Thursday, March 29, 2018

රා සේ පි


පුංචි කාලේ තාත්තට එන ලියුම් වල කවරයේ රා.සේ.පි. කියළා මුද්‍රණය කරලා තිබුණු එක අපට ඒ ලියුම ගැන සහ තාත්තා කරන වැඩය ගැන යම් ගෞරවයක් මුසු හැඟීමක් ඇති වුණේ. ඒත් එහි තේරුම නියමාකාරයෙන් තේරුණේ පසු කාලයක. අපේ දෙව්පියන් ද රජයේ සේවකයන් වූ නිසාත් දන්නා කියන නෑදෑ හිතමිතුරු පවුල් වල අයත් අතර බහුතරය රජයේ සේවකයින් වූ නිසාත් අපේ අනාගත රැකියාව ලෙස රජයේ සේවය තෝරා ගැනීමට අපට නැඹුරුතාවයක් ඇතිවූ බව සිතන්න පුළුවන්. ඒත් ඇත්ත කාරණය නම් එහෙම අරමුණක් කවදාවත් නොතිබූ බවයි. හැබැයි අන්තිමේදි නතර වුණේ රජයේ සේවයෙම තමයි. මම පෞද්ගලික අංශයේ සම්මුඛ පරීක්ෂණ ගණනාවකට ගියත් ඒවාට තේරුණේ නැහැ. ඒ අතුරතුරේ තමයි රජයේ තරග විභාග වලට ලියන්න අවස්ථාව ලැබුණේ.
අපේ රටේ  රජයේ   සේවය ලෝකයේම විශාලම රජයේ සේවයක් හැටියට කුප්‍රසිද්ධයි. ඒ කියන්නේ ඒක පුද්ගල රජයේ සේවක අනුපාතය ඉහලම නැත්නම් වඩාත් ඉහළ ඇති රටක් හැටියට. ඒ වගේම රාජකාරි වෙලාව පැහර හරින, වැඩ හරියට නොකරන, පගා ගහන, වැඩ බැරි සහ තවත් බොහෝ විශේෂණ පද වලින් අපේ රටේ රජයේ සේවකයන් හඳුන්වනවා. ඒවා අඩු වැඩි වශයෙන් වැරදි නැතුවත් ඇති. අවුරුදු තුනක් පමණ පරිපාලන කටයුතු වලට පමණක් සීමාවූ රජකාරියක් කරන කාලයේ අපේ කාර්යාලයේ සේවකයන් පැය අටෙන් කරන වැඩ ගැන මම සෑහීමට පත් වුනේ නැහැ. එත් එක් එක්කෙනා ගැන වෙන වෙනම සිතුවහම ප්‍රශ්ණයේ මුල් සොයා ගන්න පුළුවන් වුණා. උදාහරනයක් ලෙස මැදිවියේ හිටපු එක් ලිපිකරු මහතෙක් එන්නේ දුම්රියෙන් දවසට කිලෝමීටර 150 කිට්ටු ගානක් එහා මෙහා යන්න වෙනවා එයාට. හිමිදිරි පාන්දර නැගිටලා බත් උයලා බැඳගෙන එන්නේ. උදේ පානදරින් බත් කන්න බැරි හන්දා උදේටත් මුලක් බැඳගෙන එනවා. දුම්රිය පමා වුණේ නැත්නම් කන්තෝරුවට වෙලාවට ඇවිත් කැන්ටිමට ගිහින් බත්මුල කාලා ප්ලේන්ටියකුත් බීලා නැවත එනකොට විනාඩි 30-40 ක් ගිහින්. ඊට පස්සේ ඇවිත් පයිල් එකක් ඇරලා වැඩ පටන් අරන් ඒකේ විෂයට අනුගතවෙනකොට දවල් කෑම වෙලාව ලංවෙලා. දවල්ට කෑම වෙලවත් අර විදිහමයි. ගෙදර යන කොට රෑ වන හන්දා ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු හෝ දරුවන්ගේ බඩු බාහිරාදිය ගන්න සතොසට හෝ තවත් තැන් වලට හවස් වරුවේ යන්න වෙනවා. මොකද ගෙදර යන කොට ඒ පලාතේ කඩ වහලා. මේ කිව්වේ ටිකයි තවත් බොහෝ දේවල් අස්සේ තමයි මේ රාජකාරිය කෙරෙන්නේ.  ඒක සාධාරනීකරණය කරන්න යනවා නෙමෙයි. ඒත් මම ඒගොල්ලන්ට තදින් දොස් කියන එක පසුව නැවැත්වූවා. ඊට වඩා ඒ දේවල් කලමණාකරනය කරගන්න පොඩි හරි උදව්වක් කලාම ඒගොල්ලන්ගේ කාර්යසාධනය වැඩිවෙන බව පෙනුනා.
රජයේ සේවකයෙක්වීම වාසියක් ද අවාසියක්ද වාසනාවක්ද නැත්නම් අවාසනාවක්ද කියන්න මම දන්නේ නැහැ. මට නම් සාමන්‍යෙයන් සංචාරය කරන්න නොහැකි වන රටවල් ගණනාවකට යන්න හැකිවීමම වාසනාවක්. අනෙක් පැත්තෙන් සතියකට මට යාළු මිත්‍රාදින්ගෙන් එන ඉල්ලීම් ගාන ගැන මට කල්පනා වුනේ. එයින් සමහරක් කරන්න පුළුවන් ඒවා සමහරක් කරන්න බැරි ඒවා. එකක්වත් මගේ රාජකාරී සීමාව තුල තියෙන ඒවා නෙවෙයි. කවුරුහරි සහෝදර නිලධාරියෙකුට නැත්නම් ප්‍රධානියෙකුට කියලා කරගන්න තියෙන දේවල්. ඒ විදිහට හැමදෙනාටම ඉල්ලීම් එනවාද දන්නේ නැහැ. සමහරවිට මට මතක නැහැ. එකම නිලධාරියෙකුට එක වගේ ඉල්ලීම් සතියකට දෙපාරක් කරන එක අමාරු වැඩක්. අප්‍රසන්න වැඩක්. ඒත් ඉල්ලීම කරන කෙනාට ඒක තේරෙන්නේ නැතිව ඇති. මේක වාසනාවක්ද අවාසනාවක්ද මම දන්නේ නැහැ. ඒත් තව කොනෙකුට අසාධාරනයක් වන විදිහේ උදව්වක් නම් මම කරන්න උත්සාහ ගන්නේ නැහැ. එක් පැත්තකින් ඒ වගේ උදව් නෙකලාම බැනුම් අහන්න වෙනවා වගේම ඒ උදව්ව නිසා තව පාර්ශවයකට සිදුවන අසාධාරණයක් නිසා අහන්න වන බැනුම් බරපතලයි. සමාජය දියුණු වන විට නැත්නම් ආයතනීකරනය වන විට මේවගේ අවිධිමත් ඉල්ලීම් නැතිව යනවා ඇති.

මට මතක්වුනේ රුසියාවේ ඉන්න කාලේ මගේ මිතුරු මිතුරියන්ට සැතපුම් තුන්හාරසීයක් හෝ ඊටත් එහා ඉන්න දෙමව්පියන් නගරාන්තර දුම්රිය වල ගාඩ්වරු (බොහෝවිට වරියන්) අතේ එවන පාර්සල්. එම පාර්සල් තැපෑලෙනුත් ඒ විදිහමටම එවන්න පුළුවන් වුනත් මේ ක්‍රමය ඉක්මන් හන්දා කෑම වගේ දේවල් එවන්න පුළුවන් වීම වාසියක්. අනෙක් පැත්තෙන් මේක ගනුදෙනුව සිදුවන අය එකිනෙකා දන්නා හෝ ඒ වෙලාවේ අඳුරාගත් අය නිසා ඒකේ යම් හෘදයාංගම බවක් තියෙනවා. තුන්වන වාසිය තමයි පාර්සලයට උත්තර වශයෙන් හැරෙන තැපෑලෙන් පාර්සලයක් ලැබීමේ වාසියත් මේ ක්‍රමයේ තියෙනවා. ඒ වුනාට මම හිතන්නේ මේ ක්‍රමය යුරෝපයේ ඇත්තේ රුසියාවේ විතර වෙන්න ඇති. 

Saturday, March 3, 2018

මැකී ගිය මං


බොහොම කාලෙකට පස්සේ රයිගම් කෝරලයේ උතුරු සීමාවට යන්න ලැබුණා. ඒ කියන්නේ ඉංගිරිය සහ හඳපාන්ගොඩට. හඳපාන්ගොඩ ගනේඋඩ පන්සල ප්‍රෙද්ශයේ ඇති පැරණි විහාරස්ථානයක්. එහි විහාරගෙයි නුවර යුගයේ චිත්‍ර හොඳින් ආරක්ෂා වී තියෙනවා. පන්සලේ ගොඩනැගිලි රාශියක් තිබුනත් හාමුදරුවන් කිහිපදෙනෙක් පමණයි හිටියේ. පිරිවෙන් ගුරුවරයෙකු වූ පොඩිහාමුදුරුවන් පන්සලේ සහ ගමේ ඉතිහාසය පිළිබඳව බොහෝ කරුණු අපට කියා දුන්නා. පන්සලේ ඇති බණමඩුවේ ඇති තොරණේ ඉංග්‍රීසි රාජ ලාංඡනය ඇත්තේ විහාරයට ඉඩම් වෙන්කරදීමෙදී ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් කරපු මෙහෙයට කෘතගුන දැක්වීමක් හැටියට කියළා හාමුදුරුවන් කිව්වේ. ඒ කාලේ රත්නපුරයේ සිට කොළඹට ගැල් වලින් භාණ්ඩ ප්‍රවාහනය කරපු පාර වැටී ඇත්තේ මේ පන්සල අසලින්. ඒ කියන්නේ අද ඇති ඉංගිරිය මීපේ පාර. අවට ඇති සරුසාර තේ වගාවන් වගේම ඒ කාලේ දැනට වඩා වැඩිපුර තිබුණ රබර් වගාවෙනුත් පන්සල පෝෂණය වුණු ලකුණු දකින්නට තිබුණා. සෑහෙන්න තරම් පරන දෙමහල් ආවස ගෙයත් ඒයට සාක්ෂි දරනවා ඇති. මීට අමතරව ප්‍රෙද්ශයේ ඓතිහාසික වැදගත්කම වශයෙන් ජනප්‍රවාද වල එන රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ සඳවතී නම් බිසව සිටියා යැයි සැලකෙන මාලිගය තිබූ ස්ථානය හැටියට සැලකෙන මාලිගාතැන්න හඳුන්වන්ට පුළුවන් බව පොඩිහාමුදුරුවන් කිව්වා. අද එතන ඇත්තේ පොකුණක නටඹුන් පමණක් බවයි දැනගන්නට ලැබුනේ.

ආපසු එන ගමන වැටී තිබුනේ හඳපාන්ගොඩ - පෝරුවදණ්ඩ මාර්ගයෙන්. මේ අවට ඇති හැම ගමක්ම පාහේ විශේෂයෙන් රබර් වගාව හරහා ඇති වුණු අතීත සශ්‍රික කාලයක් පසුකර ආගමන සිහිගන්වන සලකුනු වලින් අනූනයි. ඒ එන අතරේ පාරේ වංගුවක් අසල කඳුගැටයක් උඩ ඇති පාසලට පාරේ යන ඕනම කෙනෙකුගේ ඇහැ යනවා. ඒ පාසලේ නම මාපුටුගල මහා විද්‍යාලය. මගේ මතකය නිවැරදි නම් 1960 ගණන්වල අග භාගයේදී අපේ තාත්තා මේ විදුහලේ ඉගැන්වීම් කළා. ඒ කාලයේ මෙය ප්‍රෙද්ශයේ ඉතා කීර්තිමත් පාසලක්. කලා අංශයෙන් පමනක් එවකට උසස්පෙළ තිබූ බවයි පෙනෙන්නේ. වැදගත්ම දේ තමයි ඒ කාලේ පංතිවල සිටි ශිෂ්‍යයින්ගෙන් බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීම. මා දන්නා තරමින් අපේ තාත්තා ඒ දිනවල ඉගැන්වූවේ ආර්ථික විද්‍යා විෂයය. පසුකාලයක තාත්තාගෙන් ඒ කාලේ උගෙන ගත් ගෝලයින් කිහිපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා.

මේ සියලු කාරනා හන්දා පාසලට ගොඩවදින්න ඕනා කියලා නිකමට හිතුනා. පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල අර්ධකවාකාර හෝ බූමරංග හැඩයකින් යුක්ත යැයි කිව්වොත් නිවැරදියි. එහෙම වෙලා තියෙන්නේ පාසල පිහිටි ස්ථානයේ භූමි නිර්මානයට හොඳින් ගැලපෙන ලෙසයි. එහෙම පාසල් ගොඩනැගිලි අපි දකින්නේ ඉතා කළාතුරකින්. බොහෝවිට කරන්නේ ස්වභාවික භූමිනිර්මාණය නොසලකා type plan එකක් ගෙනල්ලා කන්ද කපා බුල්ඩොසර් කර ගොඩනැගිලි හදන එකයි. අර්ධකවාකාර ගොඩනැගිල්ලේ මැද කාර්යාල කාමරයක් තියෙනවා. ඒ විදුහල්පති කාර්යාලය වන්න ඕනා. දෙපැත්තේ පන්ති කාමර. මේ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව ඒ මට්ටමෙන්ම තවත් ගොඩනැගිල්ලක් සහ ඊට තරමක් පහලින් තවත් ගොඩනැගිල්ලක් තියෙනවා. සේරටම ඉහලින් බුදුමැදුර. පාසලට ජල සම්පාදනය කරන්නේ ගුරුත්ව ජල පද්ධතියකින්.  
 

Thursday, March 1, 2018

වසර 37000 ක් ඈතට


අද මැදින් පොහොය. ගෙදරට වෙලා ඉන්න හිතා ගෙන හිටියත් උදේ මිත්‍ර යෙක් කතා කර ඇහුවේ දවසේ සැලැස්ම මොකක්ද කියා. මම වගේම සතියේ දවස් පහ එක ගෙදරකත් සති අන්තය තව ගෙදරකත් ඉන්න මගේ මිත්‍රයාගේ ගෙදර සාමාජිකයිනුත් නිවාඩු දවස් හන්දා කොළඹට ඇවිත් තිබුණා. සෑහෙන කාලයකට ඉස්සර අපි පවුලේ සියළු දෙනාත් එක්ක අපේ හිතමිත්‍රයාගේ ගම්පල තිබෙන නිවසට ගොස් දවසක් දෙකක් ගත කර ආ බව මතකයි. එතකොට අපේ දරුවන් පොඩියි. දැන් සියල්ලන්ගේ කරදඩු උස්මහත් වෙලා. අපේ යාළුකම ගැන කිව්වොත් එවර අපි නුවර ගියේ රජයේ නිවාඩු නිකේතනයක් වෙන් කරගෙන. ඒ පේරාදෙනියේ. ඒත් අපටඑක රැයක් වත් එහි ඉන්න අපේ මිත්‍රයා ඉඩ දුන්නේ නැහැ. අපට එය අවලංගු කරන්න සිදුවුණා.

අපි බොහෝ දෙනෙක් තමන් ඉන්න ප්‍ර දේශයෙන් ඈත තියෙන ප්‍රසිද්ධ ස්ථාන බොහොමයක් බලන්න ගිහින් තිබුනත් තමන් අවට තියෙන වැදගත් ස්ථාන ගැන සැළකිල්ලක් දක්වන්නේ නැති එක සාමාන්‍ය දෙයක්. පාහියන්ගල කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ සනාථ කරපු ප්‍රාග් ඓතිහාසික බිම. එහෙත් මෙතෙක් එහි යන්න ලැබුණේ නැහැ. ඒ හන්දා එහි යන්නට අපි තීරණය කළා. අධිවේගී මාර්ගයෙන් කොළඹ සිට මතුගමට පැයක් වගේ කාලයකින් ලඟා වන්න පුළුවන්. ඒ අනුව අපි දෙගොල්ලන් දොඩංගොඩදී හමුවෙලා මතුගමට ගියා. දවල් 12 ට කිට්ටු හන්දා මතුගමින් දවල්ට කෑම කන්න නැවැත්තුවත් පෝය හන්දා අපට හරිහමන් තැනක් හමුවුණේ නැහැ. කොහොම හරි තිබුණු හැටියට බඩකට පුරෝගෙන අගලවත්ත හරහා බුලත්සිංහලට ඇවිත් එතනින් කිලෝමීටර හතක් දුරින් ඇති පාහියන්ගලට ලඟා වුණා. එතන කැනීම් කරපු වලවල් විතරයි දැන් දකින්නට පුළුවන්. ගුහා හිතනවාට වඩා විශාලයි. එහි ඈතම කෙළවරට ගොස් එලිය බැළු විටයි එහි විශාලතිවය නියමාකාරයෙන් පෙනෙන්නේ. එය පවුල් ගණනාවකටම එකට ඉන්න තරම් විශාලයි. ගුහාව පිහිටා තියෙන්නේ ගල් පර්වතයක සෑහෙන ඉහලට වන්නට. ඒ කාලේ හිටපු වනසතුන් ආදීන්ගෙන් ආරක්ෂා වන්න එය හේතු වන්න ඇති. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවසේ මෙහි පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුව මෙහි ආ බව කිවූවත් එය සනාථ කරන්නට සාධක කිසිවක් නැති බව සඳහන්. මෙහි උස මීටර හාරසීයක් බව එහි සඳහන්වී ඇතත් එය සොයා බලන්න අවශ්‍ය කරුණක්. කොහොම වුනත් අපි වගේම මිනිසුන් කොට්ඨාශයක් අවුරුදු 37000 කට එහා කාලයේදී මෙහි ජීවත් වී තිබෙනවා. ඹවුන් කළ කී දෑ ගැන දැනට සොයා ගෙන ඇති කරුණු හරහා මෙහි එන අය දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය දෙයක් වුවත් කාටවත් එහෙම උවමනාවක් පහල වෙලා නැහැ.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...