Wednesday, December 18, 2019

බිතු සිතුවම්


දෙසැම්බරයත් ගෙවී ගෙන යනවා හැල හැප්පීම් ගොඩක් එක්ක අලුත් දෙයක් ලියන්න හිතට ආවේ නැහැ. අළුත් පොතක් කියවන්නට හම්බවුනා. අවුරුදු ගානකට පස්සෙ කියවන්න ලැබුණු වටිනාම පොත කිව්වොත් නිවැරදියි. පොතේ නම් Sapience – A brief history of Humankind මුලින්ම පොත ගැන කිව්වේ පන්සලේ හාමුදුරුවන්. උන්වහන්සේ ලඟ පොතේ සිංහල පරිවර්තනය තිබුණා. මට අවශ්‍ය වුනේ හීබෘ භාෂාවෙන් ලියවුණු මේ පොතේ කතෘ ගෙම ඉංග්‍රීසි පරිවර්තනයක් ඇති හන්දා එය ඉංග්‍රීසියෙන් කියවන්න. සාමාන්‍යෙයන් වන පරිදිම කොළඹ පොත් සාප්පු වල මේ පොත ගන්න තිබුණේ නැහැ. මට දවස් දෙකක් ඇතුලත පොත සොයා දුන්නේ කොළඹ ජීවත්වන ඊශ්‍රායල් ජාතික හිත මිතුරෙක්.  පොතේ කතුවරයා ඊශ්‍රායල් ජාතිත ඉතිහාසඥයකු වන Yuval Noah Harari. මේ පොත කියවන විට මනුෂ්‍යා ගැනත් සමාජය ගැනත් අපි හිතා ගෙන ඉන්න දේවල් වෙනස් කරන්න වෙනවා/ නැත්නම් අලුතෙන් දකින්න පුළුවන් වෙනවා.  මේ පොත සාපේක්ෂ වශයෙන් ඉක්මනට සිංහලට පරිවර්තනය කිරීමත් වැදගත් දෙයක් හැටියට සලකන්න ඹ්නා. මේ වගේ තාක්ෂනික කරුණු සහ පාරිභාෂික වචන බහුල ලියවිලි පරිවර්තනය කිරීම ලෙහෙසි නැහැ. ඉතාම කෙටියෙන් පොතේ අන්තර්ගතය කිව්වොත් ඔහු හෝමෝ සේපියන් හඳුන්වන්නේ Serial Killer කෙනෙක් හැටියට.

රට හැම ගැනම තාප්ප වල පින්තූර ඇඳීමේ රැල්ලක් ඇති වෙලා. තරුණ පරපුර ඒ සදහා උනන්දුවක් දක්වන බව පේනවා. සමහර පුද්ගලික සමාගම් සහ මාධ්‍ය ආයතන ඒ සඳහා අනුග්‍රහය දක්වනවා. සමහර තැන්වල ඉතා යෝග්‍ය අන්දමින් තෝරාගත් චිත්‍ර අඳින බවත් පෙනෙන්න තියෙනවා. අවුරුද්දක් දෙකක් ගියහම මේවා අවපැහැය ගත්තාට පස්සේ නැවත ඇඳීම හෝ ප්‍රතිස්ථාපනය කිරීමත් අවශ්‍යයි. යුරොපයේත් ස්ප්‍රේ කිරීම මගින් තාප්ප වල චිත්‍ර ඇද ඇති බව පෙනෙන්නට තිබෙනවා. කොළඹත් එවැනි ස්ප්‍රේ චිත්‍ර වරින්වර දකින්නට ලැබුනත් ඒවා විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරග හෝ එක් එක් අයගේ නම් සහ කුණුහරුප වලට සීමා වී ඇති බව දකින්නට පුළුවන්.

මේ අලුත් රැල්ලත් එක්කම විනාශ වී යන පන්සල් බිතු සිතුවම් ප්‍රතිස්ථාපනය සඳහා ද මේ වගේ උනන්දුවක් කැප කිරීමක් දැක්වුවොත් අගෙයි. කාර්ය බහුල ජීවන රටාව නිසා පාරම්පරිකව පන්සල් බිතුසිතුවම් පවත්වා ගෙන ගිය කියා හිතෙන කණ්ඩායම් ක්‍රමයෙන් එම කාර්යන්ගෙන් ඉවත් වී ඇති බව පෙනෙනවා.


Tuesday, November 19, 2019

යකඩ සිල්පර හා සිහින සක්මන


පොත් දෙකක් කියවන්න තරම් විවේකයක් ලැබුණා. වෙනත් විදියකින් කිව්වොත් විවේකයක් හදා ගෙන හෝ කියවන්න හැකි පොත් දෙකක් ලැබුණා. එකක් අපේ හිතමිත්‍ර ධම්මික බණ්ඩාරගේ සිහින සක්මන කාව්‍ය සංග්‍රහය. සිහින සක්මන ගැන වෙනම ලිපියක් ලියන්නට බළාපොරොත්තු වන හන්දා වැඩිය මෙහි ලියන්න බළාපොරොත්තුවක් නැහැ.

ජීවිතයේ විවිධ නැවතුම්පළවල, සන්ධිස්ථාන වල හදවත ප්‍රකම්පනය කළ හැඟීම් වල සොඳුරු දිගහැරුමක් ලෙස සිහින සක්මන හඳුන්වන්න පුළුවන්. මේ තම බිරිඳ ගැන නැතිනම් කුටුම්භ ජීවිතය ගැන ධම්මික ලියන කවියක කොටසක්.
රේල්ලුවේ හූ හඬට තිගැස්සී අවදිවී
ජීවිතේ උණුසුමට තේ සදා ගෙනෙන්නී
අරමුණක් නැති මගේ ජීවිතේ ඉරුණු තැන්
රොස් පරොස් කිය කියා අණ්ඩ දා මසන්නී
සුවහසක් අත්වැරදි මෙත්සිතින් ඉවසමින්
දිවා රෑ ජීවිතය වළන්වල පිසින්නී

අනෙක් පොත. එනම් යකඩ සිල්පර දීර්ඝ නවකතාවක්. 19 වන ශත වර්ෂයේ අග භාගයේ ලංකාවේ දුම්රිය මාර්ග තැනීම සම්බන්ධ කොටගෙන අපූරු පරිකල්පනයක යෙදෙන්න කතුවරයා සමත් වී තිබෙනවා. එය 2018 අවුරුද්දේ හොදම නවකතාව ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා. කතාවට වස්තුබීජය වන්නේ කුරුණැගල සිට මහව දක්වා දුම්රිය මග තැනීමේදී ඒ අවට ගම්මාන වලට එය බලපාන අන්දම වටා.

කුල වාදය මුල් බැස ගත් ගමේ පවතින විවිධ සම්බන්ධතා හා ඒවායේ ගතිකයන් මෙන්ම සුදුජාතිකයන්ගේ මැදිහත්වීම් ද අපූරුවට ගලපා මේ කතාව ලියලා තිබෙනවා. ආදරය, කෑදරකම්, වෛරය, ලිංගිකත්වය ආදී සියළුම මිනිස් ගති ස්වභාවිකව ඉස්මතු කරන්නට කතුවරයා කතාව හොදින් යොදා ගෙන ඇති බව පෙනෙනවා.

මෙවර ජනාධිපතිවරණය කලබැගෑනි වලින් තොරව නිමාව දුටුවා. එයට හේතුව පසුගිය වසර කිහිපයේදී ආණ්ඩුව හඳුන්වා දුන්න යහපාලන ක්‍රියාකාරකම් ද නැතහොත් බහුතරයට දේශපාලනය එපා වීමද නැත්නම් වෙනින් මොකක් හරිද කියන්න බැහැ. එක පැත්තකින් ඡන්දය දැමීමේ ප්‍රතිශතය ඉහල මට්ටමක තිබුනා. අනෙක් අතින් සමාජමාධ්‍ය ජාල වල උද්යෝගය පාර තොටට වඩා උද්වේගකර වුණා. කොහොම වුනත් පාරක් පාරක් ගානේ ගහක් ගලක් ගානේ අංක, සළකුණු කතිර ගහන එක නතර වුණු එක හොදයි. ඒත් මහ මැතිවරනයකදි තත්ත්වය කෙසේ වේද දන්නේ නැහැ.   

Monday, October 28, 2019

අළුත්වූ මතක


දවස් කිහිපයකට උඩදී මරදාන හරහා යන්න සිදුවුනා. මාර්ග තදබදය අධික හන්දා මරදාන පාර දෙපැත්තේ තියෙන කඩ හොඳින් බලා ගන්න පුළුවන් වුණා. මුලින්ම නේවාසිකාගාරයට ගිය දවසේ මරදානේ තවමත් තියෙන ලී බඩු සාප්පුවකින් කොහු මෙට්ටයක් ගන්න සිදුවුණා. තාත්තා තමයි ඒ ලී බඩු සාප්පුව එහෙම තෝරා ගත්තේ. (මරදානේ ලී බඩු සාප්පු කිහිපයක් තිබුණා.) ඊළඟට නැවත වරක් මරදානට යන්න වුණේ ඉබ්බෙක් ගන්න. සල්ලි පිරිමහගැනීමට අවශ්‍ය හන්දා ඉතා කුඩා ඉබ්බෙක් ගත්තා. ඒකෙන් ඇති වන්නේ සංඛේතාත්මක ආරක්ෂාවක්. අනෙක් අතට අපේ සූට් කේසයේ හෝ සයනාගාරයේ එක කොනකට වෙන්න පේලියට තබා තිබූ අපේ කබඩ් වල සොරෙන් ගන්න තරම් වටිනා භාණ්ඩ තිබ්බෙත් නැහැ. මේ කඩ වලින් ගත්තු අළුත් භාණ්ඩ අපේ හිතට ගෙනාවේ අමුතු හැඟීමක්.

නැවත වරක් තාත්තා ආ වෙලාවක මරදානේ තිබෙන චීන කඩයකින් මේස් බැනියමක් හෝ යමක් ගත්ත බව මතකයි. මරදානෙන් යන හැම විටකට මේ භාණ්ඩත් එක්ක බැඳී තිබුණු අර අමුතු හැඟීම සිහියට එනවා. ඒක විස්තර කරන්න ටිකක් අමාරුයි. එක පැත්තතින් පළවෙනි පාරට ගෙදර තිබුණු සාමූහික අයිතියෙන් ඈත් වෙලා පෞද්ගලික අයිතීන් ලැබීම.  අනෙක පුංචි කාලේ ගෙදරම ඉඳලා නේවාසිකාගාරයක නවතින්න වුනාම ඇති වුනු කාන්සිය හා පාළුව සමග මේ හැඟීම් මිශ්‍ර වෙලා ඇති. තවත් පැත්තකින් හය දෙනෙක්ගෙන් සමන්විත පවුලේ වියදම් කළමනාකරණය කර ගන්න දෙමව්පියන් ගත්ත උත්සාහය පිළිබද හැඟීමකුත් එහි ඇති.

වයසින් මුහුකුරා යනවිට මේ හැඟීම් ක්‍රමයෙන් තුනී වී යනවා. ඒවා ජීවිතයේ අනෙකුත් ප්‍රශ්ණ හා හැලහැප්පීම් වලින් විසථාපනය වනවා ඇති. එහෙත් සිතේ කොහේ හරි කොනක ඒවා තැන්පත් වී ඇති බව මේ වගේ අහම්බෙන් ඇති වන සිද්දි වලින් පෙනෙනවා.    

පසුගිය සති කිහිපයේම ධම්මික බණ්ඩාර නම්වූ අපේ සගයා සහ ප්‍රවීන ගීතරචකයාගේ ගීතාලංකාර නම් වූ සංගීත රස වින්දන වැඩසටහන සංවිධානය සඳහා වෙහෙසෙන්නට වුණා. සෙනසුරාදා නාලන්දේ ශ්‍රවනාගාරයේ එය පැවැත්වුනේ. ප්‍රේකෂකයන් සංඛ්‍යාව අපි බළාපොරොත්තු වුණු තරමට නැති වුනත් වැඩසටහන සාර්ථකව පවත්වන්නට හැකි වුණා. වැඩ සටහන යෝජනා කරපු වෙලාවේ මගේ අදහස වුණේ තරමක් කුඩා ශාලාවක මිතුරන් අතරේ තියෙන වැඩසටහනක් ලෙස සීමිත පිරිවැයක් යටතේ මෙය පවත්වන්න. අනෙක් අයගේ අදහස් වලටත් ගරු කරන්න අවශ්‍ය හන්දා ලොකු වැඩකට යොමු වුණා. නමුත් අවසාන ප්‍රථිඵලය මම හිතූ තැනින් වැඩිය ඈත් වුණේ නැහැ. එහෙත් අපට අතින් පාඩු වුණේ නැහැ.

වැඩ සටහන ඉවර වෙන කොට රාත්‍රී 10.30 පමන වුන හන්දා කාලෙකින් හමුවුණු යහළුවන් එක්ක හෝ දොඩමලු වන්න වෙලාවක් හෝ නොමැති වුණා.

Wednesday, October 16, 2019

සෝමවතිය


බොහෝ කාලයකට පස්සේ වන්දනා ගමනක් යන්න අවස්ථාව ලැබුණා. ඒ පොළොන්නරුවේ සෝමවතී රජමහා විහාරයට. පළමු වතාවටයි එහි යන්න ලැබූනේ. එහෙත් සෝමාවතිය අභය භූමියට බම් මීට කළින් යන්න ලැබුණා. අනුරාධපුරයේ රාජකාරී කරන කාලයේ සෝමාවතී අභයභූමිය මැද තිබුණු වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම එවකට රාජකාරී කළ ව්‍යාපෘතිය මගින් සිදු කෙරුණා. ඒ සඳහා අරමුදල් ලබා දුන්නත් නිලධාරීන් කිසිවෙක් එම වැව් දැක තිබුණේ නැහැ. එයට හේතුව මෙම අභය භූමිය එවකට කොටි රජදහනක්ව පැවතීමයි. ඒ නිසාම පදිංචිකරුවන් එම ගම්මාන අතහැර ගොස් තිබුණා. එහෙත් ගොවිතැන් පමණක් කෙරී තිබුනා. කුඩා හමුදා අනුඛණ්ඩයක් එම වැව් අසල ස්ථාපනය කොට තිබුණා. අප එහා යන් විට අපට ආරක්ෂාව සැපයුවේ එම කුඩා හමුදා කඳවුරෙන්.

සෝමාවති රජමහා විහාරය ඇත්තේත් අභයභූමිය අද්දරයි. ලඟ ඇත්තේ සුංගාවිල කියන් ගම. ඒ හන්දා සමීපයේ ජනාවාස නැහැ. පන්සල දක්වා ඇති විදුලි වැට සමීපයට වල් අලින් පැමිනෙනවා. ඊට අමතරව මෙම පංසල් භූමිය ගංවතුරෙන් ද යටවන බව කියවෙනවා. නමුත් පුංචි කඩමණ්ඩියක් එහි තිබුණා. එහි එන වන්දනා නඩ වලට නවතින්න විශාම ශාලා සංකීර්ණයක් ම තනා තිබෙනවා. වායු සමනය කළ කාමර පවා එහි අඩු ගාස්තුවකට ලබා ගන්නට පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දකුණු දළදාව සෝමවතී චෛත්‍යයේ තැන්පත් නොට ඇති බව සඳහන්. ඒ වගේ බුදුරැස් විහීදීම වගේ ආශ්චර්යන් මෙහි සිදුව ඇති බව කියවෙනවා. ඒ සම්බන්ධ ඡායාරූපද එහි දක්වා තිබෙනවා. නායක හාමුදරුවන් බණ කියද්දී මෙම ආශ්චර්යන් ගැන පුන පුනා කියන්නේ බැතිමතුන් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට වන්න ඇති.  

කොටින්ගෙන් තිබූ තර්ජන නොතකා හාමුදුරුවන් පංසල ආරක්ෂා කොට ගෙන තිබෙනවා. ක්‍රිස්තු පූර්ව දෙක හෝ තුන්වන සියවසට අයත් සෙල්ලිපි එහා දකින්නට පුළුවන්. එහෙත් ඒවායේ ලියවී ඇතිතේ මොනවාද කියා දක්වන පුවරුවක් හෝ එහි දකින්නට නැහැ. එහි පූජා වතාවත් වලට සහභාගී වෙලා ඉරිදා දවල් වරුවේ පොළොන්නරුවටත් ගිහින් ආපසු කොළඹට එනකොට රාත්‍රී 12 ට කිට්ටු වෙලා. දවස් දෙකක් නිර්මාංශිකව සිටීමත් හොඳ යෙක් වුණා.  

                                          දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය


සෝමවතී චෛත්‍යය


පොළොන්නරුවේ නටඹුන්





Monday, September 30, 2019

බළාපොරොත්තු





අවිවේකය ජීවිතයේ සෑහෙන කොටසක් අයිති කරගත්තාම සාමාන්‍යෙයන් කරන දේවල් අතපසු වෙනවා. ලිවීම කෙරෙන්නේ බොහොම හිමින්. ඒ හන්දා කියවීම වත් වේගවත් කරන්න හිතා ගෙන කොළඔ පොත් ප්‍රදර්ශණය බලන්න ගියා. අනෝරා වැස්සකට මැදි වුණු හන්දා ප්‍රදර්ශණයේ කාලක් වත් බලන්න බැරි වූණා. පොත් කිහිපයක් ගත්තා. නිශ්ශංක විජේමාන්න අළුතින් මොකුත් ලියලද කියලා සොයා බැලුවා. හෝඩුවාවක් සොයා ගන්න නැහැ. ඒ වෙනුවට අළුත් නම් දෙකක් අතට අහුවුණා. කල්පනා ඇම්බ්‍රෝස් සහ කාංචනා අමිලානි. සෑහෙන්න රසවත්ව ලියන දෙන්නෙක්.

පොත් ප්‍රදර්ශණය හුදෙක් වෙළඳාමක් බවට පත්වී ගෙන යන බව පෙන්වන බාල මට්ටමේ පරිවර්තන ඇතුළු අලුත් පොත් බොහොමයක් දැක්කහම ඇතිවුණු කළකිරීම මේ පොත් දෙක බාගෙට කියවන කොටත් නැති වූනා. අපේ සිනමාව සෑහෙන තරම් උසස් නිර්මාණ බිහි කරන මට්ටමට ඇවිත් ඇති බව සිතන්න පුළුවන් බව මා කලින් ලියා ඇති. එය තවත් තහවුරු වුණා හඳගම ගේ අසන්ධිමිත්තා බැළුවහම. ඇත්තටම මම ගියේ අසන්ධිමිත්තා ගැන විචාරක පොතක් එළිදැක්වීමේ උත්සවයකට. ඒකට අපේ පන්සලේ හාමුදුරුවොත් ලිපියක් ලියලා තිබුණා. කන්තොරුවේ වැඩ ඉවර කරළා එතනට යනකොට එලිදැක්වීමේ සාකච්ඡාව  ඉවර වී තිබුණත් චිත්‍රපටයේ DVD කොපියක් ගන්න පුළුවන් වුනා.  අළුත් පොත් දෙක කියවපුවහම අපේ කවිය සහ කෙටිකතා ක්ෂේත්‍රවලත් නව මාන සොයා යන පිරිසක් ඇති බව පැහැදිලියි. මේ වගේම අපේ රටේ බොහෝ පැති කියන තරම්ම කඩා වැටිලා නැහැ. අඩුම ගානේ බාළාපොරොත්තු තියන්න පුළුවන් මට්ටමේ තියෙන බව පේනවා. ඒත් තවම මේ සියල්ල එකට ගොනු නොවන ගතියක් සහ අසංගතික බවක් පේනවා.





Monday, August 19, 2019

ඈතින් ඈතට


විනෝදාංශ ගැන කලිනුත් ලියූ බව මතකයි. පුංචි කාලෙදි අපි කරන්නේ විනෝදංශ තෝරාගෙන විනොදාශය සඳහා විනෝදාංශය කිරීමයි. උදාහරණයක් හැටියට මුද්දර එකුතු කලේ මුද්දර එකතුවක් හදා ගන්නයි. වයසින් වැඩි වෙනකොට ඒ විනෝදාංශ හැලිලා විනෝදය නැත්නම් විවේක සුවය සඳහා කරන දේවල් ඉතුරු වනවා. සිංදු අහන එක, පොත් කියවන එක, චිත්‍රපට බලන එක, සංචාරය වගේ ඒවා සාමාන්‍යෙයන් ඉතුරු වන ඒවා. තවත් කල් යන විට ප්‍රෙයා්ගික කරුණු හන්දා ඒවායිනුත් සමහරක් ඒවා හැලී යන්නට පුලුවන්.
මේ විදිහට යම් කිසි විනෝදාංශක සෑහෙන කලක් නිරත වුනහම ඒවයේ විවිධ මාන අපට පෙනෙන්න පටන් ගන්නවා. චිත්‍රපට කලාව ගත්තොත් ලංකාවේ චිත්‍රපට කලාවේ විවිධ ආකෘති වල සිටි අධ්‍යක්ෂකවරුන් අඳුනා ගන්නට පුළුවන්. සම්භාව්‍ය වගේම වානීජ යැයි හැඳින්වූ ධාරාව සේම මැද මාවතේ ධාරවකුත් විචාරකයින් විසින් අඳුනාගත්තා. ඒක් එක් අධ්‍යක්ෂකවරයා වෙන වෙනම ගත්තහම ඔවුන්ගේ කෘති වල විකාශයත් හඳුනා ගන්නට පුලුවන්.

මෑතකදී රූපවාහිනී වැඩසටහනකට පැමිනි සේන සමරසිංහ නම් අධ්‍යක්ෂකවරයා චිත්‍රපට කලාව සහ එහි මෙවලම් ආදිය ගැන කතා කරපු විදිහට ඔහු අර වානීජ ඝනයේ චිත්‍රපට හදපු කොනාද කියලා හිතෙන තරමට ඹහු තමන්ගේ කලා භාවිතාව සම්බන්ධයෙන් විශ්වාසයෙන් කතා කලේ. කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුළු, ඈතින් ඈතට වගේම චංචල රේඛා හරහා ඔහුගේ චිත්‍රපට කලාවේ විකාශයත් දකින්නට පුළුවන්. ඈතින් ඈතට මගින් යම් මට්ටමක පරීක්ෂණයක් කරන්නට පෙළඹෙන ඔහු චංචල රේඛා මගින් යම් මැද මාවතකට පැමිණෙනවා. දිගමට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර තබා ගැනීමට සමත්වීම ඔහුගෙ විශේෂත්වයක්. සරත් දසනායකගේ සංගීතය මුසුවූ ගීත ගායනය සඳහා මිල්ටන් මල්ලවාරච්චි, ඇන්ජලීන් ගුණතිලක, වගේම ප්‍රියා සූර්යසේන, ශ්‍යාමි ෆොන්සේකා, යොදා ගැනීමත්, ප්‍රධාන කාන්තා චරිතයට මාලනී ට පසුව ෆරීනා ලායි, මානෙල් වානගුරු සහ නදීකා ගුණසේකර හඳුන්වා දීමත් විශේෂයි. දොන් සිරිසේන, කොස්තා බන්දු, පර්ල්වාසුදේවී ඇතුළු විහිළු සැපයීමේ කණ්ඩායම පසුකාලීනව ක්‍රමානුකූලව අතුරුදහන් වී ගෙන යනවා.

මෙ වගේම මැද මාවතේ ප්‍රවීනයා ලෙස හඳුනාගන්නට පුළුවන් එච්. ඩී. ප්‍රේමරත්න ගැනත් විවරණයක යෙදෙන්න පුලුවන්. පාලම යට කියන්නේ වඩාත්ම විචාරකයන්ගේ කතා බහට ලක්වූ චිත්‍රපටය කිව්වොත් නිවැරදි වන්න පුළුවන්. එය ප්‍රේමරත්නගේ පසුකාලීන චිත්‍රපටයක්.








Tuesday, July 16, 2019

පොත් හතක් අටක් ...


පොත් කිහිපයක් ලියන්න මුල පිරුවා කියලා කලින් සටහනේ ලියුවා. කලින්ම පටන් ගත් එක ඇත්තටම මගේ පොතකට වඩා අපේ තාත්තාගේ පුවත්පත් ලිපි එකතුවක්. පොතකට සෑහෙන තරම් පරන පත්තර වලින් ගත් ලිපි සිංහලෙන් ටයිප් කර අවසන්. එහෙත් එම ලිපි එකතු කරලා නිකම්ම පොතක් කරනවාට වඩා ඒකට අදට ගැලපෙන value add කිරීමක් කරන්න ඕනයි කියා හිතුවා. එක විදිහක් තමයි හැම ලිපියකටම පෙර හෝ පසුව ඒ සම්බන්ධ අද තත්ත්වය (මා දකින හැටි) කෙටියෙන් දැක්වීම. උදාහරනයක් හැටියට තාත්තා මොනරාගල රාජකාරි කරන කාලයේ එහි සමූපකාර වල ක්‍රියාකාරීව සිටීම නිසා සමූපකාරය ගැන ලිපි ගණනාවක්ම එහි තිබුණා. අපේ රටේ සමූපකාර ක්‍රමය කාලයත්  සමග පරිනාමනය නොවුනු නිසා අද ඇත්තේ තරමක් අක්‍රිය හෝ සීමිත වපසරියක. මා පුදුමයට පත් නොකරමින් තාත්තා මෙම අවශ්‍යතාවය පිළිබඳව ඒ කාලයේම ලියා තිබුණා. නෙදර්ලන්තය හා තවත් රටවල සමූකාර ක්‍රමය අදට ගැලපෙන පරිදි නවීකරනයෙන් යුතුව ඉතා සක්‍රියව ආර්ථිකයට දායක වන ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වන බව අප දුටුවා.

මීට අමතරව අධ්‍යාපනය, සංස්කෘතිය, නාට්‍ය, දේශපාලනය ආදී විවිධ මාතෘකා ඔස්සේ ලියවුනු තාත්තාගේ ලිපි එහි අඩංගුයි. එහෙත් අර එකතු කිරීම ප්‍රමාද නිසා ඒ පොත එතනම නැවතිලා. ප්‍රධාන වශයෙන්ම එහෙම අළුත් දේවල් එකතු කිරීම ගැන මට තීරණයක් ගන්න බැරිකම නිසා කිව්වොත් හරි. ඒ අනුව කිහිපයක් ලියා අතහැර දැම්මා. ඒත් ඒ ලිපි එකතුවට යමක් කරන්න අවශ්‍යයි.

අනෙක් පොත රයිගම රාජධානිය ආශ්‍රිතව ලියූවක්. රයිගම රාජධානිය පිළිබඳ මූලාශ්‍ර සොයා ගැනීම එතරම් පහසු නැහැ. මහාවංශය මෙම කාලය පිළිබදව අතිශයින් නිහඬ බවයි පෙනෙන්නේ. ඊට අමතරව සොයා ගත හැකි මූලාශ්‍ර හරහා ලැබෙන තොරතුරු වල බොහෝ පටහැනි තැන් තිබෙනවා. මේවා ටිකක් නිරවුල් කරලා ලිවීමත් එක අරමුනක් වුණා. ඊට වඩා ප්‍රධාන අරමුණ වුණේ රයිගම ආශ්‍රිතව ඇති වාරි ශිෂ්ඨාචාරය පිළිබදව සොයා බැලීම. අප හිතන හැටියට මේ වාරි කර්මාන්ත රයිගම් බණ්ඩාර හෝ මෙහි සිටි ප්‍රෙද්ශීය පාලකවරුන් ලෙස සැලකෙන අලගක්කෝනාරවරුන්ගෙනුත් ඔබ්බට දිවෙනවා. මීට අමතරව මෙම ප්‍රෙද්ශයේ පිහිටා ඇති හුදකලා කඳු බොහොමයක ප්‍රාග් ඓතිහාසික වාසස්ථාන දකින්නට පුළුවන්.

මෙහි ඇති පැරනිම සෙල්ලිපිය ක්‍රි.පූ. 1 වන ශතවර්ෂයට අයත් බවයි පිලිගැනෙන්නේ. තව දුරටත් යටත් විජිත යුගයේ පවා සශ්‍රික ආර්ථිකයක් රයිගම තිබූ බවට සාධක තිබෙනවා. මේ කරුණු ආශ්‍රිතව සැඟවී ගිය රයිගම අතීතය ගැනයි ලියන්න අවශ්‍ය වුනේ. එහෙම ලියාගෙන යනකොට අර ඉතිහාස කතන්දර ටිකක් දිග්ගැස්සුනා. ඉතිහාසඥයින් හා පුරාවිද්‍යායින්ගේ සීමාව ඉක්මවන්නට ඇති අකමැත්ත හන්දා එය පොත නැවතුනා. එහෙත් අනවශ්‍ය දේවල් අයින් කරලා නැවත එය සකස් කරන්නට අවශ්‍යයි.  

ඇසල සිතුවිලි


හදිසියේ මිතුරකුගේ අම්මා කෙනෙකුගේ පොතක් එළි දැක්වීමක කතාවක් කරන්න ආරාධනාවක් ලැබුනා. මම බෑ කිව්වේ ඒ සඳහා සූදානම් වන්න එක දිනයක් මදි හන්දා. මොකද ඕනම දෙයක් කරත්දි ඒ සඳහා උපරිම දෙයක් කරන්න උත්සාහ කරන හන්දා මට වෙලාව අවශ්‍යයි. අන්තිමේදි බල කරපු හන්දයි බාරගත්තේ. අනෙක් අතට පොත මුද්‍රණය ආදිය සඳහා මම යම් තරමකට දායක වුණා. මේ අවස්ථාව පොත් එලි දැක්වීමකට වඩා ගුරු උපහාර උලෙලක් බවට පත්වුණා. මම කතා කරපු දේවල් එතනට ගැලපුනේ නැහැ. ඒත් කතාව සහමුලින්ම වෙනස් කරන්නට මට ඕනා වුනේ නැහැ. පොතේ කවි ගැන කෙටි විවරනයක් කරන ගමන් මම කියන්න උත්සාහ කලේ කලාව කා සදහාද කියන ප්‍රශ්ණය සහ මිනිසුන් ගේ සහජ කුසලතාවන් කලක් යන කොට මොට වී යන හැටි කියන දේවල්. ඒ ටික හදා ගන්නත් මට කලින් දවසේ රැ නිදි මරන්න සිදු වුණා.
සමහර වෙලාවට මේ වගේ දේවල් වලට ගියාම ඉතිරිවන්නේ කලකිරීමක්. දහසක් වැඩ අස්සේ මගේ උපරිම උත්සාහය ගත්තා කියන එක විතරයි ඉතුරුවෙන සතුට. ඒත් ඒක දන්නේ මම විතරයි. ඒත් මේ වගේ තැන් තැන් වල සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කරපු කතා කරන කතා එකතු කරන්න කියලා මට කිව්වේ යාලුවෙක්. පස්සේ කාලෙක බැලුවහම ඒවට වටිනාකමක් තියෙන්නත් පුළුවන් අනෙක් අතට ඒවා කරත්දි සිතූ සිතිවිලි කාලයක් යද්දි අමතක වෙලා යන්න පුළුවන් හන්දා.

අද ඇසල පෝය දා. සතිය මැද අමතර නිවාඩුවක් ලැබුනහම ඒක බෝනස් එකක්. සාමාන්‍ය සති අන්තයක් සතියේ දවස් පහ හෝ ඊටත් වඩා කාර්ය බහුලයි. අපි ඒ තරම් කාර්යබහුල වී සිටීමේ තේරුම කල්පනා කළොත් ලොකු උත්තරයක් හොයා ගන්නත් අමාරුයි වගේ. ඒ මොක වුනත් නිකන් ඉන්න එක ඊටත් වඩා අමාරුයි. මම අදහස් කළේ යමක නියැලී නොමැතිව ඉඳීම අමාරුයි කියන එක.

තවත් එක් පොතක් සම්පූර්ණ කරන්න උත්සාහ කරන ගමන් තවත් කිහිපයකට අත ගැහුවා. ඒ හන්දාම ඒ හැම එකක්ම පරක්කු වන බව ඇත්ත. අන්තිමේදී අවුරුදු ගණනාවකට ඉස්සර අවට පරිසරය සහ නිරීක්ෂන ආශ්‍රයෙන් කොපි පොතක ලියපු සටහන් වලට අඩුවැඩිය එකතු කරලා කුඩා පොතකට සෑහෙන තරම් දේවල් එකතු කර ගන්නට පුළුවන් වුණා. එයට චිත්‍ර එකතු කරන්නට සිතූ නිසා ඒ පිලිබඳ ප්‍රවීනයකුට ඒ කටයුත්ත බාර දුන්නා. ඔහු අඳින්නේ තරමක් හෙමින්. ඒ හන්දා තව මාසයක් පමණ යන කොට චිත්‍ර ඇඳීම ඉවර කරන්න පුළුවන් වෙයි කියළා හිතන්න පුලුවන්. ඒ වෙනකොට පොතේ අඩු වැඩි තැන් පුරවලා පුලුවන් විදිහට ඔප මට්ටම් කරළ ගන්න පුලුවන් වෙයි. කොහොම කළත් කොළඹ පොත් ප්‍රදර්ශණයට පසුව තමයි පොත මුද්‍රණය සඳහා දිය හැකි වන්නේ. මොකද මේ කාලය පොත් මුද්‍රණකරුවන් ඉතා ඉහල අලෙවියක් ඇති ප්‍රසිද්ද කතුවරුන්ගේ පොත් මුද්‍රණය සදහා තම කාලය යොදවන බැවින්.



Friday, June 14, 2019

ලෙවේ හැමට සොහොයුරියක් වෙලා


ලඟදී දවසක කරුණාසේන ජයලත් විසින් රචිත යහළු යෙහෙළි කෘතිය ආශ්‍රයෙන් සුමිත්‍ර පීරිස් අධ්‍යක්ෂණය  කළ යහළු යෙහෙළි චිත්‍රපටය රූපවාහිනියේ විකාශය වුණා. ආරම්භය මගහැරුනත් චිත්‍රපටය රසවිඳින්නට එය එතරම් බාධාවක් වුනේ නැහැ. මේ චිත්‍රපටයත් අපේ නව යොවුන් වියේදී අපේ අත්දැකීම් අතරට මුසු වුනු එකක්. අද නරඔන විට එහි අලුත් පැතිකඩ හඳුනාගන්නට පුළුවන්. කරුණාසේන ජයලත්ගේ නවකතාවල මුහුකුරා යාමක් ද මෙම කතාවෙන් දකින්නට පුළුවන්. එයට 1969 අවුරුද්දේ හොඳම නවකතාව හැටියට සම්මානය ලැබී තිබෙනවා.
මේ කතාවේ කතා නායිකාව වන මුදිතා පවුලේ තුන්වැනියා. අද නම් ඇත්තේ පුංචි පවුල් හන්දා තුන්වැනියාගේ syndrome එක පිළිබඳ ප්‍රශ්ණයක් මතු වන්නේම නැහැ. එහෙත් යම් පවුලක තුන්වැනියා වීමේ යම් යම් පල විපාක ඇති බව අප වටේ ඇති උදාහරන වලින් පවා හිතන්න පුළුවන්. එය අත්දැකීමෙන් පවා දන්නේ අපේ පවුලේ තුන්වැනියා මා නිසා. මෙම වෙනස ඇතිවන්නේ තුනවැනියාට ගෙදර තුළ ලැබෙන/නොලැබෙන වරප්‍රසාද ආදියේ සීමාවන් වලින් පමණක් නොවේ. මුදිතා මෙන්ම අපේ ගමේ අසල්වාසීන් සමග යම් තරමින් හෝ වැඩිපුර කුළුපග වුණේ මා බවයි මට මතක. පාරේ තොටේ හමු වන සියළු දෙනා සමග මා යම්කිසි ඇයි හොඳයියක් පැවැත්වූ බව මතකයි. අඩු තරමින් හිනාවකින් හෝ. අවුරුදු ගණනක් පිටරට සිටි හේතුවෙන් මේ සම්බන්ධකම් බිඳී ගියා නොවෙයි. අමතක වී ගියා. මට වඩා වැඩිහිටි ගැහැණු ළමයි මම නාඳුනන තාලෙන් යන විට පත්වූ විපිලිසරකම දැක්කහමයි මට අතීතය මතක් වුණේ. ඒත් ආයිත් පරණ තැනට යන්නට බැරි වුණේ නැවත වරක් මම ගමෙන් ඈත් වීම නිසාත් ගම වේගයෙන් වෙනස් වී ගිය නිසාත්.
මම කියන්නට උත්සාහ කළේ පළවෙනියා, දොවෙනියා හෝ හතර පස් වෙනියන් වෙනස් නොවේ කියා කියන්න නොවේත ඒ ඒ ස්ළාන වලත් ආවේණිත දේ ඇති. ඒත් අනෙක් අයට වඩා තුන්වෙනියන්ට පොදු දේවල් කිහිපයක් හෝ ඇති බවයි කියන්නට ඕනා වුණේ  

Tuesday, May 7, 2019

මේ විසිතුරු හැර කොතැනක යන්නද


මම කිහිප වතාවක් ලියා ඇති මම මුලින්ම ගිය පාසල ගැන. ඒක නැවත මතක් වුණේ උසස් පෙළ පන්තියේ එකට හිටපු සගයෙක් පාසලෙන් අස් වුනාට පස්සේ පළමු වතාවට සමාජ මාධ්‍යක් හරහා හමු වීම මගින්. පුදුමය කියන්නේ පන්තියේ එක් එක් බංකු වල ළමුන් ඉඳගෙන හිටි පිළවෙල පවා ඔහුට මතක තිබීමයි. මට පිළිවෙළ නොවෙයි නමින් කිව්වාහම යාළුවන් බොහෝ දෙනෙක් ගේ මූනත් මතක නැහැ. ඊට වඩා බොහෝ කලකට පෙර පහේ පන්තිය දක්වා ගිය පාසලේ යාළුවන් මට මතකයි.  ඒ පන්තියේ හිටපු ළමයි ගණන 25 ක් පමණ වීම සහ අපේ උසස්පෙල පන්තියේ සිසුන් 75 කට වඩා වැඩියෙන් සිටීමත් එයට හේතු වන්න පුළුවන්.

මම කුඩා කාලේ ගිය පාසලේ පින්තූරයක් ලඟදි දැක්කා. එහි landscape එක බොහෝ දුරට වෙනස් වෙලා වගෙයි.  පාසලේ පිටුපස පහලින්ම පිහිටි පිට්ටනිය අසලින් ගලා ගිය කුළුපන ඇල පිටාර ගැලුවහම පිට්ටනිය යට වෙන එක නවත්වන්න දැන් retaining wall එකක් හදලා. පිට්ටනිය ඒ අනුව උස් කරලා ඇති. ඉස්සර පිට්ටනියට ගියාම නැගෙනහිර පැත්තෙන් පෙනෙන්නේ ගල්ඒදඬුගොඩ කඳුවැටිය. පන්තියේ සමහර ළමයින්ගේ ගෙවල් පිහිටා තිබුණේ ඒ කඳුවැටියේ. ඒ ගොල්ලන් තම තමන්ගේ ගෙවල් තියෙන ඉසව්ව අපට පෙන්නුවත් කිලෝමීටරයක් විතර ඈතින් තියෙන කඳු වැටියේ තුරු වදුල අතරින් ගෙවල් අඳුරා ගන්න අමාරුයි.
පාසලේ පිට්ටනියට බස්නාහිර පැත්තෙන් උස් බිමක් තිබුණා. ඒකේ කෙළවරක ගල් දෙබොක්කාවක් තිබුණා. ගල් දෙබොක්කාවත් එක්ක තිබුණු විශාල ගහ පසුව කපා දැම්මා. අනෙත් හරියේ වැඩිපුරම තිබුණේ එළවළු පාත්ති සහ විශාල ජම්බෝල ගහක්. ඒ පැත්තේ කෙළවරට වන්න බට පඳුරු තිබුණා. වෙසක් එකට පාසලේ එල්ලන්න කූඩු හැදුවේ ඒ බට වලින්. පාසලේ පිටුපස පිට්ටනි වලට ඔබ්බෙන් ලඳු කැලෑවක් තිබුණා පොල්ගස් කිහිපයක් එක්ක. පාසලේ ගස් කැපිලි, ළිං ඉහිලි, වැට බැඳිලි, වගා කෙරිලි ඹක්කොම කළේ ළමයින්. තරමක් බරපතල දේවල් වැඩැහිටි ශිෂ්‍යයන්ට පැවරී තිබුණා.

පාසලේ ක්‍රීඩා තරග තියෙන කොට මීටර සියය දිවීම වගේ ඉසවු සඳහා අර ලඳු කැලෑ ඉඩම පාවිච්චි කළා. ඒ සඳහා කැලෑව මැද්ද ඉතුරු වෙන්න වටේ එළිකර තිබුණා. ලඳු කැලෑවට එහායින් කුඹුරක් තිබුණා. දැන් මතක් කරන විට පමණක් නොවෙයි ඒ දිනවලත් ඒ පරිසරයේ සුන්දරත්වය අද මතක් කරනවාට වඩා එදා අපි අත්වින්දා.

Sunday, May 5, 2019

සැහැල්ලුව


අළුත් අවුරුද්ද සම්බන්ධයෙන් පේලි කිහිපයක් ලියුවත් එය ඉවර කරන්නට බැරි වුණා. පාස්කු ඉරිදා ත්‍රස්තවාදි සිද්ධියෙන් හැමෝගෙම සිත්සතන් කැළඹුණා. ඒක ඉතා අවාසනාවන්ත සිදිධියක්. ඒ සිද්ධිය හරහා රටේ නොයෙකුත් ආයතන හා සංස්ථා (පුළුල් අර්ථයෙන්) වල තත්ත්වය සහ ක්‍රියාකාරිත්වය පිළිඹිඹු වුණා කියන්න පුළුවන්. හැමදෙයක්ම සැහැල්ලුවෙන් ගන්න එක හැමවිටම හරියන්නේ නෑ වගේම සමහරක් දේ වලදී කොහෙත්ම හරියන්නේ නෑ.

රටක ජනතාවකට හැම තිස්සෙම බයෙන් සැකෙන් ඉන්න වෙනවා කියන එක Healthy නැහැ හැම අතින්ම. කෙනෙක් බනින්න පුළුවන් මිනිස්සුන්ට ඉක්මනට දේවල් අමතක වනවා කියළා. ඒත් කවුද කැමති හැම තිස්සෙම බයෙන් සැකෙන්, සෝදිසියෙන් ඉන්න. එක් එක් ප්‍රජාවන් අතරේ සැකයක්, තරහක් හට ගැනීම ඊටත් වඩා භයානකයි.

අපට අයත් කුඩා ඉඩමක තිබුණු රබර් ගලවලා පොල් වවන්න සූදානම් කළා. නියමිත විදිහට පෝර්ම පුරවලා (දවසක් නිවාඩු දමාගෙන) උපදෙස් පරිදි වලවල් කපලා ඒවාට පොල්ලෙලි දමලා සකස් කළා. දැන් මාස 6 ක් වෙනවා ඒත් තවම පැල ලැබුණේ නැහැ. දෙවරක් මම කාර්යාලයට ගියා. වැස්ස ආවහම දෙන්නම් කිව්වා. දහ පාරකට වඩා කෝල් කරන්න ඇති.කළින්නම් පැළ සම්පූර්ණයෙන් නොමිලේ දුන්නා. දැන් මිලෙන් බාගයක් ගෙවන්න ඹ්නා. එහෙම වෙලාත් පැල ලබා දෙන්න උනන්දුවක් නෑ. රජයේ සේවකයන් ගේ ව්‍යාප්ති සේවයේ ප්‍රමිතිය ගැන වෙන කතා ඹ්නා නැහැ. මේක තමයි රටේ හැම ආයතනයක්ම වෙලා ගත්ත වැඩකරන විලාශය.

මානසික සහ කායික වෙහෙසත් වැඩි නිසාම ගිය සිකුරාදා නිවාඩුවක් දැම්මා. උදේම පන්සලට ගිහිල්ලා හාමුදුරුවන් එක්ක කතා කළා. ටිකක් හරි මනස කලබල වූ වෙලාවට පන්සලකට යාම - ඉස්සර නම් හිතුනේ ටිකක් ගොන්පාට් කියලා.හාමුදුරුවන් එක්ක කතා කිරීමෙන් සිත නිවෙන්න උපකාරී වන බව මට ප්‍රායෝගිකව තේරිලා තිබෙනවා. සාමාන්‍යෙයන් අපි කතා කරන්නේ රට තොට දේශපාලනය ගැන වුනත්, හාමුදුරුවන් ඹ්නම මාතෘකාවකට වෙනස් prospective එකක් ගේනවා. 

Monday, March 18, 2019

ගැහැණු ළමයිනේ අවට අලංකාරයි


අපිට ඉස්සර පරම්පරා වල යොවුන් ප්‍රේමයේ සංකේත වුණේ ගොළු හදවතේ දම්මි - සුගත් කියළා කියන්න පුළුවන්. ඒත් අපේ කාලේ එනකොට ගොළු හදවතේ ජනප්‍රියත්වය තරමක් අඩුවෙලා. චිත්‍රපටය ඇවිල්ලාත් කාලයක් ගිය එක තවත් හේතුවක් වන්න ඇති.

පෞද්ගලිකව ගත්තහම ගොළු හදවත කියවන්නට ලැබුණේ ඉතා මෑතදී. කරුණාසේන ජයලත් ශූරීන් තාත්තාගේ හිත මිතුරකුව සිටියත් මොකක් දෝ හේතුවකට ඔහුගේ එකම නවකතා පොතක් වත් අපේ තාත්තාගේ පොත්ගුලේ තිබුණේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, කේ. ජයතිලක, වගේම ටී.බී. ඉලංගරත්න යන කතුවරුන්ගේ සියළුම පොත් පාහේ තාත්තා ගේ පොත් එකතුවේ තිබුණා. කොහොම වුනත් කරුණාසේන ජයලත් අභාවප්‍රාප්ත වූ වෙලාවේ “ගොළු නොවූ හදවත“  කියලා තාත්තා පත්තරේට ලිපියක් ලියුවා. එය බොහොම හෘදයාංගම වගේම ඒ වෙලාවේ පැවතුණු ආණ්ඩුවට දෝශාරෝපනය කරමින් ලියවුණු ලිපියක්. කරුණාසේන ජයලත් හට දේශපාලන වශයෙන් අසාධාරණ සිදුවුණු බව තාත්තා විශ්වාස කලා වගේම එයින් ඔහු කලකිරී සිටි බවද දැන සිටියා.

මේ මතකයන් අළුත් වුණේ පසුගිය දිනක පැවැත්වුණු hostelers night සාදයේ දී අජිත් ජිනදාස නම් වූ ඒ කාලේ අතිශය ජනප්‍රිය නළුවා හමුවීම නිසා. ඔහු හිටියේ නේවාසිකාගාරේ අපිට අවුරුදු දෙක තුනක් ඉහල පන්ති වල. මඩොල් දූවෙන් පස්සේ ඔහු රඟපෑ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි අපේ සිත් ඇද බැඳ ගත්තා. එහි රඟපෑ වසන්ති චතුරානිත් ඒ සඳහා බොහෝවිට හේතු වන්න ඇති. එහෙම වුනේ ඇය රඟපෑ කුසුම් ගේ චරිතය ඒ කාලේ යොවුන් ප්‍රේමයේ  ෆැන්ටසිය වුණු හන්දා. අපි අපේක්ෂා කලේ කුසුම් වගේ නිර්මල චරිතයක්. ඒකට පන්ති භේද හෝ වෙනත් භේද අදාල වුණේ නැහැ. විශේෂයෙන් අපට මේ හැඟීම් දුරස් නොවන්නේ, ඒ කාලේ අපේ පන්තියේ සිටි ගැහැනු ළමයින් අතර ගමෙන් එළවලු එකතු කරළා හොරණ පොලේ විකුණන අම්මලා සිටි ළමයි හිටපු නිසා වන්නත් පුළුවන්.

Tuesday, February 19, 2019

I have a dream


අද නවම් පොහොය. දවාලේ අධික රස්නයක් තිබුණු හන්දා හවසට වැහි වැටෙයි කියලා හිතා ගෙන සිටියත් හවස හත වෙලාත් තවමත් රස්නෙයි. එළවලු පැල සිටුවා ඇති හන්දා ඒවාට වතුර දාන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිදු වුණා. රෑට වැස්සොත් ඒ මහන්සිය අපරාදේ කියළා හිතෙන්න පුළුවන්. ඒත් ගහකට වතුර දාන එක අපරාදයක් නොවෙයි. ඒ මහන්සියත් අපරාදයක් නොවෙයි. ජීවිතේත් බොහෝ දේවල් අපි කළාට කරන දේ ප්‍රතිඵලය සම්පූර්ණ වශයෙන් උපයෝගි නොවන අවස්ථා තියෙනවා. එහෙම කළත් අපි අර කරන දේවල් අපතේ යන්නේ නැහැ. වෙනත් විදිහකට ඒවා උපයෝගි වනවා. හරියට අපි හීන දකිනවා වගේ. එක එක කාල වල එක එක සිහින ඒත් ඒ සිහින ඒ විදිහටම සැබෑ වෙලා නැහැ. ඒත් ඒ සිහින දැකීම ගැන සතුටු වෙන්න පුළුවන් වගේම අදත් සිහින දකින්නත් පුළුවන්.

අද ජාතික විද්වත් සංවිධානය කියළා එකකින් රට හදන ප්‍රතිපත්ති මාලාවක් එළි දක්වන ජාතික සමුලුවක් කියලා එකක් තිබ්බා. ටික වේලාවක් එය රූපවාහිනියේ ගිය හන්දා බැලුවා. අවුරුදු 71 ක නිදහස් කාලය තුළ කිසිම ආණ්ඩුවක් රට හැදුවේ නැහැ කියන එකයි, දැන් තියෙන ප්‍රශ්ණයි පට්ට ගහන එක තමයි මට පෙනෙන හැටියට සිද්ධ වුණේ. මේ රටේ දැන් තියෙන ප්‍රශ්ණ වලට මුල ප්‍රතිපත්තියක් නැති වීම හෝ සමහරු හොරා කෑම නිසාම හෝ හිතනවා නම් වැරදියි මගේ හිතේ.

අපේ ගෙවල් පළාතේ dendro-power නිපදවන ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒසඳහා ගොඩනැගිලි ආදියත් නිමකර මිනිස්සුන් දැනුවත් කර ඒ සඳහා ග්ලිඩිසීරියා ගස් තම වතු වල වවන්නත් මිනිස්සුන් දිරිමත් කළා. මේ වගේ ව්‍යාපෘති හරිම labour intensive සහ ප්‍රශ්ණකාරී ඒවා. සැපයීම් ජාලය හරිහැටි හදා ගැනීම, ඒ සදහා ප්‍රවාහන මාධ්‍ය සැලසීම ආදී බොහෝ දේ කරන්නට තියෙනවා. ඒ කරළාත් ලැබෙන profit margin එක සාපේක්ෂව අඩු ඇති. සාපෙක්ෂව කිව්වේ විශේෂයෙන්  thermal power යොදා ගෙන national grid එකට විදුලිය ලබා දෙන independent power suppliers ලාට සාපේක්ෂව. අනෙක් අතින් ඒ ක්‍රමය less complicated. මේක මාෆියා එකක්. මුලින් කියන්න ගියේ අර හරිත විදුලිබලාගාර ව්‍යාපෘතිය වැසී ගියා. ඔහු ඊට වඩා වැඩි return එකක් පෞද්ගලිකව ලැබෙන ලෙහෙසි ව්‍යාපෘතියක ආයෝජනය කරන්න ගියා වෙන්න පුළුවන්. මේ විදිහට අපේ ආර්ථිකය වෙලා ගෙන තියෙන්නේ පුද්ගලිකව වාසි ඇතිවෙන එහෙත් සමස්ත ආර්ථිකයට වාසියක් එහෙම නැත්නම් පාඩු සිදුවන රටේ සම්පත් නිසි ලෙස යෙදවෙන්නේ නැති වගේම ආදායම් වැඩි දෙනෙක් අතර බෙදී යාමට ඉඩ අහුරන ව්‍යාපෘති සහ ආයෝජන වලින්. මේ වගේ උදාහරන ඕන තරම් දෙන්න පුළුවන්.

තව පැති තිබෙනවා. බස්නාහිර පලාත විතරක් ගත්තොත් අතහැර දාපු කුඹුරු ඉඩම් කොයිතරම් තිබෙනවද? කිහිප වතාවක් මේවා වගා කරවන්න නීති ගෙනාවා. වගා කළේ නැත්නම් රජයට පවරා ගන්නවා කිව්වා. මිනිස්සු දන්නවා ඒ වගේ තීරණ කවදාවත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ කියළා. ඒ හන්දා බය වුණේ නැහැ. ප්‍රශ්ණයට උත්තරය එතන නොවෙයි තියෙන්නේ. ඇයි ඒ කුඹුරු වගා කරන්නේ නැත්තේ කියන එක. නොයෙක් හේතු මත එය වන්නට පුළුවන්. පුද්ගලික හේතු වගේම පොදු හේතු. යායක්ම වගා නොකර ඉන්න නම් පොදු හේතු ප්‍රභල වන්න ඕනා. පාංශු තත්ත්ව, අධික ජලය, ඵලදාව අඩුකම හෝ ශ්‍රමය මිල අධිකවීම ආදී නොයෙක් කරුණු මෙයට බලපාන්න පුළුවන්. රජයට මේවා ගන්න නොවෙයි මේ ප්‍රශ්ණ වලට උත්තර සොයා දෙන්න පුළුවන් නම් මේ ඉඩම් වලින් වැඩක් ගන්න පුළුවන් වෙයි. අඩු ගානේ නෙළුම් අල වවලා පිටරටට හෝ යවන්න.

Wednesday, February 13, 2019

ගින්නෙන් උපන් සීතල


රෝහණ විජේවීරගේ චරිතාපදානය ඇසුරෙන් හදාපු චිත්‍රපටය - ගින්නෙන් උපන් සීතල බලන්නට ගියා. කතානායකයාගේ ජීවිතය සෑහෙන තරම් හොඳට නිරූපනය වෙලා ඇති බව පේනවා. ඔහුගේ දේශපාලන දර්ශනය එතරම්ම එළියට එන්නේ නැති වුනත්, වෙස්වලාගත් විප්ලවවාදියකුගේ? ජීවිතයේ ඇතුළාන්තයට යන්න තිරරචකයාටත් අධ්‍යක්ෂකවරයාත් ගත්ත උත්සාහය සෑහෙන්න සාර්ථක බව පේනවා.

චිත්‍රපටය නරඹනකොට අපි සිතා සිටි විජේවීරට වඩා තරමක් හෝ වෙනස් පුද්ගලයෙක් තමයි අප ඉදිරියේ දිග හැරෙන්නේ. එක පැත්තකින් බැලුවහම සරළ මනුස්සයෙක්. නායකත්වය පවා අප හිතාගෙන හිටියාට වඩා වෙනස් මට්ටමකින් තමයි එළියට එන්නේ. එය දියුණු මනුස්සයෙකුගේ ලක්ෂණයක් කියා හිතෙනවා. ඒක අසූගනන්වල පැවැති ඔවුන් විසින්ම හදා ගත් කැලෑ නීතිය තුළ කොයිතරම් ගැලපෙනවාද කියන එක වෙනම කාරණාවක්. එක අතිකින් බාහිර බලවේග විසින් ඔහුව එතනට තල්ලු කළ බව පේනවා. නමුත් ඒ වකවානුවේ JVP එකට ඇතිවුණු කලුපැල්ලම තවමත් සෝදා ගන්න බැරිවෙලා තියෙන බව කියන්නට පුළුවන්‍

එහෙනම් විජේවීර දිර්ඝ කාලීන වශයෙන් දේශපාලනයේ මොනවගේ මාර්ගයක යන්නද සිතා සිටියේ කියන එක ප්‍රශ්ණයක්. තමන්ගේ ජීවිතයට ඇති තර්ජනය ගැන හිතුවහම විජේවීරට රටින් පිටෙවලා ක්‍රියාත්මක වන්න ඉඩ තිබුණා. නිදහස ? ලබා ගත් අවදියේ වාමාංෂික නායකයන් ඇතුළු බොහෝ දෙනෙක් රටින් පිටවුණා. එහෙම නොකොට මෙහිම ජීවත් වීම තුලින් තවදුරටත් ඔහුගේ චින්තනය පවා කොටු වුණු බවයි පෙනෙන්නට තියෙන්නේ. චිත්‍රපටයේ විජේවීරගේ චරිතයට පන පොවන කමල් අද්දරආරච්චිගේ රංගනය අතිවිශිෂ්ට බව කියන්නය ඕනා. 

Monday, January 28, 2019

පාර දිගේ


අළුත් අවුරුද්දක්, ලබලා ටික දවසක් ගත වෙලාත් ගිහින්. අපේ ජීවිතත් අළුත් වෙලාද? නැත්නම් සාමාන්‍යෙයෙන් වන පරිදි තව ටිකක් පරණ වෙලාද? වැඩ පටන් ගත්තු පළමු දවසේ කිරිබත්, කැවුම් කොකිස් කමින් බොහෝ දෙනෙකුගේ උදේ වරුව ගෙවුණේ. 

පසුගිය ටිකේ ජීවිතේ තරමක් කලබලකාරී වුණා. සමීප ඥාතීන් දෙදෙනෙකුගේ විවාහයන් වගේම, යුරෝපයේ ජීවත් සහ තවත් රටක ජීවත් වන සමීප මිතුරන් දෙදෙනෙකුගේ පැමිණීම මෙන්ම රාජකාරියේ දැනට සිටින සේවාවට බැඳී අවුරුදු 25 ක් ගෙවී ආදී කරුණු හන්දා ප්‍රිය සම්භාෂණ කිහිපයකට සහභාගි වන්න අවස්ථාව ලැබුණා.

1980 ගණන් වල ආන්දෝලනාත්මක නඩු විභාගයක් වූ මැතිව් පීරිස් කතාව චන්ද්‍රන් රත්නම් ගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයක් ලෙස ඇවිත්. තාක්ෂණික අතින් යම් ඉදිරියක් දකින්න පුළුවන් වුනත් විශේෂයෙන්ම ඩැල්රීන් ඉන්ග්‍රම් චරිතයට චිත්‍රපටය මගින් සාධාරණයක් වුනාද කියළා හිතුන්න වෙනවා. ඒත් එක්කම රෝහණ විජේවීර ගැන හැදු චිත්‍රපටයක් - ගින්නෙන් උපන් හීතල මේ දිනවල තිරගත වෙනවා. සති අන්තයේ එය බලන්න යන්න හිතුවත් බැරිවුණා.  

අද ධර්මසේන පතිරාජගේ පළමු අනුස්මරණය. සමරු දේශණයක් සහ පාර දිගේ චිත්‍රපටය ප්‍රදර්ශනයක් තිබුණා. දේශණය කලේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති. මාතෘකාව විචාරාත්මක දුරස්ථභාවය හා කලාකරුවාගේ සංස්කෘතික කාර්ය. පාරදිගේ චිත්‍රපටය මුලින්ම බැලුවේ පාසල් කාලේ 1982 දී. ඒ කාලේ මේ චිත්‍රපටයට ආසක්ත වුණේ ධර්මසේන පතිරාජ ගැන යම් හැඟීමක් තිබුණු එකටත් වඩා විජය කුමාරතුංග එහි රඟපෑම මෙන්ම ගායනා කිරීම, එවක නවක නිලියක වූ වසන්ති චතුරානි ගේ රඟපෑම ආදිය කියළා කියන්නට පුළුවන්. ඒත් ඔහුගේ සිනමා ආඛ්‍යානය අපට එදා හරියට තෙරුණේ නැහැ. අද එදාට වඩා තේරුණා කිව්වොත් හරි. ප්‍රේක්ෂකයාව චරියෙන් ඈත් කරලා බලන්න ඉඩක් තියෙන ඔහුගේ ක්‍රමය හුඟක් තැන් වල සාර්ථකයි. එකම තැනක චන්දරේ(විජය කුමාරතුංග) තමන්ගේ මහ ගෙදර ගිය වෙලාවේ තමන්ගේ අම්මා (රුබී ද මැල්) පුතාගේ අතීතය ගැන කියන තැන ටිකක් කෘත්‍රිම බවක් පෙනුනා. මෙහි එන සින්දු බඹරු ඇවිත් තරම් ප්‍රභල නැති වුනත් තේමාවට යම් සාධාරනයක් කරනවා.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...