Saturday, October 26, 2013

2' පුංචි කෝච්චිය
ලංකාවේ තරම් දුම්රිය මාර්ග වසා දැමූ රටක් ඇත්දැයි මා දන්නේ නැහැ. ත‍්‍රස්තවාදී ක‍්‍රියා හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මාර්ග ගැන නොවේ මා සඳහන් කළේ.  නානුඔය-රාගල මාර්ගය. අවිස්සාවේල්ල-යටියන්තොට මාර්ගය සහ අවිස්සාවේල්ල- ඕපනායක මාර්ගය ඊට නිදසුන්. මේ මාර්ග පටු දුම්රිය මාවත් ඝණයට ගැනෙන ඒවා. මේ මාර්ග පිළිබඳ සලකුණු හොඳින් දකින්නට පුළුවන් වන්නේ මේ මාර්ග වලින් වඩාත්ම මෑතදී වසා දැමුණු අවිස්සාවේල්ල- ඕපනායක මාර්ගයේ. අනෙක් මාර්ග වල නටඹුන් ද තවමත් විද්‍යාමාන වුණත් ඒවා දැකගන්නට නම් තරමක වෙහෙසක් ගන්න වෙනවා. වඩාත්ම මෑතදී වසා දැමුණු මාර්ගය ගැන සිතුවහම මෙම මාර්ග වසා දැමීමට ආසන්න හේතුව ලෙස ඒවා අධික ලෙස පාඩු ලැබීම යැයි සඳහන්. කොහොම වුණත් ලෝකයේ බොහෝ රටවල දුම්රිය සේවා රජයේ සහනාධාර මත පවත්වාගෙන යන බව නොරහසක්.
කෙසේ වෙතත් මෙම මාර්ග අද වන තෙක් පැවතුණා නම් වටිනාකම කියා නිම කරන්නට බැරි තරම්. එක් අතකින් මාර්ග තදබදයට සහ ප‍්‍රවාහන ගැටලු වලට පිළියමක් ලෙස. අනෙක් අතට සංවාරක ආකර්ෂණය උදෙසා. ඉන්දියාවේ සිම්ලා දක්වා මගේ මතකයේ හැටියට ධර්මශාලා සිට දුවන පටු මාර්ග දුම්රිය ප‍්‍රධාන වශයෙන් සංචාරක ආකර්ෂණය සඳහා යොදා ගන්නා බව මා අසා තිබෙනවා. රාජෙශ් ඛන්නා සමග ශර්මිලා තාගෝර් රඟපෑ ආරධනා චිත‍්‍රපටයේ ඉතා ජනප‍්‍රිය ආරම්භක ගීතය- මේරේ සප්නොන් කී රානි - තිරගතවී ඇත්තේ මේ මාර්ගයේදීයි. විශේයෙන් යටියන්තොට මාර්ගයත් රාගල මාර්ගයත් ලංකාවේ විශේෂ සංචාරක කලාප තුළ පටු දුම්රිය මාර්ග ලෙස සාර්ථකව පවත්වාගෙන යන්නට තිබුණා.
ඕපනායක දක්වා වූ මාර්ගයේ අවසාන දුම්රිය කොළඔ දක්වා ආපසු ගෙන එන ගමන වැළැක්වීමට  ගම්මුන් රේල් පාරේ නිදාගත් බව මා අසා තිබෙනවා. අවිස්සාවේල්ලෙන් මෙපිටට මෙම මාර්ගය ගලවා දමන එක නතර වී ඇත්තේ ඡන්ද පොරොන්දුවක් හරහා බවද අසන්නට ලැබුණු දෙයක්. දැනට කොළඔ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන මේ මාර්ගය කාලයක් පටු හා පුළුල් දුම්රිය වර්ග දෙකම ගමන් කරන්නට පුළුවන් මාර්ගයක් ලෙසත් දැනට පුළුල් දුම්රිය ගමන් මාර්ගයක් ලෙසත් සලසන සේවය ඉමහත්. ඊට අමතරව මේ හැම කරුණකින්ම පැහැදිලි වන්නේ රේල්ලුවත් එක්ක ජනතාවගේ තිබුණු බැඳීම.
සුදු ජාතිකයින් විසින් ඉදිකරපු දුම්රිය මාර්ගවලට අමතරව නව මගක් මෑතදී ඉදිවුනා නම් ඒ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා වූ මාර්ගය පමණයි. එය ආර් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ වැඩක් බව නොකියා බැහැ. ඒ වගේම පහුගිය ශත වර්ෂයේ මුල් භාගයේ දී පානදුර සිට හොරණ දක්වා නව දුම්රිය මගක් තැනීම සඳහා මැනුම් කටයුතු කළ බව සඳහන්. සුදු ජාතිකයින් විසින් ඇති කරපු දුම්රිය මාර්ග පද්ධතිය කොයිතරම් සැලසුම් සහගතව සිදුකර ඇත්දැයි සිතා බැලීම වටිනවා. උදාහරණයක් හැටියට ලංකාවේ සියලුම දිස්ත‍්‍රික් ප‍්‍රධාන නගර දුම්රිය මාර්ග මගින් යාකර තිබෙනවා. මගහැරී ඇත්තේ හම්බන්තොටත් මොනරාගලත් පමණයි.     


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...