Thursday, September 22, 2016

ඉස්සර විදිහට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ


හාමුදුරුවරුන්ගේ ජීවිතය ගැන මම මීට කලිනුත් ලිව්වා මතකයි. දරුපවුල් හදා වඩා ගන්නේ නැතිව ගෙවන ජීවිතය හුගක් හුදකලා සහ පාලු එකක් වෙන්න ඇති කියා. ඒක එහෙම නොවන බව වැඩි වැඩියෙන් හාමුදුරුවන් ආශ්‍රය කරන්න කරන්න තේරුම් යනවා. ඊයේ පෙරේදා අපි වාද්දුව පැත්තේ පන්සලකට ගියාම අපිට හමුවුණු පොඩි හාමුදුරුවන් සමග අපේ උවමනාව කීවාම උන්වහන්සේ කිව්වේ ලොකු හාමුදුරුවන් හමු වන්න කියා. ඒ වෙලාවේ ලොකු හාමුදුරුවන් දානය වළදන බවයි අපට තේරුණේ. ඉතින් අපි ටිකක් බලා සිටියා. ටික වේලාවකින් හාමුදුරුවන් ආවත් එතරම් ප්‍රියමනාප මුහුණක් පෙන්නුවේ නැහැ. අපි රයිගම අවට පුරාණ පන්සල් වල තොරතුරු ලේඛනගත කරන බව උන්වහන්සේට කිව්වා. එහෙම රලු වාගේ පිටින් පෙනුනාට ටික වේලාවක් අපේ විස්තරය අහලා (පැහැදුනාද මන්දා) ටිකක් ලිහිල් බවක් පෙන්නුවා. ඊලගට උන්වහන්සේගේ දේශපාලන affiliation එක ගැනත් ඒ සම්බන්ධ තොරතුරුත් අපට කීවා. ඒත් එක්කම පන්සලේ ඉතිහාසය ගැනත් විදුහල්පති කෙනෙක්ව සිට විශ්‍රාම ගිය බවත්, උන්වහන්සේ උගන්වන පිරිවෙන් ගැන ආදිය කතා කළා. ගෝල හාමුදුරුවන් 50 ක් හැදුව බවත් වාර්ෂික පෙරහැර 35 ක් ද කොහෙද පැවැත්වූ බවත්. මේ අතර තවත් කළ කී බොහෝ දේ අපට කිව්වා. හාමුදුරුකෙනෙක් ගේ ජීවිතය ගෙවෙන්නේ එහෙම තමයි. උන්වහන්සේ මේවා ආවර්ජනය කළේ ආඩම්බරයෙන්. ඒ වෙනකොට හාමුදුරුවන් අපට බොහොම කුළුපග වෙලා. අපට දවල්ට කන්න දෙයක් ඒ වන විට ඉතුරුවෙලා නැති හන්දා අපි පන්සලෙන් රසකැවිලි, කෙසෙල්ගෙඩි සහ අයිස්ක්‍රීම් කාලා සාමනේරනමක් විසින් පිළියෙල කරලා දීපු තේ එකත් බීලා බඩ පුරවා ගත්තා. ‍අපි ඇති තරම් කනවාද කියළා බලන්න ලොකු හාමුදුරුවන් කුස්සියටම ආවා. ඊට පස්සේ ආයිත් කතාව පටන් ගත්තා. බුලත්විටක් එහෙම කන්නෙ නැතුව ඇති කියන ගමන් බුලත් තට්ටුවත් අපට දුන්නා. ආයි දවසක එන පොරොන්දුව ඇතිව තමයි අපි හාමුදුරුවන්ට සමු දුන්නේ.

එදා අපි දවල්ට බත් කෑවේ අපේ ගමේ කඩේකින්. ඒක පාර අයිනේ වෙල් ඕවිටක හදපු තාවකාලික මඩුවක්. ඒත් ඕවිටේ කඩය වටේට නොයෙකුත් එළවලු වගා කර තිබුණා. උයා තිබුනු දේවලින් කොටසක් එයින් නෙලා ගත්ත අස්වැන්න. ඒ අතරින් කොච්චි සම්බෝලය විශේෂයි. මෙහි කෘත්‍රිම රසකාරක භාවිතයක් නැති බව සදහන්. තව ටිකක් පිලිවෙලකට පවත්වාගෙන ගියා නම් එතනට සෑහෙන ඉල්ලුමක් ඇති වන්නට පුලුවන්. ඉස්සර කාලේ වගේ නොවෙයි කෑම වේල් ගෙදරින් පිට ගන්න සෑහෙන පිරිසක් දැන් ගමෙත් ඉන්නවා. අපි පුංචි කාලේ අපිට මතක හන්දියේ කඩවලින් අපේ ආතා එහෙම තේ බොන්න යනවා. ඒත් උවමනාවටම නෙවෙයි වගේ. කයිවාරුවකුත් ගහලා වට පිටේ තොරතුරුත් අහගෙන පත්තරෙත් බලලා එන්න වෙන්න ඇති. ඒ ඇරුනහම කඩෙන් කෑම කන්නේ ලොරිවල වැඩ කරන අය.



No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...