත් මගේ වැඩිමල් සහෝදරයින් දෙන්නාත්) එක්කරගෙන යාම සඳහා පැමිණියා. ඒ වන විට අවිවාහකව සිටි ඔහු රැකියාවක නිරත වුණා.

පානදුර ඩිපෝවට අයත් ලේලන්ඩ් බස් තමයි ඒ දවස්වල මේ ගමන් වල යෙදුණේ. බස් එකේ වහලයේ ඇති බඩු රඳවනයේත් බොහෝ විට තැඹිලි වගේ දේවල් ප්‍රවාහනය කළා. සෑම බස් රථයක්ම පාහේ මුලින්ම තේ බොන්නට නැවැත්වූයේ ඉංගිරියේ පොලීසිය ඉදිරියේ තිබූ බස් නැවතුමේ. අපි ඉංගිරියේදී බනිස් වගේ දෙයක් කාලා තේවතුර බොනවා. ඊළගට බස් එකට නැග්ගහම අපිට ටොෆී හම්බවෙනවා.

ඉංගිරිය දක්වාම පුංචි කඳු පල්ලම් තිබුනත් තැන්න සහ වංගු අඩු හන්දා බස් රථය වේගයෙන් යනවා. ඉංගිරියෙන් එහාට රත්නපුර දක්වා ටිකෙන් ටික කන්ද නැගීම ආරම්භ වෙනවා වගේම වංගු අධිකයි.  ඒ හන්දා ඒ දක්වා පිඹගෙන ගිය බසයේ වේගය අඩුවෙනවා.  

රත්නපුර බස් නැවතුමේ මදකට නවත්වන බසයට නගින වෙළෙන්දන්ගෙන් අපට ලැබෙන්නේ බැදපු කඩල හෝ රටකජු වගේ දේවල්. ඊළඟට පැල්මඩුල්ල දක්වා නැවතත් තැනිතලාව. පැල්මඩුල්ලෙන් එහාට බස් එක කන්ද නගින්නේ අමාරුවෙන්. බලංගොඩ ටවුමේ දී බස්එක ටිකවෙලාවක් නවත්වනවා. එහිදී වෙළෙන්දන් ගෙනෙන්නේ නාරං සහ නෙල්ලි. නොවරදවාම අපට එහිදී අපට ඒවායේ රහ බලන්න ලැබෙනවා. බලංගොඩ බස් නැවතුමේ දී බලංගොඩ ඩිපෝවේ පමණක් දකින්නට තිබුණු හුඟක්ම පුංචි තනිදොරේ බස් දකින්නට තියෙනවා. බලංගොඩ අවට වංගු අධික පුංචි පාරවලට එම බස් රථ හොඳින් ගැලපෙනවා ඇති.
බලංගොඩින් එහාට ඌව තැන්න ඇරුනහම දිගටම කන්ද. බස් රථය නැවතත් යන්නේ කෙඳිරි ගාමින්. ඒ වගේම දවල් කාලය වුනත් හමන සුළඟේ සීතල අපට දැනෙනවා. ඒ වගේම කඳුකර කලාපයට ආවේනික ගස්වැල් වල සුවඳත් ඒ සුළඟේ මුසු වෙනවා. එය අපට මතක් කරන්නේ අපි ගමනාත්තයට ළං වී ඇති බව. කළුපහන කිට්ටුවට එන කොට මාමා අපට යෝධයා දැමූ පස් කූඩය පෙන්වනවා. ඒක පිරමීඩාකාර කන්දක්.  බොහෝවිට හාල්ඇටතැන්නෙන් බැස්ස ගමන් අපට නැවතත් තේ හෝ කෝපි වලින් සප්පායම් වෙන්න ලැබෙනවා.

වල්හපුතැන්න දක්වා මහපාරේ ඇවිත් එතනින් ගිනිගත්ගල දක්වා පටු පාර දිගේ අප ගමන් අරඹනවා. තැන් තැන් වල නවතිමින් ඒ ඒ ස්ථාන හා බැඳුනු කතා අහමින් වගේම පාලම් බෝක්කු ඇතුළට එබී බලමින් අප යන ඒ ගමනට අපට විනාඩි හතලිස් පහක් වත් ගතවෙනවා.

ගෙදරට ලඟා වුනු ගමන්ම වත්තේ ඇති පේර, පීචස් සහ ලොකැට් ගස් වලට අපෙන් ඉස්පාසුවක් ලැබෙන්නේ නැහැ. ඒවායින් සෑහෙන්න බඩ පිරුනත් සමූපකාර කඩෙන් ගෙනෙන සැමන් ටින් එකෙන් ආච්චී හදන සැමන් මාළුවත් සමග වට්ටක්කා දළු සහ අළුත් එළවලු ආදියෙන් සමන්විත වන දවල් ආහාරයට අපි වගකියන්නේ සාගතයෙන් පෙළුනු අය සිහිපත් කරමින්.  

ඊළඟට අපත් සමග සතුටු සාමීචියේ යෙදෙන්න බළා සිටින මාමලාගේත් පුංචි අම්මලාගේත් බළාපොරොත්තු කඩ කරමින් අපි කුඹුරේ ඇති පැලටත් එතනින් එහාටත් අපේ චාරිකාව අරඹන්නේ ගමන් මහන්සිය හෝ නොතකා. එය අවසන් වන්නේ බොහෝ  විට අවට කඳු වලින් මීඳුම් බාගෙන එනකොට සහ සීතල වැඩිවෙනකොට. බොහෝවිට එවැනි ගමන් වලට පොඩි මාමා එකතු වනවා.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...