Monday, April 10, 2017

එළි දැක්වීම

කලින් සැලසුම් කර ගත් විදියට අළුත් පාර පොත එළිදැක්වීම ගමේ පන්සලේදී පැවැත්වූවා. ප්‍රධාන කතිකයින් හැටියට මහාචාර්ය රොහාන් සමරජීවත් මගේ හිතමිත්‍ර ආචාරය ටියුඩර් වීරසිංහත් පැමිණියා. රාජකාරි වැඩ මැද්දේ මෙය සංවිධානය කර ගැනීම අභියොගයක් වුණා. එයට වැඩි වශයෙන්ම උර දුන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්. ශාලාව සැකසීම, පුටු 100 ක් සපයා ගැනීම, ශබ්ද විකාශණ පද්ධතිය, වේදිකාව, සිසිල් බීම සහ තේ වතුර සහ මෙකී නොකී දහසක් දේ උන්වහන්සේ දායක සභාවත් එක්ක එකතු වෙලා කරලා තිබුණා. මට තිබුනේ ආරධනා පත්‍ර සකස් කරන්න. ඒවා බෙදන්න. සමරුඵලක දෙකක් දේශකයින් ට පිරිනැමීමට සකස් කරන්න. රූපවාහිනයෙන් සහ පත්තරෙන් ප්‍රචාරයක් ලබා දෙන්න වගේ දේවල්.

ගමේදී මේ වගේ දෙයක් පැවැත්වීම අභියෝගයක්. ගමේ කිහිප දෙනෙකුටත් මම ආරාධනා කළා. මෙය මොන වගේ හැඩයක් ගනීද කියලා මට හිතාගන්න බැරිවුණා. රුසියන් සහෝදරයින් (අප සමග රුසියාවේ ඉගෙන ගත්) සෑහෙන දෙනෙක් ආපු එක මට ලොකු හයියක් වුණා. ‍අමාත්‍යාංශයේ සහ ආයෝජන මණ්ඩලයේ ආරාධනා කරන්න හැකි වුණ සහෝදර නිලධාරින් බොහෝ දෙනෙක් ඇවිල්ලා හිටියා. බණ මඩුවක් හන්දා පිරිස ඉන්දවීමම ප්‍රශ්ණයක්. පිටි පස්සෙන් වාඩි වෙන්න තමයි හැමෝම බලන්නේ. කොයි තරම් කිව්වත් ඉස්සරම පේලිය පුරව ගන්න බැරිවුණා.

මේක අභියෝගයක් කිව්වේ කාරණා ගණනාවක් නිසා. මම අම්මාත් සමග මේවා ගැන කතා කළා. මේ උත්සවයට හෝ අපේ ‍මහ ගෙදරට මගේ බිරිද එන්නේ නැත්තේ ඇයි කියන එක බොහෝ දෙනෙකුට කුහුල දනවනවා ඇති. ඒත් කවුරුවත් කෙළින්ම අහන්න මැලි වනවා. මේ එළිදැක්වීම සම්බන්ධයෙන් සමහරු දක්වපු ආකල්පය පුදුම සහගතයි. ඔවුන් සියළු දෙනා අන්තිම මොහොතේ පැමිණ ඉතා ඈතින් වාඩි වෙලා මේ දිහා බලාගෙන හිටියා. ඔවුන්ගේ මුහුණු වල තිබුනේ මේ පිස්සා මොකක්ද මේ නටන නාඩගම වගේ ස්වරුපයක්. එක එක් කෙනාට ඒ සදහා විවිධ හේතු ඇති. සමහරු මාත් සමග අමනාපද කියලා දෙදෙනෙක්ම මගෙන් අහන තරමට ඒක පෙනුණා. අම්මා නම් හැමදාම වගේ මෙය ඉතා හොදින් කෙරුනු බව මට කිව්වා.

මම හාමුදුරුවන් සමග බොහෝ කලකට පෙර කිව්වා මගේ ඊළග පොත එළිදක්වන්නේ රයිගම ජන උරුම කේන්ද්‍රය නම් වූ අපේ සිහින මන්දිරයේ කියලා. යම් යම් හේතු මත අපට තවමත් එය කර ගන්න බැරි වුණා. කෙසේ වෙතත් අපට ඕනා වුනේ මේ පන්සල් බිම දැනුමේ කතිකාවේ කේන්ද්‍රයක් බවට පත් කරන්න. කෙසේ වෙතත් අළුත් පාර මුද්‍රණය වුණු වෙලාවේ එළි දැක්වීම ගැන මම දෙපාරක් හිතුවා. කොහොම වුනත් අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමිය මේ සදහා දිරිගන්වපු හන්දා මට මෙය කරන්න සිදු වුණා කිව්වොත් නිවැරදියි.

අරාධනා කරපු සමහර දෙනෙක් නොපැමිණියත් නොහිතපු කට්ටියත් පැමිණ සිටියා. සිරිසුමන ගොඩගේ මැතිතුමා සහ මැතිණිය, කස්ටම් එකේ ආචාර්ය කුමානායක වගේ කිහිප පොලක් ඒ අතර වුණා. ඒ කට්ටිය එක්ක හරියට කතා කරන්නවත් මට බැරිවුනේ වැඩවලට හිර වෙලා හිටිය හන්දා. එච්චර දුරක් ගෙවා ගෙන තනිව පැමණි අය ගැන නොතකා සිටීම වැරදියි. ඒත් මේවාට මට උදව් කරන්න ඉන්නේ කවුරුද? දේශණ දෙක සහ සාකච්ඡාව හොදින් කෙරුණා. සාකච්චාවට වෙලා මදි වනු එක වෙනම දෙයක්. කායික මහන්සියටත් වඩා මානසික මහන්සිය හන්දා පසුවදා මට උණ ගැනුනා. පත්පාඩගම් වලින් දැන් තරමක් සමනය වෙලා. අන්තිමේදී මට සතුටක් හෝ දුකක් දැනුනේ නැහැ. Just another day…..  

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...