Monday, April 13, 2020

නීඩ්වුඩ් වත්තෙන් ඔබ්බට


                                                        
ස්වයංපෝෂිතභාවය සහ ආහාර සුරක්ෂිතතාවය ගැන දැන් අළුතෙන් කතා වෙනවා. ගෝලීයකරන මූලධර්ම යම්කිසි තර්ජනයකට ලක්වී ඇති බව පෙනෙනවා. කොයි විදිහෙන් බැලුවත් පරමාදර්ශීය බවට කිට්ටු යැයි සිතූ බටහිර සංවර්ධන මොඩලය ගැන නැවත සිතා බලන්න අවස්ථාවක් උදා වෙලා. එක පැත්තකින් මොඩලයේ ආවේනික සමහර ලක්ෂණ පිළිබඳව නැවත සිතන්න වනවා. රටක ආර්ථිකයේ විධිමත් අංශය සහ අවිධිමත් අංශ අඩු වැඩි වශයෙන් පැවතීමේ ගුණ අගුණත් අපට පෙනෙන්නට පටන් ගත්තා. අනෙක් කාරණය සංවර්ධනය කවුරුන් සඳහාද කියන ගැටළුවත් මතු වෙලා තියෙනවා. ආර්ථික බලවතා කියන ස්ථානය නැත්නම් අධිකාරිය හෝ මූල්‍ය කේන්ද්‍රය රැක ගැනීම සඳහා මිනිසුන්ගේ ජීවිත කැපකරන්න අවශ්‍යද කියන එකත් හිතා බලන්න වටින කාරණා. කෙසේ වෙතත් ලිබරල්වදයෙන් එහෙන්පිටින් අයින්වූ මොඩලයක් අපට හෝ ගැලපේයැයි මා විශ්වාස කරන්නේ නැහැ.

1970-77 කාලයේ ආර්ථික ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කළා නම් අද අපි ගොඩ කියා මතකයකුත් ප්‍රකාශ වනවා. මේ ගැන හිතනකොට අපේ මතකයත් 70 දශකයට දිව යනවා. මේ කාලයේ පැවති ආර්ථික ප්‍රතිපත්ති අපේ ජීවිත වලට විවිධාකාරයෙන් බලපෑවා. අල බතල වැනි බොහෝ ආහාර වර්ග මේ යටතේ දිරිමත් කළාට පශු සම්පත් ආදිය ගැන අඩු අවධානයක් තිබුණේ. පිටරටින් එන කිරිපිටි හිඟවීම නිසා කුඩා ළමුන්ගේ පෝෂණය අඩුවූ බව අම්මලා කියනවා. ඒ දවස්වල මස් පරිභෝජනය පොදුවේ ඉතා අඩු මට්ටමක තිබුණේ. බිත්තර වුනත් වානිජ මට්ටමින් මහා පරිමානව තිබුණේ නැහැ.

මීට අමතරව හාල් පොලු මිරිස් පොලු ආදියෙන් මිනිසුන් හොඳටම බැටකෑවා. භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි, ප්‍රමිතියෙන් තොර බෝල සබන් ආදිය ප්‍රචලිතව තිබුණා. ක්‍රමයේ යම් යම් හොඳ ලක්ෂණ තිබුනත් නිෂ්පාදනයන් හි ප්‍රමිතිය හෝ ඵලදායීත්වය ඉහල නංවන්න නිසි වැඩපිලිවෙලක් තිබුණේ නැතිවා වගෙයි.

අපේ නිවඩු කාලයේ ගමන් සමග මෙය සමබන්ධ කලොත්, අපට මතක් වන්නේ ඒ දිනවල හල්දුම්මුල්ල ප්‍රදේශයේ වර්ධනය වූ උක් වගාව. සීනි ආනයනය සීමා කිරීම නිසා විකල්ප වලට අවස්ථාවක් උදා වුණා. උක් හකුරු ඒ සඳහා ප්‍රධාන විකල්පයක්. මතක හැටියට සෙවනගල, හිඟුරාන යන කම්හල් වල සීනිත් හැදුවා. බෙරගල කිට්ටුව තිබුණු පැරණි තේ ෆැක්ටරියක් ආණඩුවෙන් හකුරු හදන කම්හලක් බවට පත්කළා. එහි සීනිත් හැදුවාද මතක නැහැ. එය සොයා බලන්නට අවශ්‍යයි.

කොහොම වුනත් හකුරු වලට හොඳ මිලක් ඇති නිසා ඒ ප්‍රදේශයේ හැකි සෑම තැනකම උක් වගාවන් බිහිවී තිබුණා. සමහරක් කුඩා තේ වතු පවා උක් වගාවට හැරවුනා. උක්ගස් කැපීමත් ප්‍රවාහනයත් විධිමත් අයුරින් සැකසී තිබුනේ නැහැ. කොහොම වුනත් ට්‍රැක්ටර් ටේලර් වල ඉතා උසට යකඩ සැකිලි සාදා උපරිම උක් දඬු ප්‍රමාණයක් ගෙන යා හැකි ලෙස සකසා තිබුණා. පා ගමනින් පමණක් ලඟා විය හැකි හේන් වල හැදූ උක් ගස් කැපූ පසු ඒවා ට්‍රැක්ටර් ගමන් කළ හැකි පාරක් ළඟට කරින් ඔසොවාගෙන එන්න ගම්මුන් දැරුවේ ඉමහත් පරිශ්‍රමයක්.

නිවාඩු කාලය තුළ මේ කාර්යන්ට සම්බන්ධ වන්නට ලැබුණු හන්දා ඒ ගැන තවමත් මතකයේ තියෙනවා. මෙසේ කපා ගත් උක් දඬු ට්‍රැක්ටර් වලට පැටවිය යුතුයි. උපරිම දඬු ප්‍රමානයක් ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රැක්ටරයේ සැකිල්ල අඩි පහළොවක් පමණ උසට නිමවා තිබුණා. ලොකු හේනක උක්දඬු ගෙනයන්න මේ වගේ ට්‍රැක්ටර් කිහිපයක් අවශ්‍ය වුණා. සම්පූර්ණයෙන් ට්‍රැක්ටර් ලෝඩ් කළාට පස්සේ අපිත් ඒ ටේලරයේ උක්දඬු ගොඩ උඩට නගිනවා. ට්‍රැක්ටරය මහ පාරට ඇවිල්ලා හාල්ඇටතැන්නෙන් පහළ ඇති හන්දියෙන් උඩ පැත්තට ඇති ඉදල්ගස්ඉන්න දක්වා දිවෙන Needwood වත්ත පාරෙන් ඉහලට ගමන් කරනවා. ඒ පාර අධික වංගු සහිත වගේම බෑවුම අධික පාරක්. ට්‍රේලරයේ උක්ගස් වලට උඩින් හිඳගෙන උක් මිටි බදා ගෙන යන අවදානම් ගමන අද නම් යන්න කවුරුවත් කිසි සේත් ඉදිරිපත් වන එකක් නැහැ.   මේ උක්දඬු මෙසේ ගෙන ගොස් බෑවේ නීඩ්වුඩ් වත්තේ තිබුණු හකුරු කම්හල ඉදිරිපිට. බොහෝ ගොවියන් ගේ උක්දඬු එහි ගෙනත් දමන හන්දා ඒවා අඹරන තෙක් බලා ගන්නට අවශ්‍යයයි. නැත්නම් ඒවා මාරුවෙන්න පුළුවන් හන්දා. හවස් වන විට මේ දඬු යන්ත්‍ර වලට දමා අඹරන්නට පටන් ගන්නවා. ලැබෙන උක් පැනි එකතු කොට කම්හලේ ලිප් ඇති කොටසට ගෙනයනවා. එහිදී විශාල දර ලිප් වලට ලොකු තාච්චි වලට ඒවා දමා හැඳි ගානවා. බොහෝ වෙලාවක් දහඩිය පෙරාගෙන හැඳි ගෑවට පස්සේ පැනි රන්වන් පාට වී ගෙන එනවා. ඊළඟට පදමට උකු වුනාට පස්සේ ඒ පැනි ලී වලින් හදපු අච්චු වලට වත්කරනවා. එක අච්චුවක අඟල් 4*4*3 වගේ ප්‍රමානයේ හතරැස් හකුරු කැට හැත්තෑ පහක් සීයක් පමණ තියෙනවා. ඊළඟට ඒවා නිවෙන්න තියෙනවා. හොඳටම නිවී හකුරු ඝන වුනාම අච්චු අනෙක් පැත්ත හරවලා පොල්ලකින් ගැහුවහම හකරු කැට ගැලවෙනවා. ඒවා ලොකු පොහොර බෑග් වල දමා එකතු කරනවා.  

අවසානයේ දී ඒවා තොග ගානටම විකුණලා එක ගෝනියක් විතර ගෙදර පාචිව්වියට අරගෙන යනවා. මේවා කරළා ඉවරවෙන කොට බොහෝවිට පහුවදා එළිවෙනවා.

අපි එසේ උක්ගස් අරගෙන ගිහින් උදේ වුනහම ඒ උක් කම්හල ආසන්නයේ තිබූ හල්දුම්මුල්ල පැරණි පෘතුගීසි බලකොටුවේ නටඹුන් බලන්න ගියා. ඒ දිනවල ඔත්තු බලන කුරුබිලි ආදියේ ශේෂ පවා පැහැදිලිවම කිබූ බව මතකයි. හපුතලේ කඳුවැටියේ සෑහෙන තරම් ඉහලින් පිහිටි නිසා මෙම බලකොටුවේ  සිට ඌව වෙල්ලස්සත්, බලන්ගොඩ සානුව පැත්තෙන් එන යම් කිසි ආක්‍රණයක් කළින්ම දකින්නට පුළුවන් වන්න ඇති. කිසිවෙකුගේ නිසි අවධානයක් යොමු නොවීම නිසා අද වන විට ඒ අතීත උරුමය නැතිවී යන්නට ආසන්නයි. හල්දුම්මුල්ල නගරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා ස්ථානයක් යැයි නම්කරපු බෝඩ් ලෑල්ලක් නම් තියෙනවා. එතනින් ඉහලට නගින්න පාරක් හෝ ඇති බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රාදේශීය සභාවෙන් හෝ මේවා ගැන සොයා බලනවා නම් මේවා හොඳ සංචාරක බිම් කරන්න පුළුවන්. දැනට හඳුනාගත් හල්දුම්මුල්ලේ ප්‍රාග් ඓතිහාසික වාසභූමිය ඇත්තෙත් මීට ආසන්නයෙන්.




No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...