Tuesday, December 29, 2020

Spring cleaning

 


විවිධ හැලහැප්පීම් එක්කම අවුරුද්දක් ගෙවී ගියා. පසුගිය සති අන්තය දීර්ඝ එකක් වුනත් කිසියම් හෝ චාරිකාවක නිරත වෙන්න අවසරයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ගෙදර генеральная уборка එකක් කළා. රුසියාවේ සිටි දවස්වල අවුරුද්දේ එක් දිනයක් යොදා ගෙන මේ වගේ කුණු රොඩු, සුන් බුන් අයින් කරන වැඩසටහනක් කරනවා. මතක හැටියට අප්‍රේල් මාසයේ දිනයක තමයි මෙය සිදු කලේ. අවුරුද්ද තිස්සේ හිතාමතා හෝ නොසිතාම එකතු වන අනවශ්‍ය දේවල් අයින් කරන එක තමයි මේ වැඩසටහනේ තේරුම. මේවගේ වැඩසටහන් නිතිපතා කරන්නේ නැති හන්දා අපේ ගෙවල් වල අයින් කරන්න තියෙන දේ බොහොමයි. ඒ නිසා දවස් කිහිපයක් වැඩ කලත් ඒ කාර්යය ඉවර කරන්න බැරි වුණා.

අවුරුද්ද ඉවර වෙන කොට හෝ ඔළුගෙඩි වල එකතුවෙලා තියෙන රොඩු බොඩුත් අයින් කරන්න පුලුවන් නම් හොඳයි. එයට නම් ගෙදර ඉඳන් කරනවාට වඩා අලුත් පරිසරයකට ගිහින් නිවාඩු පාඩුවේ කලොත් තමයි ප්‍රථිඵලදායක වන්නේ. සමහර විට පන්සලට ගිහින් සිල් ගන්න එකත් ඒ වගේ එක් ක්‍රමයක් වන්න ඇති. නමුත් අද නම් එය භාවිතා වන්නේ ඊට වඩා වෙනස් විදියකට කියලයි හිතෙන්නේ.    

විවිධ හැලහැප්පීම් හේතුවෙන් ලිවීමේ කාර්යයත් සෑහෙන්න අතපසු වුණා. ඉක්මනින් එය ආරම්භ කිරීමට අවශ්‍යයි. අඩුම ගානේ ලියපු පොත එලිදැක්වීමට හෝ යහළුවන් අතරේ බෙදා දීමටවත් බැරි වුණා. මුද්‍රණාලය තාබෙන පෙදෙසත් ලොක් ඩවුන් කරළා. පසුගිය සති කිහිපයේම අමතර රාජකාරියකුත් කරන්න සිදු වුනා. රියදුරෙකුගේ වැඩත් මටම කරගන්න වුණු හන්දා අතරමගදී කියවීම එහෙමත් නැවතුණා. සමහර වෙලාවට අතරමගදී කියවන්නට ලැබෙන්නේ පොහොම ස්වල්පයක් වුනත් එය දිනයකට හොඳ උත්තේජනයක්.

 

Wednesday, October 21, 2020

සෝවියට් සුවඳ

 

මේ දිනවල ඉරීනා මලෙන්කෝ විසින් රචිත Sovetica තුන් ඈඳුතු නවකතාවේ (චරිතාපදානය) දෙවෙනි කොටස (පළමු කොටසේ සිංහල දෙවන කොටස) කියවමින් ඉන්නේ. මේ කොටස කියවන විට සිතුනු දේ තමයි සෝවියට් සංගමය බිඳවැටීමේ පලවිපාක අපි හරියට දැක්කේ නැහැ කියන එක. ඒකට කාරනා කිහිපයක් හේතු වන්නට පුළුවන්. එක පැත්තකින් අපි සිටි යුක්රේනයට වෙනසේ සුළග හමන්න ඇත්තේ ටිකක් ප්‍රමාද වී. අපි ආපසු පැමිණි කාලය තුළ සියළු වෙනස්කම් අපට දකින්නට බැරිවීම. එමෙන්ම වෙනස්කම තදින්ම සහ සීඝ්‍රයෙන් බලපාන්නට ඇත්තේ මොස්කව් වැනි අධිනාගරික කලාප වලට වීම. ඒ ඒවා නාගරික වූ හන්දා පමණක් නොවෙයි. බොහෝ කොට පොදු අයිතියක්ව තිබූ නිෂ්පාදන සාධක සහ දේපල වලට අතපොවන්න හැකි සමාජ කොටස් එහි කේන්ද්‍රගතවී සිටිය හන්දා වෙන්න පුළුවන්.

කෙසේ නමුත් මලෙන්කෝ මේ පශ්චාත් පෙරිස්ත්‍රොයිකා යුගය තදින් හෙළා දකිනවා. සෝවියට් යුගයේ තිබූ විශිෂ්ට ලක්ෂණ තදින් අගයනවා. එහෙත් ඇය පිටරට වෙත යම් නැඹුරුතාවයක් ඇති බව කියන්න පුළුවන්. ඇයගේ අධ්‍යයන ක්ෂේත්‍රය වන්නේ අප්‍රිකා අධ්‍යයනය. උදාහරණයක් හැටියට (කතාවේ එන හැටියට) ඇය රුසියන් තරුණයන් ප්‍රිය කරන්නේ නැහැ. එහෙත් විදේශීය සිසුන් ඇයට සමීපයි. එයින් අදහස් වන්නේ නැහැ ඇය සෝවියට් ක්‍රමයට විරුද්ධයි කියා. සොවියට් ක්‍රමය බිහි කරන නිදහස් චින්තනයක් ඇති මිනිසාට ගැලපෙන සමාජ ක්‍රමය ඔවුන්වෙතින් ගිලිහෙමින් තිබුණා යැයි සිතන්නට පුළුවන්. ඒ හෙතුවෙන් ඇයට වෙනත් රටවල වීරචාරිකා සොයා යාමට සිදුවනවා වගෙයි පෙනෙන්නේ.

ඇය මුලින්ම නවතින්නේ නෙදර්ලන්තයේ. එහි යාමට පශ්චාත් පෙරිස්ත්‍රොයිකා සමයේ ඇයගේ කලකිරීම හේතුවනවා  නිසැකයි. නෙදර්ලන්ත සමාජය ගැන පසුව ඇය තදින් කලකිරෙනවා. පසුව ඇය අයර්ලන්තයට සංක්‍රමණය වනවා.

මේ අතරම ඉංජිනෙරු පී පී විජේසේකරගේ සංවර්ධනය අඩාල කරන භූතයා දුම්රිය ගිල ගැනීම නම් ප්‍රකාශනය නොවූ සේ පෙනෙන පොත කියෙව්වා. නිර්මාණශීලි රජයේ සේවකයකුගේ ඉරනම එයින් කියවෙනවා. මේ පොත් දෙකම නවකතා නොව සංවර්ධනය පිළිබඳ කියවීම් හැටියට සලකන්න පුළුවන්. 


Tuesday, October 13, 2020

To have and to lose

 



මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය මාසයේ පැවැත්වුනා. කොවිඩ් හො වෙනයම් හේතු හන්දා වෙනදා තරම් ජන සහභාගිත්වයක් තිබුනේ නැහැ. මටත් දින දෙක තුනක් එහි යන්නට හේතු යෙදුනා. මගේ අළුත් පොත මුද්‍රනය වී ඒහි ප්‍රදර්ශනය වීම හේතුවෙන්. (සති දෙකක්ඉ පමණ කාලයක් ඇතුලත පොත සකසා මුද්‍රනය කිරීම ආශ්චර්යයක්) ඉක්මනින් පොත නිම කිරීම නිසා ප්‍රකාශකයාට කරන කෘතගුණ දැක්වීමක් හැටියට මම ඒම කුටියේ ටික වේලාවක් රැඳී සිට මගේ මිත්‍රයන් පොත් ගන්න පැමිනි විට ඔවුන් හට සමරු සටහනක්ලියා දීම සිදුකලා. හදිසිය හන්දා පොත එලිදැක්වීමක් කළේ නැහැ. එහෙම පසුව කරන්නට සිතා ගත්තත් නැවතත් කෝවිඩ් උග්‍රවීම හන්දා එය දැන්ම තියන්න ලැබෙන එකක් නැහැ.

ඇත්තටම කිව්වොත්, මේකත් එක්තරා එලි දැක්වීමක් තමයි. වොෂින්ටන් නගරයේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට වරක් ගියවිට එහි විවෘත ශාලාවක් අයිනක මේසයක් තබා ගෙන ලමා පොතක් අලෙවි කරන අයෙක් මම දැක්කා. මම පොතක් මිලදී ගන්න ගියාම ඔහු කීවේ එය අළුත් පොතක් කියා. පොත කියවන්න දෙන්නේ කාටද කියලා අහලා නම් වලින් ම ආමන්ත්‍රණය කරලා ඔහු සමරු සටහනක් ලියා දුන්නා.

මෙවර ප්‍රදර්ශණයේදී අළුත් පොත් කිහිපයක්ම මිලදී ගන්න පුළුවන් වුණා. ඒ අතරින් ලුමුම්බාවේ හත් වසක් නැමැති කෘතිය සහ ඩී බී කුරුප්පු මහතාගේ ජීවන තොරතුරු ඇතුලත් පොත් කියවා නිම කළා. ලුමුම්බාව ගැන පොත ලියා තිබුණේ එස් ජයරත්න නම් කතුවරයෙක්. එහි විශේෂයෙන් මාක්ස්වාදය හා දර්ශනය පිළිබඳ සෝවියට් ඉගැන්වීම් පිළිබඳ බොහෝ විස්තර ඇතුලත්. ඩී බී කුරුප්පු මහතාගේ පොත් වලින් හොරණ ප්‍රදේශයේ අතීත සමාජ රටාව පිලිබඳ අවබෝධයක් ගන්න පුළුවනි. වරක් රයිගම් කෝරලයේ පැරණි තොරතුරු අසා ඔහුට ඊ මේලයක් යැවූ විට ඔහු හැරෙන තැපෑලෙන් උත්තර දී තිබුනා.

චින්ගීස් අයිත්මාතව් ගේ නවකතා වලින් පළමු වරට කියෙව්වේ පළමුවැනි ගුරුවරයා. ඒ් දශක කිහිපයකට කළින්. ඔහුගේ කෘති අතුරින් අළුතෙන්ම කියවපු ඒක තමයි To have and to lose කියන පොත. මිනිස්සුනගේ හැඟීම් සහ ඒ්වායේ ගතිකයන් පිළිබඳව අපූරුමාන දකින්නෙක් තමයි අයිත්මාතව්. මේ පොතේ ඔහු දිගහරින්නේ රියදුරෙකුගේ කතාවක්. රියදුරා එක පැත්තකින් අලුත් දේ සොයා යන්නෙක්. භාණ්ඩ ප්‍රවාහනය කාර්‍යක්ෂම කිරීම සඳහා ට්‍රක් රථයට ටේලරයක් යොදා කිර්ගීසියාවේ කඳුකර දුර්ග මාර්ග වල අත්හදාබැලීමක් ඔහු කරන්නේ හිතුවක්කාරකමින්. එය වැරදීයාම හෙතුවෙන් ඔහුගේ රාජකාරී ජීවිතයට එතරම් බලපෑමක් නොවන්නේ සෝවියට් ක්‍රමය හන්දා වෙන්න පුළුවන්. ඒත් එය ඔහුගේ පෞද්ගලික ජීවිතය උඩු යටිකුරු කරනවා.

අලුතින් ගත් තවත් පොත් කිහිපයක්ම තියෙනවා කියවන්නට. ජීවිතයේ විශේෂයෙන් රාජකාරීමය වශයෙන් අප්‍රසන්න කාල ගෙවා දමන්න හොඳ මිතුරෙක් පොත් පත්. ඊට සමගාමීම ලියන්න හිතුවත් ඒ සඳහා හිතේ නිස්කලංකබවක් හදා ගන්න අවශ්‍යයි.  

 

Wednesday, September 9, 2020

සයිබීරියාවේ ගිම්හානයක්

 Paying Guest in Siberia - Maria Hadow (Polish Deportations to Kazakhstan  1940)

මාරියා හැඩෝ Maria Hadow නම් ලේඛිකාවගේ ස්වයං චරිතාපදානයක් ලෙස ලියා ඇති Paying Guest in Siberia නම් වූ කෘතියේ සිංහල පරිවර්තනය කියවන්නට ලැබුණා. ඇය පෝලන්ත ජාතික කාන්තාවක්. දෙවන ලෝක යුද්ධය සමයේ සෝවියට් හමුදාව මගින් පෝලන්තයේ කොමියුනිස්ට් නොවන පුරවැසියන් හට සිදුවන ගැහැට පිලිබඳව එහි අඩංගු වනවා. හැම ගෙදරින්ම එක් අයෙක් තෝරා හරකුන් පටවන දුම්රිය මැදිරියක දමා සයිබීරියාවේ වැඩ කරන්න ඔවුන්ව යවනවා. දෙවන ලෝක මහා යුද්ධයේ අපි මෙතෙක් අසා නැති පැතිකඩක් එයින් අනාවරනය වනවා. යුද්ධයේ දේශපානිකත්වයත් සමග පරිපාලනය ක්ෂණිකව වෙනස්වන හැටි මෙහි අපූරුවට දක්වනවා. එකල සෝවියට් සංගමයේ කසාකස්ථානයේ ජීවන තත්ත්වය ගැන වැටහීමක් මෙමගින් ලැබෙනවා. කතාව පුරාම දිවයන්නේ මවක් සහ දුවක් අතර ඇති ආදරයේ නිම්හිම් නැති බව. මෙහිදී දුව අම්මා වෙනුවෙන් දරා ගන්නා දුක අප්‍රමාණයි. වින්සයන්ට් පෙරියප්පෙරුම ලේඛකයා විසින් සයිබීරියාවේ ගිම්හානයක් ලෙස සිංහලට කර ඇති පරිවර්තනය ඉතා ලගන්නා සුළුයි.   

Monday, August 17, 2020

දේවාල රාජකාරි

 

Soragune Devalaya | Flickr

පාසල් යන කාලයේ නිවාඩුවට හල්දුම්මුල්ලේ පිහිටි අම්මාගේ ගමේ ගිය ගමන් ගැන බොහෝ ලියා ඇති. වරක් එසේ නිවාඩුව ගත කරන අතරේ හල්දුම්මුල්ලට පහලින් ඇති සොරගුණේ දේවාලයේ වාර්ෂිකව පවත්වන පෙරහැර බලන්න ලැබුණා. ප්‍රදේශයේ ජනතාව එය හඳුන්වන්නේ කුඩා කතරගම දේවාලය කියා. කතරගම වගේම ගිණි පෑගීම්, කාවඩි නැටුම් ආදී අංග සියල්ලම මේ උත්සවයට ඇතුලත්. රාත්‍රියේ සීතලත් නොතකා බෙහෝ දෙනෙක් මේ උත්සවයට සහභාගි වන්නේ දේව භක්තිය සහ කෙලි සෙල්ලම් වලින් ලබන ආස්වාදය හේතු කොට ගෙන වෙන්න ඇති. තරුණ තරුණියන්ටත් මේක මිටෙන් ඇරපු කුරුල්ලන්ට වගේ නිදහස ලැබුණු කාලයක් බව පෙනෙන්න තිබුණා.  හිරිමල් වියේ හිටපු අපටත් උඩරටට අවේණික වූ රතුපාට කෙල්ලන්ගේ මල් හී සර වැදුනත් ඒවා දුර දිග ගෙනියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

මේ සියල්ල මතක් වුණේ පසුගිය දිනයක අපේ මාමා කෙනෙක් දුන්නු පණිවිඩයක් නිසා. පසුගිය කාලය තුළ දේවාලයේ රාජකාරි පැහැර හැර ඇති නිසා වහාම රාජකාරි කරන ලෙසත් එසේ නැතහොත් කුඹුරු ඉඩම් නීති මගින් ක්‍රියා කර පවරා ගන්න බවත් සොරගුනේ දේවාලයේ බස්නායක නිලමේ විසින් දන්වා ඇති හන්දා. ගමේ පවතින කතාවට අනුව නම් කුඹුරේ අස්වනු ලැබෙන්න කියලා ඒ කාලේ හිටපු මී මුත්තන් දේවාලෙට බාරයක් වෙලා තියෙනවා. සරු පලදාවක් ලැබුනොත් එයින් කොටසක් දේවාලයට දෙන්න පොරොන්දු වෙමින්. ඒක පසුව රාජකාරියකට හැරී ඇති බවයි කියන්නේ.

මේ දේවාල සම්බන්ධ සම්ප්‍රදායන් පසුව නීතිගතවෙලා තියෙනවා. විහාර දේවාලගම් පනත සහ 1870 අංක 4 දරන වැඩවසම් ආඥා පනතත් ඊට අදාලයි. ඒවා අනුව දේවාල පන්සල් වලට ඉඩම් වර්ග දෙකක් තියෙනවා. එකක් නින්ද නැතහොත් බණ්ඩාර ඉඩම්. අනෙක ප්‍රවේනි නැතහොත් රාජකාරි ඉඩම්. නින්ද ඉඩමක් නම් එය රජ්ජුරුවන් විසින් සන්නසකින් හෝ තුඩපතකින් පවරා තියෙනවා. රාජකාරි ඉඩම් පිලිබඳ ලැයිස්තුව තියෙන්නේ බස්නායක නිළමේ ලඟ. එය හඳුන්වන්නේ කොමසාරිස් ලේඛනය කියා.

රාජකාරි ඉඩම් සඳහා රාජකාරි කිරීම කුල අනුව විභේදනය වී ඇති බව පෙනෙනවා. උසස් කුලයේ අය වී කොටසක් දෙන විට පහත් යැයි සම්මත කුල වල අය හකුරු ලබා දීම, පන්දම් ඇල්ලීම්, කරත්ත බැඳීම් ආදිය කළ යුතු වෙනවා. ඒ අතරේ ආරංචි වුණු දෙයක් තමයි මහ සමන් දේවාලයේ රජකාරි සම්ප්‍රදායන් ගැන එයට අනුව එක්තරා කුලයක කාන්තාවන් බස්නායක නිලමේ ඉදිරියේ නිරුවතින් නටන්න ඕනෑලු. එය කරන්නේ රහසිගතව දොරවල් වසාගෙන.

කොහොම වුනත් මේවගේ මානව හිමිකම් පවා කඩවෙන රාජකාරී වෙනුවට ඒ සඳහා මුදල් ගෙවීමට හැකියාවක් සලසා දී තිබෙනවා. එහෙත් ඒ කාලේ නම් ඒ සඳහා ගෙවන්නට මුදල් නැතිවීම ප්‍රධාන ප්‍රශ්නයක් වන්න ඇති. කෙසේ වෙතත් මේ රාජකාරී ක්‍රමයන් ඉඩම් පරිහරනය කලමනාකරණයට යම්කිසි පිටිවහලත් වෙන්න ඇති. අඩුම ගානේ සියළුම ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගැනීමට එය ඉවහල් වන්න ඇති.   

Wednesday, July 29, 2020

කඳඅරනී

Bookmark.lk

සාහිත්‍ය මාසය එහෙම නැත්නම් වඩාත් නිවැරදිව කිව්වොත් කොළඹ පොත් ප්‍රදර්ශණය ඉලක්ක කරගෙන ප්‍රකාශයට පත්වන පොත් මේ දින වල ලහි ලහියේ එළි දක්වනවා. ඒ අතරින් නිශ්ශංක විජේමාන්න කතුවරයාගේ අලුත් පොත “කඳඅරනී ගන්නට පොත් සාප්පුවකට ගිය වේලේ එහි තිබූ තවත් අලුත් පොතක් වුනු ලියනගේ අමරකීර්ති විසින් රචිත ගම වට සිතියම කෙටි කතා පොතත් මිලදී ගත්තා. කවුරුත් දන්නා පරිදි ගියනගේ අමරකීර්ති කියන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල පිළිබඳ මහාචාර්යවරයෙක්. සිංහල පිලිබද මහාචාර්යවරයෙක් ලේඛකයකුවීම අගය කරන්න ඕනා. නැත්නම් ඔහු ප්‍රයෝගික නොවන ගුරුවරයකු වනවා. ගුරවරයාටත් කර ගන්න බැරි දෙයක් ළමයින්ට උගන්වන්න අමාරුයි කියලා මම හිතන්නේ. ඒ වගේම කතුවරයා කෙටි කතාවේ අලුත් පැතිකඩ කරා ගෙන යන්නේ ඔහුටම ආවේනික වූ නැවුම් ප්‍රයෝග හරහා.  

නම් වලින් සදහන් නොකලත් රාජ්‍ය සේවයේ නියැළුනු කීර්තිමත් ලේඛකයන් සිටිනවා. පොදුවේ ගත්තහම රජයේ වගකිවයුතු නිලයක් දරන රාජ්‍යසේවකයකුට පූර්ණ කාලීන ලේඛකයකු වන්න ඇති හැකියාව අවමයි කියළා මම විශ්වාස කරන්නේ. එහෙත් ඉතා හොඳින් කාල කළමණාකරනය කර ගත්තොත් යම් දුරක් යන්නට පුලුවන් බවයි මගේ විශ්වාසය.

නිශ්ශංක විජේමාන්න කියන්නේ චිත්‍රකලා ගුරු උපදේශකවරයෙක්. ඒ හන්දා නිර්මානකරනයේ යෙදෙන්න ඔහුට වැඩි අවස්ථාවක් තියෙනවා සාර්ථකව තම වෘත්තියේ නියැලෙන අතරතුරම.

කඳඅරනී කියා වැදි භාෂාවෙන් කියන්නේ මී පැණි වලට. දඹානේ ආදීවාසීන් හරහා ඔහු අප අපේ ඉතිහාසයේ අඳුරු අහුමුළු වලට එබිකම් කරන අතරම මානව සම්බන්ධතාවල නව මාන කරා අපේ දෑස් විවිර කරනවා. ඔහු ඒ හරහා ප්‍රකට කරන ප්‍රතිභාව අති විශිෂ්ඨ යැයි කියන්න පුලුවන්.  


Saturday, July 25, 2020

පොල් රොටී සහ ෆෝක් කරි


කොවිඩ් නිසා රට වසා ඇඳිරි නීතිය පනවා තිබූ වෙලාවේ බොහෝ අයගේ ජීවනොපායන් තර්ජනයට ලක් වුණා. විශෙයෙන්ම අපේ රටේ ශ්‍රම බලකායෙන් සියයට හැටක් පමණ අවිධිමත් ක්ෂේත්‍ර යේ සිටින හන්දා මේ තත්ත්වය තවත් දරුණු බව සිතන්නට පුළුවන්. ඇඳිරි නීතිය තරමක් ලිහිල් වුනාම මේ අවිධිමත් ක්ෂේත්‍ර යේ ඉන්න නිර්මාණ ශීලි කිහිප දෙනෙක් අළුත් ව්‍යාපාර පටන් ගත්තා. ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් පාර අයිනේ තමන්ගේ කාරය තියාගෙන පොල් රොටී සහ ෆෝක් කරි විකුණන ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒත් එක්කම එවැනි අය දුසිම් ගණනින් බිහිවුනා. සමහරු පොඩි පොඩි modification  නොකලා නොවෙයි. උදාහරනයක් හැටියට පොල් රොටී වෙනුවට රෝස් පාන් ආදේශ කිරීම වගේ දේවල්.  ඹය අතරතුරේ මුස්ලිම් අය වැඩිය ඉන්න ප්‍ර දේශයක ෆොක් කරි විකුණන අයෙකුට තර්ජන ආවා කියලාත් ආරංචි තිබුණා.

සිකුරාදා ගෙදර එන ගමන් මම අර පොල් රොටී ෆෝක් කරි නිර්මානකරුවගේ වාහනේ ලඟ නැවතුණේ ෆොක් කර් ගන්නම ඹ්නා හන්දා නෙමෙයි. ඔහු කලින් ගියාගෙන ගිය බ්ලොග් එක නැවැත්තුවේ ඇයිද කියා අහන්න. නිර්මාණකරුවෙක් එක්ක ටික වෙලාවක් හරි කතා කරන එක සුන්දරයි. මම ඔහුට කීවේ ඔහුගේ ලියවිලි පොතක් හැටියට එලි දක්වන්න කියලා. එහෙත් ඔහු කිව්වේ කලින් පොත් ගහලා අතින් පාඩු වුනා කියලා. අනෙක් කාරණය තමයි වැඩ අඩු හන්දා ලියවෙන්නේ නැහැ කියන එක. මමත් එයට එකඟයි.

කෙහොම වුනත් ඔහුගේ ලියවිල්ල වගේම ෆොක් කරියත් බොහොම රහයි. මේ සියල්ලෙන් ගන්න පුළුවන් පාඩම තමයි නිර්මාණශීලි  නම් අර්බුදයක් ඇතුලේ පවා අළුත් දෙයක් කරන්න සහ පවතින්න පුළුවන් කියන එක. ඒක සමස්ථ ආර්ථිකයටත් ගලපන්නට පුළුවන්. ඒ සම්බන්ධ යම් යම් මුලපිරීම් කළත් විවිධ හේතු හන්දා ඒවා යථාර්තයන් කර ගන්න අමාරුකම් තියෙනවා. කතාව දිගු වුනත් නිර්මාණශීලි කමේ අඩු පාඩු හන්දා කියලා හිත හදා ගන්න පුළුවන්.

Monday, June 29, 2020

සීන සිතිජය ඉසව්වේ කොහේ සැඟවී ගියාදෝ


සමහරවිට වැඩ අඩු වූ විටත් අවිවේකි වෙනවා. කොරෝනා උවදුර නිසා වසා තැබූ ආයතන දැන් සෑහෙන්න තරම් දුරට යථා තත්ත්වයට පත් වෙලා. පාරවල් නැවතත් ජනාකීර්ණ සහ තදබද වෙලා. කාර්යාලයට එනවිට බොහෝ වෙලාවට casual ඇඳුමකින් එන්න පසඅගිය ටිකේ පුලුවන් කම තිබුණා. දැන් ටිකෙන් ටික පරණ තත්ත්වයට යනවා. ඇත්තටම කිව්වොත් තාවකාලිකව ඇති වූ ඉහත වෙනස්කම් නිසා ජීවිතේ වඩාත් පහසු වුණා. එයින් හැකි දේවල් දිගටම පවත්වා ගෙය යාමට හැකිනම් හොඳයි.

අන්ද්‍රේ ෂිද් Andre Gide නම්වූ නොබෙල්ත්‍යාගලාභී සාහිත්‍යකරුවාගේ පොතක සිංහල පරිවර්තනයක් කියවන්නට ලැබුණා. Pastoral Symphony නම් එම නවකතාව මණ්ඩාවල පාවංශ හාමුදුරුවන් විසින් ප්‍රංශ බසින් සිංහලයට නගා තිබෙනවා සාධු සංන්ධ්වනිය නමින්. 

සති අන්තයේදී පරන සිංහල චිත්‍රපයටක DVD එකක් බලන්නට ලැබුණා. ඒ තමයි මොනරතැන්න. ඒ හැත්තෑව දශකයේ පමණ ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය වූ නාට්‍යයක්. සඳා සහ පියසෝමගේ කතාව. මාතර උප සංස්කෘකිය මුල් කර ගෙන ලියවුණු කතාවක්. රජ්ජුරුවෝ, බිසෝ, හිච්චි හාමිනේ, හුරතලා, හතා මහත්තයා ආදී මෙහි එන චරිත මිනිසුන්ගේ හදවතට ඉතා සමීප වුණා. ජනප්‍රියත්වය වැඩි හන්දාම සමහර තැන්වලදී කෘත්‍රිමව දිග් ගස්සාගෙන ගිය ගුවන්විදුලි නාට්‍යයක් චිත්‍රපටයකට නැගීම අභියෝගයක්. එතකොට Cinematography අඩු වෙනවා. ඒ කොහොම වුනත් සඳා සහ පියසෝම ලෙස රඟපාන මාලනී ෆොන්සේකාත් විජය කුමාරතුංගත් චිත්‍රපටයට අලෝකයක් ‍ගෙන එනවා. ඒ සියල්ල පරදන්නේ එහි එන සෙවනේ කුඹුක් සෙවනේ නම් ටී එම් ජයරත්න සහ ඇන්ජලීන් ගුණතිලක ගයන මියුරු ගීය.


Thursday, June 11, 2020

ස්වභාවවේදියකුගේ කතන්දර


ධම්මික බණ්ඩාර ප්‍රවීන ගීත පද රචකයාගේ සිහින සක්මන කාව්‍ය සංග්‍රහය ගැන මීට පෙර සඳහන් කළා. ඒ ගැන විචාරයක් ලියුවා පසුගිය දිනවල. මේ අතරෙදි ප්‍රථම ප්‍රේමය නමින් පද කිහිපයක් අමුණා මුහුණු පොතේ දැම්මා. එයට අනපේක්ෂිත තරම් ප්‍රතිචාර ලැබී තිබුණා. බොහෝ දෙනෙක් ඒ ගැන මට කතා කළා. පන්සලේ හාමුදුරුවන් ඒ ගැන විශේෂයෙන් කතා කළා. උන්වහන්සේ Garcia Marquez  ගේ Love in the Time of Cholera කියවන්න කියා මට කියුවා. ඒ පොත ගත්තත් තවම කියවන්න බැරි වුණා. ඒ අතරතුරේ පාවුලෝ කොයියෝ ගේ වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි නැමැති පොත කියෙවුවා.

ඒ අතරතුරේ මගේ අළුත් පොත මුද්‍රණය සඳහා බාර දෙන්න උත්සාහ කළා. ඒත් පොත් ප්‍රකාශකයන් ලඟ අළුත් පිටපත් ගොඩගැහිලා. එක් ප්‍රකාශකයෙක් කිව්වේ මුද්‍රණය කරන්න ලබන අවුරුද්ද වෙයි කියා. මොකද ඒ තරමට වැඩ ගොඩ ගැහිලා කියා.. කොරෝනා කාලේ ගොඩක් අය පොත් ලියා තියෙන හැඩයි.  

ඒ ගැන හිතුවහම ආර්තිකය කඩා වැටෙයි කියලා ලොකුවට විලාප ගහන්න ඕනා නැහැ. අලුත් අවස්ථා ගොඩක් ලැබී තියෙනවා. නැතිවී ගිය අවස්ථාත් බොහෝ තිබෙනවා. හරියට කළමනාකරනය කර ගැනීමයි අවශ්‍ය. ලෝක ආර්ථිකයෙන් .001 ක් විතර වන අපේ ආර්ථිකය .0015 ක් කර ගන්න පුළුවන් වුනත් ලොකු පිම්මක් මේ දේවල් අස්සේ. විශේෂයෙන් ආයෝජන මේ වෙලාවේ තැන් තැන් වල සැරිසරනවා. හැබැයි අපනයන සැහෙන්න පහල වැටෙයි කෙටිකාලීනව. අනෙක් ප්‍රහ්ණය වන්නේ අපේ ප්‍රධාන ආදායමක් වන විදේශ රැනියා ආදායමට වන බලපෑම. සංචාරකයන් නම් ඉක්මනටම ගෙනෙන්නයි කල්පනාව.

කෙසේ වෙතත් පොත ප්‍රකාශ කරගැනීම සදහා තවත් ප්‍රකාශකයින් කිහිප දෙනෙක් හමු වන්න යන්න ඉස්පාසුවක් එනකම් බලා ඉන්නේ.  

Friday, May 1, 2020

වෙසක් මාසය


අද මැයි පලමුවෙනිදා. සාදුකින් පෙලෙනවුන් බේරා ගැනීමට වෙනදා කෙරෙන ගාලගෝට්ටිය අද ඇහෙන්නේ නැහැ. පසුගිය දින වල දවසක් හැර දවසක් හෝ කන්තොරුවට ගියා. පාරවල් හිස්. කිලෝමීටර් 50 ක් දුර ගෙවාගෙන යන්න විනාඩි 45 ක් වත් ගත වන්නේ නැහැ. මට මතක් වුණේ කැන්බරා. නගරයේ ඈත කෙළවරක සිට වුවත් විනාඩි කිහිපයකින් නගර මධ්‍යයට එන්න පුළුවන්. එහෙත් මේ නිස්කලංකතාවය හැමදාම පවත්වා ගන්න අපට බැහැ. එහෙම තත්ත්වයකට එන්න නම් සමාජයේත් ආර්ථිකයේත් බොහෝ වෙනස්කම් කරන්න වෙයි. එහෙම කළත් අපට එය අසීරු වන්නේ අපේ ජන ඝනත්වය අධික හන්දා. ඔස්ට්‍රේලියාවේ වුනත් සිඩ්නි හෝ මෙල්බර්න් නගර ගත්තහම මේ නිස්කලංකබව දකින්න නැහැ. ඒ රටේ අච්චර භූමිය තිබිලත්. නගර කියන්නේ එහෙම තමා. ආර්ථික වාසි ඇතිවන පරිදි යටිතලපහසුකම් ඇති කරන්න පුලුවන් වන්නේ නගර ඇති කිරීමෙන් බවයි බොහෝ ආර්ථික විද්‍යාඥයින් අදහන්නේ. අපිත් ඉතින් ඒ අනුව මුළු රටම දියුණු කිරීමේ එහෙම නැත්නම් නගරයක් කිරීමේ ව්‍යාපෘතියක තමයි නියැලී ඉන්නේ.
එකිනෙකා පරයා දුවන අතිධාවනකාරී? ගමනට විරාමයක් තැබුවහම බොහෝවිට දේවල් නිරවුල්ව දකින්න ඉඩක් ලැබෙනවා වගෙයි. පොලිස් මාර්ග බාධකයක් වෙත ආවහම වාහන විස්සක් තිහක් පොලිමේ තිබුනොත් ගාල කඩාගෙන යන් අය නැත්තේ නොවේ. ඒකෙන් කියවෙන්නේ මේ වගේ දේවලින් වත් අපට පාඩම් කියා දෙන්න බැහැ කියන එක.

අළුත් අවුරුද්ද ගෙවී ගියා. මේ පාර කොහා කෑගැහුවේ නැහැ කියා බොහෝ දෙනෙක් කිව්වා. කොහා කෑ ගහන්නේ රතිා සද්දෙට බයෙන් කියා තවත් සමහරු කිව්වා. හැමදේම විද්‍යාවයි අවිද්‍යාවයි අතරයි දෝලනය වන්න පටන් අරන්. ඇත්තෙන්ම එකවරකට වඩා කොහා කෑගහනවා මටත් ඇහුණේ නැහැ. ඒ ගැන සොයා බලන්න වටිනවා. සමහර විට මීට ඉස්සර අවුරුදු වලත් කොහා කෑ නොගහන්න ඇති ඒත් අපට නෑහුන බව අහන්නවත් නිස්කලංකයක් තිබ්බේ නැහැ වෙන්න පුළුවන්. ඊටත් අමතරව වෙන අවුරුදු වල රූපවාහිනියෙත් ගුවන් විදුලියෙත් වෙළඳ ප්‍රචාර හරහා කොහාගේ හඩ අපේ කන් වල රැව් පිලිරැව් දුන්නා.

දැන් නවලිබරල් විරෝධීන් උද්දාමයට පත්වෙලා. පශ්චාත් ලිබරල්වාදී හෝ පශ්චාත්ගොලියනරන යුගය උදාවෙලා ඇති බවයි ඔවුන් කියන්නේ. මොකද මේ ක්‍රමවේද හරහා ඉහලටම ගිය රටවල් විශාල අර්බුදයකට ලක්වෙලා. අපි කරන්නේ කලින් කලට පැසිස්ට් වාදයට, අධිරාජ්‍යවාදයට, කොමියුනිස්ට්වාදය, ලිබරල්වාදය වගේ යම් යම් රටවල් අත්හදා බලපු සංවර්ධන නැත්නම් ආර්ථික රාමු ගැන විවේචනය කරමින් සහ මෙම  විවිධ ප්‍රවේශ ගැඹුරින් හදාරමින් සහ එකිනෙකා විවේචනයත් කරගැනීම. දශක ගණනක් තිස්සේ අප කළේ අපේ ආර්ථික සහ සමාජික ප්‍රශ්ණ අර ප්‍රෙව්ශ හරහා ඉදිරියට ගිය රටවල් උදාහරනයට ගනිමින් විවරනය කිරීම. හැදෑරීම හොඳ දෙයක්.  එහෙත් එම ප්‍රෙව්ශ හරහාම සාර්ථකත්වයට පත්වෙලා ඇති සහ ඒවා සාර්ථකව පවත්වාගෙන යන රටවල් අපි අමතක කරනවා. මේ සියල්ල හරහා අපිට ආවේනික ක්‍රමවේදයක් හදා ගන්න උත්සාහයක් නැහැ. අපට අවශ්‍ය ප්‍රශ්ණ විවරනය කිරීම පමණක් නෙවෙයි ඒවාට ප්‍රා යෝගික උත්තර.  මේවා අපේ හාමුදුරුවන්ගේත් මගේත් අදහස් වල සංකලනයක්.  


Saturday, April 18, 2020

හපුතලේ කන්ද නගිමු

                                           ගිනිගත්ගල (ඡායාරූප අනුග්‍රහය: උදාර මල්ලී)
පසුගිය ලියවිලි කිහිපයේ හපුතලේ කඳු පාමුලටම ගියත් කන්ද නගින්නට බැරිවුණා. හපුතලේ කන්ද නැගිම වර්තමානයේ දී ආරම්භවන්නේ බෙරගල හන්දියෙන් කියන්නට පුළුවන්. එතැන් සිට ඉහලට තියෙන්නේ සීඝ්‍ර නැග්මක්.  කිලෝමීටර හතරක පමණ දුරක් ඇතුලත මීටර් 326 ක් නැත්නම් අඩි 1070 ක නැග්මක්. මෙය දුර්ග මාර්ගයක්. නායයම් වලටත් නිතර ලක්වන ප්‍රදේශයක්. නිතර මීදුමෙන් වැසී තිබුනත් මීදුම් නැති දවසක නම් අතර මගදී ක්ෂිතිජය දක්වා දකින්න පුළුවන්. මොනරාගල පැත්තෙන් හදපානාගල වැවත් බලංගොඩ පැත්තෙන් උඩවලව ජලාශය ඇතුළු පහල ඌවේ කුඩා වැව් ගණනාවක් හොඳින් නරඹන්නට පුළුවන්. ඉතා ඈතින් තැනින් තැන බොහෝවිට දකින්නට පුළුවන් දුම් වළලු අපට කියන්නේ ඒ තැන් වල ඇති හේන් වගාවන් ගැනයි.  

අද අපි බොහෝ සුවපහසුවෙන් මේ කන්ද තරනය කළත් අතීතයේ දී මේ ගමන එතරම් සුන්දර වී නැහැ. ජනකවියාට අනුව හපුතලේ කන්ද දැක්කහම බඩ දැවිල්ල හැදෙනවා. ඒ ජනකවියාට අනුව කටුකැලේ නම් ස්ථානයේ ගැල් ගාලක් පැවතී තිබෙනවා. කටුකැලේ පසුව කළුකැලේ වුනා කියලා කතාවකුත් තිබෙනවා. ඒ අනුව ඒ ප්‍රදේශයේ ඇති තේ වතුයාය black wood නමින් හැඳින්වූවා යැයි අනුමාන කරන්නට පුලුවන්. කළුවර ගස් බහුල වූ ප්‍රදේශයක් නිසා කළු කැලේ වුනා කියන එක තවත් ප්‍රවාදයක්. මේ ප්‍රදේශයේ බොහෝ ග්‍රාම නාම ගස් හා සම්බන්ද බවත් අපට පෙනෙනවා. හපු, වල්හපු සහ හල් ආදිය උදාහරණ ලෙස දක්වන්න පුලුවන්.
කොහොම වුනත් ජනතවියාට අනුව කරත්තකරුවා ගමනාන්තය පේන තෙක් මානයට ඇවිත් විවේක ගන්නවාට වඩා ඉතුරු ටිකත් ඉවර කරළාම විවේක ගන්න සිතූ බව පෙනෙනවා. ඒ සදහා වැඩි වෙහෙසක් දරන්න වෙන්නේ ගොනාට. ඒ කටුකැලේ ගාලේ ගොනා ලිහන්නේ නැති හන්දා.

තේ වගාව ව්‍යාප්ත වෙන්නට පෙර මෙම ප්‍රදේශ බොහෝකොට කැලෑවලින් වැසී තිබෙන්න ඇති. (කෝපි වගාව මෙම ප්‍රදේශයේ කොයිතරම් ව්‍යාප්තව තිබුනා ද කියන එක සොයා බලන්න ඕනා.) ඒ අතර තුර ගම්මාන තිබූ බව පෙනෙනවා. තේ වගාව ව්‍යාප්ත කරද්දී මේ ගම්මාන වගේම ඒවයේ ජල පෝෂක ප්‍රදේශත් කෙරෙහි සුද්දා අවධානයක් යොමු කර ඇති බව පෙනෙනවා.

කාලයකට පෙර හපුතලේ දක්වා ගිය අඩි පාර නැත්හොත් තවලම් ගිය පාර දැන් කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයට වල්හපුතැන්නේදි යා වෙන Lower Ohiya අතුරු මාර්ගයෙන් ඉහලට ඇදී ගිය විට හමු වන ගිනිගත්ගල ගම හරහා වැටි තිබුණු බව පැරැන්නන් කියනවා. ගින්ගත්ගල ගමේ ජල පොෂක ප්‍රදේශය වූ ගොමුව නමින් හැඳින්වෙන ස්වභාවික කැලය හරහා මේ පාර වැටී තිබූ බව අපේ ආතා අපට කියූ බව මතකයි. එහි එක තැනක් හිඟන්නා මැරූ තැන ලෙස ආතා අපට පෙන්නුවා. සමහර විට ඒ කියන කාලය බ්‍රිතාන්‍ය පාලන සමය වන්නට ඇති. ඒ කාලෙත් හිඟන්නන් සිටිය බව එයින් අපට හිතා ගන්න පුළුවන් වගේම හිඟන්නා මැරූ හේතුව හෝ කවුරුන් විසින් එය කලාද යන්න පැහැදිලි නැහැ. එය හිඟන්නා මැරුනු තැන වෙන්නත් පුලුවන්.  
ඒ පාර දිගේ හපුතලේ දිසාවට ඉහලට නැංගොත් ඉදල්ගස්ඉන්නට යන්න පුලුවන්. ඒ අනුව පැරැන්නෝ ඉදල්ගස්ඉන්නෙන් හපුතලේ දක්වා ගියා වන්නට පුලුවන්. මේවයේ අක්මුල් සොයා ගියොත් තවත් නොදන්න දේ බොහොමයක් සොයා ගන්න පුලුවන් වෙයි.


Monday, April 13, 2020

නීඩ්වුඩ් වත්තෙන් ඔබ්බට


                                                        
ස්වයංපෝෂිතභාවය සහ ආහාර සුරක්ෂිතතාවය ගැන දැන් අළුතෙන් කතා වෙනවා. ගෝලීයකරන මූලධර්ම යම්කිසි තර්ජනයකට ලක්වී ඇති බව පෙනෙනවා. කොයි විදිහෙන් බැලුවත් පරමාදර්ශීය බවට කිට්ටු යැයි සිතූ බටහිර සංවර්ධන මොඩලය ගැන නැවත සිතා බලන්න අවස්ථාවක් උදා වෙලා. එක පැත්තකින් මොඩලයේ ආවේනික සමහර ලක්ෂණ පිළිබඳව නැවත සිතන්න වනවා. රටක ආර්ථිකයේ විධිමත් අංශය සහ අවිධිමත් අංශ අඩු වැඩි වශයෙන් පැවතීමේ ගුණ අගුණත් අපට පෙනෙන්නට පටන් ගත්තා. අනෙක් කාරණය සංවර්ධනය කවුරුන් සඳහාද කියන ගැටළුවත් මතු වෙලා තියෙනවා. ආර්ථික බලවතා කියන ස්ථානය නැත්නම් අධිකාරිය හෝ මූල්‍ය කේන්ද්‍රය රැක ගැනීම සඳහා මිනිසුන්ගේ ජීවිත කැපකරන්න අවශ්‍යද කියන එකත් හිතා බලන්න වටින කාරණා. කෙසේ වෙතත් ලිබරල්වදයෙන් එහෙන්පිටින් අයින්වූ මොඩලයක් අපට හෝ ගැලපේයැයි මා විශ්වාස කරන්නේ නැහැ.

1970-77 කාලයේ ආර්ථික ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කළා නම් අද අපි ගොඩ කියා මතකයකුත් ප්‍රකාශ වනවා. මේ ගැන හිතනකොට අපේ මතකයත් 70 දශකයට දිව යනවා. මේ කාලයේ පැවති ආර්ථික ප්‍රතිපත්ති අපේ ජීවිත වලට විවිධාකාරයෙන් බලපෑවා. අල බතල වැනි බොහෝ ආහාර වර්ග මේ යටතේ දිරිමත් කළාට පශු සම්පත් ආදිය ගැන අඩු අවධානයක් තිබුණේ. පිටරටින් එන කිරිපිටි හිඟවීම නිසා කුඩා ළමුන්ගේ පෝෂණය අඩුවූ බව අම්මලා කියනවා. ඒ දවස්වල මස් පරිභෝජනය පොදුවේ ඉතා අඩු මට්ටමක තිබුණේ. බිත්තර වුනත් වානිජ මට්ටමින් මහා පරිමානව තිබුණේ නැහැ.

මීට අමතරව හාල් පොලු මිරිස් පොලු ආදියෙන් මිනිසුන් හොඳටම බැටකෑවා. භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි, ප්‍රමිතියෙන් තොර බෝල සබන් ආදිය ප්‍රචලිතව තිබුණා. ක්‍රමයේ යම් යම් හොඳ ලක්ෂණ තිබුනත් නිෂ්පාදනයන් හි ප්‍රමිතිය හෝ ඵලදායීත්වය ඉහල නංවන්න නිසි වැඩපිලිවෙලක් තිබුණේ නැතිවා වගෙයි.

අපේ නිවඩු කාලයේ ගමන් සමග මෙය සමබන්ධ කලොත්, අපට මතක් වන්නේ ඒ දිනවල හල්දුම්මුල්ල ප්‍රදේශයේ වර්ධනය වූ උක් වගාව. සීනි ආනයනය සීමා කිරීම නිසා විකල්ප වලට අවස්ථාවක් උදා වුණා. උක් හකුරු ඒ සඳහා ප්‍රධාන විකල්පයක්. මතක හැටියට සෙවනගල, හිඟුරාන යන කම්හල් වල සීනිත් හැදුවා. බෙරගල කිට්ටුව තිබුණු පැරණි තේ ෆැක්ටරියක් ආණඩුවෙන් හකුරු හදන කම්හලක් බවට පත්කළා. එහි සීනිත් හැදුවාද මතක නැහැ. එය සොයා බලන්නට අවශ්‍යයි.

කොහොම වුනත් හකුරු වලට හොඳ මිලක් ඇති නිසා ඒ ප්‍රදේශයේ හැකි සෑම තැනකම උක් වගාවන් බිහිවී තිබුණා. සමහරක් කුඩා තේ වතු පවා උක් වගාවට හැරවුනා. උක්ගස් කැපීමත් ප්‍රවාහනයත් විධිමත් අයුරින් සැකසී තිබුනේ නැහැ. කොහොම වුනත් ට්‍රැක්ටර් ටේලර් වල ඉතා උසට යකඩ සැකිලි සාදා උපරිම උක් දඬු ප්‍රමාණයක් ගෙන යා හැකි ලෙස සකසා තිබුණා. පා ගමනින් පමණක් ලඟා විය හැකි හේන් වල හැදූ උක් ගස් කැපූ පසු ඒවා ට්‍රැක්ටර් ගමන් කළ හැකි පාරක් ළඟට කරින් ඔසොවාගෙන එන්න ගම්මුන් දැරුවේ ඉමහත් පරිශ්‍රමයක්.

නිවාඩු කාලය තුළ මේ කාර්යන්ට සම්බන්ධ වන්නට ලැබුණු හන්දා ඒ ගැන තවමත් මතකයේ තියෙනවා. මෙසේ කපා ගත් උක් දඬු ට්‍රැක්ටර් වලට පැටවිය යුතුයි. උපරිම දඬු ප්‍රමානයක් ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රැක්ටරයේ සැකිල්ල අඩි පහළොවක් පමණ උසට නිමවා තිබුණා. ලොකු හේනක උක්දඬු ගෙනයන්න මේ වගේ ට්‍රැක්ටර් කිහිපයක් අවශ්‍ය වුණා. සම්පූර්ණයෙන් ට්‍රැක්ටර් ලෝඩ් කළාට පස්සේ අපිත් ඒ ටේලරයේ උක්දඬු ගොඩ උඩට නගිනවා. ට්‍රැක්ටරය මහ පාරට ඇවිල්ලා හාල්ඇටතැන්නෙන් පහළ ඇති හන්දියෙන් උඩ පැත්තට ඇති ඉදල්ගස්ඉන්න දක්වා දිවෙන Needwood වත්ත පාරෙන් ඉහලට ගමන් කරනවා. ඒ පාර අධික වංගු සහිත වගේම බෑවුම අධික පාරක්. ට්‍රේලරයේ උක්ගස් වලට උඩින් හිඳගෙන උක් මිටි බදා ගෙන යන අවදානම් ගමන අද නම් යන්න කවුරුවත් කිසි සේත් ඉදිරිපත් වන එකක් නැහැ.   මේ උක්දඬු මෙසේ ගෙන ගොස් බෑවේ නීඩ්වුඩ් වත්තේ තිබුණු හකුරු කම්හල ඉදිරිපිට. බොහෝ ගොවියන් ගේ උක්දඬු එහි ගෙනත් දමන හන්දා ඒවා අඹරන තෙක් බලා ගන්නට අවශ්‍යයයි. නැත්නම් ඒවා මාරුවෙන්න පුළුවන් හන්දා. හවස් වන විට මේ දඬු යන්ත්‍ර වලට දමා අඹරන්නට පටන් ගන්නවා. ලැබෙන උක් පැනි එකතු කොට කම්හලේ ලිප් ඇති කොටසට ගෙනයනවා. එහිදී විශාල දර ලිප් වලට ලොකු තාච්චි වලට ඒවා දමා හැඳි ගානවා. බොහෝ වෙලාවක් දහඩිය පෙරාගෙන හැඳි ගෑවට පස්සේ පැනි රන්වන් පාට වී ගෙන එනවා. ඊළඟට පදමට උකු වුනාට පස්සේ ඒ පැනි ලී වලින් හදපු අච්චු වලට වත්කරනවා. එක අච්චුවක අඟල් 4*4*3 වගේ ප්‍රමානයේ හතරැස් හකුරු කැට හැත්තෑ පහක් සීයක් පමණ තියෙනවා. ඊළඟට ඒවා නිවෙන්න තියෙනවා. හොඳටම නිවී හකුරු ඝන වුනාම අච්චු අනෙක් පැත්ත හරවලා පොල්ලකින් ගැහුවහම හකරු කැට ගැලවෙනවා. ඒවා ලොකු පොහොර බෑග් වල දමා එකතු කරනවා.  

අවසානයේ දී ඒවා තොග ගානටම විකුණලා එක ගෝනියක් විතර ගෙදර පාචිව්වියට අරගෙන යනවා. මේවා කරළා ඉවරවෙන කොට බොහෝවිට පහුවදා එළිවෙනවා.

අපි එසේ උක්ගස් අරගෙන ගිහින් උදේ වුනහම ඒ උක් කම්හල ආසන්නයේ තිබූ හල්දුම්මුල්ල පැරණි පෘතුගීසි බලකොටුවේ නටඹුන් බලන්න ගියා. ඒ දිනවල ඔත්තු බලන කුරුබිලි ආදියේ ශේෂ පවා පැහැදිලිවම කිබූ බව මතකයි. හපුතලේ කඳුවැටියේ සෑහෙන තරම් ඉහලින් පිහිටි නිසා මෙම බලකොටුවේ  සිට ඌව වෙල්ලස්සත්, බලන්ගොඩ සානුව පැත්තෙන් එන යම් කිසි ආක්‍රණයක් කළින්ම දකින්නට පුළුවන් වන්න ඇති. කිසිවෙකුගේ නිසි අවධානයක් යොමු නොවීම නිසා අද වන විට ඒ අතීත උරුමය නැතිවී යන්නට ආසන්නයි. හල්දුම්මුල්ල නගරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා ස්ථානයක් යැයි නම්කරපු බෝඩ් ලෑල්ලක් නම් තියෙනවා. එතනින් ඉහලට නගින්න පාරක් හෝ ඇති බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රාදේශීය සභාවෙන් හෝ මේවා ගැන සොයා බලනවා නම් මේවා හොඳ සංචාරක බිම් කරන්න පුළුවන්. දැනට හඳුනාගත් හල්දුම්මුල්ලේ ප්‍රාග් ඓතිහාසික වාසභූමිය ඇත්තෙත් මීට ආසන්නයෙන්.




Saturday, April 11, 2020

විහාරගල (Blackwood)

Glenanore tea estate sign, Blackwood Division, Haputale, Badulla ...

ජීවිතේ සමහරක් සිද්ධි ඒ තරම් වැදගත් කමක් නැති වුනත් අපට මතක තියෙනවා බොහෝ කාලයක් යනකම්. අපි වැදගත් කමක් නැතෙයි කියා සිතුවාට ඒවයේ මොකක් හරි වැදගත් කමක් ඇති. ඒකයි ඒවා සදාතනිකව නැත්නම් බොහෝ කලක් මතකයේ රඳවා ගන්නට යටි හිත බල කරනවා ඇත්තේ. එහෙම සිද්ධි විශාල ගණනක් අතරින් මම කලින් ලියූ අපි පුංචි කාලේ ගිය උඩරට ගමනට සම්බන්ධවූ සිද්ධියක් මගේ මතකයට එනවා. මම කලින් කිව්වා වගේ වැඩිමහල් සහෝදරයින් දෙන්නා සමග නිවාඩු කාලය ගත කරන්න ගිය ගමන් වලදී සමහරක් දේවලින් මාව ඈත් කර තබන්න ඔවුන් උත්සාහ කළේ මම පුංචි හන්දා වෙන්න ඇති.
එක පැත්තකින් ගම වටකරගෙන නැගී සිටින ගොංමොල්ලි කන්ද ඇතුළු කඳු පංතියේ සමහරක් කඳු තරනය කරන්න ගමේ ගැටවු සමග ඔවුන් ගිය ගමන් එයට උදාහරනයක්. ඒ ගමන් වලින් පස්සේ ඔවුන් තරණය කළ කන්ද මුදුනේ කොඩියක් ගසා ආ බව ඔවුන් කිව්වේ උජාරුවෙන්. මේ ගමන් වල මුල් තැන ගත්තේ පොඩිමාමා බවයි මට මතක. මේ වගේ වැඩි අවදානම් සහිත ක්‍රියාකාරකම් මට අහිමි වුනත් ගමේ ගැටව් එක්ක ලෝකාන්තයට පයින් ගිය ගමනට නම් මටත් යන්න ලැබුණා. පයින් කිව්වාට ඉදල්ගස්ඉන්නේ සිට ඔහිය දක්වා ආවේත් ගියෙත් දුම්රියෙන්.  

මම කියන්න ගියේ ඒ දවස්වල අපේ මාමාට විශේෂ රාජකාරියක් පැවරී තිබුණා. මට කාලවකවානු පිළිබඳ නිවැරදි මතකයක් නැහැ කොහොම හරි ඒ හැත්තෑගනන් වල පාසල් නිවාඩු කාලයක්. ඒ දවස්වල තිබුණු හාල් පොත් අහෝසි කරපු කාලය. හාල්පොත් වලට ගමේ ගොඩේ අය කිව්වේ කූපන් පොත් කියා. මොකද පොතේ තියෙන කොටු වලින් මුද්‍රණය කොට ඇති කූපන් හාල් ලබා දෙන වෙලාවට සමූපකාරයෙන් කපා ගන්නා නිසා. එසේ කපා ගන්නා කූපන් ඒගොල්ලෝ වාර්තාවක් වගේ එකක අලවා ගන්නවා. හාල් පොතේ පිටුපස ගොවියකු වී වපුරන සිතුවමක් තිබුණා. හාල් පොත් අහෝසි කරලා හාල් පොත් හිමි කාරයන්ගේ ආදායම් තක්සේරුවක් කරලා යම් සහනයක් දුන්නා වෙන්න ඕනා. ඒ සඳහා ඒ ඒ ගම්වලට විශේෂ නිලධාරින් පත් කොට තිබුණා. ඔහු ඒ ගමේ අයගේ හාල්පොත් බාරගත්තාට අමතරව ඒ අයගේ ආදායම් තත්ත්වය පිලිබඳව රපෝර්තුවක් ආන්ඩුවට ලබා දුන්නා.

මාමාට ලැබී තිබුණේ බෙරගල කිට්ටුව තිබුණු වතු ගම්මානයක්. ඒ බෙරගල සිට වැල්ලවාය දක්වා දිවෙන කොළඔ - මඩකලපුව පාරේ තිබුණු විහාරගල කියන වත්ත බවයි මට මතක. එහි පාර අයිනේ තිබූ තේ කඩයක කාමරයක් තමයි මාමාට රාජකාරි කරන්න ලබා දී තිබුණේ. කඩය පිටු පස තිබූ පල්ලමට කනු සිටවා ඒ උඩ ලෑලි දමා කඩය සාදා තිබුණා. එහි යට තට්ටුවකුත් තිබුණා.

විටින් විට හාල්පොත් බාරදීම සඳහා පැමිනෙන වතු කම්කරුවන් සමග කරන රජකාරිය ඉවර වන ඉස්පාසුවෙන් කඩයේ මුදලාලිත් එක්ක කතාබහේ යෙදීම තමයි මාමා කළේ. මට මතක හැටියට ඔහු දමිල ජාතිකයෙක්. ඒත් හොඳින් සිංහල කතා කලා. ඉතාම හොඳ sense of humor තිබුනු කෙනෙක්. කඩයේ ඉදිරිපස තිබුණු බොයිලේරුව නිතරම දුම් දමමින් තිබුණේ කඩේට ගොඩ වන හැමෝම වගේ තේ හො කෝපි කොප්පයක් බිවු හන්දා. අපි දවසට තේ දහයක් විතර බිව්වා කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි. විශේෂයෙන් මාමාට පැයකට එක තේ කොප්පයක් වත් අවම වශයෙන් ඕනා නිසා.

වරක එහි හැදූ තේ, කහට (තිත්ත) රස වැඩි හන්දා මගේ මූහුණ ඇඹුල් වූ බව දැනගෙන මුදලාලි ඇහුවේ සීනි මදිද කියා. මමත් ඔහුට ඔලොක්කුවක් කරන්න හිතා ගෙන කිව්වේ සීනි වැඩියි කියා. වහාම තේ ගොට්ටත් රැගෙන ආ ඔහු මගේ කෝප්පයට තවත් කහට ටිකක් දමන්නම් කිව්වේ මගේ විහිළුවට ප්‍රතිචාරයක් හැටියට. ඊට පස්සේ අපි සියළු දෙනාගේ තද කරගෙන සිටි සිනහව පිට පැන කොක්හඬලා සිනා වුනා. මේ සිද්දිය මාමා ගෙදර ගිහින් පුංචි අම්මලාටත් කියළා දවස් ගානක් යනකම් හිනා වුණා මතකයි.

විහිළු තහලු වලට අමතරව අර කඩය ආශ්‍රිතව තිබුණු mini culture එක අපේ හිතට වදින්න ඇති. හාල් පොත් බාර දෙන්න විතරක් නොවෙයි තේ බොන්නත් එහි ආවේ වතු කම්කරුවන් සහ ඔවුන්ගේ ළමයින්. ඒක විශේෂයෙන් අපට අලුත් අත්දැකීමක් වුණා. ගෑනු පිරිමි බේදයක් නැතුව හැමෝම බුලත් හැපුවා වගේම අව්වට පිච්චුනු හීන්දෑරි ශරීර අපට ඔවුන්ගේ ජීවන අරගලය ගැන කියාපෑවා. කාන්තාවන්ගේ කණේ බරට එල්ලුනු කරාබු කියා පෑවේ මේ කිසිම දේකට ඔවුන්ගේ සංස්කෘතිය විකෘති කරන්නට ඉඩ නොලැබී ඇති බවද? ඊට අමතරව ඔවුන් ගේ ඇඳුම් කැඩුම් වගේම කතා බහෙත් විශේෂයක් තිබුණා වගේම මේ සියල්ල පිටුපස යම්කිසි ලෙන්ගතු කමක් තිබුණා. විශේෂයෙන් රජයේ සේවකයකු වූ මාමාට ඔවුන්  සැළකුවේ ගෞරව සම්ප්‍රයුක්ත බයකින්. එහෙත් මාමා බොහොම සාධාරණව ඔවුනට සැලකූ බවයි මගේ මතකය. හවස් වනකොට අපි ඒ පැත්තම වහගන්න මීදුම අතරින් අපි බෙරගලට පයින් ඇවිත් බසයක් අල්ලා ගත්තා. අදටත් මේ පාරේ යන විට මේ ඉසව්ව සහ තේ කඩය සොයා මගේ හිත දිවයනවා.

P.S
මෙහි සඳහන් වතුයායේ නම බ්ලැක්වුඩ් බව මතක් වුනේ පසුව.මේ කිට්ටුව තිබෙන අනෙක් වත්තේ නම නීඩ්වුඩ්. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...