Thursday, September 30, 2021

කියවන නුවණ

 


අද ඔක්තෝම්බර් පළමුවෙනිදා. ලෝක ළමා දිනය. ඊයේ මගේ හිත මිත්‍රයෙක් කතා කර ඇහුවා නිර්මානාත්මක අනාගත පුරවැසියන් බිහි කිරීමේ ලා ළමා ගීතයේ වැදගත්කම යන මාතෘකාව යටතේ කලාකරුවකු හැටියට මට කියන්න තියෙන්නේ මොකක්ද කියළා දැනගන්න කැමතියි කියලා. ඉතින් මේ ගැන -කලාකරුවෙක් නොවුනත්- මටත් යම් අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන් වුනත් මම කලේ අපේ තාත්තා ලියපු කුමාර සාහිත්‍යය කියන පොත මගේ මිත්‍රයාට තිළිණ කිරීම. ඒත් එක්කම තාත්තාගේ පොත අරමුණක් ඇතිව මා පළමු වරට කියෙව්වා. ඇත්තටම මේ පොත මහා පඬිවර මුනිදාස කුමාරතුංගයන් ගේ ළමා සාහිත්‍යය පිළිබඳව ලියවුනක්. ජීව විද්‍යාව, මනෝවිද්‍යාව ආදී විෂයන් හරහා කුමාරතුංග චින්තනය ගැන තාත්තා මේ පොතේ හොඳ විවරණයක යෙදෙනවා. මේ පොත 2013 දී දෙවන මුද්‍රණයක් මා මුල්වී සිදු කළත් එහි පිටපත් බොහෝ ගණනක් තවමත් ඉතුරුවී ඇති බව එහි ප්‍රකාශක ප්‍රවීන ගත්කතුවර තාත්තාගේ ත් මගේත් මිතුරකු වන (අවාසනාවකට මා ඔහු හඳුනාගන්නා විට තාත්තා මෙලොව හැර ගිහින්) සිරිසේන විතානගේ ශූරීන් මා සමග පැවසුවා. ඉතින් මා කල්පනා කළේ මම වුනත් ඒ පොත හරියට කියෙව්වේ ඊයේ හන්දා අනෙක් පාඨකයන් සමග අමනාප වීමට කරුණක් නැති බව.

සමහර විටක මේ වගේ පොතකට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලැබුනොත් අදාල ක්ෂේත්‍රය හදාරන විද්‍යාර්ථින් හො එය මිලදී ගන්න පෙළඹෙනු නොඅනුමානයි. මගේ පොත් වලින් පසුව ලියූ පොත් දෙකේම මගේ ජංගම දුරකථනය සඳහන් කර ඇති හන්දා ඉඳහිට මටත් රසිකයෙක් හො රසිකාවියක් මගේ පොත ගැන කතා කරනවා. එය ලියන්නෙකුට අප්‍රමාණ ධෛර්යක් ගෙන දෙන්නක්.

තාත්තා පත්තර වලට ලියූ ලිපි වල එකතුවක් බොහෝ දුරට සකස් කර අවසන් වුවත් එය සම්පූර්ණ කරන්නට විශේෂයෙන් එහි format එක මොනවගේ වෙන්න ඕනද කියන එක ගැන තවමත් ඉන්නේ දෙගිඩියාවක. ඊට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගහපු අධ්‍යාපන සඟරාවේ, රසවාහිනියේ, රවිරැස, දවස, සවස, ලංකාදීප, අකුර, සමූපකාරය, බුදුසරණ ඇතුළු පුවත් පත් සඟරා බොහොමයක තාත්තාගේ ලිපි පළවි තිබුණු බව කියන්නට පුළුවන්. මේ සමහරක් ඒවා දැන් සොයා ගන්න වෙන්නේ ජාතික ලේඛනාගාරයෙන්. එහෙත් එහි සුචිගත කිරීමක් නැති නිසා එයත් පහසු කාරියක් නොවේ. 


Monday, September 27, 2021

මේ සීත නිල්ලේ

 


සදුදා උදේට කළුතර සිට බණ්ඩාරගම රයිගමට ඇවිත් තමයි මේ දිනවල කාර්යාලයට පැමිණීම කෙරෙන්නේ. සතියේ දවස් පහ රයිගම ඉඳන් තමයි කාර්යාල ගමන. කළුතර සිට කොළඹට එන්න ගියොත් එකට වැඩි කාලයක් ගත වෙනවා වගේම අධික වියදමකුත් යනවා. බොහෝ විට කළුතර නාගොඩ කිට්ටුවෙන් පිහිටි අපේ ගෙදර සිට සඳුදාට රයිගමට එන්නේ කළුතර-වස්කඩුව සහ බණ්ඩාරගම හරහා. ඒත් ඉඳහිට දවසකට බෝම්බුවල-තෙබුවන අඟුරුවාතොට හරහා රයිගමට  එන පාර භාවිතා කරනවා. ඒ පාර වැටී ඇත්තේ සශ්‍රීක කුඹරු යායවල් ගෙවතු වලින් පිරි ඉතාම ග්‍රාමීය පරිසරයක් හරහා. නැතිනම් ඇත්තේ විශාල රබර් වතු. සමහර දිනෙක අඟුරුවාතොට සිට හොරණට ඇවිත් පොකුණුවිට හරහා රයිගමට එනවා. හොරණ හරහා එනවිට අඟුරුවාතොටත් රෙමුණ සහ හොරණ කිට්ටුවත් කඳුවැටි කිහිපයක් ආසන්නයෙන් පාර වැටී ඇත්තේ. හිමිදිරි පාන්දර හන්දා එතරම් උස් නොවූ ඒ කඳුවැටි මිහිදුමෙන් වැසී තියෙනවා දකින්නට පුළුවන්.

ඒහෙම එනකොට මතක් වන්නේ රාජකාරිය සඳහා කොළඹට පැමිණීමට පෙර බදුල්ල දිස්ත්‍රික්යෝ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ග්‍රාමීය පෙදෙස් වල කරපු රාජකාරී. බදුල්ලේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වටපිටාව නම් බොහොම සුන්දරයි. සීතල මීදුමෙන් වැසුනු පරිසරය, පිරිසිදු සුළඟ සහ ජලය වගේම මනහර උස්කඳුවැටි දියඇලි ආදිය කෙනෙකුගේ සිත භාවනාවකට පත් කරන්න තරම් පුළුවන්. දැන්නම් කන්තෝරුවක් කිව්වහම මතක් වන්නේ නාගරික පරිසයක් පමණයි. එහෙත් අරවගේ සුන්දර ග්‍රාමීය පරිසර වලත් රාජකාරී ස්ථාන තියෙනවා. ඒවයේ වැඩ කරන්න වාසනාවක් තියෙන්න ඕණා. (සමහරවිට කෘෂිකර්ම අංශයේ රාජකාරීයක නිරත් වුණා නම් එයට වැඩි අවස්ථාවක් තිබුණා)

බොහෝ වෙලාවට තනතුරෙන් තරමක් ඉහලට යනවිට රාජකාරී ස්ථාන පවතින්නේ නගරය ආශ්‍රිතව ඇති අමාත්‍යාංශ කාර්යාල වලයි. එහෙත් සමහර වෘත්තීන් සඳහා එය පොදු නැහැ. මගේ හිතමිත්‍රයෙක් ඉන්නවා සිවිල් ගුවන් සේවා අංශයේ ඉංජිනේරුවෙක් ලෙස සේවය කරන ඔහුගේ කාර්යාලය ඇත්තේ ලංකාවේ උසින් වැඩිම ස්ථානය වූ පිදුරුතලාගල කඳු මුදුනේ. අවුරුද්ද පුරාම පාහේ එහි පවතින්නේ අධික සීතලක්. ඒවගේම වටේට ඇත්තේ නොඉඳුල් රක්ෂිත වනාන්තරයක්. ඒ අතින් බැලුවහම ඔහු වාසනාවන්තයෙක්.

නොහොම වුනත් නගරය වටා ඒකරාශී වී ඇති රජයේ කාර්යාල හා කටයුතු යම් විදිහකට විමධ්‍යගත කරන්න පුළුවන් නම් එය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍යට පමණක් නොවේ තව බොහෝ ප්‍රශ්ණ වලට විසඳුමක් විය හැකියි.  

Tuesday, September 14, 2021

කලකට පස්සේ

ලිවීම කියන එක පොඩි දෙයක් වුනත් ලොකු බැරැරුම් දෙයක් වුනත් අවිච්චින්නව කරගන යන්න ඕන වගේම එයට දැඩි කැපවීමක් අවශ්‍යයි. පෙරත් කියා ඇති පරිදි වැඩ ගොඩක් කෙරෙන්නේ වැඩ ගොඩක් ඇති විටයි. එහෙත් ඒ තියරිය ටිකක් වෙනස් වුණු කාලයක් තිබුණා පසුගිය ටිකේ. ඒ දුම්රිය දෙපාර්තමෙන්තුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ලෙස රාජකාරි කරපු මාස කිහිපය. අභියෝගාත්මකයි.ඒත් හැමදාම උදේ නැගිටලා සතුටින් වැඩට ගියේ. නිවාඩුවක් ගත්තෙම නැති තරම්. සෙනසුරාදා ඉරිදාත් බොහෝ විට වැඩ. බෙහෝවිට ක්ෂේත්‍රයේ. ගෙදර හිටියත් ටෙලිෆෝනයට විනාඩි කිහිපයක හෝ නිවාඩුවක් ලැබුනේ නැහැ. මට ලැබුණු වැඩ බැලීමේ වැටුපට වඩා වැඩියි අමතරව ගිය ටෙලිෆෝන් බිල. ඒක අතින් ගෙවන්නට ඕනා.

හොඳට හෝ නරකට මාස හතරකින් මට ඒ කාරියෙන් ඉවත් වන්න සිදුවුණා. අළුත් දේවල් කිහිපයක් පටන් ගත්තා. තවත් කිහිපයකට අඩිතාලම් දමා තිබුණේ. ඒවා ගැන දිගින් දිගට කතා කිරීම අවශ්‍ය නැහැ. රාජකාරී දිවියේ වෙනස්ම අත්දැකීමක් වගේම ඇඟට දැනෙන්න වැඩක් කරන්න පුළුවන් තැනක් යැයි කීම ප්‍රමාණවත්.

කෝවිඩ් වසංගතය හන්දා මේ සතියත් රට වසා තියෙන්නේ. මේ තත්ත්වය තුල ආර්ථිකය හැසිරවීම අභියෝගාත්මකයි. එහෙත් ඒ අභියෝගය තේරුම් ගත්තු බවක් නම් පෙනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ටිකක් Core එකෙන් ඈත් වෙලා Periphery එකේ ඉන්න හන්දා ඒ ඇත්තන් කරන දේවල් අපට පෙනෙන්නේ නැතුවා වත්ද? ඒත් කරන කියන දේවල් වලින් හෝ ඒවයේ outcome එකෙන් ඒ බව පෙනෙන්නට නැති එකයි ප්‍රශ්ණය. ඒව්වා ගැන වැඩිය ලියන්නට ගියොත් මගේ සීමා වලින් එලියට යන්න පුළුවන් හන්දා ඒකත් ඇති.

කොහොම වුනත් ජීවිතයම වෙලා ගෙන තියෙන මේ කම්මැලිකම නැත්නම් හුදෙකලාවෙන් මිදෙන්න මගක් අපි සොයා ගන්න ඕනා. සියළු දේ සැහැල්ලුවෙන් හිතන සැහැල්ලුවෙන් ක්‍රියා කරන තත්ත්වයකට මුළු රටම පත්වීගෙන යන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. පෞද්ගලිකවත් පොදුවේත් මේවාට විසඳුම් අපට සොයා ගන්න පුළුවන්ද? මේ තත්ත්වය මගේ හිතමිත්‍රයකු සමග කතා කරන වෙලාවකදී මට කිව්වේ තමන්ගේ passion එක හොයගෙන ඒ සදහා එල්ලවී වැඩ කරන්න කියා. මම තවමත් කල්පනා කරන්නේ මගේ passion එක විය හැක්කේ මොකක් ද කියා?   

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...