Wednesday, November 21, 2018

පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වලාවක්


අද ඉල් පොහොය.  උදේ පාන්දර 4 ට ඇහැරුණේ කටින පෙරහරේ සද්දයෙන්. බොහෝ ආනිසංස ලැබෙන බව කියන නිසාදෝ බොහෝ දෙනෙක් කටින පූජා වලට නොයෙක් ආකාරයෙන් සහභාගී වන බව පේනවා. ඒ ගැන නොවෙයි ලියන්න හිතුවේ.

පහේ පංතියට එනකම් මම ගියේ හොරණ නගරයට ආසන්නව පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක බව මම කලිනුත් ලියා ඇති. පාසල අවට තිබූ අප සිත්ගත් නැත්නම් අපේ අවධානයට ලක්වූ ස්ථාන වශයෙන් පාසලේ පිට්ටනිය අසලින්ම ගලා ගිය සහ වැසි දවස්වල පිට්ටනිය වසා ගෙන උතුරා ගිය කුළුපන ඇල නමින් හැඳින්වූ කළුගඟේ අතු ගංගාව, ගල් ඒදඬුගොඩ කන්ද උඩ පිහිටි පල්ලිය, පොකුණුවිට ගලේ පන්සල ආදී තැන් හැඳින්විය හැකියි.


ඒ අතරින් ඒදඬුගොඩ කන්දඋඩ පිහිටි ක්‍රිස්තියානි පල්ලිය අපේ කුහුල වඩාත් වැඩෙව්වා. එයට හේතුව ඉතා උස retaining wall එකක් සහිතව පාර අයිනේ තිබූ ශාලාව ( ශාලාව ඉදිරිපිට ජේසුතුමන්ගේ පිළිරුවක් තිබුණු බවත් මතකයි) සහ එක පැත්තකින් පඩි ගණනාවකින් යුක්ත පඩි පෙළකින් සහ සිග් සැග් ආකාරයට ඉදිවුණු වාහනයක් ගමන් කරන්න පුළුවන් අධික බෑවුමකින් යුතුව ඉහලට ඇදෙන පාරෙන් ලඟා විය හැකි පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ල අසලට අපට ඒ දිනවල යන්න නොලැබීම. එය අප විසින්ම හදා ගත් තහනම් කලාපයක් ලෙස තමයි අපට තේරුණේ. වෙනත් ආගමක් ගැන අපේ ආකල්පය ගොඩනැගී තිබුනේ එහෙම වගෙයි. කොහොම වුනත් අපි දෙමව්පියන්ගෙන් හෝ එහි යන්න ඕනා කියළා ඉල්ලූ බවක් මතක නැහැ.

මේ ගුප්තභාවය හන්දාම ඒ වටා නොයෙකුත් අත්භූත කතා ළමයින් අතර ප්‍රචලිතව තිබුණා. ගල්ඒදඹුගොඩ කන්දේ අනෙක් පැත්තේ තම නිවස පිහිටා තිබුණු අපේ පන්තියේ ශිෂ්‍යයකු ඉඳුරාම කිව්වේ පල්ලියේ කඳු මුදුනේ අහස් යාත්‍රාවක් නවත්වා ඇති බව. පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණය එයට හේතු වෙන්න ඇති. අර පුංචි කාලේ සැඟවී තිබුණු ආශාව සන්සිඳුවමින් පල්ලියට යන්න ලැබුණේ මෑත කාලේදී.

පසුව තමයි දැන ගන්නට ලැබුණේ මේ පල්ලිය සාන්තුවරයට පත්කරපු ප්‍රථම කළු ජාතික පූජකවරයා වන Martin de Porres වෙනුවෙන් නම්කර ඇති බව.  මෙම පියතුමා 1579 දී පේරු හිදී උපත ලබා ඇති අතර ඔහුගේ පියා ස්පාඤ් ජාතික රදලයකු වූ අතර මව පැනමා හි නිදහස ලැබූ වහලියකු බවත් කියවෙනවා.
මෙම පල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ වැලන්ටයින් ගුණසේකරයි. මෙය ලංකාවේ දකින්නට පුළුවන් සම්ප්‍රදායික රෝමානු කතෝලික පල්ලි වලින් සම්පූර්ණයෙන්ම වෙනස් බවක් ගන්නවා. වීදුරු සහ කොන්ක්‍රීට් යොදා ගෙන අවට පරිසරයේ හැඩතල හා බද්ධ වෙමින් ගෘහ නිර්මාණ ශිල්පියා ඔහුගේ නිර්මාණ ප්‍රකාශනය ඉදිරිපත් කොට ඇති බව සඳහන් කොට ඇතිවා වාගේම එය අපට හොඳින් බලා ගන්න පුළුවන්.


  (උපුටා ගැනීම් Quarterly Tours No.18, National Trust Sri Lanka, Nilan Coory)

Sunday, November 18, 2018

ආලකමන්දා පුරයකි ආදර පුර සඳ දහසක් පායනා



පුංචි කාලේ අපි බොහෝ දෙනෙක් දුම්රියෙන් ගමනක් යන්න කැමතියි. වයසින් මුහුකුරා ගියත් අර පුංචි කාලේ තිබුණු ආශාවල් හිත යට හැංඟිලා තිබිලා එලියට එන වෙලාවල් තියෙනවා. අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයත් එක්ක සංසන්දනය කරන කොට දුම්රියට තිබෙන මේ ආකර්ශනය සඳහා හේතුවන දේවල් ගැන කල්පනා කරන්න වටිනවා. ගුවන් යානයට හෝ මෙම ආකර්ශණය ඇතැයි කියා හිතන්නට බැහැ. කෝච්චියේ දිග සහ ගමනේ ලාලිත්‍ය  හූ හඬ වගේම දුම්රිය හා ඒ හා බැඳුනු යාන්ත්‍රික මෙවලම් ඇස්පනාපිටම පේන්න තිබීම මේ ආකර්ශණයට හේතු වනවා ඇති. රේල් පීලි, යාන්ත්‍රික සිග්නල් කනු, පීලි මාරුකරන උපාංග, දුම්රිය ස්ථාන වල ඇති සංන්නිවේදන උපකරණ ආදී බොහෝ දේවල් අපට මතක් කරන්න පුළුවන්. දුම්රිය මාර්ග වැටී ඇති බිම් කඩවල් සහ ඒ හා බැඳුනු ඉඳිකිරීම් ද විශේෂයි. කඳු හෙල් අතරින් ඉඳිවුණු බිංගෙවල්, පාලම්, දුම්රිය ස්ථාන, නොඉඳුල් වන ගහණයන් වගේම, පොල් වතු, තේ වතු හා එළවලු වගාවන්, දියඇලි ආදී බොහෝ දේවල් ලංකාවේ දුම්රිය මාර්ග හා බැඳී පවතිනවා. පිටරටක ගිය වෙලාවට හෝ එහි කාලයක් ජීවත් වූ විටත් ඒ ඒ රටවල දුම්රිය ගැනත් තිබුණේ මෙවැනිම ඇල්මක් බව මතක් කරන්නට පුළුවන්.

ඊයේ පෙරේදා දවසක මට අහම්බෙන් ලැබුණා පොතක්. නම Essays on Ceylon Railways. කතෘ හේමසිරි ප්‍රනාන්දු. ඉතා රසවත් සහ පර්යේෂණාත්මක පොතක්. ඔහුගෙම තවත් පොත් දෙකක් ගැන තොරතුරු මේ පොත හරහා දැනගන්නට ලැබුණා. ඒ Viceroy Special  සහ The Uva Railway: Railway to the Moon යන පොත් දෙක. කොළඹ තියෙන හැම පොත් කඩයකටම ටෙලිපෝන් කරළා මේ පොත් දෙක හෙව්වත් හම්බ වුණේ නැහැ. මේ පොත් වල කතෘ අද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. අහම්බෙන් ඔහු මුණගැහුණු විට මට ඉතිරි පොත් දෙකම දෙන්න පොරොන්දු වුනා විතරක් නෙමෙයි ඒවා ලබා දුන්නා.

Tuesday, November 6, 2018

නොකර කතා


කාලෙකින් සටහනක් තබන්න බැරි වුණේ අවිවේකය හන්දාම නොවෙයි. කොහොම වෙතත් දේශපාලනය හැරුණාම වෙන දෙයක් ගැන හිතන එක හොඳයි වගේ. අද දීපවාලී හන්දා නිවාඩු. ඒ හන්දා ගෙදර නැවතිලා අතපසුවූ වැඩ කිහිපයක් කරන්නට හැකිවුණා.

අවුරුදු ගණනාවකට පස්සේ ප්‍රවෘත්ති පත්‍රයකට ලිපියක් ලියන්නට හැකිවුණේ සුමාණ දෙකකට පෙර. එය කියවා ඒ ගැන කිහිප දෙනෙක්ම අදහස් දැක්වූවා. ඒ ගැන උනන්දුවක් තිබෙන අය සිටීමත් සංතෝෂයක්. ඒ අතරින් අනුරාධපුරයේ දී මගේ ආයතන ප්‍රධානියා සහ මගේ පමණක් නොවෙයි අපේ බොහෝ සගයන්ගේ “ගුරු“ (දැනට විශ්‍රාම සුවයේ පසුවන) මේ ගැන ලියා එවා තිබූ අදහස අලංකාරයි.

Very insightful, beautifully crafted, Lessons can learn are ............I am so happy. Hey man, I so this budding capabilities of you 20 years ago. so I gave you freedom to innovate and thought to train you further. I am extremely happy about you. What I invested 20 years ago flowering to  giving fragrance across the country............

ඔහුට ගෞරවයක් වශයෙන් මේ ටික නැවත සටහන් කළේ. එහෙම අවංකව සතුටුවන සහ ගෝලයන්ට මග පෙන්වන රජයේ සේවකයින් සිටීම ඒ තරම් සුළභ සිද්ධියක් නොවන හන්දායි මේ ටික ලියුවේ. අනෙක් දේ තමයි මේ වගේ පුංචි දෙයක් බලලා වුනත් සතුටු වන්න පුළුවන් වීම.

ඉස්සර සමාජයේ කවි කොළ කලාව කියා දෙයක් ප්‍රචලිතව තිබුණු බව ප්‍රසිද්ධයි. 70 දශකය වනවිටත් මේ කලාව වියැකී ගිහින්. එහෙත් රයිගම් කෝරළය වගේ ප්‍රදේශ වල මේ කලාවේ අල්පමාත්‍රයක් හෝ රැඳී තිබුණු බවට සාධක තිබෙනවා. (පසු කාලෙක කවිකොල මොඩනයිස් වෙලා කැසට් පට හරහා බයිලා ලෙස ආවයි කියළා සිතන්නට පුළුවන්.)
හොරණ බස්නැවතුමේ කවිකොල කාරයෙක් උස් හඬින් කියමින් විකුණු කවි කොලයක කවි අපේ බාල සහෝදරයෙකු මතකයෙන් ගෙදර ඇවිත් කියූ හන්දා අපටත් එය කටපාඩම්.
මංගල මුණසිංහ අම්මපා පුදුම                සතා
රිංගුවා ආණ්ඩුව ඇතුලට නොකර          කතා
මේ එහි එක් කවියක කොටසක්. ඒ කියන්නේ පැනිල්ල පටන් අරන් තියෙන්නේ අනාදිමත් කාලෙක පටන් කියන එකයි. (කොල කවි කාරයාත් කවියේ සුගමභාවය, එලිසම ආදිය ගැන දක්වා ඇති සැළකිල්ලත් අපට දකින්නට පුළුවන්.)

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...