Monday, December 29, 2014

මාම කැච්චක් හොඳමයි! (ආයුබොවන්)


පසුගිය විසිපස්වෙනිදා අපි ගියා දඹානට. උදේම ගියේ පින්නවලට. අවුරුදු ගානකට ඉස්සර වෙලා ගියාට වඩා එහි යටිතල පහසුකම් වැඩිදියුණු කරලා. එම ස්ථානය විශේෂයෙන් විදේශිකයන් අතර ඉතා ජනප්‍රිය හන්දා එහි ආදායමත් මේ වැඩිදියුණුවට හේතු වන්න ඇති. ඊට පසුව කඩුගන්නාවෙ වැලමිට වංගුවේ නවත්තලා දවල් කෑම ගත්තා. එතන පරිසරය හරිම සුන්දරයි. එපිටින් පෙනුන කඩුගන්නාව කන්දේ බිංගෙවල් හරහා දුම්රිය යනවා එතනට පෙනෙනවා. මිටියාවතේ පහල ඇති බයිබල් රොක් එක ඇතුළු සියළු කඳු මීදුමෙන් වැසී ගිහින්. හන්දියෙන් උඩට යන අතුරු පාර පටන් ගන්න තැන වහලා තිබුණු පෙට්ටි කඩේ ලෑලි බංකුව උඩ ඉඳගෙන අපි ගෙනියපු බත්මුල් ලිහා ගෙන කෑවා. හුග කාලෙකට පස්සේ ගමනකදී ගෙදර හදපු බත්මුල් කෑවේ.

ඊට පස්සෙ නුවරට ගිහින් දළදා මාලිගාව වැඳලා මහියංගනයට යන්න පිටත්වුණා. අපි සැළසුම් කළේ දහඅට වංගුව පාරෙන් මහියංගනයට යන්න. වික්ටෝරියා වේල්ල හරියට ගියාම ආරංචි වුණේ ඒ පාර වහලා කියළා. දැන් විකල්ප දෙකයි. තැන්නෙකුඹුරට ආපසු කිලෝමීටර 30 ක් විතර ඇවිත් රජමාවතේ ආපසු මහියංගනය දෙසට යන එක. නැත්නම් වික්ටෝරියා වේල්ල උඩින් රජමාවතට මාරුවන එක. ඒත් ඒ සඳහා විශේෂ අවසරයක් ගත යුතුයි. ඒ වන විට හවස හයත් පහුවෙලා. අවසරය ඉක්මණින් ලබා ගත් හන්දා අපි වික්ටෝරියා වේල්ල උඩින් ගියා. වාන් දමන වික්ටෝරියා වේල්ල නොදුටු ඇස් මොකටද කියළා හිතෙන තරම් සුන්දර දසුනක්. ඊටම සරිලන විදිහට එයට ප්ලෑෂ් ලයිට් එල්ල කර තිබුණා. ඊට පසුව අපට හමුවුණු රන්දෙනිගල වාන් දමන දර්ශනයත් ඉතා අලංකාරයි.

දොඹ සූරන වැස්සේ අපි ආඳාඋල්පත නාගදීප වැව් ඉස්මත්තෙ පිහිටා තිබූ අපේ නවාතැනට ගියා. ඒක පුරාවිද්‍යා සර්කිට් බංගලාවක්. පසුවදා උදේත් එක දිගටම වැස්ස. නාගදීප වැව වාන් දමනවා බලන්නත් අපි ගියා. අල්ලන මාළු මිළදී ගන්නත්, වැව වාන් දමනවා බලන්නත් සෙනග පිරිලා හිටියා.

අපේ ප්‍රධාන ඉලක්කය දඹානට යාම. ඒත් දඹානට යන පාරත් තැනින් තැන වතුරෙන් යටවෙළා. කොහොම හරි දඹානට ගිහින් දැනට වැඩිදියුණු කරමින් පවතින වරිග මහ ගෙදර හෙවත් ආදිවාසී කෞතුකාගාරෙ බැලුවා. නායක ඇත්තන්ගේ පස්වන පුතාවන හීන්බණ්ඩා ඇත්තෝ තමයි කටුගෙයි භාරකරු. ඒත් ඔහු හිටියේ සාමන්‍ය ඇඳුමෙන් සැරසී. අපි නායක ඇත්තන්ගෙ ගෙදරට ගොඩවැදිච්ච වෙලාවේ අපිට හමුවුණු නායක ඇත්තන්ගේ ලොකුපුතා නම් හිටියේ සම්පූර්ණ වැදි ඇඳුමෙන්. ඔහු අපිත් එක්ක කතා කළෙත් ඒ භාෂාවෙන්.

මිනිත්තුවක් ඇතුලත දඹාන FM එකේ සජීවි සංවාදයකට සම්බන්ධ වන්න අපිට ලැබුණා. ඒකේ විකාශන මැදිරිය පිහිටා තියේනනේ දෙහිඅත්තකණ්ඩියේ. ඒ කටුගෙයි ඉදිරි කටයුතු සම්බන්ධයෙන්. ආදිවාසී අනන්‍යතාවයත් රැකගෙන කටුගෙය වැඩිදියුනු කරන ආකරය ගැනයි අපි සාකච්ඡා කළේ. සජීවිව එයට සම්බන්ධ වුනේ මොබයිල් ෆෝන් එකක් හරහා.  

Tuesday, December 23, 2014

From Finance to Heritage




ගිය සුමානේ සිකුරාදා රාජකාරියක් සඳහා දඹුල්ල ලෙන් විහාරයට ගියා. ලෝක උරුමයක් වූ මෙම පන්සලේ අරුමය ඇත්තටම දැක්කේ එදා. සිය ගණනක් වන පිළිම, දහස් ගණනක් වන චිත්‍ර සැබැවින්ම ලෝක උරුමයක් තමා. අප එහි ගියේ දැනට ජල කාන්දු ආදිය හේතුවෙන් පිළිම හා බිතු සිතුවම් වලට සිදුවන හානි වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව සාකච්ඡා කරන්න. වැසි දවස් හන්දා ජල කාන්දුව වැඩිපුර දකින්නට තිබුණා. අපත් සමග micro-biology සහ entomology සහ පුරාවිද්‍යා විශේ‍්ඥයන්ද මෙම ගමනට සහභාගී වුණා. අවුරුදු ගානකට පස්සෙ මම පළමු උපාධිය කරන කොට ආසාවෙන් ඉගෙන ගත්තු entomology සහ plant pathology නැවත අතපත ගාන්න හෝ ලැබුණ එක  සතුටක්. ලෙන්විහාරයට උඩින් ඇති එයට වහලය සපයන පර්වතයේ ඇති කුස්තූර හරහා තමයි ලෙන් වල වහලයට ජලය කාන්දු වන්නේ. පර්වතය මුදුනේ ඇති තරමක ගසුත් පැලවී ඇති පස් තට්ටුව රඳවා ගන්නා වැසි වතුර මෙලෙස කාන්දු වන බව සැක කළ හැකි බවයි ලොකු හාමුදුරුවෝ පැවසුවේ. පුරාණයේදීත් මෙම කුස්තූර වලට ලෝහ යොදා මෙම කාන්දු නවත්වන්න ක්‍රියා කර ඇති බව හාමුදුරුවෝ කීවා. ඒවා පිළිබඳ විස්තර සන්නස් වල දක්නට ඇතිලු.

බිතුසිතුවම් සමහරක් දිලීර වලට ගොදුරු වෙමින් තිබුණා.  ඇක්ටිනෝමයිසේට්ස් උවදුරක් ද ඊට අයත් බව අපේ කණ්ඩායමේ මූලික විමර්ශණ වලින් හෙලිවී තිබුණා. ලෙන් විහාරයේ බිත්තිවල (වහලේ) චිත්‍ර ඇඳ ඇත්තේ ගල මත ඇතිරූ මැටි ප්ලාස්ටරයක් මත. මේ චිත්‍ර නුවර යුගයට අයත්. ඒ චිත්‍ර වල 3-D හැඩ පෙන්වන්නේ රේඛා වලින්. සමහරක් තැන්වල ප්ලාස්ටරයේ උඩ ස්ථරය ගැලවිලා යටින් ස්ථරයක් මතුවෙලා තිබුණා. එහි තිබුණේ වෙනත් චිත්‍ර. ඒවා පොළොන්නරු යුගයට අයත් බවයි කියවුණේ. මේ වගේ ජාතික වස්තුවක් රැකගන්න ඉක්මනින් පියවර ගන්න ඕනා බව කොකියාම බැහැ. ලොකු හාමුදුරුවෝ එහි අවශ්‍යතාවය අපට පෙන්වා දෙන ගමන් කිව්වේ බුදුහාමුදුරුවෝ අනිත්‍යතාවය පෙන්වා දුන්නේ දඔලු විහාරය මගහැර නොවේ කියා.  

Tuesday, December 2, 2014

Are you a Big Shot ?


ලියන්න බොහෝ දේ තිබුනත් ඒකට ඉස්පාසුවක් තියෙන්න ඕනා. පසුගිය දවසක පාසලේ අපේ උසස් පෙළ කණ්ඩායමේ හමුවක් තිබුණා. එදා හැමදාම එන අයට වඩා වැඩියෙන් කිහිප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ අතරින් මට විශේෂ වුණේ වෙනදා හමුවලට නොඑන (අවම වශයෙන් මා ගිය ඒවට නොආ) අපේ නේවාසික සගයන් කිහිප දෙනෙකුගේ පැමිණීම. දශක කිහිපයකට පසු වුවත් ඔවුන් හුනා ගන්නට මට අපහසු වුණේ නැහැ. එහෙත් ඔවුන්ගෙන් නම් බළාපොරොත්තුවූ තරම් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මම ඇලා ගිය ඩෙනිමයි කොලපාට ඉරි කමිසයයි, ඒ වගේ රාත්‍රී සාදයකට ගැලපෙන්නේ නැතැයි ඔවුන් සිතුවාද මන්දා. ඒ හන්දා මම ඔවුන්ගෙන් ඈත්වී වෙනත් මිතුරු කැලකට සමීප වුණා. ටිකක් වැදීගෙන එනකොට ඒ දවස්වල බෝලයා නමින් හැින්වූ අපේ නේවාසික මිතුරා ඇවිත් නැවතත් මා නේවාසික මිතුරු පිරිස අතරට එක්කරගෙන ගියා. එහි හිටියා අපට වසරකින් වැඩිමල් අපේ සගයකුගේ සහෝදරයෙක්. මම ඇත්තටම ඔහුව එකපාරට ඇින්නේ නැහැ. ඒත් ඔහු මාව අුනාගත්තා විතරක් නෙමෙයි ඔහුහට මා ඒ දවස්වල ලියූ සටහනක ඔහුගේ නමට යටින් සරසවි පිවිසුම් පෙළ කියා ලියා තිබූ බව මතක් කළා. එතකොටලු ඇත්තටම ඹහුට තේරුණේ ඹහු ඉන්නේ උසස් පෙළ පන්තියේ කියලා. කොච්චර පරන මතකයක් ඹහු දරාගෙන ඉන්නවාද කියන එක මා පුදුමයට පත්කළා. විශේෂයෙන් අපේ වැඩිමල් අය්යලා අතර මම එතරම් ජනප්‍රිය චරිතයක් නොවීත්.   

මේ අතරතුරේ අපේ සංගමයේ ලේකම් සහෝදරයා ඇවිත් මා වැඩකරන තැන ආදිය ගැන වර්ණනවක් කළා. එයින් පසුව සියල්ල කනපිට පෙරළුනා වගෙයි. ඉන්පසු සියළු දෙනා මා සමග කතා කරන්නට බොන්නට උනන්දුවක් දැක්වූවා. ඒත් ඒ වෙනකොට මගේ උනන්දුව හීන වෙලා ගිහින්. සමහරක් යාළුවන් අතර පුංචි කාලේ තිබුණු සරළ සිත් කොහේ ගිහින්ද කියලා හිතුණා.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...