Wednesday, February 17, 2016

කන්ද උඩින් පණිවිඩයයි

මේ දවස් වල ඉන්දු ලංකා ගිවිසුම තමයි උණුසුම් මාතෘකාව. රාජකාරි මට්ටමෙන් එයට සම්බන්ධ වීමේදි නොයෙකුත් පැතිකඩ පෙනෙනවා. එක පැත්තක් තමයි මේක අත්සන් කරන්නේ ඉන්දියාවේ උවමනාවටයි කියන තර්කය. නැත්නම් මෙයට දින වකවානු දාගෙන හදිස්සි කරන්නේ ඇයි කියන එකයි නැගෙන ප්‍රශ්ණය. මේ වගේ ගිවිසුමකදි රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන මට්ටමෙන් මේවායේ කාලවකවානු ගැන යම් පූර්ව එකගතාවයන් ඇතිකර ගැනීම සාමාන්‍යයි. සමහරු කියන්නේ අපට නොවේ අපේ දරුවන් ගැන හිතලයි මෙයට විරුද්ධ වෙන්නේ කියා. රටේ Regulatory framework එක හරි හැටි හදා නොගෙන මේ වගේ ගිවිසුමකට යාම වැරදියි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒක ඇත්ත. ඒත් අපි දිගින් දිගටම බලාගෙන හිටියොත් අපිට ඉතුරු වෙන්නෙ අනික් අය විසිකරල නැත්නම් අතඇරල ගිය දේවල් විතරයි. විශාලම තර්කයක් තමයි මිළ අඩු ශ්‍රමය ගලාගෙන එයි සහ බාබර්ලට ටේලර්ල ඇතුළු වෘත්තිකයන්ට රස්සාවල් නැතිව යයි කියන එක. අපේ අය බටහිරට යන විදියටම දකුණු ආසියාවේ බොහෝ දෙනෙක්ට ලංකාව පාරාදීසියක් වෙයි කියනවා. මේ සම්බන්ධයෙන් වැඩ කරන කට්ටිය ඉන්දියන් ඒජන්තලා හැටියට නම්කර තියෙනවා.
මේ සතියේ ඉරිදා බලාගෙන හිටියත් සිහිනයකි රෑ වැඩසටහන තිබුනේ නැහැ. කලින් ලියුවා වගේ මට තෝරන්න ලැබුණා නම් මම තෝරන දෙවැනි ගීය මේ. ඉතාම සෙනෙහෙබර සිංහල දරු නැළවිලි ගී ගණනාවක් මගේ මතකයට එනවා. විශාරද නන්දා මාලිනියගේ චන්ද්‍ර මඩුළු යට සුරංගනාවෝ, විශාරද සුජාතා අත්තනායක ගයන පරසතුමල් චිත්‍රපටයේ එන ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ, රුක්මණි දේවිය ගැයූ අහසින් පොළවට චිත්‍රපටයේ එන දොයි දොයි දොයි දොයිය පුතා, වික්ටර් රත්නායකයන් ගයන සිරිමා බෝමුල මුණිදුන් වැඩ හිද දස මර සේනා දිනූ බෙලෙන්  ආදී මේ සියළු ගී අතරින් මව්පියන්ගේ දරු සෙනෙහස පිරී ඉතිරී යන ගීය කියා මා සලකන්නේ අරිසෙන් අහුබුදු ශූරින් ලියු ප්‍රවීන ගායිකා ලතා වල්පොල ගයන සංදේශය චිත්‍රපටයේ එන පහත ඇති ගීයයි. දන්නා තරමින් සංගීතය සුනිල් ශාන්ත ශූරීන්ගේ. මා හිතන්නේ මෙය මුළු ලෝකෙම තියෙන අසම සම දරු නැළවිලි ගීයක් හැටියට. මට පෙනෙන්නේ එය ලියා ඇත්තේ තාත්තා කෙනෙකුගේ ඇසින් බවයි.

සුදට සුදේ වළාකුළයි නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පනිවිඩයයි පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

සුරංගනාවනුයි වළාකුලු ඔසවා ගෙන එන්නේ
හදමාමයි සිනා සිසී රිදී පාන අල්ලන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

හදපානේ මද සුළගයි එපනිවිඩය කියවන්නේ
අහසේ රන්තරු අකුරින් දෙවියන් එය ලියවන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

තව මූනකි පුතුගෙ වගේ කන්දේ ඒ බැබලෙන්නේ
ඒ මූනයි මේ මූනයි තව ටිකකින් සිප ගන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...