Saturday, March 12, 2016

Small boys





සාමාන්‍යයෙන් මගේ ලියවිලි වලදී පුද්ගලයින්ගේ නම් සහන් කරන්නේ නැතිවට බැරි යැයි සිතුනොත් පමණයි. ඒත් ලදී ඉන් මම මේ සම්ප්‍රදාය තරමක් වෙනස් කළා.  ලියන දෙයින් කාට හෝ අවැඩක් සිදු වෙන්නේ නැති නම් සහ වැඩක් වෙන්නට පුළුවන් යැයි සිතේ නම් නමින්ම ලිවීමේ වරදක් නැති බවයි මම දැන් හිතන්නේ.
ඕස්ට්‍රේලියාවේ ඉන්න ඩී. බී. කුරුප්පු මහතාට කතා කරන්න අවශ්‍ය වුනේ රයිගම ගැන ගුරුහරුකම් ගන්නයි. වික්ටෝරියා ප්‍රාන්තයේ ආදී ආනන්දියන්ගේ ‍face book පිටුවක එතුමාගේ නම සහන් වූ හන්දා ඔවුන්ගෙන් සම්බන්ධතා අංකයක් විමසුවා. දිනක් ඇතුළත එයට ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ අනුව කුරුප්පු මහතාගේ ඊ-මේල් ඇඩ්‍රසයට මා යැවූ ලිපියට ඉක්මනින්ම පිළිතුරු එවන්නට එතුමා කාරුණික වුණා. එමගින් අපට සම්පත්දායකයින් දෙපලක් හඳුන්වා දී තිබුණා. ඉක්මනින් ඔවුන් හමු වන්නට අපි සිතා ගත්තා.
කුරුප්පු සර් ආනන්දේ උගැන්වූ කාලයේම එහි ඉගැන්වූ, කාලයකට පසුව නැවතත් පාසලට පැමිණි සමරවික්‍රම සර් නේවාසිකාගාරයේ අපි බොහෝ කාලයක් ගතකළ ඉන්ටර් ඒ  සයනාගාරේ භාර ආචාර්‍යවරයා විදිහට සිටි බව මම ලියා යැවුවා. සමරවික්‍රම සර් ඉගැන්වූයේ උසස් පෙළ සාහිත්‍ය විෂය බවයි මට මතක. ඒ හන්දා එතුමාගේ පන්තියක සිට උගෙන ගන්න අපට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ දවස් වල ඔහු ගමන් බිමන් ගියේ ඔහුගේ කාරයෙන් බවත් අපට මතකයි.
පතහවත්ත ගැන ලියද්දි එතුමා ලියා තිබුණේ කලකට ඉහතදී සර් ජෝන් කොතළාවල පිළිගැනීම සඳහා බණ්ඩාරගම හන්දියේ සිට ඔවුන්ගේ පාසල් නැටුම් කණ්ඩායම උඩරට නැටුම් නටමින් පතහවත්තට පැමිණි බවයි. මා ඊට කලින් එතුමාගේ පොතකත් එහෙම ලියා තියෙනවා දුටුවා. ඒත් මම හිතුවේ එය වැරදීමක් වෙන්න ඇත කියායි. මොකද බණ්ඩාරගම හන්දියේ සිට පතහවත්ත පන්සලට කිලෝමීටර දෙකක් පමණ දුර තියෙන හන්දා. එහෙත් ඒ දවස්වල හැටියට එය සාමාන්‍ය දෙයක් වන්නට ඇති. මොකද ඔහු විසින්ම ලියා ඇති පරිදි උඩුවේ සිට හොරණ තක්ෂිලාවට මුලදී ගිහින් ඇත්තේ පයින්. මහපාරෙන් යනවාට වඩා කෙටි පාරවල් පාචිච්චි කළ බව ‍අමුතුවෙන් කියන්න ඕනා නැහැ. මම කලින් සටහනක ලියා ඇති පරිදි ගුනදාස ලියනගේ මහතා ලියා ඇති පරිදි මීට වඩා ඉතා දුරක් ඔහු පාසලට පයින් ඇවිත් තියෙනවා. සිකුරාදා සරසවි පොත්හලට ගොඩවැදුනු වෙලාවේ කුරුප්පු මහතා විසින් ලියූ පොත් කිහිපයක් ම මිලදී ගන්නට පුළුවන් වුණා.
රාජකාරී කටයුත්තකට මට පේරාදෙණිය සරසවියේ භූවිද්‍යා අංශයට කතා කරන්නට උවමනා වුණා. මට මතක් වුණේ පාසලේ හයේ පන්තියෙදි මගේ හොඳම යහළුවා වුණු චන්ද්‍රජිත් එහි සිටින බව.චන්ද්‍රජිත් ආවේ වේයන්ගොඩ කීනවල සිට. එහෙත් පාසලෙන් පසුව අපි හමුවී නැහැ දැන් බොහෝ කාලයක්. ඉතින් මම නිකමට ඔහුගේ face book පිටුවේ සටහනක් දැම්මා මා මතකද අසමින්. ඔහු ලියා තිබුණේ small boy from Horana ඔහුට ඉතා හොින් මතක බවයි. (ඔහු මට වඩා අලක් විතර උස වෙන්නට ඇති) ඒක සත්‍යයක් මම ඒ දවස්වල පංතියේ උස අඩු පැත්තෙන් දෙවෙනියා. පළමු තැන ගත්තේ කෑගල්ලේ සිට පැමිණි මා මෙන්ම නේවාසිකයෙකු වූ විජිත උඩවෙල. පුංචි හන්දා කවුරුත් ඔහු ඇමතුවේ විජිත පැට්ටා කියා. ඔහු දැන් කොහෙද ඉන්නේ කියා ආරංචියක් නැහැ. චන්ද්‍රජිත් අද මහාචාර්‍යවරයෙක්.


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...