Saturday, April 18, 2020

හපුතලේ කන්ද නගිමු

                                           ගිනිගත්ගල (ඡායාරූප අනුග්‍රහය: උදාර මල්ලී)
පසුගිය ලියවිලි කිහිපයේ හපුතලේ කඳු පාමුලටම ගියත් කන්ද නගින්නට බැරිවුණා. හපුතලේ කන්ද නැගිම වර්තමානයේ දී ආරම්භවන්නේ බෙරගල හන්දියෙන් කියන්නට පුළුවන්. එතැන් සිට ඉහලට තියෙන්නේ සීඝ්‍ර නැග්මක්.  කිලෝමීටර හතරක පමණ දුරක් ඇතුලත මීටර් 326 ක් නැත්නම් අඩි 1070 ක නැග්මක්. මෙය දුර්ග මාර්ගයක්. නායයම් වලටත් නිතර ලක්වන ප්‍රදේශයක්. නිතර මීදුමෙන් වැසී තිබුනත් මීදුම් නැති දවසක නම් අතර මගදී ක්ෂිතිජය දක්වා දකින්න පුළුවන්. මොනරාගල පැත්තෙන් හදපානාගල වැවත් බලංගොඩ පැත්තෙන් උඩවලව ජලාශය ඇතුළු පහල ඌවේ කුඩා වැව් ගණනාවක් හොඳින් නරඹන්නට පුළුවන්. ඉතා ඈතින් තැනින් තැන බොහෝවිට දකින්නට පුළුවන් දුම් වළලු අපට කියන්නේ ඒ තැන් වල ඇති හේන් වගාවන් ගැනයි.  

අද අපි බොහෝ සුවපහසුවෙන් මේ කන්ද තරනය කළත් අතීතයේ දී මේ ගමන එතරම් සුන්දර වී නැහැ. ජනකවියාට අනුව හපුතලේ කන්ද දැක්කහම බඩ දැවිල්ල හැදෙනවා. ඒ ජනකවියාට අනුව කටුකැලේ නම් ස්ථානයේ ගැල් ගාලක් පැවතී තිබෙනවා. කටුකැලේ පසුව කළුකැලේ වුනා කියලා කතාවකුත් තිබෙනවා. ඒ අනුව ඒ ප්‍රදේශයේ ඇති තේ වතුයාය black wood නමින් හැඳින්වූවා යැයි අනුමාන කරන්නට පුලුවන්. කළුවර ගස් බහුල වූ ප්‍රදේශයක් නිසා කළු කැලේ වුනා කියන එක තවත් ප්‍රවාදයක්. මේ ප්‍රදේශයේ බොහෝ ග්‍රාම නාම ගස් හා සම්බන්ද බවත් අපට පෙනෙනවා. හපු, වල්හපු සහ හල් ආදිය උදාහරණ ලෙස දක්වන්න පුලුවන්.
කොහොම වුනත් ජනතවියාට අනුව කරත්තකරුවා ගමනාන්තය පේන තෙක් මානයට ඇවිත් විවේක ගන්නවාට වඩා ඉතුරු ටිකත් ඉවර කරළාම විවේක ගන්න සිතූ බව පෙනෙනවා. ඒ සදහා වැඩි වෙහෙසක් දරන්න වෙන්නේ ගොනාට. ඒ කටුකැලේ ගාලේ ගොනා ලිහන්නේ නැති හන්දා.

තේ වගාව ව්‍යාප්ත වෙන්නට පෙර මෙම ප්‍රදේශ බොහෝකොට කැලෑවලින් වැසී තිබෙන්න ඇති. (කෝපි වගාව මෙම ප්‍රදේශයේ කොයිතරම් ව්‍යාප්තව තිබුනා ද කියන එක සොයා බලන්න ඕනා.) ඒ අතර තුර ගම්මාන තිබූ බව පෙනෙනවා. තේ වගාව ව්‍යාප්ත කරද්දී මේ ගම්මාන වගේම ඒවයේ ජල පෝෂක ප්‍රදේශත් කෙරෙහි සුද්දා අවධානයක් යොමු කර ඇති බව පෙනෙනවා.

කාලයකට පෙර හපුතලේ දක්වා ගිය අඩි පාර නැත්හොත් තවලම් ගිය පාර දැන් කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයට වල්හපුතැන්නේදි යා වෙන Lower Ohiya අතුරු මාර්ගයෙන් ඉහලට ඇදී ගිය විට හමු වන ගිනිගත්ගල ගම හරහා වැටි තිබුණු බව පැරැන්නන් කියනවා. ගින්ගත්ගල ගමේ ජල පොෂක ප්‍රදේශය වූ ගොමුව නමින් හැඳින්වෙන ස්වභාවික කැලය හරහා මේ පාර වැටී තිබූ බව අපේ ආතා අපට කියූ බව මතකයි. එහි එක තැනක් හිඟන්නා මැරූ තැන ලෙස ආතා අපට පෙන්නුවා. සමහර විට ඒ කියන කාලය බ්‍රිතාන්‍ය පාලන සමය වන්නට ඇති. ඒ කාලෙත් හිඟන්නන් සිටිය බව එයින් අපට හිතා ගන්න පුළුවන් වගේම හිඟන්නා මැරූ හේතුව හෝ කවුරුන් විසින් එය කලාද යන්න පැහැදිලි නැහැ. එය හිඟන්නා මැරුනු තැන වෙන්නත් පුලුවන්.  
ඒ පාර දිගේ හපුතලේ දිසාවට ඉහලට නැංගොත් ඉදල්ගස්ඉන්නට යන්න පුලුවන්. ඒ අනුව පැරැන්නෝ ඉදල්ගස්ඉන්නෙන් හපුතලේ දක්වා ගියා වන්නට පුලුවන්. මේවයේ අක්මුල් සොයා ගියොත් තවත් නොදන්න දේ බොහොමයක් සොයා ගන්න පුලුවන් වෙයි.


Monday, April 13, 2020

නීඩ්වුඩ් වත්තෙන් ඔබ්බට


                                                        
ස්වයංපෝෂිතභාවය සහ ආහාර සුරක්ෂිතතාවය ගැන දැන් අළුතෙන් කතා වෙනවා. ගෝලීයකරන මූලධර්ම යම්කිසි තර්ජනයකට ලක්වී ඇති බව පෙනෙනවා. කොයි විදිහෙන් බැලුවත් පරමාදර්ශීය බවට කිට්ටු යැයි සිතූ බටහිර සංවර්ධන මොඩලය ගැන නැවත සිතා බලන්න අවස්ථාවක් උදා වෙලා. එක පැත්තකින් මොඩලයේ ආවේනික සමහර ලක්ෂණ පිළිබඳව නැවත සිතන්න වනවා. රටක ආර්ථිකයේ විධිමත් අංශය සහ අවිධිමත් අංශ අඩු වැඩි වශයෙන් පැවතීමේ ගුණ අගුණත් අපට පෙනෙන්නට පටන් ගත්තා. අනෙක් කාරණය සංවර්ධනය කවුරුන් සඳහාද කියන ගැටළුවත් මතු වෙලා තියෙනවා. ආර්ථික බලවතා කියන ස්ථානය නැත්නම් අධිකාරිය හෝ මූල්‍ය කේන්ද්‍රය රැක ගැනීම සඳහා මිනිසුන්ගේ ජීවිත කැපකරන්න අවශ්‍යද කියන එකත් හිතා බලන්න වටින කාරණා. කෙසේ වෙතත් ලිබරල්වදයෙන් එහෙන්පිටින් අයින්වූ මොඩලයක් අපට හෝ ගැලපේයැයි මා විශ්වාස කරන්නේ නැහැ.

1970-77 කාලයේ ආර්ථික ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කළා නම් අද අපි ගොඩ කියා මතකයකුත් ප්‍රකාශ වනවා. මේ ගැන හිතනකොට අපේ මතකයත් 70 දශකයට දිව යනවා. මේ කාලයේ පැවති ආර්ථික ප්‍රතිපත්ති අපේ ජීවිත වලට විවිධාකාරයෙන් බලපෑවා. අල බතල වැනි බොහෝ ආහාර වර්ග මේ යටතේ දිරිමත් කළාට පශු සම්පත් ආදිය ගැන අඩු අවධානයක් තිබුණේ. පිටරටින් එන කිරිපිටි හිඟවීම නිසා කුඩා ළමුන්ගේ පෝෂණය අඩුවූ බව අම්මලා කියනවා. ඒ දවස්වල මස් පරිභෝජනය පොදුවේ ඉතා අඩු මට්ටමක තිබුණේ. බිත්තර වුනත් වානිජ මට්ටමින් මහා පරිමානව තිබුණේ නැහැ.

මීට අමතරව හාල් පොලු මිරිස් පොලු ආදියෙන් මිනිසුන් හොඳටම බැටකෑවා. භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි, ප්‍රමිතියෙන් තොර බෝල සබන් ආදිය ප්‍රචලිතව තිබුණා. ක්‍රමයේ යම් යම් හොඳ ලක්ෂණ තිබුනත් නිෂ්පාදනයන් හි ප්‍රමිතිය හෝ ඵලදායීත්වය ඉහල නංවන්න නිසි වැඩපිලිවෙලක් තිබුණේ නැතිවා වගෙයි.

අපේ නිවඩු කාලයේ ගමන් සමග මෙය සමබන්ධ කලොත්, අපට මතක් වන්නේ ඒ දිනවල හල්දුම්මුල්ල ප්‍රදේශයේ වර්ධනය වූ උක් වගාව. සීනි ආනයනය සීමා කිරීම නිසා විකල්ප වලට අවස්ථාවක් උදා වුණා. උක් හකුරු ඒ සඳහා ප්‍රධාන විකල්පයක්. මතක හැටියට සෙවනගල, හිඟුරාන යන කම්හල් වල සීනිත් හැදුවා. බෙරගල කිට්ටුව තිබුණු පැරණි තේ ෆැක්ටරියක් ආණඩුවෙන් හකුරු හදන කම්හලක් බවට පත්කළා. එහි සීනිත් හැදුවාද මතක නැහැ. එය සොයා බලන්නට අවශ්‍යයි.

කොහොම වුනත් හකුරු වලට හොඳ මිලක් ඇති නිසා ඒ ප්‍රදේශයේ හැකි සෑම තැනකම උක් වගාවන් බිහිවී තිබුණා. සමහරක් කුඩා තේ වතු පවා උක් වගාවට හැරවුනා. උක්ගස් කැපීමත් ප්‍රවාහනයත් විධිමත් අයුරින් සැකසී තිබුනේ නැහැ. කොහොම වුනත් ට්‍රැක්ටර් ටේලර් වල ඉතා උසට යකඩ සැකිලි සාදා උපරිම උක් දඬු ප්‍රමාණයක් ගෙන යා හැකි ලෙස සකසා තිබුණා. පා ගමනින් පමණක් ලඟා විය හැකි හේන් වල හැදූ උක් ගස් කැපූ පසු ඒවා ට්‍රැක්ටර් ගමන් කළ හැකි පාරක් ළඟට කරින් ඔසොවාගෙන එන්න ගම්මුන් දැරුවේ ඉමහත් පරිශ්‍රමයක්.

නිවාඩු කාලය තුළ මේ කාර්යන්ට සම්බන්ධ වන්නට ලැබුණු හන්දා ඒ ගැන තවමත් මතකයේ තියෙනවා. මෙසේ කපා ගත් උක් දඬු ට්‍රැක්ටර් වලට පැටවිය යුතුයි. උපරිම දඬු ප්‍රමානයක් ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රැක්ටරයේ සැකිල්ල අඩි පහළොවක් පමණ උසට නිමවා තිබුණා. ලොකු හේනක උක්දඬු ගෙනයන්න මේ වගේ ට්‍රැක්ටර් කිහිපයක් අවශ්‍ය වුණා. සම්පූර්ණයෙන් ට්‍රැක්ටර් ලෝඩ් කළාට පස්සේ අපිත් ඒ ටේලරයේ උක්දඬු ගොඩ උඩට නගිනවා. ට්‍රැක්ටරය මහ පාරට ඇවිල්ලා හාල්ඇටතැන්නෙන් පහළ ඇති හන්දියෙන් උඩ පැත්තට ඇති ඉදල්ගස්ඉන්න දක්වා දිවෙන Needwood වත්ත පාරෙන් ඉහලට ගමන් කරනවා. ඒ පාර අධික වංගු සහිත වගේම බෑවුම අධික පාරක්. ට්‍රේලරයේ උක්ගස් වලට උඩින් හිඳගෙන උක් මිටි බදා ගෙන යන අවදානම් ගමන අද නම් යන්න කවුරුවත් කිසි සේත් ඉදිරිපත් වන එකක් නැහැ.   මේ උක්දඬු මෙසේ ගෙන ගොස් බෑවේ නීඩ්වුඩ් වත්තේ තිබුණු හකුරු කම්හල ඉදිරිපිට. බොහෝ ගොවියන් ගේ උක්දඬු එහි ගෙනත් දමන හන්දා ඒවා අඹරන තෙක් බලා ගන්නට අවශ්‍යයයි. නැත්නම් ඒවා මාරුවෙන්න පුළුවන් හන්දා. හවස් වන විට මේ දඬු යන්ත්‍ර වලට දමා අඹරන්නට පටන් ගන්නවා. ලැබෙන උක් පැනි එකතු කොට කම්හලේ ලිප් ඇති කොටසට ගෙනයනවා. එහිදී විශාල දර ලිප් වලට ලොකු තාච්චි වලට ඒවා දමා හැඳි ගානවා. බොහෝ වෙලාවක් දහඩිය පෙරාගෙන හැඳි ගෑවට පස්සේ පැනි රන්වන් පාට වී ගෙන එනවා. ඊළඟට පදමට උකු වුනාට පස්සේ ඒ පැනි ලී වලින් හදපු අච්චු වලට වත්කරනවා. එක අච්චුවක අඟල් 4*4*3 වගේ ප්‍රමානයේ හතරැස් හකුරු කැට හැත්තෑ පහක් සීයක් පමණ තියෙනවා. ඊළඟට ඒවා නිවෙන්න තියෙනවා. හොඳටම නිවී හකුරු ඝන වුනාම අච්චු අනෙක් පැත්ත හරවලා පොල්ලකින් ගැහුවහම හකරු කැට ගැලවෙනවා. ඒවා ලොකු පොහොර බෑග් වල දමා එකතු කරනවා.  

අවසානයේ දී ඒවා තොග ගානටම විකුණලා එක ගෝනියක් විතර ගෙදර පාචිව්වියට අරගෙන යනවා. මේවා කරළා ඉවරවෙන කොට බොහෝවිට පහුවදා එළිවෙනවා.

අපි එසේ උක්ගස් අරගෙන ගිහින් උදේ වුනහම ඒ උක් කම්හල ආසන්නයේ තිබූ හල්දුම්මුල්ල පැරණි පෘතුගීසි බලකොටුවේ නටඹුන් බලන්න ගියා. ඒ දිනවල ඔත්තු බලන කුරුබිලි ආදියේ ශේෂ පවා පැහැදිලිවම කිබූ බව මතකයි. හපුතලේ කඳුවැටියේ සෑහෙන තරම් ඉහලින් පිහිටි නිසා මෙම බලකොටුවේ  සිට ඌව වෙල්ලස්සත්, බලන්ගොඩ සානුව පැත්තෙන් එන යම් කිසි ආක්‍රණයක් කළින්ම දකින්නට පුළුවන් වන්න ඇති. කිසිවෙකුගේ නිසි අවධානයක් යොමු නොවීම නිසා අද වන විට ඒ අතීත උරුමය නැතිවී යන්නට ආසන්නයි. හල්දුම්මුල්ල නගරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා ස්ථානයක් යැයි නම්කරපු බෝඩ් ලෑල්ලක් නම් තියෙනවා. එතනින් ඉහලට නගින්න පාරක් හෝ ඇති බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රාදේශීය සභාවෙන් හෝ මේවා ගැන සොයා බලනවා නම් මේවා හොඳ සංචාරක බිම් කරන්න පුළුවන්. දැනට හඳුනාගත් හල්දුම්මුල්ලේ ප්‍රාග් ඓතිහාසික වාසභූමිය ඇත්තෙත් මීට ආසන්නයෙන්.




Saturday, April 11, 2020

විහාරගල (Blackwood)

Glenanore tea estate sign, Blackwood Division, Haputale, Badulla ...

ජීවිතේ සමහරක් සිද්ධි ඒ තරම් වැදගත් කමක් නැති වුනත් අපට මතක තියෙනවා බොහෝ කාලයක් යනකම්. අපි වැදගත් කමක් නැතෙයි කියා සිතුවාට ඒවයේ මොකක් හරි වැදගත් කමක් ඇති. ඒකයි ඒවා සදාතනිකව නැත්නම් බොහෝ කලක් මතකයේ රඳවා ගන්නට යටි හිත බල කරනවා ඇත්තේ. එහෙම සිද්ධි විශාල ගණනක් අතරින් මම කලින් ලියූ අපි පුංචි කාලේ ගිය උඩරට ගමනට සම්බන්ධවූ සිද්ධියක් මගේ මතකයට එනවා. මම කලින් කිව්වා වගේ වැඩිමහල් සහෝදරයින් දෙන්නා සමග නිවාඩු කාලය ගත කරන්න ගිය ගමන් වලදී සමහරක් දේවලින් මාව ඈත් කර තබන්න ඔවුන් උත්සාහ කළේ මම පුංචි හන්දා වෙන්න ඇති.
එක පැත්තකින් ගම වටකරගෙන නැගී සිටින ගොංමොල්ලි කන්ද ඇතුළු කඳු පංතියේ සමහරක් කඳු තරනය කරන්න ගමේ ගැටවු සමග ඔවුන් ගිය ගමන් එයට උදාහරනයක්. ඒ ගමන් වලින් පස්සේ ඔවුන් තරණය කළ කන්ද මුදුනේ කොඩියක් ගසා ආ බව ඔවුන් කිව්වේ උජාරුවෙන්. මේ ගමන් වල මුල් තැන ගත්තේ පොඩිමාමා බවයි මට මතක. මේ වගේ වැඩි අවදානම් සහිත ක්‍රියාකාරකම් මට අහිමි වුනත් ගමේ ගැටව් එක්ක ලෝකාන්තයට පයින් ගිය ගමනට නම් මටත් යන්න ලැබුණා. පයින් කිව්වාට ඉදල්ගස්ඉන්නේ සිට ඔහිය දක්වා ආවේත් ගියෙත් දුම්රියෙන්.  

මම කියන්න ගියේ ඒ දවස්වල අපේ මාමාට විශේෂ රාජකාරියක් පැවරී තිබුණා. මට කාලවකවානු පිළිබඳ නිවැරදි මතකයක් නැහැ කොහොම හරි ඒ හැත්තෑගනන් වල පාසල් නිවාඩු කාලයක්. ඒ දවස්වල තිබුණු හාල් පොත් අහෝසි කරපු කාලය. හාල්පොත් වලට ගමේ ගොඩේ අය කිව්වේ කූපන් පොත් කියා. මොකද පොතේ තියෙන කොටු වලින් මුද්‍රණය කොට ඇති කූපන් හාල් ලබා දෙන වෙලාවට සමූපකාරයෙන් කපා ගන්නා නිසා. එසේ කපා ගන්නා කූපන් ඒගොල්ලෝ වාර්තාවක් වගේ එකක අලවා ගන්නවා. හාල් පොතේ පිටුපස ගොවියකු වී වපුරන සිතුවමක් තිබුණා. හාල් පොත් අහෝසි කරලා හාල් පොත් හිමි කාරයන්ගේ ආදායම් තක්සේරුවක් කරලා යම් සහනයක් දුන්නා වෙන්න ඕනා. ඒ සඳහා ඒ ඒ ගම්වලට විශේෂ නිලධාරින් පත් කොට තිබුණා. ඔහු ඒ ගමේ අයගේ හාල්පොත් බාරගත්තාට අමතරව ඒ අයගේ ආදායම් තත්ත්වය පිලිබඳව රපෝර්තුවක් ආන්ඩුවට ලබා දුන්නා.

මාමාට ලැබී තිබුණේ බෙරගල කිට්ටුව තිබුණු වතු ගම්මානයක්. ඒ බෙරගල සිට වැල්ලවාය දක්වා දිවෙන කොළඔ - මඩකලපුව පාරේ තිබුණු විහාරගල කියන වත්ත බවයි මට මතක. එහි පාර අයිනේ තිබූ තේ කඩයක කාමරයක් තමයි මාමාට රාජකාරි කරන්න ලබා දී තිබුණේ. කඩය පිටු පස තිබූ පල්ලමට කනු සිටවා ඒ උඩ ලෑලි දමා කඩය සාදා තිබුණා. එහි යට තට්ටුවකුත් තිබුණා.

විටින් විට හාල්පොත් බාරදීම සඳහා පැමිනෙන වතු කම්කරුවන් සමග කරන රජකාරිය ඉවර වන ඉස්පාසුවෙන් කඩයේ මුදලාලිත් එක්ක කතාබහේ යෙදීම තමයි මාමා කළේ. මට මතක හැටියට ඔහු දමිල ජාතිකයෙක්. ඒත් හොඳින් සිංහල කතා කලා. ඉතාම හොඳ sense of humor තිබුනු කෙනෙක්. කඩයේ ඉදිරිපස තිබුණු බොයිලේරුව නිතරම දුම් දමමින් තිබුණේ කඩේට ගොඩ වන හැමෝම වගේ තේ හො කෝපි කොප්පයක් බිවු හන්දා. අපි දවසට තේ දහයක් විතර බිව්වා කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි. විශේෂයෙන් මාමාට පැයකට එක තේ කොප්පයක් වත් අවම වශයෙන් ඕනා නිසා.

වරක එහි හැදූ තේ, කහට (තිත්ත) රස වැඩි හන්දා මගේ මූහුණ ඇඹුල් වූ බව දැනගෙන මුදලාලි ඇහුවේ සීනි මදිද කියා. මමත් ඔහුට ඔලොක්කුවක් කරන්න හිතා ගෙන කිව්වේ සීනි වැඩියි කියා. වහාම තේ ගොට්ටත් රැගෙන ආ ඔහු මගේ කෝප්පයට තවත් කහට ටිකක් දමන්නම් කිව්වේ මගේ විහිළුවට ප්‍රතිචාරයක් හැටියට. ඊට පස්සේ අපි සියළු දෙනාගේ තද කරගෙන සිටි සිනහව පිට පැන කොක්හඬලා සිනා වුනා. මේ සිද්දිය මාමා ගෙදර ගිහින් පුංචි අම්මලාටත් කියළා දවස් ගානක් යනකම් හිනා වුණා මතකයි.

විහිළු තහලු වලට අමතරව අර කඩය ආශ්‍රිතව තිබුණු mini culture එක අපේ හිතට වදින්න ඇති. හාල් පොත් බාර දෙන්න විතරක් නොවෙයි තේ බොන්නත් එහි ආවේ වතු කම්කරුවන් සහ ඔවුන්ගේ ළමයින්. ඒක විශේෂයෙන් අපට අලුත් අත්දැකීමක් වුණා. ගෑනු පිරිමි බේදයක් නැතුව හැමෝම බුලත් හැපුවා වගේම අව්වට පිච්චුනු හීන්දෑරි ශරීර අපට ඔවුන්ගේ ජීවන අරගලය ගැන කියාපෑවා. කාන්තාවන්ගේ කණේ බරට එල්ලුනු කරාබු කියා පෑවේ මේ කිසිම දේකට ඔවුන්ගේ සංස්කෘතිය විකෘති කරන්නට ඉඩ නොලැබී ඇති බවද? ඊට අමතරව ඔවුන් ගේ ඇඳුම් කැඩුම් වගේම කතා බහෙත් විශේෂයක් තිබුණා වගේම මේ සියල්ල පිටුපස යම්කිසි ලෙන්ගතු කමක් තිබුණා. විශේෂයෙන් රජයේ සේවකයකු වූ මාමාට ඔවුන්  සැළකුවේ ගෞරව සම්ප්‍රයුක්ත බයකින්. එහෙත් මාමා බොහොම සාධාරණව ඔවුනට සැලකූ බවයි මගේ මතකය. හවස් වනකොට අපි ඒ පැත්තම වහගන්න මීදුම අතරින් අපි බෙරගලට පයින් ඇවිත් බසයක් අල්ලා ගත්තා. අදටත් මේ පාරේ යන විට මේ ඉසව්ව සහ තේ කඩය සොයා මගේ හිත දිවයනවා.

P.S
මෙහි සඳහන් වතුයායේ නම බ්ලැක්වුඩ් බව මතක් වුනේ පසුව.මේ කිට්ටුව තිබෙන අනෙක් වත්තේ නම නීඩ්වුඩ්. 

Friday, April 10, 2020

සුන්දර මතක


ඊයේ පෙරේදා අපේ සහෝදරියක් බොහෝ කාලයකට ඉස්සර නිවාඩු කාලෙට උඩරට යන ගමන ගැන ලියා තිබුණා. ඒ අම්මලාගේ ගමට යන ගමනයි. අපටත් ඒ හා සමාන අත්දැකීම් බොහොමයක් තියේ. ඒ ගමන් ගියේත් දුම්රියේ හෝ බස්රියේ. දුම්රියේ ගමනට පැය දොළහක් පමණ ගතවුණා. බස්රියේ නම් පැය පහයි. ඒ පානදුරයේ සිට බදුල්ල, මහියංගනය, කැටවත්ත, මඩකලපුව හෝ අම්පාර දක්වා දිවෙන ඕනෑම බස් එකකින් මාරුවීමකින් තොරව ඒ ගමන යන්නට පුළුවන් හන්දා. මුලින් තිබුනේ සීඝ්‍රගාමී බස්. පසුව එම යෙදුමේ අනුචිතභාවය හිතලා එය සීමිත නැවතුම් යනුවෙන් නම් කළ බව මතකයි.

කොහොම වුනත් අපට රයිගම හන්දියෙන් බසයට ගොඩවෙලා හාල්ඇටතැන්නෙන් බහින්නට පුළුවන් වුණා අපිට බහින්න අවශ්‍ය වුනේ වල්හපුතැන්නෙන් වුනත් සමහර කාල වලදී සීඝ්‍රගාමී බස් නැවැත්තුවේ හාල්ඇටතැන්නෙයි.  ඒ හන්දා ගෙනගිය බඩුමලුත් ඉහින් කනින් උස්සාගෙන හාල්අටුතැන්නෙන් ආපස්සට පල්ලම් බහින්න සිද්ද වුණා. ඒ දවස්වල අපි අරන් ගිය බඩුමළු වල පානදුර වැල්ලෙන් අරන් ඇවිත් උයාපු බල මාළු ව්‍යංජනයක් පොල් ගෙඩි දහයක් පහලොවක් වගේ දේවල් තිබුණා.

මුල් කාලෙදී බසයෙන් වේවා දුම්රියෙන් වේවා අපේ ගෙදර සියළු දෙනාම ගියේ එකට. පසුකාලවල අපේ මාමා කෙනෙකු (ආරිමාමා) නිවාඩු කාලය ඇරඹෙනවාත් සමග වාගේ අපව (මාත් මගේ වැඩිමල් සහෝදරයින් දෙන්නාත්) එක්කරගෙන යාම සඳහා පැමිණියා. ඒ වන විට අවිවාහකව සිටි ඔහු රැකියාවක නිරත වුණා.

පානදුර ඩිපෝවට අයත් ලේලන්ඩ් බස් තමයි ඒ දවස්වල මේ ගමන් වල යෙදුණේ. බස් එකේ වහලයේ ඇති බඩු රඳවනයේත් බොහෝ විට තැඹිලි වගේ දේවල් ප්‍රවාහනය කළා. සෑම බස් රථයක්ම පාහේ මුලින්ම තේ බොන්නට නැවැත්වූයේ ඉංගිරියේ පොලීසිය ඉදිරියේ තිබූ බස් නැවතුමේ. අපි ඉංගිරියේදී බනිස් වගේ දෙයක් කාලා තේවතුර බොනවා. ඊළගට බස් එකට නැග්ගහම අපිට ටොෆී හම්බවෙනවා.

ඉංගිරිය දක්වාම පුංචි කඳු පල්ලම් තිබුනත් තැන්න සහ වංගු අඩු හන්දා බස් රථය වේගයෙන් යනවා. ඉංගිරියෙන් එහාට රත්නපුර දක්වා ටිකෙන් ටික කන්ද නැගීම ආරම්භ වෙනවා වගේම වංගු අධිකයි.  ඒ හන්දා ඒ දක්වා පිඹගෙන ගිය බසයේ වේගය අඩුවෙනවා.  

රත්නපුර බස් නැවතුමේ මදකට නවත්වන බසයට නගින වෙළෙන්දන්ගෙන් අපට ලැබෙන්නේ බැදපු කඩල හෝ රටකජු වගේ දේවල්. ඊළඟට පැල්මඩුල්ල දක්වා නැවතත් තැනිතලාව. පැල්මඩුල්ලෙන් එහාට බස් එක කන්ද නගින්නේ අමාරුවෙන්. බලංගොඩ ටවුමේ දී බස්එක ටිකවෙලාවක් නවත්වනවා. එහිදී වෙළෙන්දන් ගෙනෙන්නේ නාරං සහ නෙල්ලි. නොවරදවාම අපට එහිදී අපට ඒවායේ රහ බලන්න ලැබෙනවා. බලංගොඩ බස් නැවතුමේ දී බලංගොඩ ඩිපෝවේ පමණක් දකින්නට තිබුණු හුඟක්ම පුංචි තනිදොරේ බස් දකින්නට තියෙනවා. බලංගොඩ අවට වංගු අධික පුංචි පාරවලට එම බස් රථ හොඳින් ගැලපෙනවා ඇති.
බලංගොඩින් එහාට ඌව තැන්න ඇරුනහම දිගටම කන්ද. බස් රථය නැවතත් යන්නේ කෙඳිරි ගාමින්. ඒ වගේම දවල් කාලය වුනත් හමන සුළඟේ සීතල අපට දැනෙනවා. ඒ වගේම කඳුකර කලාපයට ආවේනික ගස්වැල් වල සුවඳත් ඒ සුළඟේ මුසු වෙනවා. එය අපට මතක් කරන්නේ අපි ගමනාත්තයට ළං වී ඇති බව. කළුපහන කිට්ටුවට එන කොට මාමා අපට යෝධයා දැමූ පස් කූඩය පෙන්වනවා. ඒක පිරමීඩාකාර කන්දක්.  බොහෝවිට හාල්ඇටතැන්නෙන් බැස්ස ගමන් අපට නැවතත් තේ හෝ කෝපි වලින් සප්පායම් වෙන්න ලැබෙනවා.

වල්හපුතැන්න දක්වා මහපාරේ ඇවිත් එතනින් ගිනිගත්ගල දක්වා පටු පාර දිගේ අප ගමන් අරඹනවා. තැන් තැන් වල නවතිමින් ඒ ඒ ස්ථාන හා බැඳුනු කතා අහමින් වගේම පාලම් බෝක්කු ඇතුළට එබී බලමින් අප යන ඒ ගමනට අපට විනාඩි හතලිස් පහක් වත් ගතවෙනවා.

ගෙදරට ලඟා වුනු ගමන්ම වත්තේ ඇති පේර, පීචස් සහ ලොකැට් ගස් වලට අපෙන් ඉස්පාසුවක් ලැබෙන්නේ නැහැ. ඒවායින් සෑහෙන්න බඩ පිරුනත් සමූපකාර කඩෙන් ගෙනෙන සැමන් ටින් එකෙන් ආච්චී හදන සැමන් මාළුවත් සමග වට්ටක්කා දළු සහ අළුත් එළවලු ආදියෙන් සමන්විත වන දවල් ආහාරයට අපි වගකියන්නේ සාගතයෙන් පෙළුනු අය සිහිපත් කරමින්.  

ඊළඟට අපත් සමග සතුටු සාමීචියේ යෙදෙන්න බළා සිටින මාමලාගේත් පුංචි අම්මලාගේත් බළාපොරොත්තු කඩ කරමින් අපි කුඹුරේ ඇති පැලටත් එතනින් එහාටත් අපේ චාරිකාව අරඹන්නේ ගමන් මහන්සිය හෝ නොතකා. එය අවසන් වන්නේ බොහෝ  විට අවට කඳු වලින් මීඳුම් බාගෙන එනකොට සහ සීතල වැඩිවෙනකොට. බොහෝවිට එවැනි ගමන් වලට පොඩි මාමා එකතු වනවා.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...