Thursday, June 23, 2016

සම්භාව්‍ය විසඳුමක්

අද ලියවිල්ල පටන් ගන්න හිතුණා වෙනස් තැනකින්. එක් එක් කෙනා බ්ලොග් ලියන්න එක් එක් හේතු ඇති. කිසි දවසක මගේ හෝ කාගෙවත් බ්ලොග් එකක් කියවා නැති සහ නොකියවන බවටත් සියයට සියයක් විශ්වාස මගේ ආයතන ප්‍රධානියා කියන්නේ බ්ලොග් ලියන්නේ looser ලා කියළා. ඒකත් ඇත්ත වෙන්න බොහොම ඉඩ තියෙනවා. මම ලියන්නේ ඇයි කියන මාතෘකාවට අවොත් බොහෝවිට මම ලියන්නේ කාන්සිය මකා ගන්න. සමහරවිට රෑට වාර්තාවක් ලියන්න වගේ වැඩක් තියන වෙලාවට ඒකට බහින්න බැරුව ඉන්න වෙලාවෙදි (මහන්සිය හන්දා) උත්තේජකයක් හැටියට මම සටහනක් ලියන්න පටන් ගන්නවා. අනෙක් කාරනාව තමයි නොයෙකුත් හේතු මත මිත්‍ර සමාගම් අඩු වීම වැඩිපුර ලියන්න හේතු වනවා.

වීදාගම මෛත්‍රිය හාමුදුරුවන්ගේ දේහය ආදාහනය කරන්න ගිය වෙලාවේ ස්ථානය බෙදා ගන්න ගිහින් පත්තු හෝ කෝරල දෙකක මායිමේ ආදහනය කළ බව කලින් සටහනේ ලියුවා. ඒක ලියන කොට මතක් වුනේ තව කතා දෙකක්. එකක් කියවූයේ ඊයේ පෙරේදා පත්තරේ. ඒක තමයි “ටිකිරා” සහ “පුරන් අප්පු” අතර සටන. ඒ චිත්‍රපට දෙකක නම්. ඒ දෙකම ඒ දවස්වල තිබුණු මණ්ඩල හතරෙන් එකක ප්‍රදර්ශනය වන්නට නියමිතව තිබුණා. පෝලිමට අනුව ඊළගට ප්‍රදර්ශනය වන්න තිබුණේ ටිකිරා. එත් වීර පුරන් අප්පු සංවත්සරයක් යෙදී තිබුණු කාලයක් හන්දා එය පෝලිම පන්නා ප්‍රදර්ශනය කරන්න එවකට ඇමතිවරයෙකු වූ ටිරෝන් ප්‍රනාන්දු මහතාට ඹ්නා වුණා. අන්තිමට මේ සන්ඩුව එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන ‍තෙක් ගියා. ඔහු එය විසුවේ පස්වන මණ්ඩලයක් ඇති කිරීම මගින්. නිකම්ම නොවෙයි සම්භාව්‍ය චිත්‍රපට සහා වූ පස් වන මණ්ඩලය.
                                                 

ඒ වගේම තව කතාවක් මතක් වුණා ඒකේ කතානායකයා අගමැති ඩඩ්ලි සේනානායක. ඔහුට තිබුණාලු විවෘත කිරීමේ උත්සවයක් වස්කඩුවේ දුම්රිය පොළ විවෘත කරන්න. එත් දුම්රිය පොල තිබුණේ වස්කඩුව සහ පොතුපිටිය කියන ගම්වල මායිමේ. (මගේ මතකය හරිනම්) ඒ හන්දා නම පිළිබව ගම්මුන් අතර එකතාවයක් තිබුණේ නැහැ. විවෘත කිරීමේ දිනයේ පැමිණි අගමැතිතුමා දැක්කේ කලින් දා රෑ අනිත් ගමේ අය ඇවිත් වස්කඩුව මකා ඹවුන්ගේ ගමේ නම දමා තිබුණු බව. මේ කලබැගෑනිය දැකපු ඔහු කීවාලු උඔලා නම් නොම්මර එකේ මිනිස්සු, ඒ හන්දා අපි දුම්රියපොලට නොම්මර එක කියා නම තියමු කියා අන්න එහෙමලු මුහුදුබඩ මාර්ගයේ වාද්දුවත් උතුරු කළුතරත් අතර ඇති නොම්මර එක දුම්රිය ස්ථානයට නම ලැබුණේ.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...