Tuesday, October 29, 2013

Small is beautiful?
මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ ඉඩම් බෙදා දීමේදී පවුලකට ගොඩින් සහ මඩින් හෙක්ටයාර එක බැගින් ලබා දී තිබුණේ පවුලක් විසින් පවත්වාගෙන යා හැකි කුඩා පරිමාණ ගොවිපළක් හිතේ තබා ගෙන. මඩ ඉඩම වී වගාවටත් ගොඩ ඉඩම මිරිස් ආදී අතිරේක බෝග වගාවටත් වෙන්කර තිබුණා. එහෙත් ඒ සංකල්පය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වී නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. වියළි කලාපීය තත්ත්ව යටතේ කෘෂිකාර්මික ව්‍යවසායක් සඳහා හෙක්ටයාර දෙකක් ප‍්‍රමානවත්ද කියන එක වෙනමම කාරණයක්. මහවැලියට ගිය පරම්පරාවේ දරුවන් බොහෝ දෙනෙක් කෘෂිකර්මයෙන් ඈත්වූ බව පෙනෙන්නට තිබෙනවා. තරුණයින් වෙනත් රැකියා සඳහා යොමුවීම මෙයට එක හේතුවක් වන්නට   පුළුවන්. තරුණියන් නම් තද අව්වේ වැඩ කිරීමෙන් තම සමේ පැහැය කලු වීමට බියෙන් මිරිස් කැඞීම වැනි කාර්යන්ගෙන් ඈත්වූ බව ඒ දිනවල අප අසා ඇති කරුණක්. මොකද එවිට ඔවුන් හට විවාහ වීම සඳහා තරුණයකු සොයා ගැනීමේ අවස්ථා අඩුවන හන්දා. මේ ආදී බොහෝ කාරණා වලට වඩා වැදගත් කාරණයක් වන්නේ මෙවැනි ඒකකයකින් මාසිකව එහෙම නැත්නම් වාර්ෂිකව ලබන ආදායම සහ පවුලේ අවශ්‍යතා වලට ගැලපෙන මට්ටමේ ජීවන තත්ත්වයක් පවත්වා ගන්න එය ප‍්‍රමාණවත් ද යන්න. ලංකාවේ අනෙකුත් කෘෂි කලාප සැලකූ කල තත්ත්වයේ යම් යම් වෙනස්කම් දක්නට පුළුවන්.   
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මහවැලි දියවර නොලැබෙන කලාපයේ සෑම ගමකම පාහේ කුඩා වැව් දෙකක් හෝ තුනක් දක්නට පුළුවන්. එක් එක් ගොවියාට මේ හැම වැවක් යටතේම කුඹුරු ඉඩමක් බොහෝවිට තිබෙනවා. අනු පවුල් අතර මේ ඉඩම් බෙදී ගියහම එක් ගොවියකුට ලැබෙන ඉඩම් කෑල්ල ඉතා කුඩා වනවා. මෙවැනි කුඩා ඉඩම් කැබලි වගාව හරහා ගොවිපළක් එහෙමත් නැත්නම් කෘෂිකාර්මික ව්‍යවසායක් කරා යොමුවීම අසීරුයි. බොහෝවිට වී වැපිරීමෙන් පසු ගොවීන් කුඹුර දිහා බලන්නේ පොහොර දැමීමට සහ ගොයම් කපා ගැනීමට. මෙවැනි තත්ත්වයක් යටතේ කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීම අසීරු දෙයක්.
මෙම වැව් ප‍්‍රතිසංස්කරනය සහ ඒ තුළින් කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නංවා ගැනීමත් අරමුණු කොටගෙන රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. සමහර විට ජල කළමනාකරණය ඉහළ නැවීම සඳහා වක්කඩවල ජලය බැස යාමට යොදා ඇති මදය ඉවත්කරපු කිතුල් කොට ආදිය ඉවත් කර සිමෙන්තියෙන් හදපු ගැජට් සෑම වක්කඩකටම සවි කිරීමත් එහි එක් අංගයක්. එම ගැජට්ටුව ජල පාලනය සඳහා දොරකින්ද සමන්විත වෙනවා. මෙවැනි නිර්මිත කන්න කිහිපයක් හෝ නොපවතින්නේ ගොවීන්ගේ ට‍්‍රක්ටර හෝ උදලු පහරින් කැඞී බිඳීයාම හේතුවෙන්. ඊට පසු ගොවීන් නැවත කිතුල් කොටම ඒ සඳහා යොදාගන්නව දකින්න පුළුවන්. මේ එක් උදාහරණයක් පමණයි. මෙවැනි හේතු ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස සෑම වසර දෙක තුනකට වරක් එකම වැව ප‍්‍රතිසංස්කරනය සඳහා අරමුදල් යෙදීමට සිදුවෙනවා.
යම් යම් බෝග සඳහා out grower system වැනි ක‍්‍රමවේද අත්හදා බැලුවත් පුළුල් වශයෙන් ඒවා යොදා ගැනීමට හැකිවී නැහැ. අනුරාධපුරයේ නම් යල් කන්නෙදි වැව්වල ජල ප‍්‍රමාණය මුළු කුඹුරම වගාකරන්න මදි වුනහම යොදා ගන්න බෙත්ම ක‍්‍රමය (land consolidation ක‍්‍රමයක්) හොඳ ජල කළමනාකරණ ක‍්‍රමයක්. ඒත් එවැනි ක‍්‍රමයක් සාමාන්‍ය තත්ත්ව යටතේදී ක‍්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇතිවන්නට පුළුවන්.
උඩරට එළවලු වගාව හා බැඳුණු කෘෂිකර්මය නම් යම් පමණකට හෝ තිරසාර ගොවිපළ ක‍්‍රමයකට ආසන්න වී ඇති බව දක්නට පුළුවන්. එහෙත් සීග‍්‍රයෙන් සිදුවන පාංශු ඛාදනයත් සමග මේ තත්ත්වයට තර්ජනයක් එල්ල වී ඇති බව පෙනෙනවා. මීට අමතරව වැවිලි බෝග ගත් විට තත්ත්වය තවත් වෙනස් වනවා වගේම එය වෙනමම සලකා බැලිය යුතු වෙනවා.
මේ සියලුම කරුණු වලින් පෙනී යන්නේ රටට සුදුසු කෘෂිකාර්මික මොඩලය පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් අපට නැති බවයි. ඒ හේතුවෙන් කෘෂිකර්මය වාණිජකරණය (commercialization) යන්න ප‍්‍රතිපත්ති සම්පාදකයින් අතර හුදෙක් වට්ටෝරුවක් වෙලා තියෙනවා. තමන්ට ගැලපෙන කෘෂිකාර්මික මොඩලය ලොකයේ බොහෝ රටවල් සොයා ගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. අවම වශයෙන් අපේ රටේ මේ පිළිබඳව පුළුල් මට්ටමෙන් කතිකාවක් වත් සිදු නොවිම කණගාටුවක්.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...