Tuesday, March 22, 2016

කොළොම් තොට නැත මහළුවී......



මා රාජකාරී වශයෙන් සම්බන්ධ ආයතනයක එක්තරා කළමනාකරුවෙකු ගේ කාර්‍යසාධනය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් පැන ගැනුනු කල, ආයතන ප්‍රධානියා විසින් ඔහුව bypass කර ඔහුගේ දෙවෙනියා වෙත සෘජු ලෙස වැඩ පැවරීම් කිරීම නිසා ඇතිවූ අප්‍රසන්න තත්ත්වය ගැන ඊයේ පෙරේදා දැන ගන්නට ලැබුණා. රජයේ සේවයේ නිළධාරින්ගේ කාර්‍යසාධනය කෙසේ වෙතත් ඔවුන් තනතුරු වලින් පහ කිරීමේ අපහසුතාවය ඊට හේතුවක්. ඒත් එහෙම නොවෙනවා මත් නොවෙයි. කෙසේ වුනත් මේ වගේ තත්ත්වයක් ඇති වුනහම පාර්ශව තුනටම අප්‍රසන්න වන්න පුළුවන්. කලකට පෙර මාත් මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නා මතකයි. වෙනස එහිදී නිතර වඩා ඉහල නිලධාරින්ගෙන් බැනුම් අසන්නට වීම හන්දා ඒ වගේ දෙයකට යොමුවීමට පහල නිලධාරියාට සිදුවීමයි.

ඔබේ වැඩ not up to the level කියා අසන්නට වීම කෙනෙකුට ඉතා බරපතල දෙයක්. විශේෂයෙන්ම තම ආයතන ප්‍රධානියාගෙන්ම. ඊයේ පෙරේදා මම එවැනි තත්ත්වයකට මුහුණ දුන්නා. මේ වගේ assessments බොහොම Subjective වෙන්න පුළුවන් වුනත් ඒ කතාව ඇත්ත කියළා මමත් කල්පනා කළා. මෙතන රාජකාරී වාහල්කඩක් ප්‍රතිසංස්කරණය කරන තරම් ලේසි නොවෙන්න පුළුවනි. ඉස්සර නම් එවැනි වෙලාවක දෙපාරක් නොසිතා වෙනත් සේවා ස්ථානයකට මාරු වී යනවා. Irony එක කියන්නෙ ඒ කාලේ මෙහෙම දෙයක් හීනෙන්වත් නොවුනු එක. මටම විශ්වාසයක් තිබුණා මම හරියට වැඩකරන බව. ඉස්සර නම් කොහේ ගියත් ඒ කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කිරීම කජු කන්නා වගෙයි තේරුනේ. ප්‍රායෝගිකව ලත් අත්දැකීම් ද එයින් දුරස් වුණේ නැහැ. ඒත් මම මේ අවස්ථවේ හිතුවේ මගේ කාර්‍යසාධනය ඉහල නංවා ගන්න යම් effort එකක් දාන්න ඕනා කියළා.

කෙනෙකුගේ කාර්‍යසාධනය බාල වන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. ඉන් සමහරක් ඒවා අදාල පුද්ගලයාගෙන් ස්වායත්ත වන්නටත් පුළුවන්. එත් මේ එකක්වත් නිදහසට කාරනා නොවෙයි. මහාචාර්‍ය විනී විතාරන ලිපියක ලියලා තිබුණා වගේ අපේ රට සියල්ලෙන් නොම්මර එක කිය කිය ඉන්නේ නැතිව අපේ comparative and competitive advantages තියෙන ඉසව් සොයා යන්නට අවශ්‍යයි. (අපි ‍ඉස්සර කිව්වේ අපායට රජ වෙනවා කියා)

අද මැදින් පොහොය හන්දා නිවාඩු. මේ දවස්වල දිවා කාලේ පවතින්නේ අධික රස්නයක්. ඒ හන්දා ද කොහෙද එක දිගට එක වැඩක යෙදී ඉන්නට අමාරුයි. තාත්තාගේ පුවත් පත් ලිපියක් ටයිප් කළා ලිපියක් ලියුවා (‍ඉවර නැහැ). ඊට අමතරව ගෙදර housekeeping වැඩ කෙල කෝටියයි.

ඊයේ පෙරේදා මහ ගෙදර ගිය වෙලාවේ චෙන්ගීස් අයිත්මාතව් ගේ පළමුවන ගුරුවරයා පොත උඩින් පල්ලෙන් වගේ නැවත කියවූවා. එහි ගුරුවරයා වූ දුයිෂෙන් පාසලේ බිත්තියේ එල්ලා තිබුණු ලෙනින් ගේ පින්තූරය අල්තීනායි දකින ආකාරය විස්තර කෙරෙනවා. මට මතක් වුනේ නිම් වළලු පොතේ මා පුරසාරමින් ලියා ඇති රුසියාවෙදී මට ලැබුණු ලෙනින් ත්‍යාගය. ඒ මා ලියූ රචනාවට. මා එහි ලියූ දෙය මතක් කලොත් චින්ගීස් අයිත්මාතව් ලියා ඇති දෙයට යම් සමාන කමක් ඇති බව හිතන්නට පුළුවන්. ඒත් ඔහු එසේ ලියා ඇති බව මට මතක් වුනෙත් මේ සැරේ පොත කියවූ විටයි. කොහොම වුනත් කොපි ගැහුවා වගේ තේරුණා නම් ඔවුන් මට පළමු ත්‍යාගය දෙන එකක් නැහැ. හැබැයි බොහොම පුංචි කාලේ කියවපු දේ මගේ හිතේ රැදී තිබුනා ද? මම රචනාවේ පිටපතක් හෝ තියා නොගත් නිසා දැන් වැඩිය මොකුත් කියන්නට බැහැ මේ ගැන.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...