Monday, May 5, 2014

ශ්‍රීපාලිය
මම කලින් සටහනකින් ගුණදාස ලියනගේ මහත්තයාගේ මල්ලිගේ විත්ති නම් පොතේ එන හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලය ගැන රසවත් තොරතුරු පිළිබඳව සඳහන් කළා. එයින් ඇවිස්සුණු රසය ඔස්සේ මම ගුණදාස ලියනගේ මහත්මාගේ අනෙකුත් පොත්ද සොයා ගන්නට උත්සාහයක පසුගිය දින කීපයේ වෙහෙසුණා. විශේෂයෙන් මට ඕනා වුණේ “දිවලකඩ ගුණදාස” නමින් වූ ඔහුගේ ස්වයං චරිතාපදානය කියවන්න. එහිදී මට ඒ පොත් ලබා ගැනීමට ගුණදාස ලියනගේ මහතාගේ කනිටු පුත් වජිර ලියනගේ මහතා උපකාර කළා. ගුණදාස ලියනගේ මහතා මගේ පියාගේ හිතවතෙකුව සිටි බවත්, ඔහු විසින් කතෘත්වය දරපු “කල්පනා” සගරාවේ මගේ පියාගේ ලිපි පළවූ බවත් එහිදී මම සඳහන් කළා.
දිවලකඩ ගුණදාස නම්වූ කෘතිය නවකතාවක් මෙන් ඉතා රසවත් බව සඳහන් කරන්නට ඕනා. විශේෂයෙන් ළමා කාලයේ දී ඉගෙනීම සඳහා ඔහු තුළවූ පිපාසාව, අපෘතිහත ධෛර්යය සහ කැපවීම පුදුම එලවනසුලු වගේම ඕනම කුඩාවුවෙකුට හොඳ පාඩමක් බවයි මගේ හැගීම. මේ පොතේ සහ ඒ සමගම මා ගෙනා “සිරිකත සහ විල්මට්”, “‍ජොනී උපහාර සහ තවත් ඇත්ත කතා” යන පොත් වලත් හොරණ ශ්‍රීපාලිය ගැන වැදගත් තොරතුරු රාශියක් අඩංගු වෙලා තියනවා. ඒ දවස්වල අපේ පාසලේ ළමුන් “ශ්‍රීපාලි මේලා, මේ පාරේ ...” යනුවෙන් සමච්චලයට වගේ කිවූ ශ්‍රීපාලි මේලාව පිළිබඳ කරුණු දැනගත්තේ එයින්.ශ්‍රීපාලිය අපේ ජීවිත වළට සම්බන්ධ වන්නේ අපේ පවුලේ අපට බාල සහෝදරයෙක් සහ ස‍හෝදරිය එහි අධ්‍යාපනය ලබපු හන්දා. ඒ දවස්වල ශ්‍රීපාලියේ තිබූ මැටි වැඩ නිෂ්පාදනාගාරෙන් නොයෙකුත් මැටි භාණ්ඩ ඔවුන් ලවා ගෙන්වා ගන්නවා මට මතකයි. ඒ වගේම ඔවුන් පාවිච්චි කළ ශ්‍රීපාලියට ආවේණිකවූ වචනත් තිබුණා. උදාහරණයක් ලෙස උදාසන රැස්වීමට ඒ ගොල්ල කිව්වේ උපාසනය කියලා. ඒ වගේම ‘මෙසිරි ලක්දිව තුම් ශ්‍රීපාලී’ යනුවෙන් පටන් ගන්නා පාසල් ගීයත් අපට ගෙදරදී නිතර ඇසුණා.
ඒත් ශ්‍රීපාලිය මට වඩාත්ම මතක කුළුපන කණිෂ්ටේ පැවැති පහේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු වටයෙන් සමත් වුණාට පස්සේ එහි දෙවන වටය සඳහා තාත්තාත් සමග එහි ගිය ගමන හන්දා. එදා අපේ පාසලෙන්ම දෙවන වටයට සමත් වෙළා එහි ගියේ මගේ හොඳම මිතුරියකවූ වසන්තිත් තවත් පිරිමි ළමයෙකුත් පමණයි. අපිට විභාගය ලියන්න ලැබුණේ තට්ටු දෙකේ ශාලාවක උඩු මහල. හොරණ බස් නැවතුමට උඩින් තිබුණු සතොසට ඇරුණහම ඒ දවස්වල අපි දෙමහල් ගොඩනැගිල්ලකට නැගලා තිබුණු බවක් මට මතක නැහැ. ඒ හන්දා මේ අළුත් පන්තිකාමරය අපට අළුත් නොපුරුදු අත්දැකීමක් වුණා.  කොහොම නමුත් ලැබුණු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා අවසන් කොට අපට උපදෙස් දී තිබූ පරිදි නැවත වරක් හෝ දෙවරක් පරීක්ෂා කොට තවත් වේලා ඉතිරිව ඇති වුණත් මම ප්‍රශ්ණ පත්‍රය ශාලාධිපතිතුමාට බාර දීලා එළියට ආවා. මගේ කලින් පැමිණීම බලාපොරොත්තු නොවූ තාත්තා කලබලයෙන් පැමිණ ‘මොකද? මොකද? කියා ඇසුවා මට මතකයි. උත්තර ලියා ඉවර බව මා පැවසූ විට තාත්තා කීවේ “එහෙනම් කොරල ඇති කියාය.” කෙසේ වෙතත් මම එම විභාගයෙන් සමත්ව තාත්තාගේ තීරණය මත කොළඔ පාසලකට පැමිණියා. ඊට අමතරව ඒ දවස්වල ශ්‍රීපාලියේ කඳු මුදුනට වන්නට පිහිටි අරුන්දතී ශාලාවේ ඒ දවස්වල නොයෙකුත් නාට්‍ය පෙන්නුවා. එහි පෙන්වපු මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ “ප්‍රේමතෝ ජායතී ශෝකෝ” වගේ නාට්‍ය බලන්නට තාත්තා ඒ දිනවල අප රැගෙන ගියා.  

2 comments:

  1. කුඩා කල කියවූ ගුවනින් ගිය ගොඩයා මතක් වුනා. මාර රසවත් ලිවිල්ල ගුලිගේ.
    ගන්න ඕනි කරන පොත් ලිස්ට් එකට තවත් පොත් එකතු වුනා.
    වජිර ලියනගේ මහතාව සම්බන්ද කර ගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. මචං මම මේ පොත පොඩි කාලේ කියෙව්වේ. පුස්තකාලෙකින්. මම මේ පොතට පිස්සු හැදිලා හිටියේ. මම හැම තැනම පොත හෙව්වා. ගන්න තැනක් නෑ.හොද වෙලාවට ඔයාගේ blog එක දැක්කේ. මගේ ජිවිතේ කොටසකුත් මෙකේ තියනවා. මට පුලුවන්නම් පොත ගන්න තැනක් කියන්න. ලොකු උදව්වක්
      hdcreationad@gmail.com

      Delete

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...