Tuesday, May 6, 2014

රාත්‍රිය සුන්දරයි

රුසියාවේ හිටපු කාලේ අපි දුර ගමන් ගියේ දුම්රියේ නැගී. අපි මොස්කව් වල තිබූ ප්‍රධාන දුම්රියපොළ වලින් එකක් වන කුර්ස්කයා ( කුර්ස්ක් නම් නගරය හරහා දිවෙන මාර්ගය ප්‍රධාන කොටගෙන තිබූ හන්දා එම නම ලැබී තිබුණා.) වලින් රාත්‍රිය උදාවන විට දුම්රියට නැගුනහම පසුදා උදේ වන විට අප සිටි හාර්කොව් නගරයට ලඟා වන්නට හැකි වුණා. මෙවැනි රාත්‍රී වලදී රුසියානු සහ යුක්රේන ගම් දනව් වල සුන්දරත්වය හොඳින් විඳින්නට පුළුවන් වුණා. විශේෂයෙන් සඳ එළිය ඇති රාත්‍රීවලදි මැවුනු දර්ශන වචන වලින් විස්තර කිරීමට බැරි තරම්. වරක් දොන් නදිය අසලින් ගිය දුම්රිය ගමනත් ඉතා සුන්දරයි. සඳ එළිය පුළුල්වූ නදියේ ජලය මත පතිත වුණාම අපූරු රටා මැව්වා. ඒ වගේම ගං ඉවුරේ තිබූ බිරියෝසා වැනි ගස් වල සෙවනැලි ජල තලය මත වැටී තිබුණා. නිසසල රාත්‍රියේදී කැලෑබද පෙදෙස් හරහා යන විට කලාතුරකින් ඈත ගමක නිවෙස් වලින්, ගොවිපළවලින් හෝ මාවත් වල පහන් කණු වලින් අඳුර කපාගෙන එළි විහිදෙනවා  දකින්නට පුළුවන්. මේ වගේ සුන්දර රාත්‍රී වලට පසුව උදා වන උදෑසන අති සුන්දර බව අමුතුවෙන් කියන්න ඕනා නැහැ.
උඩරට සේවා ස්ථානයක සේවා කරපු කාලේ රාත්‍රී තැපැල් දුම්රියෙන් බණ්ඩාරවෙල සිට කොළඔ බලා ආ ගමනත් ඒවගේම සුන්දරයි. කඳු වැටි මතට මෙන්ම සහ ඝන කැලෑ මැදින් විහිදෙන සඳ එළිය සහ සීතල පරිසරය මැව්වේ සුන්දර වටපිටාවක්. දුම්රිය සහ දුම්රියපොළ වලට කුඩා කාලේ සිටම අපට තිබුණේ කිට්ටු බැඳීමක්. හාර්කොව් නගරයේ ගත කරපු කාලේ නගරයේ ඇවිදලා මහන්සි වුනහම ප්‍රධාන දුම්රිය පොලට ගිහිල්ලා එහි වූ අසුනකට බරදීලා පැය බාගයක් හමාරක් ගිමන් නිවන්න මම පුරුදු වෙලා සිටියා. එහෙම ඉන්නා අතරේ විවිධ ගමන් සඳහා පිටත්වීමට පැමිණි හෝ කාව හෝ ඇරලවීමට පැමිණි සහ දුම්රියෙන් එන තමන්ගේ සමීපතමයන් පිළිගැනීමට පැමිණි බාල, මහලු, තරුණ, කාන්තා සහ පිරිමි යන විවිධ පුරවැසියන්ගේ හැසීරීම් බලාසිටින්නට ආනන්දජනකයි. ඔවුන්ගේ මුහුණු වල රැඳී ඇත්තේ සමහර විට බලාපොරොත්තුවක්, නැත්නම් දුකක් එහෙමත් නැත්නම් තෙහෙට්ටුවක්.
හාර්කොව් වල සිටි කාලයේ මගේ යෙහෙළියකවූ ඉරීනාගේ ගෙදර පිහිටා තිබුණේ රුසියාවේ කොකේසස්  පෙදෙසේ තිබුණු ස්වාධීන සමූහාණ්ඩුවක් වූ ( ප්‍රධාන සමූහාණ්ඩු තුළ, විශේෂයෙන් අති විශාල රුසියානු සමූහාණ්ඩුවේ එවැනි Autonomous Republic කිහිපයක්ද තිබුණා.) කබර්දීන බල්කාරියා වල. මොස්කව් වල සිට කොකේසස් පෙදෙසට යන දුම්රියයන් හාර්කොව් නගරය හරහා ගමන් කළා. එවැනි දුම්රියවල කබර්දීන බල්කාරියාවේ අගනගරය වූ නල්චික් දක්වා පමණක් දිවෙන මැදිරි කිහිපයක් තිබුණා. එම වැගන වලට පිටින් නල්චික් නම සඳහන් කළ ලී පුවරු දක්නට තිබුණාට අමතරව ජනෙල් රෙදි වල මුද්‍රණය කොට තිබුණේ කබර්දීන බල්කාරියාවට ආවේණික සිතුවම්. ඉරීනාට ගෙදරින් ලැබෙන කෑම බීම සහ නොයෙකුත් දේ ඇතුළත් පාර්සල් භාර ගැනීමටත්, ඇයට දෙමව්පියන් වෙත මොනවාහරි යවන්න ඔනා වුණාමත් අප දෙදෙනා හාර්කොව් දුම්රියපළට ගියේ රාත්‍රී කාල වලදී. ඒ ඉහළට හෝ පහළට යන දුම්රිය අල්ලා ගන්නට. එහෙම දවස්වලට දුම්රිය එනතෙක් අප දෙදෙනා දුම්රියපොළට වී නොයෙකුත් දේ කතා කරමින් සිටියා.  එහෙම පාර්සල් එහෙ මෙහේ හුවමාරු වුණේ දුම්රිය තැපැල් සේවය හරහා නොවෙයි. පුද්ගලික හැඳුනුම් කම් මතයි. ගෙදරින් පාර්සලයක් එවන විට ඒ බව ඔවුන් ටෙලිපෝනයෙන් කල්තියා දැනුම් දුන්නා. අඳුරන කෙනෙක් නැති වුණත් දුම්රිය මැදිරි භාරව එන නිලධාරිනියකට කතා කොට පාර්සලයක් ගෙදරට යවා ගැනීමේ දක්ෂ කම ඉරීනාට තිබුණා. ඒකෙන් සිදුවුණු එක දෙයක් තමයි තමන්ගේ දුව විදේශිකයකු සමග හාදවී ඇති බව ඉරීනාගේ මව්පියන්හට ආරංචිවීම.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...