Monday, February 22, 2016

රයිගමින් එහාට

අද නවම් පොහොය. ගංගාරාමයේ නවම් පෙරහර ඊයෙත් සජීවි ලෙස රූපවාහිනියේ පෙන්වූවා. කැළණියේ පෙරහර ගැන අද ගිය වැඩසටහනකදී තෙල්මේ නැටුමේ රයිගම සම්ප්‍රදාය ගැන මහාචාර්‍ය මුදියන්සේ දිසානායක විස්තර කරනවා මම අහගෙන.
පෙරේදා අපි ගියා නාරගලට. රයිගම ගවේශනයේ කොටසක් හැටියට. කාලෙකට පස්සේ එයට සම්බන්ධ වන්න ඉඩ ලැබුණේ. එහි පදිංචි කරුණාතිලක මහත්තයා අපිට තොරතුරු දෙන්න ඉදිරිපත් වුණා. නාරගල හරහා තමයි කළුගග ගලා යන්නේ. අතීතයේ දී එහි පාළම් පාරුවක්  තිබුනලු. පාළමෙන් මෙහා ගම කදන. එහා ගම නාරගල (හොරණ සිට යනකොට) හා කළුගග දිගේ භාණ්ඩ ප්‍රවාහනයේ දී ඒ හරියේ තොටුපලවල් ද තිබුණලු. කළුගග තමයි ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ සිට හලාවත දක්වාම ඒ දිනවල දියෙන් (හැමිල්ටන් ඇළ ඹස්සේ) යන්න පුළුවන් කම තිබුනලු.
අපි සැලසුම් කලේ උදේ වරුවේ ඉක්මනින් නාරගල ඇවිදලා හවස් වරුවේ බෝධිනාගලට යන්න. බෝධිනාගල ප්‍රාග් ‍ඓතිහාසික බිමක්. දැනට එහි ආරන්‍ය සේනාසනයක් තියෙනවා. නාරගලින් පස්සේ කදන පහුකරන කොට එහි පන්සල දැකලා එහි ගියා. එහි තිබුණා වැඩ නිම නොකල ගල් පිළිමයක්. ඒක නිදි පිළිමයක්. අවුරුදු අනූවකට පමණ පෙර නිර්මාණයක් කියළා හිතන්න පුළුවන්. පොකුණුවිට ගලේ පන්සලේ ඇති නිදි පිළිමයට බොහෝ දුරට සමකාලීන බව කියන්න පුළුවන්. මට හිතෙන හැටියට මේ විශාල සෙල් පිළිම වලින් කියවෙන්නේ පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේ මේ ප්‍රදේශයේ පැවති සශ්‍රික වැවිලි ආර්ථිකය ගැනයි. රබර් තමයි මේ ප්‍රදේශයේ ප්‍රධාන වැවිල්ල. අපිට දවල් කෑම කදන පන්සලෙන්ම ලැබුණා.
හවස් වෙනවිට වැස්සක් එන ලකුණු අහස පෙන්වූ හන්දා අපට බෝධිනාගල යන අදහස කල් දමන්නට සිදු වුණා. බෝධිනාගලට යන්න නම් අපි ආයිත් හොරණට ඇවිත් ඉං.ගිරිය පාරේ යන්න ඕනා. ඊළගට ඇති ප්‍රාග් ‍ඓතිහාසික බිම් තමයි පාහියන්ගල සහ වනහාමිගේ ගල් ලෙන. මේ බිම් කළු ගග දිගේ පිහිටා තිබූ බවයි පෙනෙන්නේ. ඒ පිළිබදව තවත් වැදගත් හෝඩුවාවක් අපට ලැබුණා. ඒ ගැන පසුවට ලියන්නට පුළුවනි. ඒ කාලේ මේ ප්‍රදේශයේ විසිරිලා තියෙන කදුගැට සියල්ලකම පාහේ ප්‍රාග් ඓතිහාසික මානවයින් විසිරී ඉන්න ඇති. අපේ යොජිත කෞතුකාගාරය පටන් ගන්නේ ඒ විස්තර සමග. ඒ හන්දා මේ ජනාවාස ගැන මීට වඩා පැහැදිලි චිත්‍රයක් ඇති කර ගැනීම වැදගත්.

රයිගම ගවේෂණය කරන කණ්ඩායමට ඊයේ පෙරේදා ප්‍රවීන නළුවකු වන ජනක් ප්‍රේමලාල් මහතා හමුවී තියෙනවා. ගවේෂණයට අදාල වැදගත් තොරතරු කිහිපයක් ඹහුගෙන් ලැබී තිබුණා. දොඹගොඩ පැත්තේ තියෙයි කියන රජගහ කියන ස්ථානයේදීලු රයිගම් බණ්ඩාර රජුව අල්ලා ගත්තේ. මේ තොරතුරු ඓතිහාසික මූලාශ්‍රත් සමග ගලපන්නට ඹ්නා. ඹහු හදපු රජගහේ නාඩගම නාට්‍යයට වස්තු බීජය ආවෙත් එතනින්ලු. රෝහණ බැද්දගේ මහත්තයා හමුවෙන්න කියන එකත් ඹහු නිර්දේශ කරළා තිබුණා.         

Wednesday, February 17, 2016

කන්ද උඩින් පණිවිඩයයි

මේ දවස් වල ඉන්දු ලංකා ගිවිසුම තමයි උණුසුම් මාතෘකාව. රාජකාරි මට්ටමෙන් එයට සම්බන්ධ වීමේදි නොයෙකුත් පැතිකඩ පෙනෙනවා. එක පැත්තක් තමයි මේක අත්සන් කරන්නේ ඉන්දියාවේ උවමනාවටයි කියන තර්කය. නැත්නම් මෙයට දින වකවානු දාගෙන හදිස්සි කරන්නේ ඇයි කියන එකයි නැගෙන ප්‍රශ්ණය. මේ වගේ ගිවිසුමකදි රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන මට්ටමෙන් මේවායේ කාලවකවානු ගැන යම් පූර්ව එකගතාවයන් ඇතිකර ගැනීම සාමාන්‍යයි. සමහරු කියන්නේ අපට නොවේ අපේ දරුවන් ගැන හිතලයි මෙයට විරුද්ධ වෙන්නේ කියා. රටේ Regulatory framework එක හරි හැටි හදා නොගෙන මේ වගේ ගිවිසුමකට යාම වැරදියි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒක ඇත්ත. ඒත් අපි දිගින් දිගටම බලාගෙන හිටියොත් අපිට ඉතුරු වෙන්නෙ අනික් අය විසිකරල නැත්නම් අතඇරල ගිය දේවල් විතරයි. විශාලම තර්කයක් තමයි මිළ අඩු ශ්‍රමය ගලාගෙන එයි සහ බාබර්ලට ටේලර්ල ඇතුළු වෘත්තිකයන්ට රස්සාවල් නැතිව යයි කියන එක. අපේ අය බටහිරට යන විදියටම දකුණු ආසියාවේ බොහෝ දෙනෙක්ට ලංකාව පාරාදීසියක් වෙයි කියනවා. මේ සම්බන්ධයෙන් වැඩ කරන කට්ටිය ඉන්දියන් ඒජන්තලා හැටියට නම්කර තියෙනවා.
මේ සතියේ ඉරිදා බලාගෙන හිටියත් සිහිනයකි රෑ වැඩසටහන තිබුනේ නැහැ. කලින් ලියුවා වගේ මට තෝරන්න ලැබුණා නම් මම තෝරන දෙවැනි ගීය මේ. ඉතාම සෙනෙහෙබර සිංහල දරු නැළවිලි ගී ගණනාවක් මගේ මතකයට එනවා. විශාරද නන්දා මාලිනියගේ චන්ද්‍ර මඩුළු යට සුරංගනාවෝ, විශාරද සුජාතා අත්තනායක ගයන පරසතුමල් චිත්‍රපටයේ එන ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ, රුක්මණි දේවිය ගැයූ අහසින් පොළවට චිත්‍රපටයේ එන දොයි දොයි දොයි දොයිය පුතා, වික්ටර් රත්නායකයන් ගයන සිරිමා බෝමුල මුණිදුන් වැඩ හිද දස මර සේනා දිනූ බෙලෙන්  ආදී මේ සියළු ගී අතරින් මව්පියන්ගේ දරු සෙනෙහස පිරී ඉතිරී යන ගීය කියා මා සලකන්නේ අරිසෙන් අහුබුදු ශූරින් ලියු ප්‍රවීන ගායිකා ලතා වල්පොල ගයන සංදේශය චිත්‍රපටයේ එන පහත ඇති ගීයයි. දන්නා තරමින් සංගීතය සුනිල් ශාන්ත ශූරීන්ගේ. මා හිතන්නේ මෙය මුළු ලෝකෙම තියෙන අසම සම දරු නැළවිලි ගීයක් හැටියට. මට පෙනෙන්නේ එය ලියා ඇත්තේ තාත්තා කෙනෙකුගේ ඇසින් බවයි.

සුදට සුදේ වළාකුළයි නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පනිවිඩයයි පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

සුරංගනාවනුයි වළාකුලු ඔසවා ගෙන එන්නේ
හදමාමයි සිනා සිසී රිදී පාන අල්ලන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

හදපානේ මද සුළගයි එපනිවිඩය කියවන්නේ
අහසේ රන්තරු අකුරින් දෙවියන් එය ලියවන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

තව මූනකි පුතුගෙ වගේ කන්දේ ඒ බැබලෙන්නේ
ඒ මූනයි මේ මූනයි තව ටිකකින් සිප ගන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා

Saturday, February 13, 2016

Parallel Universe

ඊයේ ගමේ ගියේ තාත්තාගේ දානයට. දානය තිබුණේ අද. කන්තෝරුවෙන් දහවල් දොලහට යන්න හිතුවත් වැඩ ඉවර වෙනකොට තුනට කිට්ටුයි. අධිවේගී මාර්ගය හන්දා පැයක් ඇතුලත ගෙදරට යන්න පුළුවන් වුණා. දානය දහ නමක් වෙනුවෙන්. අපි පිරිකරට පොත් දහයකුත් ලෑස්ති කළා. හැමපොතකම තාත්තගේ ගුණානුස්මරණය වෙනුවෙන් කියළා පුංචි සටහනක් print කරලා ඇලෙවුවා. දල වශයෙන් එය ලියවී තිබුණේ මෙහෙම. තාත්තාගේ ගුණානුස්මරණය වෙනුවෙන් මෙම පුස් තකය අගත අනගත චතුදිශ ශගශ දිනේ. ඒ වචන බ්‍රාහ්මී අක්ෂර වලින් ලියවී තිබුණක්. මට කියලා දුන්නේ සු‍දේවි. එයා archaeologist කෙනෙක්.ඒකෙ තේරුම ආවාවූද නොඅවාවූද සතර දෙසින් පැමිණි සංඝයා වහන්සේට පූජාකරන ලදී.


ඊයේ රාත්‍රිය සම්පූර්ණයෙන්ම වගේ නිදිවැරූ හන්දා අද නිදිමතයි. යෝජිත ඉන්දු-ලංකා ගිවිසුම ගැන ගමේ අයගේ අදහස දැනගන්න ලැබුණා. මාධ්‍ය හරහා ලැබෙන ප්‍රචාරයට සමගාමීව එයට විරුද්ධ ප්‍රතිචාරයක් තමයි ලැබුණේ. ඒ ගැන මාධ්‍ය හරහා පුළුල් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි කියන එකයි මගේ අදහස.   


P.S. : ‍පොත් කට්ටලය ගුණසේන සාප්පුවෙන් අරන් මම යන්නත් කලින් ගෙදරට ගිහින් දීලා තිබු‍ණේ සුදේවි. 

Monday, February 8, 2016

සිහිනයකි රෑ

රූපවාහිනයේ ඉරිදා රෑ දහයට සිහිනයකි රෑ නමින් වැඩසටහනක් යනවා. කවුරුහරි ප්‍රසිද්ද චරිතයක් ගෙනැවිල්ලා ඔහු කැමති ගීත දහයක් එක ගායකයකු හෝ ගායිකාවක් ලවා ගායනා කරවනවා. ඒක ජනප්‍රිය වැඩසටහනක් කියා මා හිතන්නේ. මට ඒ වගේ ගීත තෝරන්න දුන්නා නම් මා තෝරන ගී වලින් එකක් මේ. අවුරුදු ගානකින් මේ ගීය ඇහුනේ නැහැ. ගායනය වික්ටර් රත්නායක, පද මඩවල රත්නායක සංගීතය අමරදේව. මගේ හැඩි දැඩි වචන වලින් මෙය මා රස විදින හැටි කියා එහි ලස්සන නැති කරන්න බළාපොරොත්තුවක් නැහැ.

රෑ කල පැලට වී හේනේ ලගින්නේ
පාලුව හෙමින් මගෙ පැලටත් එබෙන්නේ
මේ අටවකයි සද අහසේ පිපෙන්නේ
මා සිත ලගට මැණිකේ පිය නගන්නේ

ඔබෙ තනි රකින්නයි මා කවි කියන්නේ
ඒ තනියටයි වල් ඌරන් දුවන්නේ
සුළගේ සීතලට නෙත් ඔබ සොයන්නේ
වෑකන්ඩියේ මහ නුගරුක පෙනෙන්නේ

පහල බෑවුමේ ඉදලොලු පදුරෙන්නා
කොල මල්ලෙන් එකක් ගෙට මා ගෙන එන්නා
කොල ඇඹුලකට තෙලටිය දළු කඩන්නා
හිරු එළියට කලියෙන් මා ගෙට එන්නා


Friday, February 5, 2016

නිදහස

අද නිදහස් දිනය. හිතේ නම් ඒ තරම් නිස්කලංක බවක් නැහැ. ඒ මගේ හිතේ. Sir Arthur Levis ගේ සංවර්ධන න්‍යාය අනුව ග්‍රාමීය සහ නාගරික අංශ අතර තියෙන dualism එක නැති වෙලා ගිය දවසට තමයි රටක නියම සංවර්ධනයක් ඇති වන්නේ. ඒ කියන්නේ නිස්කලංක බවක් (සමතුලිතතාවක්) ඇති වෙන්න ඕනා. හැමෝගෙම නැත්නම් බහුතරයේ හිත් වල නිස්කලංක බවක් ඇතිවන දවසට අපිට නිදහස ලැබෙයි. සල්ලිය බාගේ විතරක් තිබුනට ඒ නිස්කලංක බව ලැබෙන්නේ නැහැ. මම හිතන විදිහට හෘදයාංගම ඇසුරු, වඩා හොද එහෙම නැත්නම් හිතකාමී ජීවනෝපායන්, ආරක්ෂාකරීබව වගේම ඉහල මට්ටමක (? ) විනෝදාශ්වාදය ඇතුළු බොහෝ දේ ඊට ඇතුලත්. හැමදේම Rapid Evolution එකක තියෙන කොට සංහිදියාවක් නැහැ. ඉතාම සමීප සම්බන්දකම් පවා දවසින් දවස වෙනස් වෙමින්, වියැකී යමින් තියෙන බව උපේක්ෂාවෙන් මම බලා ඉන්නේ. අළුතෙන් හමුවෙන සමහර චරිත රකුසන් වගේ. සමීපව හිටියත් ප්‍රියයන්ගෙන් ඈත්වීම දුකක් වගේම තරමක් ඈතින් හිටියත් අප්‍රියයන් ලංවීම දුකක්.

ජීවිතයේ සංහිදියාව නැත්නම් නිස්කලංක බව තිබුණු කාල වකවානු තිබුණා. ළමා කාලය, පාසල් දිවිය, විශ්ව විද්‍යාලේ, රැකියාවේ සෑහෙන කාලයක්, වගේම විවාහ දිවියේ මුල් යුගය ගෙවුනේ සංහිදියාවෙන් බවයි මතක් කරන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් ජීවිතයේ නිස්කලංක බව අහෝසිවෙලා ගිහින් කියළා. කොහොම වුනත් වැඩ අධික වීම හෝ විවිධ අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවීම හිතේ නිස්කලංක බව බිදින්නට හේතුවක් නොවෙයි.

නිදහස් දිනයට යන parade එකේ යන සොල්දාදුවන් කණ්ඩායමකට හෝ අපේ රජකාලෙ ඇදුම් ආයිත්තම් අන්දවලා කඩු හෙලි සහිත ඛණ්ඩයක් හදන්න ඕනා කියන යෝජනාව  කලකට පෙර ගෙනාවේ අපේ මිත්‍රයකු වන විජිත. ‍එම යෝජනාව ආරක්ෂක ලේකම් වෙත යොමු කළ බව මතකයි. කඩුහෙලි කෙසේ වෙතත් ජාතික කොඩි රැගත් එවැනි ඛණ්ඩයක් මෙවර සහභාගි වුණා. (ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියන එක අශෝභනයි කියලා අපේ මිත්‍රයෙක් පෙන්වා දුන් නිසා දැන් ඒවා ඉංග්‍රීසියෙන්ම ලියනවා.)


අද කියවන්නට ලැබුණු ප්‍රස්ථාව පිරුලක් මේ. Things may come to those who wait, but only the things left by those who hustle. රටක් හැටියට අපි තාම waiting වගෙයි මට හිතෙන්නේ. එහෙම ඉන්නකොට ඉදලා හිටලා දේවල් අතට අහුවෙනවා. එතනින් එහාට ගමන් අරඔන්නේ කවදාද? දැන් වුනත් නොයනවාම නොවෙයි. ඒත් true North එක අපි හොයා ගන්නේ කවදාද?

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...