Friday, June 14, 2019

ලෙවේ හැමට සොහොයුරියක් වෙලා


ලඟදී දවසක කරුණාසේන ජයලත් විසින් රචිත යහළු යෙහෙළි කෘතිය ආශ්‍රයෙන් සුමිත්‍ර පීරිස් අධ්‍යක්ෂණය  කළ යහළු යෙහෙළි චිත්‍රපටය රූපවාහිනියේ විකාශය වුණා. ආරම්භය මගහැරුනත් චිත්‍රපටය රසවිඳින්නට එය එතරම් බාධාවක් වුනේ නැහැ. මේ චිත්‍රපටයත් අපේ නව යොවුන් වියේදී අපේ අත්දැකීම් අතරට මුසු වුනු එකක්. අද නරඔන විට එහි අලුත් පැතිකඩ හඳුනාගන්නට පුළුවන්. කරුණාසේන ජයලත්ගේ නවකතාවල මුහුකුරා යාමක් ද මෙම කතාවෙන් දකින්නට පුළුවන්. එයට 1969 අවුරුද්දේ හොඳම නවකතාව හැටියට සම්මානය ලැබී තිබෙනවා.
මේ කතාවේ කතා නායිකාව වන මුදිතා පවුලේ තුන්වැනියා. අද නම් ඇත්තේ පුංචි පවුල් හන්දා තුන්වැනියාගේ syndrome එක පිළිබඳ ප්‍රශ්ණයක් මතු වන්නේම නැහැ. එහෙත් යම් පවුලක තුන්වැනියා වීමේ යම් යම් පල විපාක ඇති බව අප වටේ ඇති උදාහරන වලින් පවා හිතන්න පුළුවන්. එය අත්දැකීමෙන් පවා දන්නේ අපේ පවුලේ තුන්වැනියා මා නිසා. මෙම වෙනස ඇතිවන්නේ තුනවැනියාට ගෙදර තුළ ලැබෙන/නොලැබෙන වරප්‍රසාද ආදියේ සීමාවන් වලින් පමණක් නොවේ. මුදිතා මෙන්ම අපේ ගමේ අසල්වාසීන් සමග යම් තරමින් හෝ වැඩිපුර කුළුපග වුණේ මා බවයි මට මතක. පාරේ තොටේ හමු වන සියළු දෙනා සමග මා යම්කිසි ඇයි හොඳයියක් පැවැත්වූ බව මතකයි. අඩු තරමින් හිනාවකින් හෝ. අවුරුදු ගණනක් පිටරට සිටි හේතුවෙන් මේ සම්බන්ධකම් බිඳී ගියා නොවෙයි. අමතක වී ගියා. මට වඩා වැඩිහිටි ගැහැණු ළමයි මම නාඳුනන තාලෙන් යන විට පත්වූ විපිලිසරකම දැක්කහමයි මට අතීතය මතක් වුණේ. ඒත් ආයිත් පරණ තැනට යන්නට බැරි වුණේ නැවත වරක් මම ගමෙන් ඈත් වීම නිසාත් ගම වේගයෙන් වෙනස් වී ගිය නිසාත්.
මම කියන්නට උත්සාහ කළේ පළවෙනියා, දොවෙනියා හෝ හතර පස් වෙනියන් වෙනස් නොවේ කියා කියන්න නොවේත ඒ ඒ ස්ළාන වලත් ආවේණිත දේ ඇති. ඒත් අනෙක් අයට වඩා තුන්වෙනියන්ට පොදු දේවල් කිහිපයක් හෝ ඇති බවයි කියන්නට ඕනා වුණේ  

Tuesday, May 7, 2019

මේ විසිතුරු හැර කොතැනක යන්නද


මම කිහිප වතාවක් ලියා ඇති මම මුලින්ම ගිය පාසල ගැන. ඒක නැවත මතක් වුණේ උසස් පෙළ පන්තියේ එකට හිටපු සගයෙක් පාසලෙන් අස් වුනාට පස්සේ පළමු වතාවට සමාජ මාධ්‍යක් හරහා හමු වීම මගින්. පුදුමය කියන්නේ පන්තියේ එක් එක් බංකු වල ළමුන් ඉඳගෙන හිටි පිළවෙල පවා ඔහුට මතක තිබීමයි. මට පිළිවෙළ නොවෙයි නමින් කිව්වාහම යාළුවන් බොහෝ දෙනෙක් ගේ මූනත් මතක නැහැ. ඊට වඩා බොහෝ කලකට පෙර පහේ පන්තිය දක්වා ගිය පාසලේ යාළුවන් මට මතකයි.  ඒ පන්තියේ හිටපු ළමයි ගණන 25 ක් පමණ වීම සහ අපේ උසස්පෙල පන්තියේ සිසුන් 75 කට වඩා වැඩියෙන් සිටීමත් එයට හේතු වන්න පුළුවන්.

මම කුඩා කාලේ ගිය පාසලේ පින්තූරයක් ලඟදි දැක්කා. එහි landscape එක බොහෝ දුරට වෙනස් වෙලා වගෙයි.  පාසලේ පිටුපස පහලින්ම පිහිටි පිට්ටනිය අසලින් ගලා ගිය කුළුපන ඇල පිටාර ගැලුවහම පිට්ටනිය යට වෙන එක නවත්වන්න දැන් retaining wall එකක් හදලා. පිට්ටනිය ඒ අනුව උස් කරලා ඇති. ඉස්සර පිට්ටනියට ගියාම නැගෙනහිර පැත්තෙන් පෙනෙන්නේ ගල්ඒදඬුගොඩ කඳුවැටිය. පන්තියේ සමහර ළමයින්ගේ ගෙවල් පිහිටා තිබුණේ ඒ කඳුවැටියේ. ඒ ගොල්ලන් තම තමන්ගේ ගෙවල් තියෙන ඉසව්ව අපට පෙන්නුවත් කිලෝමීටරයක් විතර ඈතින් තියෙන කඳු වැටියේ තුරු වදුල අතරින් ගෙවල් අඳුරා ගන්න අමාරුයි.
පාසලේ පිට්ටනියට බස්නාහිර පැත්තෙන් උස් බිමක් තිබුණා. ඒකේ කෙළවරක ගල් දෙබොක්කාවක් තිබුණා. ගල් දෙබොක්කාවත් එක්ක තිබුණු විශාල ගහ පසුව කපා දැම්මා. අනෙත් හරියේ වැඩිපුරම තිබුණේ එළවළු පාත්ති සහ විශාල ජම්බෝල ගහක්. ඒ පැත්තේ කෙළවරට වන්න බට පඳුරු තිබුණා. වෙසක් එකට පාසලේ එල්ලන්න කූඩු හැදුවේ ඒ බට වලින්. පාසලේ පිටුපස පිට්ටනි වලට ඔබ්බෙන් ලඳු කැලෑවක් තිබුණා පොල්ගස් කිහිපයක් එක්ක. පාසලේ ගස් කැපිලි, ළිං ඉහිලි, වැට බැඳිලි, වගා කෙරිලි ඹක්කොම කළේ ළමයින්. තරමක් බරපතල දේවල් වැඩැහිටි ශිෂ්‍යයන්ට පැවරී තිබුණා.

පාසලේ ක්‍රීඩා තරග තියෙන කොට මීටර සියය දිවීම වගේ ඉසවු සඳහා අර ලඳු කැලෑ ඉඩම පාවිච්චි කළා. ඒ සඳහා කැලෑව මැද්ද ඉතුරු වෙන්න වටේ එළිකර තිබුණා. ලඳු කැලෑවට එහායින් කුඹුරක් තිබුණා. දැන් මතක් කරන විට පමණක් නොවෙයි ඒ දිනවලත් ඒ පරිසරයේ සුන්දරත්වය අද මතක් කරනවාට වඩා එදා අපි අත්වින්දා.

Sunday, May 5, 2019

සැහැල්ලුව


අළුත් අවුරුද්ද සම්බන්ධයෙන් පේලි කිහිපයක් ලියුවත් එය ඉවර කරන්නට බැරි වුණා. පාස්කු ඉරිදා ත්‍රස්තවාදි සිද්ධියෙන් හැමෝගෙම සිත්සතන් කැළඹුණා. ඒක ඉතා අවාසනාවන්ත සිදිධියක්. ඒ සිද්ධිය හරහා රටේ නොයෙකුත් ආයතන හා සංස්ථා (පුළුල් අර්ථයෙන්) වල තත්ත්වය සහ ක්‍රියාකාරිත්වය පිළිඹිඹු වුණා කියන්න පුළුවන්. හැමදෙයක්ම සැහැල්ලුවෙන් ගන්න එක හැමවිටම හරියන්නේ නෑ වගේම සමහරක් දේ වලදී කොහෙත්ම හරියන්නේ නෑ.

රටක ජනතාවකට හැම තිස්සෙම බයෙන් සැකෙන් ඉන්න වෙනවා කියන එක Healthy නැහැ හැම අතින්ම. කෙනෙක් බනින්න පුළුවන් මිනිස්සුන්ට ඉක්මනට දේවල් අමතක වනවා කියළා. ඒත් කවුද කැමති හැම තිස්සෙම බයෙන් සැකෙන්, සෝදිසියෙන් ඉන්න. එක් එක් ප්‍රජාවන් අතරේ සැකයක්, තරහක් හට ගැනීම ඊටත් වඩා භයානකයි.

අපට අයත් කුඩා ඉඩමක තිබුණු රබර් ගලවලා පොල් වවන්න සූදානම් කළා. නියමිත විදිහට පෝර්ම පුරවලා (දවසක් නිවාඩු දමාගෙන) උපදෙස් පරිදි වලවල් කපලා ඒවාට පොල්ලෙලි දමලා සකස් කළා. දැන් මාස 6 ක් වෙනවා ඒත් තවම පැල ලැබුණේ නැහැ. දෙවරක් මම කාර්යාලයට ගියා. වැස්ස ආවහම දෙන්නම් කිව්වා. දහ පාරකට වඩා කෝල් කරන්න ඇති.කළින්නම් පැළ සම්පූර්ණයෙන් නොමිලේ දුන්නා. දැන් මිලෙන් බාගයක් ගෙවන්න ඹ්නා. එහෙම වෙලාත් පැල ලබා දෙන්න උනන්දුවක් නෑ. රජයේ සේවකයන් ගේ ව්‍යාප්ති සේවයේ ප්‍රමිතිය ගැන වෙන කතා ඹ්නා නැහැ. මේක තමයි රටේ හැම ආයතනයක්ම වෙලා ගත්ත වැඩකරන විලාශය.

මානසික සහ කායික වෙහෙසත් වැඩි නිසාම ගිය සිකුරාදා නිවාඩුවක් දැම්මා. උදේම පන්සලට ගිහිල්ලා හාමුදුරුවන් එක්ක කතා කළා. ටිකක් හරි මනස කලබල වූ වෙලාවට පන්සලකට යාම - ඉස්සර නම් හිතුනේ ටිකක් ගොන්පාට් කියලා.හාමුදුරුවන් එක්ක කතා කිරීමෙන් සිත නිවෙන්න උපකාරී වන බව මට ප්‍රායෝගිකව තේරිලා තිබෙනවා. සාමාන්‍යෙයන් අපි කතා කරන්නේ රට තොට දේශපාලනය ගැන වුනත්, හාමුදුරුවන් ඹ්නම මාතෘකාවකට වෙනස් prospective එකක් ගේනවා. 

Monday, March 18, 2019

ගැහැණු ළමයිනේ අවට අලංකාරයි


අපිට ඉස්සර පරම්පරා වල යොවුන් ප්‍රේමයේ සංකේත වුණේ ගොළු හදවතේ දම්මි - සුගත් කියළා කියන්න පුළුවන්. ඒත් අපේ කාලේ එනකොට ගොළු හදවතේ ජනප්‍රියත්වය තරමක් අඩුවෙලා. චිත්‍රපටය ඇවිල්ලාත් කාලයක් ගිය එක තවත් හේතුවක් වන්න ඇති.

පෞද්ගලිකව ගත්තහම ගොළු හදවත කියවන්නට ලැබුණේ ඉතා මෑතදී. කරුණාසේන ජයලත් ශූරීන් තාත්තාගේ හිත මිතුරකුව සිටියත් මොකක් දෝ හේතුවකට ඔහුගේ එකම නවකතා පොතක් වත් අපේ තාත්තාගේ පොත්ගුලේ තිබුණේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, කේ. ජයතිලක, වගේම ටී.බී. ඉලංගරත්න යන කතුවරුන්ගේ සියළුම පොත් පාහේ තාත්තා ගේ පොත් එකතුවේ තිබුණා. කොහොම වුනත් කරුණාසේන ජයලත් අභාවප්‍රාප්ත වූ වෙලාවේ “ගොළු නොවූ හදවත“  කියලා තාත්තා පත්තරේට ලිපියක් ලියුවා. එය බොහොම හෘදයාංගම වගේම ඒ වෙලාවේ පැවතුණු ආණ්ඩුවට දෝශාරෝපනය කරමින් ලියවුණු ලිපියක්. කරුණාසේන ජයලත් හට දේශපාලන වශයෙන් අසාධාරණ සිදුවුණු බව තාත්තා විශ්වාස කලා වගේම එයින් ඔහු කලකිරී සිටි බවද දැන සිටියා.

මේ මතකයන් අළුත් වුණේ පසුගිය දිනක පැවැත්වුණු hostelers night සාදයේ දී අජිත් ජිනදාස නම් වූ ඒ කාලේ අතිශය ජනප්‍රිය නළුවා හමුවීම නිසා. ඔහු හිටියේ නේවාසිකාගාරේ අපිට අවුරුදු දෙක තුනක් ඉහල පන්ති වල. මඩොල් දූවෙන් පස්සේ ඔහු රඟපෑ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි අපේ සිත් ඇද බැඳ ගත්තා. එහි රඟපෑ වසන්ති චතුරානිත් ඒ සඳහා බොහෝවිට හේතු වන්න ඇති. එහෙම වුනේ ඇය රඟපෑ කුසුම් ගේ චරිතය ඒ කාලේ යොවුන් ප්‍රේමයේ  ෆැන්ටසිය වුණු හන්දා. අපි අපේක්ෂා කලේ කුසුම් වගේ නිර්මල චරිතයක්. ඒකට පන්ති භේද හෝ වෙනත් භේද අදාල වුණේ නැහැ. විශේෂයෙන් අපට මේ හැඟීම් දුරස් නොවන්නේ, ඒ කාලේ අපේ පන්තියේ සිටි ගැහැනු ළමයින් අතර ගමෙන් එළවලු එකතු කරළා හොරණ පොලේ විකුණන අම්මලා සිටි ළමයි හිටපු නිසා වන්නත් පුළුවන්.

Tuesday, February 19, 2019

I have a dream


අද නවම් පොහොය. දවාලේ අධික රස්නයක් තිබුණු හන්දා හවසට වැහි වැටෙයි කියලා හිතා ගෙන සිටියත් හවස හත වෙලාත් තවමත් රස්නෙයි. එළවලු පැල සිටුවා ඇති හන්දා ඒවාට වතුර දාන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිදු වුණා. රෑට වැස්සොත් ඒ මහන්සිය අපරාදේ කියළා හිතෙන්න පුළුවන්. ඒත් ගහකට වතුර දාන එක අපරාදයක් නොවෙයි. ඒ මහන්සියත් අපරාදයක් නොවෙයි. ජීවිතේත් බොහෝ දේවල් අපි කළාට කරන දේ ප්‍රතිඵලය සම්පූර්ණ වශයෙන් උපයෝගි නොවන අවස්ථා තියෙනවා. එහෙම කළත් අපි අර කරන දේවල් අපතේ යන්නේ නැහැ. වෙනත් විදිහකට ඒවා උපයෝගි වනවා. හරියට අපි හීන දකිනවා වගේ. එක එක කාල වල එක එක සිහින ඒත් ඒ සිහින ඒ විදිහටම සැබෑ වෙලා නැහැ. ඒත් ඒ සිහින දැකීම ගැන සතුටු වෙන්න පුළුවන් වගේම අදත් සිහින දකින්නත් පුළුවන්.

අද ජාතික විද්වත් සංවිධානය කියළා එකකින් රට හදන ප්‍රතිපත්ති මාලාවක් එළි දක්වන ජාතික සමුලුවක් කියලා එකක් තිබ්බා. ටික වේලාවක් එය රූපවාහිනියේ ගිය හන්දා බැලුවා. අවුරුදු 71 ක නිදහස් කාලය තුළ කිසිම ආණ්ඩුවක් රට හැදුවේ නැහැ කියන එකයි, දැන් තියෙන ප්‍රශ්ණයි පට්ට ගහන එක තමයි මට පෙනෙන හැටියට සිද්ධ වුණේ. මේ රටේ දැන් තියෙන ප්‍රශ්ණ වලට මුල ප්‍රතිපත්තියක් නැති වීම හෝ සමහරු හොරා කෑම නිසාම හෝ හිතනවා නම් වැරදියි මගේ හිතේ.

අපේ ගෙවල් පළාතේ dendro-power නිපදවන ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒසඳහා ගොඩනැගිලි ආදියත් නිමකර මිනිස්සුන් දැනුවත් කර ඒ සඳහා ග්ලිඩිසීරියා ගස් තම වතු වල වවන්නත් මිනිස්සුන් දිරිමත් කළා. මේ වගේ ව්‍යාපෘති හරිම labour intensive සහ ප්‍රශ්ණකාරී ඒවා. සැපයීම් ජාලය හරිහැටි හදා ගැනීම, ඒ සදහා ප්‍රවාහන මාධ්‍ය සැලසීම ආදී බොහෝ දේ කරන්නට තියෙනවා. ඒ කරළාත් ලැබෙන profit margin එක සාපේක්ෂව අඩු ඇති. සාපෙක්ෂව කිව්වේ විශේෂයෙන්  thermal power යොදා ගෙන national grid එකට විදුලිය ලබා දෙන independent power suppliers ලාට සාපේක්ෂව. අනෙක් අතින් ඒ ක්‍රමය less complicated. මේක මාෆියා එකක්. මුලින් කියන්න ගියේ අර හරිත විදුලිබලාගාර ව්‍යාපෘතිය වැසී ගියා. ඔහු ඊට වඩා වැඩි return එකක් පෞද්ගලිකව ලැබෙන ලෙහෙසි ව්‍යාපෘතියක ආයෝජනය කරන්න ගියා වෙන්න පුළුවන්. මේ විදිහට අපේ ආර්ථිකය වෙලා ගෙන තියෙන්නේ පුද්ගලිකව වාසි ඇතිවෙන එහෙත් සමස්ත ආර්ථිකයට වාසියක් එහෙම නැත්නම් පාඩු සිදුවන රටේ සම්පත් නිසි ලෙස යෙදවෙන්නේ නැති වගේම ආදායම් වැඩි දෙනෙක් අතර බෙදී යාමට ඉඩ අහුරන ව්‍යාපෘති සහ ආයෝජන වලින්. මේ වගේ උදාහරන ඕන තරම් දෙන්න පුළුවන්.

තව පැති තිබෙනවා. බස්නාහිර පලාත විතරක් ගත්තොත් අතහැර දාපු කුඹුරු ඉඩම් කොයිතරම් තිබෙනවද? කිහිප වතාවක් මේවා වගා කරවන්න නීති ගෙනාවා. වගා කළේ නැත්නම් රජයට පවරා ගන්නවා කිව්වා. මිනිස්සු දන්නවා ඒ වගේ තීරණ කවදාවත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ කියළා. ඒ හන්දා බය වුණේ නැහැ. ප්‍රශ්ණයට උත්තරය එතන නොවෙයි තියෙන්නේ. ඇයි ඒ කුඹුරු වගා කරන්නේ නැත්තේ කියන එක. නොයෙක් හේතු මත එය වන්නට පුළුවන්. පුද්ගලික හේතු වගේම පොදු හේතු. යායක්ම වගා නොකර ඉන්න නම් පොදු හේතු ප්‍රභල වන්න ඕනා. පාංශු තත්ත්ව, අධික ජලය, ඵලදාව අඩුකම හෝ ශ්‍රමය මිල අධිකවීම ආදී නොයෙක් කරුණු මෙයට බලපාන්න පුළුවන්. රජයට මේවා ගන්න නොවෙයි මේ ප්‍රශ්ණ වලට උත්තර සොයා දෙන්න පුළුවන් නම් මේ ඉඩම් වලින් වැඩක් ගන්න පුළුවන් වෙයි. අඩු ගානේ නෙළුම් අල වවලා පිටරටට හෝ යවන්න.

Wednesday, February 13, 2019

ගින්නෙන් උපන් සීතල


රෝහණ විජේවීරගේ චරිතාපදානය ඇසුරෙන් හදාපු චිත්‍රපටය - ගින්නෙන් උපන් සීතල බලන්නට ගියා. කතානායකයාගේ ජීවිතය සෑහෙන තරම් හොඳට නිරූපනය වෙලා ඇති බව පේනවා. ඔහුගේ දේශපාලන දර්ශනය එතරම්ම එළියට එන්නේ නැති වුනත්, වෙස්වලාගත් විප්ලවවාදියකුගේ? ජීවිතයේ ඇතුළාන්තයට යන්න තිරරචකයාටත් අධ්‍යක්ෂකවරයාත් ගත්ත උත්සාහය සෑහෙන්න සාර්ථක බව පේනවා.

චිත්‍රපටය නරඹනකොට අපි සිතා සිටි විජේවීරට වඩා තරමක් හෝ වෙනස් පුද්ගලයෙක් තමයි අප ඉදිරියේ දිග හැරෙන්නේ. එක පැත්තකින් බැලුවහම සරළ මනුස්සයෙක්. නායකත්වය පවා අප හිතාගෙන හිටියාට වඩා වෙනස් මට්ටමකින් තමයි එළියට එන්නේ. එය දියුණු මනුස්සයෙකුගේ ලක්ෂණයක් කියා හිතෙනවා. ඒක අසූගනන්වල පැවැති ඔවුන් විසින්ම හදා ගත් කැලෑ නීතිය තුළ කොයිතරම් ගැලපෙනවාද කියන එක වෙනම කාරණාවක්. එක අතිකින් බාහිර බලවේග විසින් ඔහුව එතනට තල්ලු කළ බව පේනවා. නමුත් ඒ වකවානුවේ JVP එකට ඇතිවුණු කලුපැල්ලම තවමත් සෝදා ගන්න බැරිවෙලා තියෙන බව කියන්නට පුළුවන්‍

එහෙනම් විජේවීර දිර්ඝ කාලීන වශයෙන් දේශපාලනයේ මොනවගේ මාර්ගයක යන්නද සිතා සිටියේ කියන එක ප්‍රශ්ණයක්. තමන්ගේ ජීවිතයට ඇති තර්ජනය ගැන හිතුවහම විජේවීරට රටින් පිටෙවලා ක්‍රියාත්මක වන්න ඉඩ තිබුණා. නිදහස ? ලබා ගත් අවදියේ වාමාංෂික නායකයන් ඇතුළු බොහෝ දෙනෙක් රටින් පිටවුණා. එහෙම නොකොට මෙහිම ජීවත් වීම තුලින් තවදුරටත් ඔහුගේ චින්තනය පවා කොටු වුණු බවයි පෙනෙන්නට තියෙන්නේ. චිත්‍රපටයේ විජේවීරගේ චරිතයට පන පොවන කමල් අද්දරආරච්චිගේ රංගනය අතිවිශිෂ්ට බව කියන්නය ඕනා. 

Monday, January 28, 2019

පාර දිගේ


අළුත් අවුරුද්දක්, ලබලා ටික දවසක් ගත වෙලාත් ගිහින්. අපේ ජීවිතත් අළුත් වෙලාද? නැත්නම් සාමාන්‍යෙයෙන් වන පරිදි තව ටිකක් පරණ වෙලාද? වැඩ පටන් ගත්තු පළමු දවසේ කිරිබත්, කැවුම් කොකිස් කමින් බොහෝ දෙනෙකුගේ උදේ වරුව ගෙවුණේ. 

පසුගිය ටිකේ ජීවිතේ තරමක් කලබලකාරී වුණා. සමීප ඥාතීන් දෙදෙනෙකුගේ විවාහයන් වගේම, යුරෝපයේ ජීවත් සහ තවත් රටක ජීවත් වන සමීප මිතුරන් දෙදෙනෙකුගේ පැමිණීම මෙන්ම රාජකාරියේ දැනට සිටින සේවාවට බැඳී අවුරුදු 25 ක් ගෙවී ආදී කරුණු හන්දා ප්‍රිය සම්භාෂණ කිහිපයකට සහභාගි වන්න අවස්ථාව ලැබුණා.

1980 ගණන් වල ආන්දෝලනාත්මක නඩු විභාගයක් වූ මැතිව් පීරිස් කතාව චන්ද්‍රන් රත්නම් ගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයක් ලෙස ඇවිත්. තාක්ෂණික අතින් යම් ඉදිරියක් දකින්න පුළුවන් වුනත් විශේෂයෙන්ම ඩැල්රීන් ඉන්ග්‍රම් චරිතයට චිත්‍රපටය මගින් සාධාරණයක් වුනාද කියළා හිතුන්න වෙනවා. ඒත් එක්කම රෝහණ විජේවීර ගැන හැදු චිත්‍රපටයක් - ගින්නෙන් උපන් හීතල මේ දිනවල තිරගත වෙනවා. සති අන්තයේ එය බලන්න යන්න හිතුවත් බැරිවුණා.  

අද ධර්මසේන පතිරාජගේ පළමු අනුස්මරණය. සමරු දේශණයක් සහ පාර දිගේ චිත්‍රපටය ප්‍රදර්ශනයක් තිබුණා. දේශණය කලේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති. මාතෘකාව විචාරාත්මක දුරස්ථභාවය හා කලාකරුවාගේ සංස්කෘතික කාර්ය. පාරදිගේ චිත්‍රපටය මුලින්ම බැලුවේ පාසල් කාලේ 1982 දී. ඒ කාලේ මේ චිත්‍රපටයට ආසක්ත වුණේ ධර්මසේන පතිරාජ ගැන යම් හැඟීමක් තිබුණු එකටත් වඩා විජය කුමාරතුංග එහි රඟපෑම මෙන්ම ගායනා කිරීම, එවක නවක නිලියක වූ වසන්ති චතුරානි ගේ රඟපෑම ආදිය කියළා කියන්නට පුළුවන්. ඒත් ඔහුගේ සිනමා ආඛ්‍යානය අපට එදා හරියට තෙරුණේ නැහැ. අද එදාට වඩා තේරුණා කිව්වොත් හරි. ප්‍රේක්ෂකයාව චරියෙන් ඈත් කරලා බලන්න ඉඩක් තියෙන ඔහුගේ ක්‍රමය හුඟක් තැන් වල සාර්ථකයි. එකම තැනක චන්දරේ(විජය කුමාරතුංග) තමන්ගේ මහ ගෙදර ගිය වෙලාවේ තමන්ගේ අම්මා (රුබී ද මැල්) පුතාගේ අතීතය ගැන කියන තැන ටිකක් කෘත්‍රිම බවක් පෙනුනා. මෙහි එන සින්දු බඹරු ඇවිත් තරම් ප්‍රභල නැති වුනත් තේමාවට යම් සාධාරනයක් කරනවා.

Tuesday, December 25, 2018

නව දින දසුනක් එනවා






දෙසැම්බර් ගෙවී ගෙන යනවා. කොළඹ ආයිත් පාරක් නත්තල් සැරසිලි. පාන්දරින් නැගිටලා ගෙදරින් එලියට බැස්සොත් ඇඟ කිලිපොලා යන සීතල සුළඟක් විඳින්නට පුළුවන්. උදේ කාලයේදී අවට කුඹුරු මීදුමින් වැසී යන්න පටන් අරන්. පාරේ loudspeaker සද්ද බද්ද ටිකක් වැඩිවෙලා. ඒවා පිටුපස තියෙන්නේ වෙළඳ ප්‍රයෝග.  ඒකෙන් පෙනෙන්නේ අවුරුද්දක් ගෙවී ගිය බව. කොහොම වෙතත් අපේ රටේ සෘතු භේදයක් ලොකුවට බලා ගන්න බැහැනේ. වැසි සමය වුනත් ඉස්සර තිබුණු ක්‍රමාණුකූල බවෙන් ඈත්වෙලා.

වල්පොල රාහුල හාමුදුරුවන් ලියූ සත්‍යෝදය කියන කුඩා පොත මට දුන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්. පෙරලන කොට අහුවෙච්ච පිටුවක තිබුණු දෙයක් මේ. "නුවණින් තොර චාරිත්‍රය කුමක් වුවත් හිස් දෙයකි". උන්වහන්සේ මේක ලියන්නේ භික්ෂූන් වහන්සේලාගේ වස් වැසීම පිලිබඳව. වස් වැසීම අද කාලයේ මෙරටට අවශ්‍ය දෙයක් නොවන බව එහි පෙන්වා දෙනවා. ඊටත් එහා ගියොත් සමහරු බුදුපිළිමයක් වඩම්මවා වස්වස්වනවාලු. මේ පොත සම්පූර්ණයෙන් කියවන්න අවශ්‍යයි. මේ ටික පවා ලියන්න කල්පනා කළේ වස් පිංකම් අද විලාසිතාවක් තරමට ජනප්‍රිය හන්දා. ඒකට ප්‍රධාන හේතුව මම හිතන්නනේ ඒ හරහා සිතූ පැතූ සම්පත් ලැබෙන බව සඳහන් වීම. ධර්මය වෙත ජනයා අද්දවා ගැනීම සඳහා උපක්‍රමයක් හැටියට මෙවැනි පිංකම් සිදු කිරීම සාධාරන බව සිතීම හන්දා මේවට යොමු වන කාන්ඩයක් ද සිටිනවා.  

පසුගිය සති කිහිපයේ මෙරට සිදුවූ සිදුවීම් ගැන නොයෙකුත් විවරණ තැන තැන කතා වෙනවා. විශේෂයෙන් social media වල. ෆෙඩරල්වාදයේ නැගිටීම, රටබෙදීම, ගෝලිය බලවේග මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ තීන්දුවලට බලපෑම් සිදුකිරීම ආදී බොහෝ කාරණා එහි කතා වෙනවා. ඒවා කොයිතරම් දුරට සත්‍යද  කියන එකට වඩා ඒවා කොච්චර දුරට විචාරශීලිද කියන එක වැදගත් කාරණයක්. අපේ ප්‍රධාන ප්‍රශ්ණයක් තමයි නිදහස්ව සිතන්න පුරුද්දක් නැති කම. අභ්‍යන්තර ගතිකයන් අප අතිශෝක්තියෙන් නැත්නම් හරිහැටි තේරුම් ගෙන ක්‍රියා නොකරනවා වගේම බාහිර ගතිකයන් දිහා අප බලන්නේ සැකයක් හිත ඇතුළේ තියා ගෙන. එහෙම වෙනකොට අවුලෙන් අවුලට පත් වෙනවා. 

අවුරුද්ද අවසානයේ විඩාව නිවා ගන්න අපි ගිය ගමනේදී පළමු වතාවට රත්නපුර සමන් දේවාලයට යන්නට පුළුවන් වුණා. හිතුවට වඩා විශාල පිරිසක් එහි වන්දනාමාන කරන්න පැමිණ ඇවිත් සිටි බව දැක්කා. මල්, පළතුරු ඇරුනහම රසකැවිළි, සෙල්ලම්බඩු ආදී නොයෙකුත් තොරෙම්බල් අලෙවි කරමින් ජීවිකාව සොයා ගන්නා සෑහෙන පිරිසක්ද එහි දකින්න පුළුවන්. ඒ වගේම කණ්ඩායමක් හැටියට ඇවිත් අපට නොතේරෙන ස්ත්‍රෝත්‍ර කියමින් කරන වතාවත් දකින්න ලැබුණේ එහිදි. සබරගමුවේ අතීත කාලයක තිබුණු ශ්‍රී විභූතිය පිලිබඳ අදහසක් දේවාලයේ ගොඩනැගිලි, කැටයම් ආදිය දැක්කහම හිතා ගන්නට පුළුවන්. ප්‍රධාන පාරවල් වලින් එහා මෙහා ගියත් අපි නොගිය තැන් තවත්බොහොමයක් ඇති.

Tuesday, December 18, 2018

ඔබ අතවූ මල් එකිනෙක පරවී සුළඟේ විසිරෙනු මා දුටුවා








ලංකාවේ කඳුමුදුන් වලින් එතරම් කියවෙන්නේ නැති නමක් තමයි ගොංමොල්ලි කන්ද. මීටර් 2000 ට වැඩි උසින් යුතු කඳු මුදුනක්. පිහිටා  තිබෙන්නේ ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් මායිමේ. කන්ද අවට නොඉඳුල් උඩරට (වර්ෂා/වියළි) වනාන්තර දකින්නට පුළුවන්. ඊට අමතරව අපට ආගන්තුක වුනත් ඉතාම කෙටි කාලෙකින් විශාල biomass එකක් හදන්න පුළුවන් නිසාම වැඩිපුර පොලවෙන් වතුර උකහා ගන්නා නෙත්කළු පයිනස් වගාවකුත් දකින්නට පුළුවන්. තවත් විශේෂත්වයක් තමයි ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ල ඇත්තේ මෙම කන්ද ආශ්‍රිතව වීම. කාලෙකට ඉස්සර දකිනකොට වගේ ලොකු දියපාරක් ගලා හැලෙන්නේ නැති වුනත් දියඇල්ල තවමත් සුන්දරයි. හරියට ජීවිතය වගේ. 

Wednesday, November 21, 2018

පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වලාවක්


අද ඉල් පොහොය.  උදේ පාන්දර 4 ට ඇහැරුණේ කටින පෙරහරේ සද්දයෙන්. බොහෝ ආනිසංස ලැබෙන බව කියන නිසාදෝ බොහෝ දෙනෙක් කටින පූජා වලට නොයෙක් ආකාරයෙන් සහභාගී වන බව පේනවා. ඒ ගැන නොවෙයි ලියන්න හිතුවේ.

පහේ පංතියට එනකම් මම ගියේ හොරණ නගරයට ආසන්නව පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක බව මම කලිනුත් ලියා ඇති. පාසල අවට තිබූ අප සිත්ගත් නැත්නම් අපේ අවධානයට ලක්වූ ස්ථාන වශයෙන් පාසලේ පිට්ටනිය අසලින්ම ගලා ගිය සහ වැසි දවස්වල පිට්ටනිය වසා ගෙන උතුරා ගිය කුළුපන ඇල නමින් හැඳින්වූ කළුගඟේ අතු ගංගාව, ගල් ඒදඬුගොඩ කන්ද උඩ පිහිටි පල්ලිය, පොකුණුවිට ගලේ පන්සල ආදී තැන් හැඳින්විය හැකියි.


ඒ අතරින් ඒදඬුගොඩ කන්දඋඩ පිහිටි ක්‍රිස්තියානි පල්ලිය අපේ කුහුල වඩාත් වැඩෙව්වා. එයට හේතුව ඉතා උස retaining wall එකක් සහිතව පාර අයිනේ තිබූ ශාලාව ( ශාලාව ඉදිරිපිට ජේසුතුමන්ගේ පිළිරුවක් තිබුණු බවත් මතකයි) සහ එක පැත්තකින් පඩි ගණනාවකින් යුක්ත පඩි පෙළකින් සහ සිග් සැග් ආකාරයට ඉදිවුණු වාහනයක් ගමන් කරන්න පුළුවන් අධික බෑවුමකින් යුතුව ඉහලට ඇදෙන පාරෙන් ලඟා විය හැකි පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ල අසලට අපට ඒ දිනවල යන්න නොලැබීම. එය අප විසින්ම හදා ගත් තහනම් කලාපයක් ලෙස තමයි අපට තේරුණේ. වෙනත් ආගමක් ගැන අපේ ආකල්පය ගොඩනැගී තිබුනේ එහෙම වගෙයි. කොහොම වුනත් අපි දෙමව්පියන්ගෙන් හෝ එහි යන්න ඕනා කියළා ඉල්ලූ බවක් මතක නැහැ.

මේ ගුප්තභාවය හන්දාම ඒ වටා නොයෙකුත් අත්භූත කතා ළමයින් අතර ප්‍රචලිතව තිබුණා. ගල්ඒදඹුගොඩ කන්දේ අනෙක් පැත්තේ තම නිවස පිහිටා තිබුණු අපේ පන්තියේ ශිෂ්‍යයකු ඉඳුරාම කිව්වේ පල්ලියේ කඳු මුදුනේ අහස් යාත්‍රාවක් නවත්වා ඇති බව. පල්ලියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණය එයට හේතු වෙන්න ඇති. අර පුංචි කාලේ සැඟවී තිබුණු ආශාව සන්සිඳුවමින් පල්ලියට යන්න ලැබුණේ මෑත කාලේදී.

පසුව තමයි දැන ගන්නට ලැබුණේ මේ පල්ලිය සාන්තුවරයට පත්කරපු ප්‍රථම කළු ජාතික පූජකවරයා වන Martin de Porres වෙනුවෙන් නම්කර ඇති බව.  මෙම පියතුමා 1579 දී පේරු හිදී උපත ලබා ඇති අතර ඔහුගේ පියා ස්පාඤ් ජාතික රදලයකු වූ අතර මව පැනමා හි නිදහස ලැබූ වහලියකු බවත් කියවෙනවා.
මෙම පල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ වැලන්ටයින් ගුණසේකරයි. මෙය ලංකාවේ දකින්නට පුළුවන් සම්ප්‍රදායික රෝමානු කතෝලික පල්ලි වලින් සම්පූර්ණයෙන්ම වෙනස් බවක් ගන්නවා. වීදුරු සහ කොන්ක්‍රීට් යොදා ගෙන අවට පරිසරයේ හැඩතල හා බද්ධ වෙමින් ගෘහ නිර්මාණ ශිල්පියා ඔහුගේ නිර්මාණ ප්‍රකාශනය ඉදිරිපත් කොට ඇති බව සඳහන් කොට ඇතිවා වාගේම එය අපට හොඳින් බලා ගන්න පුළුවන්.


  (උපුටා ගැනීම් Quarterly Tours No.18, National Trust Sri Lanka, Nilan Coory)

Sunday, November 18, 2018

ආලකමන්දා පුරයකි ආදර පුර සඳ දහසක් පායනා



පුංචි කාලේ අපි බොහෝ දෙනෙක් දුම්රියෙන් ගමනක් යන්න කැමතියි. වයසින් මුහුකුරා ගියත් අර පුංචි කාලේ තිබුණු ආශාවල් හිත යට හැංඟිලා තිබිලා එලියට එන වෙලාවල් තියෙනවා. අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයත් එක්ක සංසන්දනය කරන කොට දුම්රියට තිබෙන මේ ආකර්ශනය සඳහා හේතුවන දේවල් ගැන කල්පනා කරන්න වටිනවා. ගුවන් යානයට හෝ මෙම ආකර්ශණය ඇතැයි කියා හිතන්නට බැහැ. කෝච්චියේ දිග සහ ගමනේ ලාලිත්‍ය  හූ හඬ වගේම දුම්රිය හා ඒ හා බැඳුනු යාන්ත්‍රික මෙවලම් ඇස්පනාපිටම පේන්න තිබීම මේ ආකර්ශණයට හේතු වනවා ඇති. රේල් පීලි, යාන්ත්‍රික සිග්නල් කනු, පීලි මාරුකරන උපාංග, දුම්රිය ස්ථාන වල ඇති සංන්නිවේදන උපකරණ ආදී බොහෝ දේවල් අපට මතක් කරන්න පුළුවන්. දුම්රිය මාර්ග වැටී ඇති බිම් කඩවල් සහ ඒ හා බැඳුනු ඉඳිකිරීම් ද විශේෂයි. කඳු හෙල් අතරින් ඉඳිවුණු බිංගෙවල්, පාලම්, දුම්රිය ස්ථාන, නොඉඳුල් වන ගහණයන් වගේම, පොල් වතු, තේ වතු හා එළවලු වගාවන්, දියඇලි ආදී බොහෝ දේවල් ලංකාවේ දුම්රිය මාර්ග හා බැඳී පවතිනවා. පිටරටක ගිය වෙලාවට හෝ එහි කාලයක් ජීවත් වූ විටත් ඒ ඒ රටවල දුම්රිය ගැනත් තිබුණේ මෙවැනිම ඇල්මක් බව මතක් කරන්නට පුළුවන්.

ඊයේ පෙරේදා දවසක මට අහම්බෙන් ලැබුණා පොතක්. නම Essays on Ceylon Railways. කතෘ හේමසිරි ප්‍රනාන්දු. ඉතා රසවත් සහ පර්යේෂණාත්මක පොතක්. ඔහුගෙම තවත් පොත් දෙකක් ගැන තොරතුරු මේ පොත හරහා දැනගන්නට ලැබුණා. ඒ Viceroy Special  සහ The Uva Railway: Railway to the Moon යන පොත් දෙක. කොළඹ තියෙන හැම පොත් කඩයකටම ටෙලිපෝන් කරළා මේ පොත් දෙක හෙව්වත් හම්බ වුණේ නැහැ. මේ පොත් වල කතෘ අද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. අහම්බෙන් ඔහු මුණගැහුණු විට මට ඉතිරි පොත් දෙකම දෙන්න පොරොන්දු වුනා විතරක් නෙමෙයි ඒවා ලබා දුන්නා.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...