Friday, September 2, 2016

මිහිර

බොහෝ දිනකින් යමක් ලියන්නට බැරි වුණේ අවිවේකය නිසාමද කියන එක නැවත සිතා බලන්න වෙනවා. මීට වඩා අවිවේකී වෙලාවටත් ලියවෙන වෙලාවල් තියෙනවා. පසුගිය දින කිහිපයේදී යුරෝපය පැත්තේ දැනට ජීවත් වන ලාංකික යාළුවන් කිහිප දෙනෙකුම හමු වුණා. බොහෝ දෙනෙක් ලංකාවේ සෑහෙන කාලයක් රැකියා කර විදේශගතවූ අය. සමහර වෙලාවට ඒ ගොල්ල කියන ඒවා එක්ක තර්ක කරන්නට යන එකේ තේරුමක් නැහැ වගේ. මේ රටේ කිසිම දෙයක් පිළිවෙලකට නැති එක තමයි ප්‍රධාන ප්‍රශ්නය. මේක “තුන්වන ලෝකේ” රටක් වන්නේ ඒ හන්දා කියන එක මම කිහිප වාරයක් මතක් කර දුන්නා. අප උත්සාහයක යෙදෙන්නේ මෙතනින් වඩාත් හොද තැනකට යන්න. ඒක පලවන ලෝකේ වෙයිද නැත්නම් වෙනත් එකක් වෙයිද කියන එක වෙනම කාරනයක්.

අනෙක් කාරනය තමයි මේක වෙනස් කරන එක පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් කියන අදහස. බටහිර රටක වෙනස් සහ දියුනු කලමනාකාරිත්වයක් වගේම ඉහල තාක්ෂනය යටතේ වැඩ කරපු අයෙකුට මෙහි කරන්න බොහෝ දේ ඇති බව සිතන්න පුළුවන්. ඒත් මම කලින්ම අනතුරු ඇගෙවුවේ ඇවිත් කළකිරෙන්න එපා කියා. අදට අවශ්‍ය ආයතනික (පුළුල් අර්ථයෙන්) වෙනස් කම් ඇති කර ගන්න එක හිතන තරම් සැහැල්ලු නැහැ. මේ ගැන උදාහරන කොතෙක් විස්තර කළත් ඒවා කොයිතරම් දුරට ඒත්තු ගියාද මා දන්නේ නැහැ. එක් කෙනෙකුගේ දෙන්නෙකුගේ benevolent උත්සාහ වලින් කරන්න පුළුවන් දේ සීමිතයි වගේම ඒ සදහා ගතවන කාලය තුලදී ඒ ටික දෙනාත් කලකිරිලා දැනට සිටින බහුතරයේ තත්වයටම වැටෙන එක සාමාන්‍යයෙන් අප දැකපු දෙයක්.

කලින් දිනක මා ලියු අපේ රටේ විවිධත්වය ගැන උනන්දු වන බ්‍රිතාන්‍ය ජාතික තරුනියක් පසුලියදා රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වුණා. ඇය රටපුරා ගොස් ඡායාරූප ගන්නවා. නම ඇලිස්. ඇය කීවේ එහේ who the hell is Alice කියලා සින්දුවක් තියෙන හන්දා එයින් බේරෙන්න මෙහේ ඇවිත් බැලුවහම මෙහෙත් ඇහෙන්නේ “කවුද බොල මේ ඇලිස්” කියලයි කියා.

අපේ පුතාලා පුංචි කාලේ ගත්තු මිහිර පත්තරේ තවමත් අපි ගන්නවා. මිල රුපියල් 25 යි. ඒත් ඒගොල්ලෝ ඒක කොයිතරම් කියවනවද මම දන්නේ නැහැ. ඒත් පුරුද්දට අපි ගන්නේ. ඒකේ යන ළමා නවකතා නම් හැමෝම කියවන බව පේනවා. දැන් ආයිමත් එහි ඇස්. ඒ. දිසානායකගේ ‘යෝධයා’ පලවෙනවා. ඒ පුතාලගෙන් ඇහුවහම කියුවේ ඒක තේරෙන්නේ නැහැ කියා. ඒකේ තියෙන උපහාසය අද ළමයින්ට ගොචර වන්නේ නැති පාටයි. අපට තවමත් ඒවා රසවිදින්න පුළුවන්. හැබැයි අපිත් පුංචි කාලෙදි වැඩියට කියවුවේ එහි කොටස් වශයෙන් පලවු නවකතා සහ චිත්‍රකතා තමයි. නවකතා මතක් කලොත් “හුන්නස්ගිරි කදු පාමුල”, “තවලමයි පුංචෙයි” සුමනා සපරමාදු මහත්මිය පරිවර්තනය කරපු “ඹලිවර් ට්විස්ට්” ආදිය මතක් වෙනවා.


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...