Monday, February 22, 2016

රයිගමින් එහාට

අද නවම් පොහොය. ගංගාරාමයේ නවම් පෙරහර ඊයෙත් සජීවි ලෙස රූපවාහිනියේ පෙන්වූවා. කැළණියේ පෙරහර ගැන අද ගිය වැඩසටහනකදී තෙල්මේ නැටුමේ රයිගම සම්ප්‍රදාය ගැන මහාචාර්‍ය මුදියන්සේ දිසානායක විස්තර කරනවා මම අහගෙන.
පෙරේදා අපි ගියා නාරගලට. රයිගම ගවේශනයේ කොටසක් හැටියට. කාලෙකට පස්සේ එයට සම්බන්ධ වන්න ඉඩ ලැබුණේ. එහි පදිංචි කරුණාතිලක මහත්තයා අපිට තොරතුරු දෙන්න ඉදිරිපත් වුණා. නාරගල හරහා තමයි කළුගග ගලා යන්නේ. අතීතයේ දී එහි පාළම් පාරුවක්  තිබුනලු. පාළමෙන් මෙහා ගම කදන. එහා ගම නාරගල (හොරණ සිට යනකොට) හා කළුගග දිගේ භාණ්ඩ ප්‍රවාහනයේ දී ඒ හරියේ තොටුපලවල් ද තිබුණලු. කළුගග තමයි ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ සිට හලාවත දක්වාම ඒ දිනවල දියෙන් (හැමිල්ටන් ඇළ ඹස්සේ) යන්න පුළුවන් කම තිබුනලු.
අපි සැලසුම් කලේ උදේ වරුවේ ඉක්මනින් නාරගල ඇවිදලා හවස් වරුවේ බෝධිනාගලට යන්න. බෝධිනාගල ප්‍රාග් ‍ඓතිහාසික බිමක්. දැනට එහි ආරන්‍ය සේනාසනයක් තියෙනවා. නාරගලින් පස්සේ කදන පහුකරන කොට එහි පන්සල දැකලා එහි ගියා. එහි තිබුණා වැඩ නිම නොකල ගල් පිළිමයක්. ඒක නිදි පිළිමයක්. අවුරුදු අනූවකට පමණ පෙර නිර්මාණයක් කියළා හිතන්න පුළුවන්. පොකුණුවිට ගලේ පන්සලේ ඇති නිදි පිළිමයට බොහෝ දුරට සමකාලීන බව කියන්න පුළුවන්. මට හිතෙන හැටියට මේ විශාල සෙල් පිළිම වලින් කියවෙන්නේ පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේ මේ ප්‍රදේශයේ පැවති සශ්‍රික වැවිලි ආර්ථිකය ගැනයි. රබර් තමයි මේ ප්‍රදේශයේ ප්‍රධාන වැවිල්ල. අපිට දවල් කෑම කදන පන්සලෙන්ම ලැබුණා.
හවස් වෙනවිට වැස්සක් එන ලකුණු අහස පෙන්වූ හන්දා අපට බෝධිනාගල යන අදහස කල් දමන්නට සිදු වුණා. බෝධිනාගලට යන්න නම් අපි ආයිත් හොරණට ඇවිත් ඉං.ගිරිය පාරේ යන්න ඕනා. ඊළගට ඇති ප්‍රාග් ‍ඓතිහාසික බිම් තමයි පාහියන්ගල සහ වනහාමිගේ ගල් ලෙන. මේ බිම් කළු ගග දිගේ පිහිටා තිබූ බවයි පෙනෙන්නේ. ඒ පිළිබදව තවත් වැදගත් හෝඩුවාවක් අපට ලැබුණා. ඒ ගැන පසුවට ලියන්නට පුළුවනි. ඒ කාලේ මේ ප්‍රදේශයේ විසිරිලා තියෙන කදුගැට සියල්ලකම පාහේ ප්‍රාග් ඓතිහාසික මානවයින් විසිරී ඉන්න ඇති. අපේ යොජිත කෞතුකාගාරය පටන් ගන්නේ ඒ විස්තර සමග. ඒ හන්දා මේ ජනාවාස ගැන මීට වඩා පැහැදිලි චිත්‍රයක් ඇති කර ගැනීම වැදගත්.

රයිගම ගවේෂණය කරන කණ්ඩායමට ඊයේ පෙරේදා ප්‍රවීන නළුවකු වන ජනක් ප්‍රේමලාල් මහතා හමුවී තියෙනවා. ගවේෂණයට අදාල වැදගත් තොරතරු කිහිපයක් ඹහුගෙන් ලැබී තිබුණා. දොඹගොඩ පැත්තේ තියෙයි කියන රජගහ කියන ස්ථානයේදීලු රයිගම් බණ්ඩාර රජුව අල්ලා ගත්තේ. මේ තොරතුරු ඓතිහාසික මූලාශ්‍රත් සමග ගලපන්නට ඹ්නා. ඹහු හදපු රජගහේ නාඩගම නාට්‍යයට වස්තු බීජය ආවෙත් එතනින්ලු. රෝහණ බැද්දගේ මහත්තයා හමුවෙන්න කියන එකත් ඹහු නිර්දේශ කරළා තිබුණා.         

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...