Saturday, July 28, 2018

නවාතැනින් ඇය යනවා



පසුගිය ඉරිදා අපි හොරණ කළුතර නැත්නම් හොරණ මතුගම පාරේ බැල්ලපිටියට එහායින් යාලගල හන්දියට කිට්ටුවෙන් තියෙන වැලිකැටැල්ල පන්සලට ගියා. ඒ පන්සලට අවුරුදු කිහිපයකට පෙර එක වරක් ගියේ එහි විහාරගෙයි ඇති නුවර යුගයට අයත් බිතුසිතුවම් රෙකෝඩ් කරගන්න. මෙවර එහි ගියේ අසල ඇති රෙමුණ වැවේ පැලසිටුවීමේ ව්‍යාපාරයකට පැමිණි තරුණ පිරිසකට සහය වන්නට. මීට පෙර රෙමුණ වැවට මම ගිහිනි තිබුණේ නැහැ. රයිගම වටා ඇති වැව් කිහිපය ඇරුණහම මේ ප්‍රෙද්ශයේ ඇති විශාලම වැව හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. පන්සලේ ලොකු හාමුදුරුවන් සමග සෑහෙන වෙලාවක් කතා කරන්න ඉඩ ලැබුණා. අපේ තාත්තා පන්සලේ හිටපු නායක හාමුදුරුවන්ගේ කළ්‍යාණ මිත්‍රයකුව සිටි බවත් දැනගන්නට හැකිවුණා. 1988 අවුරුද්දේ දී ඒ හාමුදරුවන්ට සංඝනායක පදවියක් ලැබූ අවස්ථාවේ පළකර ඇති සඟරාවේ තාත්තාගේ ලිපියක් පලවී තිබුණා.
එහිදී තවදුරටත් දැනගන්න ලැබුණේ වැව ආශ්‍රිතව අයියනායක දේවාලයක්ද තිබෙන බවයි. සාමාන්‍යෙයන් අයියනායක දේවාල වියළි කලාපයේ වැව් ආශ්‍රිතව ඇති අනිවාර්ය අංගයක්. ඒ අනුව මේ වැව අනුරාධපුර යුගය දක්වා දිවෙන අතීතයක් ඇති එකක් යැයි අනුමාන කරන්නට පුළුවන්. වැව වටේටම ඇත්තේ කඳු පන්තියක්. වැව් කණ්ඩියේ පඳුරු ආදිය වැවී තිබුණත් අවට පරිසරය ඉතා අලංකාරයි.
මේ තරුණ කණ්ඩායම කුඹුක්, මී යන ගස් වර්ග තමයි සිටවූයේ. තමන්ගේ නිවාඩු දිනයක්ද කැප කරගෙන මුදල් පවා අතින් වියදම් කරගෙන මේ කරන වැඩේ හොඳයි. ගමේ තරුණයින් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක්ද මෙයට සහභාගී වුණා. මේ වැව අසලට විවිධ පැති වලින් තරුණ කණ්ඩායම් එන බව පෙනෙන්න තිබුණා. එක කණ්ඩායමක් ඇවිත් තිබුණේ පරිසරය ආශ්‍රිතව ඡායාරූප ගන්නට. අනෙක් කණ්ඩායම විනොදයට. මෙහෙම එන සමහර කණ්ඩායම් විසින් ඉතිරි කරගොස් තිබූ බියර් කෑන්, අරක්කු බෝතල් සහ පොලිතීන් අවට පරිසරයේ දකින්නට පුළුවන්.
අපේ පාසල් සහ නේවාසිකාගාර මිත්‍රයකු ද වන ප්‍රවීන ගීත රචකයකු වන ධම්මික බණ්ඩාර සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට අවස්ථාව ලැබුණා. ඔහු ගේ ඉතා ජනප්‍රිය වූ ගීතය තමයි හන්තානට පායන හඳ. පේරාදෙනිය හා බැඳුනු ගීත බොහොමයක් තියෙනවා. ප්‍රෙමකීර්ති ලියපු මේ නගරයත්, අමරදේවයන්ගේ  හන්තානේ කඳු මුදුන සිසාරා ඉතා ජනප්‍රියයි. ඒ අතරින් ධම්මිකගේ ගීතය අපූර්වත්වයකින්  යුතුයි කියන්න පුළුවන්. මේ ගැන හිතනකොට දැනට ඇහෙන්නේ නැති සින්දුවක් මතක් වුණා. ඒ තමයි නවාතැනින් ඇය යනවා වරම් ලබා සරසවියක. ඒකේ තේමාවත් බොහෝ දුරට ලඟයි.


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...