Friday, September 30, 2016

පාසල් ගොඩනැගිලි


පාසල් ගොඩනැගිලි ගැන තව ටිකක් ලියන්නට හිතුණා. මා ගිය ගමේ පාසලේ තිබුනේ ගොඩනැගිලි දෙකයි. මේ එකක වත් පංති බිත්ති වලින් වෙන් කර තිබුණේ නැහැ. ඒක ප්‍රාථමික විදුහලක්. යම් හේතුවක් හන්දා 9 පන්තිය දක්වා පන්ති පැවැත්වුණා. පාරට වඩා කිට්ටුවෙන් පිහිටි වඩා පැරණි ගොඩනැගිල්ල ඉංග්‍රීසි H අකුර හැඩයේ එකක්. ඇත්තටම කිව්වොත් සමාන්තර දිග ශාලා දෙකක් මැදින් යාකරලා. මැද කොටසත් පන්තියක් හැටියට පාවිච්චි කළා. වහ‍ලය සිංහල උළු. අලුත්වැඩියාවක් නැති හන්දා තැනින් තැන හිල්ද තිබුණා වගේ මතකයි. එතකොට බාග මැද මිදුල් දෙකක් (තුන් පැත්තකින් වටවුණු) තියෙනවා. එයින් එක මැද මිදුලක ලොකු රත්මල් පදුරක් තිබුණා. ඒ වුනාට ඒකේ මල් කහ පාටයි.නොතිබීම. මෙහි අනෙක් විශේෂත්වය නම් වහලය රදවා ගන්න බිත්ති කණු ඇරුනහම එක පැත්තකින් වත් සම්පූර්ණ බිත්තියක් පිහිටා  මේ ගොඩනැගිල්ලට සමාන්තරව තමයි වඩා අළුත් අනෙක් ලොඩනැගිල්ල තිබුණේ. එහි වහලය රටඋළු. එක පැත්තක කෙලවරේ බිම තරමක් උස් කොට වේදිකාවක් හදා තියෙන්නේ විවිධප්‍රසංග ආදීය තියන්න. (මේ හැම ගොඩනැගිල්ලකම ලමයින් වගේම නිත්‍ය හිමිකාරයන් වුණේ පරෙවියන්.) ඊටම අල්ලලා තමයි මුල් ගුරුතුමාගේ කාමරය තිබුණේ. ඒක ඇතුලේ කබඩ් වල දාලා විශාල සිතියම් ලෝක ගෝල සහ සීනු තිබුණා. එහි ලොකුමහත්තයා නිතරම හිදගෙන ඉන්න පුටුවක් එහි තිබුණා. උදේට ගුරුවරුන් පැමිණ අත්සන් කරන පොත තිබුණේ ඒ මේසය උඩ.

අර එච් ගොඩනැගිල්ලේ එක් කෙලවරක ගුරුවිවේක කාමරය තිබුණා. ඊට අල්ලලා තව කුඩා ගොඩනැගිල්ලක් තිබුණා. එය කලින් කළ විවිධ දේවලට පාවිච්චි කළා වගේ මතකයි. ගබඩාවක් හැටියට, සංගීත කාමරය හැටියට සහ එහි පිටුපස කිරි ආදිය රත්කිරීමට කුස්සියක් ලෙස ආදී වශයෙන්. එයට ඉස්සරහින් වෙනම හතරැස් ගොඩනැගිල්ලක් තිබුණා. ඒ තමයි බුදුමැදුර. ඉස්කොලේ හැටියට ඒක ලොකුයි. මට මතක හැටියට හොරණ පාසල් වල හෝ එච්චර ලොකු බුදුමැදුරක් තිබුණේ නැහැ. එය වසාගෙන වගේ පැතුරුණු මූණ මල් ගහක් තිබුණා කහ පාට මල් පිපුණු. ගෙඩියට ඇස් කට නහය තිබ්බහම මූණක් ලැබෙනවා.
මේ ගොඩනැගිලිත් මහ පාරත් අතර තරමක් ලොකු මිදුලක් තිබ්බා. ඉස්සරම කාලේ උදේ රුස්වීමත් එතන තිබ්බා මතකයි. ඒකේ තැන් තැන් වල කැනාස් මල් වවලා තිබුණා. හරියටම පාසලට ඉස්සරහින් මහ පාරේ තිබුණේ විශාල වංගුවක්. මේ හන්දා එතන අනතුරු බහුල තැනක් වුණා.

විදුහලේ පිටිපස කන්දක් තිබුණා. විශාල ගල් වලින් එය සෑදී තිබුණා. එක පැත්තකින් එයට යන්න කවුරුන් හෝ පඩි පෙළක් ගලින් හදා තිබුණා. උඩ මයියොක්කා වගේ වගාවන් සුලුවෙන් කර තිබුණා ඊට පහලින් පුංචි පිට්ටනිය සහ ඊටත් පහලින් ලොකු පිට්ටනිය. ඒවාට එපිටින් කැසිකිලි හා වැසිකිලි තිබුණා. ලොකු පිට්ටනිය සහ ලොකු මහත්තයාගේ කාමරය අතරින් වතුර බොන ලිද තිබුණා. වාරාවසානයේදී වගේ ලිද ඉස්සේ ළමයින් විසින් මයි.


අනෙක් රටවල පාසල් ගොඩනැගිලි ගත්තහම බොහෝවිට පිහිටා ඇති ස්ථානයෙන් ස්වායත්තව සමජාතීය ස්වරූපයක් තිබුණු බව මතකයි. එතකොට ඹ්නම තැනකදි එහෙම ගොඩනැගිල්ලක් ගත්තහම මේ පාසලක් කියලා කියන්න පුලුවන්. (මෙහෙත් ගමේදි නම් එහෙමයි) මේ ගැන විවිධ මත තියෙන්න පුළුවන් වුනත් එහෙම සමජාතීය බවක් තියෙන එකට මා නම් කැමතියි. මේක සමහරවිට පැටලෙන්නේ අපේ රටේ “නමගිය” පාසල් වල තමන්ටම ආවේනික වූ ගෘහනිර්මාණ ශිල්පයෙන් යුතු ගොඩනැගිලි පිහිටා තිබීම නිසයි. ඒකට යම් යම් ‍ඓතිහාසික හේතුත් සම්බන්ධ හන්දා ඒ උරුමය තියා ගන්නත් වෙනවා. හැබැයි ඒකම irony එකක් වන්නේ අසාමාන්‍ය තරගයකට හා විවිධ ප්‍රශ්න වලට හේතුවක් වී ඇති ලමුන්ට නමගිය පාසලක් ලබා දීමට දෙමව්පියන් තමන්ට හැකි උපරිමයෙන් දරන වෑයම් වලට වක්‍රව හෝ මෙයත් බලපාන්නට ඇති ඉඩ. මට මතකයි සෝවියට් සංගමයේ විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර එකම සැලැස්මකට අනුව මුලු රටේම හදලා තිබුණු බව. ඒ කාලේ එහෙ හිටපු ඹ්නම කෙනෙකුට පහසුවෙන් අදුර ගන්න පුළුවන් සහ ඇස් දෙක වහගෙන ඹ්නම තැනක ඇවිදින්න තරම් අපට පුරුදු ඒ ගොඩනැගිල්ලක මා ඇදපු චිත්‍රයක් නිම් වළලු පොතේ ඇතුලත්. (advertisement එකක් නෙමේ.)  

හොස්ටල් කොලම

මේ සැරේ කොළඹ පොත් ප්‍රදර්ශනයට ගියත් මට ගන්න ලැබුනේ එක පොතක් විතරයි. ඒ පුෂ්පානන්ද ඒකනායක කතුවරයා ලියූ හොස්ටල් කොලම. සෙනග අතරේ තෙරපි තෙරපි අමාරුවෙන් පොත් බලන්න අමාරුයි. එහෙම නොවෙන්න නම් සෑම පොත් ප්‍රදර්ශන කුටියක්ම විශාලව හදන්න ඹ්නා. ඒගොල්ල එහෙම නොකරන්නේ ප්‍රායොගික අපහසුතා හන්දම නොවේ කියන එකයි මට තේරුණේ. මීමැස්සො වගේ පොදි කකා තෙරපි තෙරපි පොත් විකුණන වෙළද කුටියකට ඇති ඉල්ලුම වැඩි ඇති. නැත්නම් පෙනෙන්නේ මැස්සො ඇහිරෙන තැනක වෙලදාම අඩු වෙන්න ඒක හේතු වනවා ඇති.

හොස්ටල් කොලමට නැවත ආවොත් පුවත්පත් කලාවේදියකු වන පුෂ්පානන්ද ඒකනායක සති අන්ත පත්තරයකට ලියුව කොලම තමයි පොතක් හැටියට එලිදක්වා තියෙන්නේ. ඔහු‍ ඉගෙන ගත්තු මහනුවර ධර්මරාජයේ නේවාසිකාගාරයේ ජීවිතය ගැන තමයි මේ පොත. කාලවකවානුව හැත්තෑවෙ දශකය හන්දා අපේ නේවාසිකාගාර ජීවිතයට කිට්ටුයි. ඒ විතරක් නෙවෙයි, උදේ පහට නැගිට්ට වෙලාවේ සිට රාත්‍රී නමයට නින්දට යන වෙලාව දක්වා කාල සටහන කොළඹ තිබුනු අපේ නේවාසිකාගාරයට සමානයි. ඊට අමතරව hostel trips සහ නේවාසික දිනයන් ආදිය බොහෝ දුරට සමානයි. ලොකුම වෙනස තමයි ධර්මරාජේ landscape එක. පඩිපේලි, කුගැට ආදිය සහිත ඉස්කෝලයක් බොහොම ලස්සන ඇති.

අපි ගමේ ඉස්කොලෙ ඉන් කොළඹට එනතුරු හිතා හිටියේ පාසල් ගොඩනැගිලි කියන්නේ මිටි බිත්ති හා කනු කිහිපියකින් වට වෙච්ච ලොකු බාල්ක සහිතව සෘජුකොනාශ්‍රාකාර, පල දෙකට වහලය ගහපු, රට උළු (පරන නම් සිංහල උළු) සෙවිල්ලපු ගොඩනැගිලි පමනයි කියා. පාසල් වල සම්පූර්ණයෙන් බිත්තිවලින් වටවුණු ශාලා සහිත ගොඩනැගිලි තියෙන්නට පුළුවන් බව පසුව අපට තේරුණා. ඒත් පාසල කියන හිතේ ඇිලා තිබුණු චිත්‍රයේ  හැමදාම තිබුනේ කලින් කී වර්ගයේ ගොඩනැගිලි.  


හයේ හෝ හතේ පන්තියේ ඉංග්‍රීසි අච්චු පොතේ පාසලක් ගැන කතාවක් තිබුණා. පාසල තලාහේන මහා විද්‍යාලය. මම ඒ පාඩමට කැමතියි. ඒ එහි ඇ තිබූ අර කලින් කී විදිහේ පාසල් ගොඩනැගිලි හන්දා වෙන්න බොහොම ඉඩ තියෙන්නේ දැනටත් එය මතක හන්දා. ඒ කාලේ ඒක ඉතාම කෙටි අතීත කාමයක්. 

Friday, September 23, 2016

නුහුරු රස දැනුනා

සිහිනයකි රෑ වැඩසටහන දිගටම වගේ බලන වැඩසටහනක් ඊයේ පෙරේදා විශාරද ෂෙල්ටන් පෙරේරාගේ දියනිය - අනුරාධා පෙරේරා - සහ පැරිසියේ ජීවත් වන සිංහල තරුණියක්ද එහි ගීත ගායනයට පැමිණියා. ඔවුන්ගේ ගායනයන් කන්කළු විතරක් නොවෙයි අපිට එදිනෙදා ඇහෙන බොහෝ ගායනයන්ට වඩා ඉහල මට්ටටමක තිබුණා. මා කලින් දිනයක ලියූවා මතකයි විකටර් රත්නායක ශූරීන් කිව්වා (ශූරීන් කියන පදයේ ස්ත්‍රීලිංග වචනය මොකක්ද දන්නේ නැහැ.) වඩාත් සෘංගාරාත්මක ගීතයක් ගැන. ඔහුගේ පුතනුවන් කිව්වේ වඩාත්ම romantic හඩ තියෙන්නේ තාත්තට නෙමෙයි මිල්ටන් අංකල් (මල්ලවආරච්චි) ටයි කියලා. එයට එකග වෙන්න පුළුවන්. එයට හොදම උදාහරණය සහ මගේ තේරිම අනුව වඩාත්ම romantic  සිංදුව ගැන කියන්නයි මම යන්නේ.

මේ ගීතය එන්නේ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කරපු නිල්ල සොයා චිත්‍රපටයේ. නිල්ල සොයා චිත්‍රපටය මා නැරඹුවේ පාසල් නිවාඩු කාලේ අම්මාගේ ගමේ ගිහින් එහි පාසල් ශාලාවක් තුළ සීතලේ ගුලිවෙලා. ඒ දවස්වල නිවාඩු කාල වලදී මේ වගේ ගම්මාන වල සතියක් විතර තිස්සේ ඒ වගේ චිත්‍රපට පෙන්වනවා. මතක හැටියට 2.30 සහ 6.30 වශයෙන් දර්ශන වාර දෙකක් තිබුණා. දෙකම houseful. මොකද ඒ ගමේ අයට චිත්‍රපටයක් බලන්න නම් කිලෝමීටර 15 ක් පමණ ගෙවා දියතලාවට නැත්නම් බණ්ඩාරවෙලට යන්න වෙනවා. කොහොමින් හරි අපි ඒ සතිය පුරාම නොවරදවා  හැම චිත්‍රපටයක්ම 6.30 දර්ශනය නැරඹුවා. වැඩියම පෙන්නුවේ බන්දු සමරසිංහ, ප්‍රෙඩී සිල්වා,  දොන් සිරිසේන, ලිලියන් එදිරිසංහ නොවැරදී රගපෑ සේන සමරසිංහගේ චිත්‍රපට. ඒවා බලලා අපි ඉල ඇදෙනකම් හිනා වුනා. කස්තුරි සුවද, නිල්ල සොයා එසේ බලපු චිත්‍රපට අතරින් මට මතක් වෙන ඒවා.

මේ ගීතය පසුකාලීනව ඇසුනේ කොළඹ පොත් ප්‍රදර්ශණයට ගිය වෙලාවක. (අවුරුදු ගණනකට පෙර.) එහි තිබූ සංගීත සැන්දෑවක යුවලක් මේ ගීතය ඉතා මිහිරෙන් ගායනා කළා. ඇත්තමට එදා තමයි මෙහි නියම අරුත තේරුණේ.  මිල්ටන් මල්ලවාරච්චි නැමැති අතිශය හෘදයාංගම හඩක් ඇති ගායකයා සමග මෙහිදී යුගගී ගයන්නේ ප්‍රවීන ගායිකා ඇන්ජලීන් ගුනතිලක. මතකය හරිනම් සහ පද අනුව මෙහි ගේය පද බණ්ඩාර කේ. විජේතුංග කියන අති ප්‍රවීන ගීත රචකයාගේ.

මියුරු පෙම් මදිරාවේ
නුහුරු රස දැනුනාවේ
සත්සරේ රැව් දිදී
පුරවන්න මා දෙසවන් සොඳුරේ

දෙතොල් පෙති පුබුදාලා
පියුම් පැහැ විහිදාලා
දෙනෙතෙහී නිල්මිණී
ලෙළවන්න මා නළවා සොඳුරේ

හසරැල් අමා දියේ
තිසරුන් තෙමී ගියේ //
රන්වන් ලතාවෙන් ඉන්න ලංවී
සුදේහිනියේ දිවා රැයේ

ඳුහෙල් මැදින් ඇදී
එමි ආදරේ සොයා//
සිහිනෙන් පැතූසේ වස්තුවක් දැන්
තියෙයි හිනැහී මගේ කියා

අපේ හිතමිත්‍ර ජයනාත් කොහේදෝ ලියලා තිබුණා වගේම දවසක් අපි දඹානේ සිට හුන්නස්ගිරිය පසුකරමින් එනවිට අපට මේ ගීතයේ නුහුරු රස මීවිතක් අතරින් හොඳින්ම දැනුනා. පද හොින් ඇහැව්වොත් බැලුවොත් එය දැනේවි.




Thursday, September 22, 2016

ඉස්සර විදිහට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ


හාමුදුරුවරුන්ගේ ජීවිතය ගැන මම මීට කලිනුත් ලිව්වා මතකයි. දරුපවුල් හදා වඩා ගන්නේ නැතිව ගෙවන ජීවිතය හුගක් හුදකලා සහ පාලු එකක් වෙන්න ඇති කියා. ඒක එහෙම නොවන බව වැඩි වැඩියෙන් හාමුදුරුවන් ආශ්‍රය කරන්න කරන්න තේරුම් යනවා. ඊයේ පෙරේදා අපි වාද්දුව පැත්තේ පන්සලකට ගියාම අපිට හමුවුණු පොඩි හාමුදුරුවන් සමග අපේ උවමනාව කීවාම උන්වහන්සේ කිව්වේ ලොකු හාමුදුරුවන් හමු වන්න කියා. ඒ වෙලාවේ ලොකු හාමුදුරුවන් දානය වළදන බවයි අපට තේරුණේ. ඉතින් අපි ටිකක් බලා සිටියා. ටික වේලාවකින් හාමුදුරුවන් ආවත් එතරම් ප්‍රියමනාප මුහුණක් පෙන්නුවේ නැහැ. අපි රයිගම අවට පුරාණ පන්සල් වල තොරතුරු ලේඛනගත කරන බව උන්වහන්සේට කිව්වා. එහෙම රලු වාගේ පිටින් පෙනුනාට ටික වේලාවක් අපේ විස්තරය අහලා (පැහැදුනාද මන්දා) ටිකක් ලිහිල් බවක් පෙන්නුවා. ඊලගට උන්වහන්සේගේ දේශපාලන affiliation එක ගැනත් ඒ සම්බන්ධ තොරතුරුත් අපට කීවා. ඒත් එක්කම පන්සලේ ඉතිහාසය ගැනත් විදුහල්පති කෙනෙක්ව සිට විශ්‍රාම ගිය බවත්, උන්වහන්සේ උගන්වන පිරිවෙන් ගැන ආදිය කතා කළා. ගෝල හාමුදුරුවන් 50 ක් හැදුව බවත් වාර්ෂික පෙරහැර 35 ක් ද කොහෙද පැවැත්වූ බවත්. මේ අතර තවත් කළ කී බොහෝ දේ අපට කිව්වා. හාමුදුරුකෙනෙක් ගේ ජීවිතය ගෙවෙන්නේ එහෙම තමයි. උන්වහන්සේ මේවා ආවර්ජනය කළේ ආඩම්බරයෙන්. ඒ වෙනකොට හාමුදුරුවන් අපට බොහොම කුළුපග වෙලා. අපට දවල්ට කන්න දෙයක් ඒ වන විට ඉතුරුවෙලා නැති හන්දා අපි පන්සලෙන් රසකැවිලි, කෙසෙල්ගෙඩි සහ අයිස්ක්‍රීම් කාලා සාමනේරනමක් විසින් පිළියෙල කරලා දීපු තේ එකත් බීලා බඩ පුරවා ගත්තා. ‍අපි ඇති තරම් කනවාද කියළා බලන්න ලොකු හාමුදුරුවන් කුස්සියටම ආවා. ඊට පස්සේ ආයිත් කතාව පටන් ගත්තා. බුලත්විටක් එහෙම කන්නෙ නැතුව ඇති කියන ගමන් බුලත් තට්ටුවත් අපට දුන්නා. ආයි දවසක එන පොරොන්දුව ඇතිව තමයි අපි හාමුදුරුවන්ට සමු දුන්නේ.

එදා අපි දවල්ට බත් කෑවේ අපේ ගමේ කඩේකින්. ඒක පාර අයිනේ වෙල් ඕවිටක හදපු තාවකාලික මඩුවක්. ඒත් ඕවිටේ කඩය වටේට නොයෙකුත් එළවලු වගා කර තිබුණා. උයා තිබුනු දේවලින් කොටසක් එයින් නෙලා ගත්ත අස්වැන්න. ඒ අතරින් කොච්චි සම්බෝලය විශේෂයි. මෙහි කෘත්‍රිම රසකාරක භාවිතයක් නැති බව සදහන්. තව ටිකක් පිලිවෙලකට පවත්වාගෙන ගියා නම් එතනට සෑහෙන ඉල්ලුමක් ඇති වන්නට පුලුවන්. ඉස්සර කාලේ වගේ නොවෙයි කෑම වේල් ගෙදරින් පිට ගන්න සෑහෙන පිරිසක් දැන් ගමෙත් ඉන්නවා. අපි පුංචි කාලේ අපිට මතක හන්දියේ කඩවලින් අපේ ආතා එහෙම තේ බොන්න යනවා. ඒත් උවමනාවටම නෙවෙයි වගේ. කයිවාරුවකුත් ගහලා වට පිටේ තොරතුරුත් අහගෙන පත්තරෙත් බලලා එන්න වෙන්න ඇති. ඒ ඇරුනහම කඩෙන් කෑම කන්නේ ලොරිවල වැඩ කරන අය.



Saturday, September 17, 2016

රාජ්‍ය සේවය පිණිසයි

 ටික කාලෙකට පෙර එක්තරා පර්යේෂණ ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩ කිරීමට ලැබුණා. එතන හිටිය කිහිප දෙනෙක් වෘත්තීය ව්‍යාපාරිකයින්. ආචාර්ය උපාධි තියෙන කිහිප දෙනෙක්ම එහි හිටියා. මා සාමාන්‍ය යෙන් මේ වගේ අවස්ථාවල බොහෝ දෙනෙක් කරන ආකාරයට පොලිස් කාරයාගේ චරිතයට ආවේස වන්නේ නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර යම් රජයේ ආයතනයක් මණ්ඩලයක් බවට පත් කර ඇත්තේ යම් කිසි ස්වාධීනතාවක් හරහා එහි mandate එක මුදුන් පමුණුවා ගැනීමේ අරමුනෙන්. එහෙත් පුදුමයකට වගේ එතන සිටි බොහෝ දෙනා මගෙන් බලාපොරොත්තු වුණේ අරවගේ පොලිස්කාරකමක්. උපායශීලි විදිහට flexible වන එක ඒගොල්ලන් දැක්කේ දුර්වලකමක් විදියට. බොහෝ අය කැමතියි ප්‍රශ්න තවතවත් අවුල් කරගෙන කතා කර කර ඉන්න. ඒ ආකාරයෙන් එක පැත්තකින් කාලය නාස්ති වනවා. අනෙක් පැත්තෙන් ප්‍රශ්න තවත් ව්‍යාකූල වනවා වගේම උත්තර ලැබෙන්නේ නැහැ. උදාහරන කොතෙකුත් කියන්න පුළුවනි. ඒ අවුරුද්දේ අයවැය යෝජනාවක් කිබුණා  අප සිටි ක්ෂේත්‍රයට සම්බන්ධ. නමුත් යෝජනාවේ කියවුණු scope එකට එහා ගියේ නැත්නම් එහි ප්‍රයෝජනයක් නැහැ. ඒත් මුදල් වෙන්වී තියෙනවා. ඉතින් මේ කට්ටිය ලෑස්ති අර යෝජනාව දේවභාෂිතය වගේ අරගෙන ඒකම කරන්නයි ලෑස්ති වුනේ. බොහොම අමාරුවෙන් නිෂේධ බලය යොදලා තමයි හරි පාරට දාගන්න පුලුවන් වුනේ. නමුත් ඒ ගොල්ලන් ඒකෙන්වත් පාඩමක් උගෙන ගත් බවක් පෙනුනේ නැහැ. හුගක් වෙලාවට අපේ රටේ පුද්ගලික අංශය වුනත් රජයට බැන බැන වුනත් රජයේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ pragmatic approach  නොවෙයි  bureaucratic approach වගෙයි පෙනෙන්නේ.

තව වතාවක් මට මතකයි (මේක අර කලින් කී ආයතනයට සම්බන්ධ නැහැ.) එක්තරා බෝගයකට වසංගතයක් මට්ටමට රෝගයක් බෝවීගෙන ගියා. ඒ අනුව ඒ සදහා ප්‍රතිකර්ම යෙදීමට මධ්‍යකාලීනව යම් මුදලක් අනුමත කරනු ලැබුවා. නියමිත කාලය ඉවර වෙලා මුදල් ප්‍රමාණයත් ඉවරවෙලා ඊලග අවුරුද්දේ මුදල් වෙන්කිරීමේ අවස්ථාවෙදි විශාල ප්‍රශ්නයක්. අදාල දෙපාර්තමේන්තුව තවදුරටත් මුදල් ඉල්ලනවා. ඒත් සාමාන්‍ය මතය වුණේ අනුමත මුදල් සහ කාලය ඉවර වෙලා හන්දා තවදුරටත් සල්ලි දෙන්න බැහැ කියා. අදාල අනුමැතිය ගැන අර රෝගකාරකයා වුනු වයිරසයට දැනීමක් නැතිද කියා ඇසුවත් බොහෝ දෙනෙක්ට එය වැටහුනේ නැහැ. බොහෝ වෙලාවට අවශ්‍ය වන්නේ අදාල කාර්‍ය ඉෂ්ට වුනාද නැද්ද කියන එක ගැන සමාලෝචනයක් කර අවශ්‍ය වේ නම් ඉලක්කගත ලෙස තවදුරටත් මුදල් ලබාදීම සදහා පියවර ගැනීමයි. ඒ සදහා අතුරු අනුමැතියක් අවශ්‍ය වේ නම් ඒ සදහා කටයුතු කරන්න පුලුවනි. ඒත් ඉතින් මොකටද එච්චර කරදර වෙන්නේ?  

ඊයේ පෙරේදා දිනයක රයිගම රාජධානියෙන් ගිණිකොන පැත්තේ ඇති ගම්මාන වල චාරිකාවක යෙදෙන්න හැකි වුණා. ඒ පැත්තේ තියෙන්නේ බොල්ගොඩ ගග ආශ්‍රිත වගුරුබිම්. අටුළුගම කන්දේ තිබුණයි කියෙන අට්ටාල ඒ පැත්තෙන් සතුරන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඉදිකරන්න ඇතැයි කියලයි අපේ මිතුරු පුරාවිද්‍යාඥයා කීවේ. අනෙක ඒ පැත්තේ වගුරු බිම් හන්දා වැඩි ජනාවාස වෙලා නැති හැඩයි. ඒ හරියේ තිබුනු පන්සල් සියල්ලම පාහේ පසුකාලීනව ඉදිකෙරුනු ඒවා. වාද්දුව පැත්තට බර වෙන්න පැරණි පන්සල් දකින්නට පුළුවන්. වාද්දුවේ පල්ලියේ ඉතිහාසයත් 1883 දක්වා යන බව එහි සදහන් පුවරුවලින් කියවෙනවා. එහෙත් එහි ඇති දේවමෑනියන්ගේ ප්‍රතිමාව මුහුදෙන් පාවී ආපු ලීයෙන් කල එකක් බවත් එය අවුරුදු 400 ක් පමණ පැරණි බවයි බැතිමතුන්ගේ මතය.

                                          වාද්දුවේ ශුද්ධාත්ම දෙව් මැදුර

                                           දේව ප්‍රතිමාව 


තල්පිටියේ දළදාවත්ත පන්සලේ බිතු සිතුවම්

වාද්දුව මහා විහාරයේ ඹ්ලන්ද ගෘහ නිර්මාණ ආභාෂය ලද පිළිමගෙය







Monday, September 12, 2016

පුල පුලා බලා ඉන්න සාහිත්‍ය මාසය

අද හජ්ජි උත්සවය හන්දා රජයේ නිවාඩු. ඒත් mercantile holiday එකක් නෙමෙයි. ඒ හන්දා පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය අංශයට අද වැඩ කරන දවසක්. ඒත් එම ආයතන වල වැඩකරන ඉස්ලාම් ආගම අදහන උදවියට අද නිවාඩු දෙනවා. කාලයක් රජයේ සේවකයන්ටත් මේ ක්‍රමය අත්හදා බැලුවා. මොන යම් හේතුවක් හෝ හන්දා එය අතහැර දැම්මා.

සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය කියලා කියන්නේ. ‍ඒ සදහා පැවැත්වෙන දේවල් අතරින් කොළඹ පොත් ප්‍රදර්ශනය විශේෂයි. ඒත් මට සිද්ද වෙලා තියෙන්නේ ඒක ඉවර වෙන්නෙ කවදද කියලා බලා ඉන්න. මගේ අලුත් පර්වර්තන පොතේ දෙවන වර සෝදුපත් බලන්න ගියාම මට දැන ගන්න ලැබුණේ පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් සූදානම් කෙරෙන පොත් වල වැඩ හන්දා මගේ පොතේ වැඩ පමා වන බවයි. ඒ හන්දා මම පිටපත ගෙදර අරන් ආවත් තවමත් පිටුවක් හෝ පෙරලලා බැලුවේ නැහැ. ප්‍රදර්ශනය ඉවර වුනාම ගිහින් දෙන්න හිතා ගෙන ඉන්නේ. අපි වගේ කෙනෙක් පොතක් ගහනවා නම් සාහිත්‍ය මාසය මග ඇරලා බාර දෙන්න වග බලා ගැනීමට අවශ්‍යයි. ඒත් මෙවර මම පොත බාර දුන්නේ මැයි මාසයේ පමණ. ඒක පරක්කු වැඩි ඇති.

මොහාන් රාජ් මඩවල ඉතාම ඉක්මනින් නමක් හදා ගත්ත ලේඛකයෙක්. (ඒ සදහා ඹහු සෑහෙන කලක් මහන්සි වෙන්න ඇති. ) YouTube එකේ rajina කියලා සෙවුවොත් ඹහුගේ අලුත්ම නවකතාව ගැන සෑදු ට්‍රේල් එක බලන්න පුළුවන්.  අනුලා බිසව ගැන අළුත් කෝනයකින් බලන්න කතුවරයා උත්සාහ ගත්ත බව කීවේ ඹහු.

පසුගිය දිනවල මහවැලි ක්‍රීඩා තරග පැවත්වුණා. ඒ පැවැත්වෙන්නේ මහවැලි කලාප වල ජීවත්වන තරුනයන්ගේ ක්‍රීඩා හැකියා එළිදක්වන්නයි. දල වශයෙන් ගත්තහම ලංකාවේ වගා ඉඩම් ප්‍රමාණයෙන් තුනෙන් එකක් වගේ ප්‍රමාණයකට වාරි පහසුකම් දෙන්නයි මහවැලි ව්‍යාපාරය හැදුවේ. ඊට සමගාමීව ජල විදුලි බලාගාර වලට අමතරව මහවැලි නගර, ක්‍රීඩාංගන, මාර්ග පද්ධති සහ නොයෙකුත් ප්‍රජා පහසුකම් ඉදිකෙරුනා. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වන්න ඇත්තේ අළුත්ම කෘෂිකාර්මික සංස්කෘතියක් මතින් ආර්ථිකයේ පිම්මක් ඉස්සරහට පනින්නයි. මූලික සැලසුම් වලට FAO සහ UNDP සමබන්ද වූ බව දැනගන්නට තිබුනත්, අපේ වාරි ඉතිහාසයේ අතීතකාමයත් මෙයට බලපාන්න ඇති. අපේ රටේ තිබෙන ඉඩම් ප්‍රමානය බැලුවහම, අපට යන්න තිබුණේ අපටම ආවේනික precision agriculture ක්‍රමයකට. ඒකට අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ආදිය සපයා ගැනීම සහ භාවිතයට ගොවීන්ට හැකියාවක් වගේම හුරුවක් තිබුනයි කියලා හිතන්න අමාරුයි. ඒ සදහා රජය පැහැදිලිවට  මැදිහත් විය යුතුව තිබුණා. (දැනුත් ප්‍රමාද නැහැ) දැන් වන්නේ කාලයත් එක්ක invisible hand එකෙන් අවශ්‍ය තාක්ෂණය සහ උපකරන ටිකෙන් ටික භාවිතයට එක් වීමයි. ඒත් කලින් හිතපු මොඩල් එකෙන් වෙනස් තැනකට වටපිටාව ඇවිත්. මේවා පර්යේෂණ කරන්න පුලුවන් මාතෘකා.


Friday, September 2, 2016

මිහිර

බොහෝ දිනකින් යමක් ලියන්නට බැරි වුණේ අවිවේකය නිසාමද කියන එක නැවත සිතා බලන්න වෙනවා. මීට වඩා අවිවේකී වෙලාවටත් ලියවෙන වෙලාවල් තියෙනවා. පසුගිය දින කිහිපයේදී යුරෝපය පැත්තේ දැනට ජීවත් වන ලාංකික යාළුවන් කිහිප දෙනෙකුම හමු වුණා. බොහෝ දෙනෙක් ලංකාවේ සෑහෙන කාලයක් රැකියා කර විදේශගතවූ අය. සමහර වෙලාවට ඒ ගොල්ල කියන ඒවා එක්ක තර්ක කරන්නට යන එකේ තේරුමක් නැහැ වගේ. මේ රටේ කිසිම දෙයක් පිළිවෙලකට නැති එක තමයි ප්‍රධාන ප්‍රශ්නය. මේක “තුන්වන ලෝකේ” රටක් වන්නේ ඒ හන්දා කියන එක මම කිහිප වාරයක් මතක් කර දුන්නා. අප උත්සාහයක යෙදෙන්නේ මෙතනින් වඩාත් හොද තැනකට යන්න. ඒක පලවන ලෝකේ වෙයිද නැත්නම් වෙනත් එකක් වෙයිද කියන එක වෙනම කාරනයක්.

අනෙක් කාරනය තමයි මේක වෙනස් කරන එක පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් කියන අදහස. බටහිර රටක වෙනස් සහ දියුනු කලමනාකාරිත්වයක් වගේම ඉහල තාක්ෂනය යටතේ වැඩ කරපු අයෙකුට මෙහි කරන්න බොහෝ දේ ඇති බව සිතන්න පුළුවන්. ඒත් මම කලින්ම අනතුරු ඇගෙවුවේ ඇවිත් කළකිරෙන්න එපා කියා. අදට අවශ්‍ය ආයතනික (පුළුල් අර්ථයෙන්) වෙනස් කම් ඇති කර ගන්න එක හිතන තරම් සැහැල්ලු නැහැ. මේ ගැන උදාහරන කොතෙක් විස්තර කළත් ඒවා කොයිතරම් දුරට ඒත්තු ගියාද මා දන්නේ නැහැ. එක් කෙනෙකුගේ දෙන්නෙකුගේ benevolent උත්සාහ වලින් කරන්න පුළුවන් දේ සීමිතයි වගේම ඒ සදහා ගතවන කාලය තුලදී ඒ ටික දෙනාත් කලකිරිලා දැනට සිටින බහුතරයේ තත්වයටම වැටෙන එක සාමාන්‍යයෙන් අප දැකපු දෙයක්.

කලින් දිනක මා ලියු අපේ රටේ විවිධත්වය ගැන උනන්දු වන බ්‍රිතාන්‍ය ජාතික තරුනියක් පසුලියදා රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වුණා. ඇය රටපුරා ගොස් ඡායාරූප ගන්නවා. නම ඇලිස්. ඇය කීවේ එහේ who the hell is Alice කියලා සින්දුවක් තියෙන හන්දා එයින් බේරෙන්න මෙහේ ඇවිත් බැලුවහම මෙහෙත් ඇහෙන්නේ “කවුද බොල මේ ඇලිස්” කියලයි කියා.

අපේ පුතාලා පුංචි කාලේ ගත්තු මිහිර පත්තරේ තවමත් අපි ගන්නවා. මිල රුපියල් 25 යි. ඒත් ඒගොල්ලෝ ඒක කොයිතරම් කියවනවද මම දන්නේ නැහැ. ඒත් පුරුද්දට අපි ගන්නේ. ඒකේ යන ළමා නවකතා නම් හැමෝම කියවන බව පේනවා. දැන් ආයිමත් එහි ඇස්. ඒ. දිසානායකගේ ‘යෝධයා’ පලවෙනවා. ඒ පුතාලගෙන් ඇහුවහම කියුවේ ඒක තේරෙන්නේ නැහැ කියා. ඒකේ තියෙන උපහාසය අද ළමයින්ට ගොචර වන්නේ නැති පාටයි. අපට තවමත් ඒවා රසවිදින්න පුළුවන්. හැබැයි අපිත් පුංචි කාලෙදි වැඩියට කියවුවේ එහි කොටස් වශයෙන් පලවු නවකතා සහ චිත්‍රකතා තමයි. නවකතා මතක් කලොත් “හුන්නස්ගිරි කදු පාමුල”, “තවලමයි පුංචෙයි” සුමනා සපරමාදු මහත්මිය පරිවර්තනය කරපු “ඹලිවර් ට්විස්ට්” ආදිය මතක් වෙනවා.


ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...