ඇල්ල කපොල්ල
ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කරන කාලේ අපේ ආයතන ප‍්‍රධානියා වූයේ මැදි වයසට ළඟා වෙමින් සිටි ඉක්මනින් කේන්ති යන සෘජු අදහස් ඇති නිලධාරියෙක්. රාජකාරියට ඔහුගේ තිබූ කැපවීම ආදර්ශයට ගන්න තරම් ඉහළයි. වරක් ඔහු උසස් නිලධාරියකු සමග රාජකාරියක් පිළිබඳව කතා කරන විට ” ඕවා long and complicated procedures” කියා අපේ ආයතන ප‍්‍රධානියාව අධෛර්යමත් කරනවා මා දුටුවා. එවිට අපේ ප‍්‍රධානියා කීවේ ඒවගේ අමාරු රාජකාරී කරන්න තමයි සර් අප ඉන්නේ, මම මෙය කොහොම හරි කරනවා කියා. කන්තෝරුවේ රාජකාරී සහයක නිලධාරීන් හට බෙදා දීමට ලෝභ නොවූ ඔහු තරමක් නිදහසේ කොට්ඨාසයේ ප‍්‍රශ්න පිළිබඳව විමර්ශනය කරන්න පුරුදු වෙලා හිටියා. සමහර විටක කාර්යාලයේ ඉදිරිපස ඇති මහජනයාට ඉඳගැනීමට තබා ඇති බංකුවේ වාඩිවී කාර්යාල පරිශ‍්‍රයේ සිදුවන දේවල් නිරීක්ෂණය කිරීමත් ඔහුගේ පුරුද්දක්. අපේ ප‍්‍රධානියාව නොදන්නා ගැමියෙකු පැමිණ අද දිසාපතිතුමා හමුවන්න හැකිදැයි ඔහුගෙන් ඇසූ වාර අනන්තයි. එවිට එම ගැමියාගෙන් කාරණය විමසා, නිල කාමරයට කතා කොට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකරදීම කෙරුණා.
අනූව දශකයේ මැද භාගයේ මෙම කාර්යාලයේ ගත කරපු කාලය ආස්වාදජනකයි. එකක් තරුණ වයසේ සිටි මට සමකාලීන සහ වැඩිහිටි නිලධාරීන් බොහෝ දෙනෙක් ඇසුරු කරන්නට ලැබීම. අනෙක් අතට එකිනෙකා අතර තිබූ කෘත‍්‍රිම නොවන බැඳීම. තවත් එකක් තමයි එහි වූ සුවදායී පරිසරය. අවුරුද්දකට සැරයක් වත් කාර්ය මණ්ඩලය සියලු දෙනා සමග විනෝද ගමනක් ගිය බවත් මතකයි.
මේ කාලයේ දවසක කාර්යාලය ඇතුලින් ගාලගෝට්ටියක් ඇසුණු විට මම විමසිලමත් වූයේ කාර්යාලයෙන් සේවාවක් ලබා ගැනීමට පැමිණි අයෙක් ඊට සම්බන්ධ බව තේරුණු හන්දා. එහි යනවිට අපේ මාණ්ඩලික සහකාර මහතා පුද්ගලයෙකුට බැණවදිමින් සිටිනවා. හේතුව කාර්යාලය තුළ සරම කැසපට ගසා සිටීම. මෙය කාර්යාලයක් බැවින් සරම නියමාකාරයෙන් හැඳ ගන්නා ලෙස කීවත් ඔහු ඊට අවනත නොවූ හන්දායී මේ ගාලගෝට්ටිය. ඒ වන විට කාර්යාල සහයක මහතුන් ඇවිත් අර පුද්ගලයා එළියට ඇද දමන්න සූදානම් වී සිටියා. එහි ගොස් කාරුණිකව ඔහුට කතා කළ විටයි අපට දැන ගන්නට ලැබුණේ ඔහුගේ සරමේ විශාල කොටසක් ඉරී සිදුරක් සෑදී ඇති නිසා කැසපොට පහත හෙළිමට ඔහු අකමැති වූ බව.