Monday, July 30, 2018

මඩ හෝදා ගමු



මම උසස් අධ්‍යාපනය ලැබුවේ කෘෂිකර්ම විෂයෙන්. ඒ හන්දා කෘෂිකර්මය ගැන යම් දැනීමක් ඇති කියලා කියන්න පුළුවන්. කොහොම හරි අපේ ගෙදර තුන් දෙනක්ම උසස් අධ්‍යාපනය ලැබුයේ කෘෂිකර්ම විෂය ධාරාවෙන්. කෘෂිකර්මෙයන්ම රැකියාවත් කරන්න මුලින්ම උත්සාහ කළත් ඒය හරිගියේ නැහැ. බොහෝ වෙලාවට විෂය දැනුම  කෙසේ වෙතත් සුදුසුකම් වල නොගැලපීමක් තිබුණා. ඒක්කෝ වැඩියි නැත්නම් මදි.
පුංචි කාලේ ඉඳන් කෘෂිකර්මය අපට දුර වුනේ නැහැ. තාත්තා හැමදාම වගේ කුඹුරු වගාවක් කළා. ඊට අමතරව අම්මලාගේ ගමේ හේන් සහ උඩරට එළවලු වගාව ජයටම කෙරුනා. මේ අතරතුරේ අපි මල් පාත්තියක් ඉඳලා හිටලා එළවලු පාත්තියක් හැදුවා මතකයි. මේ වෙලාවේ මතක් වුණේ පිටරට ගිය සගයෙකුගේ අත්දැකීමක්. ඒගොල්ලන් ගිය පුහුණුවේ විවිධ රටවලින් ආ අය සිටි අතර ලෝකයේ රස්සාවල් වෙනස්වෙමින් යන හැටි සම්බන්ධ පාඩමකදී ගුරුවරයා කිව්වලු තමන්ගේ දෙමව්පියන් ගොවිතැනේ සිටි අය පැත්තකට අයින් වෙන්න කියා 30ක් විතර හිටපු කණ්ඩායමේ දෙතුන් දෙනෙක් අයින් වුනාලු. ඊළඟට සීයා හෝ ආච්චී. එතකොට දහයක් පහලොවක් විතර අයින් වුනාලු. ඹය විදිහට පරම්පරා හතරක් පමණ පස්සට යන විට කවුරුත් ඉතුරුවී නැහැ. ඒ කියන්නේ මේක දියුණු රටවලුත් ඇතුළුව ලෝකෙම ධර්මතාවයක්. තවදුරටත් කෘෂිකර්මය සපයන රැකියා ප්‍රමාණය 26% දක්වා දැන් අඩුවී තිබෙනවා.  දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කෘෂිතර්මය දැන් පෙන්වන්නේ 6.9% ක් (කර්මාන්ත 26.8% සහ සේවා 56.8% ඉතිරිය බදු)

පසු කාලෙක ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය නිලධාරියෙක් විදියට අවුරුද්දක් වැඩ කරද්දි උගෙන ගත් දේවල් යම් තරමකට හෝ යොදවන්න පුළුවන් වුණා. එහෙත් පසුව ආපු රස්සාව (දැන් ඉන්න) කෘෂිකර්මයෙන් තරමක් දුරයි. කෘෂිකර්මයට අදාල සේවා ස්ථානයක වැඩ කරන්න පුළුවන් කමක් තිබුනත් එයට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ අතර තුරේ කෘෂිකර්ම සේවයට බැඳෙන විභාගය සමත් වුනත් ඒ වන විට අළුත් රස්සාවේ යම් දුරක් ගොස් තිබූ හන්දා එය වෙනස් කරන්න හිතුවේ නැහැ.

ඊයේ පෙරේදා අපේ ගෙවත්තේ මිරිස් පාත්තියක් හිටවුවා. සතියේ දින වල වතුර දාන්න ක්‍රමයක් නැති හන්දා ඒක වේලිලා ගියා. ඒකට පොහොරක් හැටියට වේලුනු ගොම දාන්න යන කොට ඒක වැලැක්වූයේ ගමේ ඉන්න උදව්වට එන වැඩිහිටියෙක්. ඒ හරහා කොළ කොඩවීමේ රෝගය ඇති වන හන්දා මිරිස්වලට ගොම දාන්න එපා කියළා ඹහු කිව්වා. ටිකක් කල්පනා කරන කොට ඒක හරි කියළා හිතුන හන්දා ගොම දැම්මේ නැහැ. ඊළඟට හදපු බණ්ඩක්කා පාත්තියට වසුනක් ලෙස ග්ලිඩිසීරියා කොල දමන්න යන කොට ආයිමත් අර වැඩිහිටියා එපා කිව්වා. ඒ කොල යට එකතු වන පළගැටියන් පුංචි පැල කා දමන හන්දා. ඒත් වසුනක් විදිහට පිදුරු දානවාට ඹහු විරුද්ධ වුණේ නැහැ.

ආපහු මුල් කාරනයට ආවොත් කෘෂිකර්මය කරපු බොහෝ දෙනෙක් අපේ කාර්යාල වලත් ඉන්නවා. ඒ කියන්නේ උසස් අධ්‍යාපනය හැටියට කෘෂිකර්මය කරළා වෙනත් ක්ෂේත්‍ර වල රැකියා කරන අය බොහෝ ගණනක් ඉන්නවා. ඒ කාරනය දැන දැනත් තව තවත් වැඩි වැඩියෙන් උසස් අධ්‍යාපන අවස්ථා මේ ක්ෂේත්‍රෙය් වැඩි කරනවා දකින්නට පුළුවන්. ඒක හරියට අපේ රටේ රජයේ සේවය වගේ. දැනටත් ඉන්න ගාන වැඩි බව දැන දැනත් අළුත් කාඩර් හදනවා. ඒක එක පැත්තකින් සුබසාධන ක්‍රමයක් හැටියටයි පිළිගන්නේ. ඒක ඉතාම වැරදි සුභසාධන ක්‍රමයක් බව හිතන්න හේතු ඹ්නාතරම් තියෙනවා. ඒත් මේකට බොහෝ දෙනා කැමතියි.

Saturday, July 28, 2018

නවාතැනින් ඇය යනවා



පසුගිය ඉරිදා අපි හොරණ කළුතර නැත්නම් හොරණ මතුගම පාරේ බැල්ලපිටියට එහායින් යාලගල හන්දියට කිට්ටුවෙන් තියෙන වැලිකැටැල්ල පන්සලට ගියා. ඒ පන්සලට අවුරුදු කිහිපයකට පෙර එක වරක් ගියේ එහි විහාරගෙයි ඇති නුවර යුගයට අයත් බිතුසිතුවම් රෙකෝඩ් කරගන්න. මෙවර එහි ගියේ අසල ඇති රෙමුණ වැවේ පැලසිටුවීමේ ව්‍යාපාරයකට පැමිණි තරුණ පිරිසකට සහය වන්නට. මීට පෙර රෙමුණ වැවට මම ගිහිනි තිබුණේ නැහැ. රයිගම වටා ඇති වැව් කිහිපය ඇරුණහම මේ ප්‍රෙද්ශයේ ඇති විශාලම වැව හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. පන්සලේ ලොකු හාමුදුරුවන් සමග සෑහෙන වෙලාවක් කතා කරන්න ඉඩ ලැබුණා. අපේ තාත්තා පන්සලේ හිටපු නායක හාමුදුරුවන්ගේ කළ්‍යාණ මිත්‍රයකුව සිටි බවත් දැනගන්නට හැකිවුණා. 1988 අවුරුද්දේ දී ඒ හාමුදරුවන්ට සංඝනායක පදවියක් ලැබූ අවස්ථාවේ පළකර ඇති සඟරාවේ තාත්තාගේ ලිපියක් පලවී තිබුණා.
එහිදී තවදුරටත් දැනගන්න ලැබුණේ වැව ආශ්‍රිතව අයියනායක දේවාලයක්ද තිබෙන බවයි. සාමාන්‍යෙයන් අයියනායක දේවාල වියළි කලාපයේ වැව් ආශ්‍රිතව ඇති අනිවාර්ය අංගයක්. ඒ අනුව මේ වැව අනුරාධපුර යුගය දක්වා දිවෙන අතීතයක් ඇති එකක් යැයි අනුමාන කරන්නට පුළුවන්. වැව වටේටම ඇත්තේ කඳු පන්තියක්. වැව් කණ්ඩියේ පඳුරු ආදිය වැවී තිබුණත් අවට පරිසරය ඉතා අලංකාරයි.
මේ තරුණ කණ්ඩායම කුඹුක්, මී යන ගස් වර්ග තමයි සිටවූයේ. තමන්ගේ නිවාඩු දිනයක්ද කැප කරගෙන මුදල් පවා අතින් වියදම් කරගෙන මේ කරන වැඩේ හොඳයි. ගමේ තරුණයින් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක්ද මෙයට සහභාගී වුණා. මේ වැව අසලට විවිධ පැති වලින් තරුණ කණ්ඩායම් එන බව පෙනෙන්න තිබුණා. එක කණ්ඩායමක් ඇවිත් තිබුණේ පරිසරය ආශ්‍රිතව ඡායාරූප ගන්නට. අනෙක් කණ්ඩායම විනොදයට. මෙහෙම එන සමහර කණ්ඩායම් විසින් ඉතිරි කරගොස් තිබූ බියර් කෑන්, අරක්කු බෝතල් සහ පොලිතීන් අවට පරිසරයේ දකින්නට පුළුවන්.
අපේ පාසල් සහ නේවාසිකාගාර මිත්‍රයකු ද වන ප්‍රවීන ගීත රචකයකු වන ධම්මික බණ්ඩාර සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට අවස්ථාව ලැබුණා. ඔහු ගේ ඉතා ජනප්‍රිය වූ ගීතය තමයි හන්තානට පායන හඳ. පේරාදෙනිය හා බැඳුනු ගීත බොහොමයක් තියෙනවා. ප්‍රෙමකීර්ති ලියපු මේ නගරයත්, අමරදේවයන්ගේ  හන්තානේ කඳු මුදුන සිසාරා ඉතා ජනප්‍රියයි. ඒ අතරින් ධම්මිකගේ ගීතය අපූර්වත්වයකින්  යුතුයි කියන්න පුළුවන්. මේ ගැන හිතනකොට දැනට ඇහෙන්නේ නැති සින්දුවක් මතක් වුණා. ඒ තමයි නවාතැනින් ඇය යනවා වරම් ලබා සරසවියක. ඒකේ තේමාවත් බොහෝ දුරට ලඟයි.


Monday, July 16, 2018

මල්සර දුනුවර ළමැද හොවාලා....


බෙහෝ දෙනෙකුට අමතකවී ගිය අපේ ගීත රචකයෙක් තමයි ඔගස්ටස් විනයාගරත්න. විශේෂයෙන් සිංහල ච්ත්‍රපට ගීත ඉතිහාසයේ අළුත් පිටුවක් පෙරළු ගීත රචකයෙක් ලෙස ඔහු හැඳින්වීම නිවැරදි යැයි කියා හිතෙනවා. 70 දශකයේ ජනප්‍රිය වූ මැද මාවතේ චිත්‍රපට වල ඇතුලත් වුණු නැවුම් ගීත ඔහුගේ නිර්මාණයන්. එම ගීත මගින් ඒ චිත්‍රපට වල හැඩයටද සෑහෙන බලපෑමක් කළා. සිංදු 12-15 ක් තිබුණු තත්ත්වයෙන් වෙනස්වීමත්, පාටි හෝ නැටුම් අවස්ථා ඔබ්බවා සිංදු එක් කිරීමත් වෙනස් වුනේ මේ හරහා. අන්තර්ගතය ගත්තත් අවස්ථා සම්බන්ධ වලින් ඉවත්වී කතා තේමාව ආමන්ත්‍රණය කරන ගීත ප්‍රධාන වශයෙන් එක්වුණේ මේ කාලේ.

මේ ගීත වලට උදාහරන ලෙස ගඟ අද්දර චිත්‍රපටයේ විජය කුමාරතුංග ගායකයකු ලෙස දොරට වඩින ගීතය වූ “ගඟ අද්දර මා සහ “රන් ටිකිරි සිනා ගීත, අහසින් පොළවට හි “උපුල් නුවන් විදහා , සීතා දේවි චිත්‍රපටයේ “නිම් හිම් සෙව්වා  අපරාධය හා දඩුවම චිත්‍රපටයේ මිහිරෙන් මා දිනු බාල ලදුන්වැනි ගීත හඳුන්වන්න පුළුවන්.  

අද දිනයේ දැවෙන මාතෘකාවකට අවොත්, තෙල් මිල ආණ්ඩුව විසින් විශාල වශයෙන් - ඒ කියන්නේ පෙට්රල් ලීටරය රුපියල් 160 ගානකට තිබුණු එක 117 අඩු කරලා ටික කාලයකට පස්සේ 137 ට වැඩි කලාම ඇතිවුනේ විශාල ආන්දෝලනයක්. ඒක දෙගුන තුන්ගුනයත් වුනේ දවස් කිහිපයකින් එය 147 ට වැඩි වුනාම. මේක තවත් විහිලුවක් ගානට ගියේ ඒක ආයිත් 137 ට අඩු කරන්න උත්සාහ කරළා නැවත තීරනය වෙනස් කිරීම නිසා. ඩීසල් හා පෙට්රල් මිල එක් වරම වැඩි කළාම ඇති වන ප්‍රථිඵල අතර මහජනතාවට බලපාන ප්‍රධාන ප්‍රශ්න වන්නේ බස් ගාස්තු වැඩිවීම, පාසල් ළමුන්ගේ වෑන් ගාස්තු වැඩිවීම, ඩීසල් යොදාගෙන ශක්තිය නිපදවා කෙරෙන අනෙකුත් සේවා වල මිලත් ඉහල යනවා. ඉන්ධන ආනයනය කරන රටක් හැටියට අපේ ඉන්ධන මිල සාපේක්ෂව ඉහල (ආණ්ඩුවේ බදු ද ඇතුලත්ව) මට්ටමක පැවැතීමත් හදිසි මිළ උච්චාවචන සිදුවීමත් දිහා සමාජය බලන්නේ රජයේ නොහැකියාවක් විදියට. දියුණු ඉහළ ආදායම් ලබන රටකට වඩා මේ ප්‍රශ්ණය දිහා ටිකක් වෙනස් විදිහකට බලන්න අවශ්‍යයි. Cross subsidy කරළා හෝ සමාන ක්‍රමවේදයකින් මිළ යම් ස්ථාවර තත්ත්වයක තියා ගැනීම අවශ්‍යයි. රජයක් හැටියට මහජනතාවලේ අප්‍රසාදයට පත් වන්නේ මේ විදිහට එදිනෙදා මිල වෙනස් කළාම. එක පාරටම විශාල ගණනකින් මිල වැඩි කර හෝ සෑහෙන කාලයක් එසේ පවත්වා ගැනීමෙන් අඩුවෙන් බැනුම් අහගන්න පුළුවන්. වෙනත් මාතෘකා කරපියට ආවාම තෙල් මිල ඉක්මනින් අමතකවී යන හන්දා.  

Monday, July 2, 2018

සංහිඳියාව


අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සමග සෑහෙන වෙලාවක් කත කරන්න ලැබුණා. මෑතදී මම ගිය මිල්ලනියේ යොජිත කර්මාන්ත කලාපය ගැනත් උන්වහන්සේ විමසුවා. ඇත්ත වශයෙන්ම මම මිල්ලනියේ ඒ පැත්තට මීට කලින් ගිහින් නැහැ. ඉස්සර පානදුරයේ හො බණ්ඩාරගම සිට මානාන කියලා බස් එකක් වැඩ කළා. දැන් එය වැඩ කරන්නේ නැහැ. අපි මිල්ලනියට ගියේ ඒ මානාන පාරේ. ඉතාම අබලන් වූ පාරවල් සහ පාලම් බෝක්කු තමයි දක්නට ලැබුණේ. බොහෝ කාලයකින් ඒ පැත්තට සංවර්ධනයක් වී නැති බවයි පෙනුනේ. රබර් අක්කර දෙසීයයක් පමන එළිකර වුවත් කර්මාන්ත කලාපය මගින් ප්‍රෙද්ශයට සංවර්ධනයක් ලැබේවි. ප්‍රධානම දේ තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් අන්තර් හුවමාරුවක් ලැබීම. එමගින් මෙහි ඉඩම් වටිනාකම පවා දැන් සිටම වැඩි වන්නට පටන් අරන්. ඉස්සර කාලයට වඩා මිල්ලනියට සිදුවී ඇති ප්‍රධාන වෙනස නම් බණ්ඩාරගමින් කැඩිලා නව ප්‍රෙද්ශීය ලේකම් කාර්යාලයක් ලැබීම.

මීලඟට හාමුදුරුවන් කතා කළේ ජාතීන් අතර සංහිදියාව ගැන. ඒ සම්බන්ධ උදාහරණ දෙකක් හාමුදරුවන් කිව්වා. එකක් තමයි උන්වහන්සේ අනුරාධපුරයේ පාසලක උගන්වන්නට අළුතින් ගියහම වුනු සිද්ධියක්. පාසලේ මුල් ගුරුවරයා සහ තවත් ගුරුවරියක් තතෝලික අයයි. ඒත් බෞද්ධ කිසි කෙනෙක් හාමුදුරුවන් සමග කතා කරන්නට හෝ ඇවිත් නැහැ. අර ගුරුවරිය පමණක් උන්වහන්සේව සමීපව ඇසුරු කර තියෙනවා. කොටින් කිව්වොත් හැමදාම උදේට හාමුදුරුවන්ගෙන් උදේට දානේ වළඳලාද කියලා අහලා නැත්නම් තමන්ගෙනා කෑම පිලිගැන්වූවාලු. පසුවනවිට අනෙක් ගුරුවරුන්ද හාමුදුරුවන් සමග කතා කලාට අර ගුරුවරිය එක්ක තිබුණු කිට්ටු යාලුකම දිගටම තිබුනාලු.  බොහෝ දෙනෙක් ඒ දිහා වපර ඇහින් බැළු නමුත් හාමුදුරුවන් කීවේ ඒ හිතවත්කම අදටත් තියෙනවා කියළා.

මීලඟ කතාව  2002 දී ඇති වුණු සටන් විරාම කාලෙදි හාමුදුරුවන් තවත් හාමුදුරු පිරිසක් එක්ක  යාපනයට ගිය ගමනේදී සිද්ධියක්. ගමන් කරපු පිරිස කිලිනොච්චියට ලඟා වන විට දවල් 12 යි. ඒ හන්දා කිලිනොච්චිය නගරයට සමීපව කුඹුරක් අසල පැවති නිවසක් දැක කෑම සඳහා වතුර ටිකක් ඉල්ලා  ගැනීමේ අදහසින් එහි නතර කල පසු එහි සිටි වැඩිමහලු කාන්තාව සහ විශේෂයෙන් ඇයගේ එකොලොස් හැවිරිදි මිනිපිරිය හාමුදුරුවන්ට ජලය ලබාදී ඉතා කරුණාවෙන් සැලකුව එක උන්වහන්සේට තාමත් මතක බවයි පැවසුවේ. ඇයට වතුර ගෙන ඒමට නිවසේ සිට සෑහෙන දුරක් ඇවිදින්න වුනු බව පැහැදිලිව දකින්න තිබුණු බවත් හාමුදුරුවන්ට මතකයි. ඒ අය අතරින් මිත්තනියට පමණක් තරමක් සිංහල කතා කරන්න පුළුවන් වී ඇත්තේ ඇය නුවර පැත්තේ වත්තක වැඩ කර ඇති හන්දා.

හාමුදුරුවන් ඊට පසුව යන ගමනකදීත් මේ ගෙදරට ගොඩ වුනාම අර ළමයාට උගන්වන්න අරන් යන්න කියළා ඇයගේ දෙමව්පියන් ද කිව්වත්  නීතිමය ප්‍රශ්ණ උඩ එය අමකත කර දමන්නට සිදුවුණු දෙයක්. මේකෙන් හාමුදුරුවන් කියන්නට හැදුවේ දෙමල සහ සිංහල මිනිසුන් අතර කොයි තරම් විශ්වාසයක් තියනවාද කියන එකයි. හාමුදුරුවෝ මට කිව්වේ අදට හරි ඒ ළමයා සොයා ගන්නට ලැබුනොත් උදව්වක් කරන්නට කැමැත්තෙන් සිටින බව.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...