Saturday, March 19, 2016

පාළුව මට දැනුනා

ගමේ ගිහින් කිරි අම්මලාගේ දානයකට සහභාගී වුනේ පුංචි කාලයේ සහභාගී වුනාට පස්සේ. පත්තිනි දෙවියන්ගේ ගුණ සිහිකරලා යම් කෙනෙක් යම්කිසි පිහිටක් පතා බාරයක් වුනාහම එය නිදහස් කරගන්න තමයි කිරිඅම්මලාගේ දානය පවත්වන්නේ. එහිදී කෙරෙන ගායනා මේ කාරනය අපූරුවට නිරූපනය කරනවා. සහභාගී වන තරුණ සහ වයසින් වැඩි කිරි අම්මලා එය සිදු කරන්නේ ඉතාමත් සැදැහැ සිතකින්. මම හිතුවේ අද කාලයේ හැටියට එයත් නවීකරනයට ලක්වෙලා ඇති කියළා. ඒත් එහෙම බවක් පෙනුනේ නැහැ. මේ වගේ සම්ප්‍රදායික වතාවත් කාලානුරූපව නවීකරනය වීම අවශ්‍ය දෙයක්. ඒත් මූලික හරය රැක ගනිමින් එහෙම කිරීමයි අවශ්‍ය වන්නේ. අපේ උදව්වට ඇවිත් හිටිය ගුනදාස අයියා නම් කිව්වේ කිරිඅම්මලාගේ දානෙත් සමහරක් දේවල් දැන් වෙනස් වෙලා කියළා. එම කියන වෙනස කාලානුරූප වෙනසක් වෙන්න ඇති. කොහොම වුනත් මේ දානය සඳහා ගෙදර අයට ඉතා මහන්සියක් දරන්න වෙනවා. අපේ ගෙදර නම් ඉතාමත් ආත්මාර්ථකාමී විදිහට අඩුම වෙහෙසක් දැරුවේ එහි ආතුරයා වුණු මම. පූජාවට තියන්න අන්නාසි ගෙඩියක් ගෙන ගියා ඇරෙන්න මගෙන් කෙරුනු දෙයක් නැහැ. ගිය සතියේ දියතලාවේ ගියේ ලොකු මාමාගේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වුණු දානයට සහභාගී වන්නයි. බොහෝ කාලෙකට ඉස්සර ගෙදර හැමෝමත් එක්ක කෝච්චියෙන් ගිහින් දියතලාවේ දුම්රියපලෙන් බැහැලා බෑග් මලු උස්සගෙන සීතලේ පයින් ආපු හැටි මතකයි. ‍එහෙත් එදා තෙහෙට්ටුවක් හෝ වෙහෙසකාරී බවක් දැනුනෙම නැහැ. සටහන කෙටි වුනු හන්දා මා ප්‍රිය කරන සින්දුවලින් එකක් මතක් කරන්නම්.

මම ඉතාමත් ප්‍රිය කරන විරහ ගීත අතර, නන්දා මාලිනියගේ කඩමන්ඩියේ, විශාරද නීලා වික්‍රමසිංහගේ වියෝ ගී ගැයෙනා හදේ, ඇතුලු බොහෝ ගීත අතරින් මා දන්නා තරමින් ක්ලැරන්ස් විජේවර්ධන ලියා සංගීතවත් කරපු මේ ගීතය එහි පද, සංගීතය වගේම ගායනයේ අපූර්වත්වයක් මා දකිනවා. බැඳීමක් බිඳී යාමකදි කෙනෙකුට ඇතිවන තනිකම පාලුවත් එක්ක ඇති වන (මා අතහැර යන්න) මගේ මොනවද අඩු වුනේ කියන හැඟීම සංවේදී හදවතක් උපේක්ෂාවෙන් විඳින විදිහ මේ ගීතයේ ඇති බව මට හිතෙනවා. සුන්දර අතීතයක ලස්සන සහ එහි නිමාව ගීතයෙන් කියන්නේ ඉතා කලාත්මකව.   

හා හා හොරේ දැනුනා දැනුනා
මට නාවේ මොකෝ කියළා
මා හා ඔබේ තරහක් තිබුණා
නම් නොකීවේ මොකෝ සිතුනා

පහල ඇලේ දිය බුබුලේ
අමුතු සීතලක් දැනුනා
දෙවැට දිගේ එන අතරේ
ඔබ හමුවේ යැයි සිතුනා.

ලිහිණි ගිරා කැල වන බැද්දේ
ගී හඬ මට ඇසුණා
අවරගිරේ හිරු බැස යද්දී

පාළුව මට දැනුනා 

Saturday, March 12, 2016

Small boys





සාමාන්‍යයෙන් මගේ ලියවිලි වලදී පුද්ගලයින්ගේ නම් සඳහන් කරන්නේ නැතිවට බැරි යැයි සිතුනොත් පමණයි. ඒත් ලඟදී ඉඳන් මම මේ සම්ප්‍රදාය තරමක් වෙනස් කළා.  ලියන දෙයින් කාට හෝ අවැඩක් සිදු වෙන්නේ නැති නම් සහ වැඩක් වෙන්නට පුළුවන් යැයි සිතේ නම් නමින්ම ලිවීමේ වරදක් නැති බවයි මම දැන් හිතන්නේ.
ඕස්ට්‍රේලියාවේ ඉන්න ඩී. බී. කුරුප්පු මහතාට කතා කරන්න අවශ්‍ය වුනේ රයිගම ගැන ගුරුහරුකම් ගන්නයි. වික්ටෝරියා ප්‍රාන්තයේ ආදී ආනන්දියන්ගේ ‍face book පිටුවක එතුමාගේ නම සඳහන් වූ හන්දා ඔවුන්ගෙන් සම්බන්ධතා අංකයක් විමසුවා. දිනක් ඇතුළත එයට ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ අනුව කුරුප්පු මහතාගේ ඊ-මේල් ඇඩ්‍රසයට මා යැවූ ලිපියට ඉක්මනින්ම පිළිතුරු එවන්නට එතුමා කාරුණික වුණා. එමගින් අපට සම්පත්දායකයින් දෙපලක් හඳුන්වා දී තිබුණා. ඉක්මනින් ඔවුන් හමු වන්නට අපි සිතා ගත්තා.
කුරුප්පු සර් ආනන්දේ උගැන්වූ කාලයේම එහි ඉගැන්වූ, කාලයකට පසුව නැවතත් පාසලට පැමිණි සමරවික්‍රම සර් නේවාසිකාගාරයේ අපි බොහෝ කාලයක් ගතකළ ඉන්ටර් ඒ  සයනාගාරේ භාර ආචාර්‍යවරයා විදිහට සිටි බව මම ලියා යැවුවා. සමරවික්‍රම සර් ඉගැන්වූයේ උසස් පෙළ සාහිත්‍ය විෂය බවයි මට මතක. ඒ හන්දා එතුමාගේ පන්තියක සිට උගෙන ගන්න අපට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ දවස් වල ඔහු ගමන් බිමන් ගියේ ඔහුගේ කාරයෙන් බවත් අපට මතකයි.
පතහවත්ත ගැන ලියද්දි එතුමා ලියා තිබුණේ කලකට ඉහතදී සර් ජෝන් කොතළාවල පිළිගැනීම සඳහා බණ්ඩාරගම හන්දියේ සිට ඔවුන්ගේ පාසල් නැටුම් කණ්ඩායම උඩරට නැටුම් නටමින් පතහවත්තට පැමිණි බවයි. මා ඊට කලින් එතුමාගේ පොතකත් එහෙම ලියා තියෙනවා දුටුවා. ඒත් මම හිතුවේ එය වැරදීමක් වෙන්න ඇත කියායි. මොකද බණ්ඩාරගම හන්දියේ සිට පතහවත්ත පන්සලට කිලෝමීටර දෙකක් පමණ දුර තියෙන හන්දා. එහෙත් ඒ දවස්වල හැටියට එය සාමාන්‍ය දෙයක් වන්නට ඇති. මොකද ඔහු විසින්ම ලියා ඇති පරිදි උඩුවේ සිට හොරණ තක්ෂිලාවට මුලදී ගිහින් ඇත්තේ පයින්. මහපාරෙන් යනවාට වඩා කෙටි පාරවල් පාචිච්චි කළ බව ‍අමුතුවෙන් කියන්න ඕනා නැහැ. මම කලින් සටහනක ලියා ඇති පරිදි ගුනදාස ලියනගේ මහතා ලියා ඇති පරිදි මීට වඩා ඉතා දුරක් ඔහු පාසලට පයින් ඇවිත් තියෙනවා. සිකුරාදා සරසවි පොත්හලට ගොඩවැදුනු වෙලාවේ කුරුප්පු මහතා විසින් ලියූ පොත් කිහිපයක් ම මිලදී ගන්නට පුළුවන් වුණා.
රාජකාරී කටයුත්තකට මට පේරාදෙණිය සරසවියේ භූවිද්‍යා අංශයට කතා කරන්නට උවමනා වුණා. මට මතක් වුණේ පාසලේ හයේ පන්තියෙදි මගේ හොඳම යහළුවා වුණු චන්ද්‍රජිත් එහි සිටින බව.චන්ද්‍රජිත් ආවේ වේයන්ගොඩ කීනවල සිට. එහෙත් පාසලෙන් පසුව අපි හමුවී නැහැ දැන් බොහෝ කාලයක්. ඉතින් මම නිකමට ඔහුගේ ‍face book පිටුවේ සටහනක් දැම්මා මා මතකද අසමින්. ඔහු ලියා තිබුණේ small boy from Horana ඔහුට ඉතා හොඳින් මතක බවයි. (ඔහු මට වඩා අඟලක් විතර උස වෙන්නට ඇති) ඒක සත්‍යයක් මම ඒ දවස්වල පංතියේ උස අඩු පැත්තෙන් දෙවෙනියා. පළමු තැන ගත්තේ කෑගල්ලේ සිට පැමිණි මා මෙන්ම නේවාසිකයෙකු වූ විජිත උඩවෙල. පුංචි හන්දා කවුරුත් ඔහු ඇමතුවේ විජිත පැට්ටා කියා. ඔහු දැන් කොහෙද ඉන්නේ කියා ආරංචියක් නැහැ. චන්ද්‍රජිත් අද මහාචාර්‍යවරයෙක්.


Sunday, March 6, 2016

බොල් වී අහුරු...

අජන්තා රණසිංහයන්ගේ වියෝවත් සමග ඔහු ලියූ මියුරු ගීත බොහොමයක් කාලයකට පස්සෙ අහන්නට ලැබුණා. වික්ටර් රත්නායක සහ සිසිර සේනාරත්න ගයන මංගල මල්දම, සනත් සහ මල්කාන්ති ගයන මතකද සිරි දළදා වැන්දා, සනත් ගෙම ආදර සැමරුම්, පෙමාතුර හැඟුම්, ඔබට වසඟවූ ඒ අතරින් කිහිපයක්. ඔහු ලියා ඇති චිත්‍රපට ගී අද්විතීයයි. මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා ගයන කීන දං මිටක්, දුහුළු මලක් චිත්‍රපටයේ එන බොඳ මීදුම් සහ රන් කෙන්දෙන් ගීත. රූකාන්ත ගැයූ සිහින දැනී දැනී දැනෙනවා, වසන්තයේ දවසක් චිත්‍රපටයේ එන දෙ‍දුන්නෙන් එන සමනලනේ මට මතක් වෙනවා.  

සමහරු එදා පීචං ගායකයකු ලෙස හැඳින්වූ ජෝතිපාල නම්වූ  අසාහාය ගායකයා හට ඔහු ලියූ ගීත අමරණීයයි. ඔහුගේ ප්‍රතිභාවට අමතරව එයින් පෙන්වන්නේ ඔහුගේ අදීන බවයි.  ඔහු ලතා වල්පොල සමග ගැයූ තවත් චිත්‍රපට ගීයක් වන රුවන් වලා විමානේ අදටත් ජනප්‍රියත්වයේ ඉහලම තලයේ තියෙන ගීයක්. ඕනෑම සුහද හමුවකදී නින්ද නේන රාතියේ සහ පායා ඇයි හිනැහෙන්නේ ඇහුනේ නැත්නම් ඒක අඩුවක්.
බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..

දවස් තුනක සති අන්තයක් ලැබුනේ සඳුදාට මහ ශිව රාත්‍රිය යෙදෙන හන්දා. ඒ අවසරයෙන් රයිගම රාජධානියේ චාරිකා කරන්න සිතුවා. මුලින්ම ගියේ ඔලබොඩුවේ ජයවර්ධනාරාම පන්සලට. පානදුර රත්නපුර මහපාරේ පොකුණුවිට හන්දිය පසු කළ විට හමුවන හන්දියෙන්  වමට හැරී කිලෝමීටර දෙක තුනක් ගියාට පසු හමුවන හන්දියෙන් වමට ඒ කියන්නේ ගෝනපල පැත්තට හැරී ටික දුරක් ගියවිට පන්සල හමුවෙනවා. පන්සල බොහොම පිළිවෙලයි.  එහි විහාරගෙයි චිත්‍ර නුවර යුගයේ. එහි තවත් බොහෝ දේ නරඔලා දවල් කෑමත් පන්සලෙන්ම කාලා අපි ආවේ හොරණ නගරයට.

අපි පුංචි කාලේට වඩා අද නගරය විශාල වෙලා වගේම ඇහිරිලා තදබද වෙලා වගෙයි පෙනෙන්නේ. පුංචි කාලේ දී ළමයි කිව්වේ හොරණ පුස්තකාලයත් තක්ෂිලා ප්‍රාථමිකයත් අතර මුහුදු උල්පතක් ඇති බවයි. එය කොන්ක්‍රීට් දමා වසා ඇත්තේ මුහුද ගොඩගැලීම නතර කරන්නයි. ඒ හරිය ආදි කාලෙදීත් වගුරු බිමක් වන්නට ඇති. එය බලන්නට ගිය වෙලාවේ තමයි දැක්කේ එතන තිබූ පරන ක්ලබ් එක වසා දමා තියෙනවා. ඒ දවස් වල තක්ෂිලාවට ගිය සහෝදරයින් ගේ තවත් එක පාරිභාෂික වචනයක් තමයි ක්ලබ් එක. මොන ආකාරයෙන් වුනත් සමහර වෙලාවට තක්ෂිලා ප්‍රාථමිකය ඇරෙන තෙක් අපි ක්ලබ් එකේ ආලින්දයේ නැවතී ඉන්නට පුරුදු වෙලා සිටියා වගේ මතකයි. ඊට ටිකක් ඉහලින් තක්ෂිලා කනිෂ්ඨයේ ගේට්ටුව ලඟ තනා තිබූ පිරිමි සහ ගැහැණු ළමයෙකුගේ රූප අදටත් ඒ වගේම තියෙනවා. ක්ලබ් එක පැත්තේ ඉඳන් මහපාර පැත්තට ඇවිත් පාර පැන්න ගමන් කොලපාට සුදුපාට තීරු ඇඳලා තිබූ Elephant House ඒ දවස් වල කඩය තිබුණා. ඒ හරියේ පාරෙන් අනික් පැත්තේ ලොකු මාර ගස් යට ගල් සියඔලා විකුණනවා. මගේ හිත ගිහින් නැවතුනේ අතිශය සුන්දර අතීත සැමරුමක. වටපිටාව වෙනස් වෙලා තියෙන්නේ මහජන පිට්ටනියේ පැවිලියන් එක ඇතුළු අළුත් ගොඩනැගිලි රාශියක් මතුවී ඇති හන්දා. පිට්ටනියට උඩින් තිබුණු දුල්මිනි සිනමා ශාලාව අද නැහැ. ඒ දිනවල නම් දුල්මිනි සහ අශෝකා සිනමා ශාලා හොරණ නගරයේ prominent ස්ථාන. අද නම් සිනමා ශාලා වහ ගෙන වෙනත් ස්ථාන ප්‍රමුකත්වයට ඇවිල්ලා.


හොරණ නගරය පසු කරගෙන අපි ගියේ බුලත්සිංහල පැත්තට. අපේ අරමුණ බුලත්සිංහල මහ පන්සල බැලීම. ගෝවින්න කොබවක ආදී රබර් වතු සහ කුඹුරු ගහන සුන්දර ගම්මාන පහු කර ගෙන අපි ඈගල්ඔයට ආවා. තවකිලෝමීටර දෙකක් විතර බුලත්සිංහල පැත්තට ගිය විට වම් පැත්තට ඇති අතුරු පාරෙන් පන්සලට ගිය හැකි. එහි විහාරගෙයි චිත්‍රත් නුවර යුගයට අයිතියි. ඒවා සංරක්ෂණය කරන්න අවශ්‍යයි. අපි ආපසු ගමන ඈගල්ඔයෙන් දකුනට හරවලා බෝතලේගම හල්වතුර ආදී ගම් හරහා ඉංගිරියට ආවා. හල්වතුරේදි තමයි ඒ පාරෙන් එන විට කළු ගඟ හමු වන්නේ. ඒ හරියේ ගඟ ගලන්නේ උස් කඳු වැටි දෙකක් මැද්දෙන්. හරිම සුන්දර දර්ශණයක්. එතැන තිබුණු කඩයෙන් උණු පරිප්පු වඩේ කාලා අපි පිටත් වුණා. ඉංගිරියේ සිට හොරණ දක්වා එන විට හමු වූ තේ කම්හල් වල අලෙවි සැල් තිබුණත් ඒවා සෙනසුරාදා ට වහලා. ඒ හන්දා හිතා හිටියත් අපට තේ ගන්නට ලැබුනේ නැහැ. සේරම ඉවරවෙලා මහ ගෙදරත් ගිහින් කොළඹට එන කොට රෑ වෙලා. 

Monday, February 22, 2016

රයිගමින් එහාට

අද නවම් පොහොය. ගංගාරාමයේ නවම් පෙරහර ඊයෙත් සජීවි ලෙස රූපවාහිනියේ පෙන්වූවා. කැළණියේ පෙරහර ගැන අද ගිය වැඩසටහනකදී තෙල්මේ නැටුමේ රයිගම සම්ප්‍රදාය ගැන මහාචාර්‍ය මුදියන්සේ දිසානායක විස්තර කරනවා මම අහගෙන.
පෙරේදා අපි ගියා නාරගලට. රයිගම ගවේශනයේ කොටසක් හැටියට. කාලෙකට පස්සේ එයට සම්බන්ධ වන්න ඉඩ ලැබුණේ. එහි පදිංචි කරුණාතිලක මහත්තයා අපිට තොරතුරු දෙන්න ඉදිරිපත් වුණා. නාරගල හරහා තමයි කළුගග ගලා යන්නේ. අතීතයේ දී එහි පාළම් පාරුවක්  තිබුනලු. පාළමෙන් මෙහා ගම කදන. එහා ගම නාරගල (හොරණ සිට යනකොට) හා කළුගග දිගේ භාණ්ඩ ප්‍රවාහනයේ දී ඒ හරියේ තොටුපලවල් ද තිබුණලු. කළුගග තමයි ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ සිට හලාවත දක්වාම ඒ දිනවල දියෙන් (හැමිල්ටන් ඇළ ඹස්සේ) යන්න පුළුවන් කම තිබුනලු.
අපි සැලසුම් කලේ උදේ වරුවේ ඉක්මනින් නාරගල ඇවිදලා හවස් වරුවේ බෝධිනාගලට යන්න. බෝධිනාගල ප්‍රාග් ‍ඓතිහාසික බිමක්. දැනට එහි ආරන්‍ය සේනාසනයක් තියෙනවා. නාරගලින් පස්සේ කදන පහුකරන කොට එහි පන්සල දැකලා එහි ගියා. එහි තිබුණා වැඩ නිම නොකල ගල් පිළිමයක්. ඒක නිදි පිළිමයක්. අවුරුදු අනූවකට පමණ පෙර නිර්මාණයක් කියළා හිතන්න පුළුවන්. පොකුණුවිට ගලේ පන්සලේ ඇති නිදි පිළිමයට බොහෝ දුරට සමකාලීන බව කියන්න පුළුවන්. මට හිතෙන හැටියට මේ විශාල සෙල් පිළිම වලින් කියවෙන්නේ පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේ මේ ප්‍රදේශයේ පැවති සශ්‍රික වැවිලි ආර්ථිකය ගැනයි. රබර් තමයි මේ ප්‍රදේශයේ ප්‍රධාන වැවිල්ල. අපිට දවල් කෑම කදන පන්සලෙන්ම ලැබුණා.
හවස් වෙනවිට වැස්සක් එන ලකුණු අහස පෙන්වූ හන්දා අපට බෝධිනාගල යන අදහස කල් දමන්නට සිදු වුණා. බෝධිනාගලට යන්න නම් අපි ආයිත් හොරණට ඇවිත් ඉං.ගිරිය පාරේ යන්න ඕනා. ඊළගට ඇති ප්‍රාග් ‍ඓතිහාසික බිම් තමයි පාහියන්ගල සහ වනහාමිගේ ගල් ලෙන. මේ බිම් කළු ගග දිගේ පිහිටා තිබූ බවයි පෙනෙන්නේ. ඒ පිළිබදව තවත් වැදගත් හෝඩුවාවක් අපට ලැබුණා. ඒ ගැන පසුවට ලියන්නට පුළුවනි. ඒ කාලේ මේ ප්‍රදේශයේ විසිරිලා තියෙන කදුගැට සියල්ලකම පාහේ ප්‍රාග් ඓතිහාසික මානවයින් විසිරී ඉන්න ඇති. අපේ යොජිත කෞතුකාගාරය පටන් ගන්නේ ඒ විස්තර සමග. ඒ හන්දා මේ ජනාවාස ගැන මීට වඩා පැහැදිලි චිත්‍රයක් ඇති කර ගැනීම වැදගත්.

රයිගම ගවේෂණය කරන කණ්ඩායමට ඊයේ පෙරේදා ප්‍රවීන නළුවකු වන ජනක් ප්‍රේමලාල් මහතා හමුවී තියෙනවා. ගවේෂණයට අදාල වැදගත් තොරතරු කිහිපයක් ඹහුගෙන් ලැබී තිබුණා. දොඹගොඩ පැත්තේ තියෙයි කියන රජගහ කියන ස්ථානයේදීලු රයිගම් බණ්ඩාර රජුව අල්ලා ගත්තේ. මේ තොරතුරු ඓතිහාසික මූලාශ්‍රත් සමග ගලපන්නට ඹ්නා. ඹහු හදපු රජගහේ නාඩගම නාට්‍යයට වස්තු බීජය ආවෙත් එතනින්ලු. රෝහණ බැද්දගේ මහත්තයා හමුවෙන්න කියන එකත් ඹහු නිර්දේශ කරළා තිබුණා.         

Wednesday, February 17, 2016

කන්ද උඩින් පණිවිඩයයි

මේ දවස් වල ඉන්දු ලංකා ගිවිසුම තමයි උණුසුම් මාතෘකාව. රාජකාරි මට්ටමෙන් එයට සම්බන්ධ වීමේදි නොයෙකුත් පැතිකඩ පෙනෙනවා. එක පැත්තක් තමයි මේක අත්සන් කරන්නේ ඉන්දියාවේ උවමනාවටයි කියන තර්කය. නැත්නම් මෙයට දින වකවානු දාගෙන හදිස්සි කරන්නේ ඇයි කියන එකයි නැගෙන ප්‍රශ්ණය. මේ වගේ ගිවිසුමකදි රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන මට්ටමෙන් මේවායේ කාලවකවානු ගැන යම් පූර්ව එකගතාවයන් ඇතිකර ගැනීම සාමාන්‍යයි. සමහරු කියන්නේ අපට නොවේ අපේ දරුවන් ගැන හිතලයි මෙයට විරුද්ධ වෙන්නේ කියා. රටේ Regulatory framework එක හරි හැටි හදා නොගෙන මේ වගේ ගිවිසුමකට යාම වැරදියි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒක ඇත්ත. ඒත් අපි දිගින් දිගටම බලාගෙන හිටියොත් අපිට ඉතුරු වෙන්නෙ අනික් අය විසිකරල නැත්නම් අතඇරල ගිය දේවල් විතරයි. විශාලම තර්කයක් තමයි මිළ අඩු ශ්‍රමය ගලාගෙන එයි සහ බාබර්ලට ටේලර්ල ඇතුළු වෘත්තිකයන්ට රස්සාවල් නැතිව යයි කියන එක. අපේ අය බටහිරට යන විදියටම දකුණු ආසියාවේ බොහෝ දෙනෙක්ට ලංකාව පාරාදීසියක් වෙයි කියනවා. මේ සම්බන්ධයෙන් වැඩ කරන කට්ටිය ඉන්දියන් ඒජන්තලා හැටියට නම්කර තියෙනවා.
මේ සතියේ ඉරිදා බලාගෙන හිටියත් සිහිනයකි රෑ වැඩසටහන තිබුනේ නැහැ. කලින් ලියුවා වගේ මට තෝරන්න ලැබුණා නම් මම තෝරන දෙවැනි ගීය මේ. ඉතාම සෙනෙහෙබර සිංහල දරු නැළවිලි ගී ගණනාවක් මගේ මතකයට එනවා. විශාරද නන්දා මාලිනියගේ චන්ද්‍ර මඩුළු යට සුරංගනාවෝ, විශාරද සුජාතා අත්තනායක ගයන පරසතුමල් චිත්‍රපටයේ එන ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ, රුක්මණි දේවිය ගැයූ අහසින් පොළවට චිත්‍රපටයේ එන දොයි දොයි දොයි දොයිය පුතා, වික්ටර් රත්නායකයන් ගයන සිරිමා බෝමුල මුණිදුන් වැඩ හිද දස මර සේනා දිනූ බෙලෙන්  ආදී මේ සියළු ගී අතරින් මව්පියන්ගේ දරු සෙනෙහස පිරී ඉතිරී යන ගීය කියා මා සලකන්නේ අරිසෙන් අහුබුදු ශූරින් ලියු ප්‍රවීන ගායිකා ලතා වල්පොල ගයන සංදේශය චිත්‍රපටයේ එන පහත ඇති ගීයයි. දන්නා තරමින් සංගීතය සුනිල් ශාන්ත ශූරීන්ගේ. මා හිතන්නේ මෙය මුළු ලෝකෙම තියෙන අසම සම දරු නැළවිලි ගීයක් හැටියට. මට පෙනෙන්නේ එය ලියා ඇත්තේ තාත්තා කෙනෙකුගේ ඇසින් බවයි.

සුදට සුදේ වළාකුළයි නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පනිවිඩයයි පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

සුරංගනාවනුයි වළාකුලු ඔසවා ගෙන එන්නේ
හදමාමයි සිනා සිසී රිදී පාන අල්ලන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

හදපානේ මද සුළගයි එපනිවිඩය කියවන්නේ
අහසේ රන්තරු අකුරින් දෙවියන් එය ලියවන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා

තව මූනකි පුතුගෙ වගේ කන්දේ ඒ බැබලෙන්නේ
ඒ මූනයි මේ මූනයි තව ටිකකින් සිප ගන්නේ
දොයි දොයි දොයි ‍දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා

Saturday, February 13, 2016

Parallel Universe

ඊයේ ගමේ ගියේ තාත්තාගේ දානයට. දානය තිබුණේ අද. කන්තෝරුවෙන් දහවල් දොලහට යන්න හිතුවත් වැඩ ඉවර වෙනකොට තුනට කිට්ටුයි. අධිවේගී මාර්ගය හන්දා පැයක් ඇතුලත ගෙදරට යන්න පුළුවන් වුණා. දානය දහ නමක් වෙනුවෙන්. අපි පිරිකරට පොත් දහයකුත් ලෑස්ති කළා. හැමපොතකම තාත්තගේ ගුණානුස්මරණය වෙනුවෙන් කියළා පුංචි සටහනක් print කරලා ඇලෙවුවා. දල වශයෙන් එය ලියවී තිබුණේ මෙහෙම. තාත්තාගේ ගුණානුස්මරණය වෙනුවෙන් මෙම පුස් තකය අගත අනගත චතුදිශ ශගශ දිනේ. ඒ වචන බ්‍රාහ්මී අක්ෂර වලින් ලියවී තිබුණක්. මට කියලා දුන්නේ සු‍දේවි. එයා archaeologist කෙනෙක්.ඒකෙ තේරුම ආවාවූද නොඅවාවූද සතර දෙසින් පැමිණි සංඝයා වහන්සේට පූජාකරන ලදී.


ඊයේ රාත්‍රිය සම්පූර්ණයෙන්ම වගේ නිදිවැරූ හන්දා අද නිදිමතයි. යෝජිත ඉන්දු-ලංකා ගිවිසුම ගැන ගමේ අයගේ අදහස දැනගන්න ලැබුණා. මාධ්‍ය හරහා ලැබෙන ප්‍රචාරයට සමගාමීව එයට විරුද්ධ ප්‍රතිචාරයක් තමයි ලැබුණේ. ඒ ගැන මාධ්‍ය හරහා පුළුල් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍යයි කියන එකයි මගේ අදහස.   


P.S. : ‍පොත් කට්ටලය ගුණසේන සාප්පුවෙන් අරන් මම යන්නත් කලින් ගෙදරට ගිහින් දීලා තිබු‍ණේ සුදේවි. 

Monday, February 8, 2016

සිහිනයකි රෑ

රූපවාහිනයේ ඉරිදා රෑ දහයට සිහිනයකි රෑ නමින් වැඩසටහනක් යනවා. කවුරුහරි ප්‍රසිද්ද චරිතයක් ගෙනැවිල්ලා ඔහු කැමති ගීත දහයක් එක ගායකයකු හෝ ගායිකාවක් ලවා ගායනා කරවනවා. ඒක ජනප්‍රිය වැඩසටහනක් කියා මා හිතන්නේ. මට ඒ වගේ ගීත තෝරන්න දුන්නා නම් මා තෝරන ගී වලින් එකක් මේ. අවුරුදු ගානකින් මේ ගීය ඇහුනේ නැහැ. ගායනය වික්ටර් රත්නායක, පද මඩවල රත්නායක සංගීතය අමරදේව. මගේ හැඩි දැඩි වචන වලින් මෙය මා රස විදින හැටි කියා එහි ලස්සන නැති කරන්න බළාපොරොත්තුවක් නැහැ.

රෑ කල පැලට වී හේනේ ලගින්නේ
පාලුව හෙමින් මගෙ පැලටත් එබෙන්නේ
මේ අටවකයි සද අහසේ පිපෙන්නේ
මා සිත ලගට මැණිකේ පිය නගන්නේ

ඔබෙ තනි රකින්නයි මා කවි කියන්නේ
ඒ තනියටයි වල් ඌරන් දුවන්නේ
සුළගේ සීතලට නෙත් ඔබ සොයන්නේ
වෑකන්ඩියේ මහ නුගරුක පෙනෙන්නේ

පහල බෑවුමේ ඉදලොලු පදුරෙන්නා
කොල මල්ලෙන් එකක් ගෙට මා ගෙන එන්නා
කොල ඇඹුලකට තෙලටිය දළු කඩන්නා
හිරු එළියට කලියෙන් මා ගෙට එන්නා


Friday, February 5, 2016

නිදහස

අද නිදහස් දිනය. හිතේ නම් ඒ තරම් නිස්කලංක බවක් නැහැ. ඒ මගේ හිතේ. Sir Arthur Levis ගේ සංවර්ධන න්‍යාය අනුව ග්‍රාමීය සහ නාගරික අංශ අතර තියෙන dualism එක නැති වෙලා ගිය දවසට තමයි රටක නියම සංවර්ධනයක් ඇති වන්නේ. ඒ කියන්නේ නිස්කලංක බවක් (සමතුලිතතාවක්) ඇති වෙන්න ඕනා. හැමෝගෙම නැත්නම් බහුතරයේ හිත් වල නිස්කලංක බවක් ඇතිවන දවසට අපිට නිදහස ලැබෙයි. සල්ලිය බාගේ විතරක් තිබුනට ඒ නිස්කලංක බව ලැබෙන්නේ නැහැ. මම හිතන විදිහට හෘදයාංගම ඇසුරු, වඩා හොද එහෙම නැත්නම් හිතකාමී ජීවනෝපායන්, ආරක්ෂාකරීබව වගේම ඉහල මට්ටමක (? ) විනෝදාශ්වාදය ඇතුළු බොහෝ දේ ඊට ඇතුලත්. හැමදේම Rapid Evolution එකක තියෙන කොට සංහිදියාවක් නැහැ. ඉතාම සමීප සම්බන්දකම් පවා දවසින් දවස වෙනස් වෙමින්, වියැකී යමින් තියෙන බව උපේක්ෂාවෙන් මම බලා ඉන්නේ. අළුතෙන් හමුවෙන සමහර චරිත රකුසන් වගේ. සමීපව හිටියත් ප්‍රියයන්ගෙන් ඈත්වීම දුකක් වගේම තරමක් ඈතින් හිටියත් අප්‍රියයන් ලංවීම දුකක්.

ජීවිතයේ සංහිදියාව නැත්නම් නිස්කලංක බව තිබුණු කාල වකවානු තිබුණා. ළමා කාලය, පාසල් දිවිය, විශ්ව විද්‍යාලේ, රැකියාවේ සෑහෙන කාලයක්, වගේම විවාහ දිවියේ මුල් යුගය ගෙවුනේ සංහිදියාවෙන් බවයි මතක් කරන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් ජීවිතයේ නිස්කලංක බව අහෝසිවෙලා ගිහින් කියළා. කොහොම වුනත් වැඩ අධික වීම හෝ විවිධ අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවීම හිතේ නිස්කලංක බව බිදින්නට හේතුවක් නොවෙයි.

නිදහස් දිනයට යන parade එකේ යන සොල්දාදුවන් කණ්ඩායමකට හෝ අපේ රජකාලෙ ඇදුම් ආයිත්තම් අන්දවලා කඩු හෙලි සහිත ඛණ්ඩයක් හදන්න ඕනා කියන යෝජනාව  කලකට පෙර ගෙනාවේ අපේ මිත්‍රයකු වන විජිත. ‍එම යෝජනාව ආරක්ෂක ලේකම් වෙත යොමු කළ බව මතකයි. කඩුහෙලි කෙසේ වෙතත් ජාතික කොඩි රැගත් එවැනි ඛණ්ඩයක් මෙවර සහභාගි වුණා. (ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියන එක අශෝභනයි කියලා අපේ මිත්‍රයෙක් පෙන්වා දුන් නිසා දැන් ඒවා ඉංග්‍රීසියෙන්ම ලියනවා.)


අද කියවන්නට ලැබුණු ප්‍රස්ථාව පිරුලක් මේ. Things may come to those who wait, but only the things left by those who hustle. රටක් හැටියට අපි තාම waiting වගෙයි මට හිතෙන්නේ. එහෙම ඉන්නකොට ඉදලා හිටලා දේවල් අතට අහුවෙනවා. එතනින් එහාට ගමන් අරඔන්නේ කවදාද? දැන් වුනත් නොයනවාම නොවෙයි. ඒත් true North එක අපි හොයා ගන්නේ කවදාද?

Sunday, January 24, 2016

රේල් බස්

මම කලින් සටහනක ලියා ඇති ලංකාවේ පුංචි කෝච්චි අතීතය ගැන. ඊයේ පත්තරේ පුංචි කෝච්චියක් ගැන විස්තරයක් තිබුණා. ඕස්ට්‍රේලියාවට අයත් ටස්මේනියාවේ දැනටත් පාවිච්චි වන එවැනි පුංචි කෝච්චියක් ගැනයි එහි තිබුනේ. හැබැයි ප්‍රවෘත්තිය වුනේ එහි කාන්තා රියදුරෙක් වැඩකිරීම සම්බන්ධවයි. ඇය විසින් එහිදී ලංකාව ගැනත් කියා තිබුණා. තවත් එවැනිම රේල් පාරක් තමයි ඉන්දියාවේ ඩාජ්ලින් මාර්ගය. එය වැටී ඇත්තේ එම බ්‍රෑන්ඩ් නමින්ම හැදින්වෙන සුන්දර තේවතු හරහා. මේක කියන කොට මතක් වුනේ, ගිය සුමානේ කැළණි වැලි මාර්ගයේ (පුංචිකාලේ හිතුවේ කැළණි ග‍ගේ වැලි හන්දා ඒ නම දාලා තියෙන්නනේ කියළා) කොස්ගම සිට ‍මහරගමට රේල් බස් සේවාවක් පටන් ගැනීම. ඩිමෝ බස් දෙකක් පිටුපස්සෙන් එකට ඈදලා තමයි මේ රේල් බසය තනා ඇත්තේ. කලකට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුකරපු නව නිපැයුමක් වන මෙය මා දන්නා තරමින් කුරුණෑගල-මහව ආදී සීමිත දුම්රිය ස්ථාන කිහිපයක් අතර පමණක් ධාවනය වුණා. මෙය ප්‍රචලිත නොවීමට ප්‍රධාන හේතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර පවතින කුල භේදයක් බවයි ආරංචි. එන්ජින් ඩ්‍රයිවර්වරුන් මේවා පදවන්න අකමැති පාටයි. එකක් තමයි එහි රියදුරු කැබින් එකක පහසුකම් නැතිවීම. අනික ඔවුන් බස් රියදුරන් මට්ටමට වැටීම. එහෙම නම් ඒවාට වෙනම රියදුරු කාණ්ඩයක් හරි බදවා ගෙන මෙම රේල් බස් ප්‍රචලිත කරන්න තිබුණා. මෙම පසුබිම තුල විශිෂ්ඨ නව නිපයුමක් වැඩක් නොගෙන තියෙන මට්ටමට වැටිලා. මෙම රේල් බස්, දුම්රිය අඩු උඩරට මාර්ගය ඇතුළු අනෙක් මාර්ග වලත් තෝරාගත් දුම්රිය ස්ථාන අතර ධාවනය තිරීම හැම පැත්තෙන්ම නුවනක්කාර වැඩක්. දුම්රිය එන්ජින් පවා නිෂ්පාදනයද කලකට ඉහතදී සිදු කළ අපිට මේ රේල් බස් මීටත් වඩා නවීකරනය කරගන්න එක අමාරු වන එකක් නැහැ. රේල් පාරවල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමත් අත්‍යාවශ්‍යයි. ලංකාවේ පුංචි කෝච්චි දුවපු කාලේ එම මාර්ග වලම ලොකු කෝච්චිත් දුවන්න අමතර රේල් පීල්ලක් එකතු කිරීමත් විශිෂ්ඨ සිතුවිල්ලක්.

Wednesday, January 20, 2016

Train Halts


අද තයිපොංගල් උත්සවය පැවැත්වෙනවා. ඒ හන්දා නිවාඩු. කිහිප දෙනෙක්ම විටින් විට කිව්වා මතකයි විෂය කරුනුත් ආශ්‍රය කරගෙන පොතක් ලියන්නැයි කියා. පත්තරයකට ඒ වගේ කොලමක් ලියන්න කියා ආරාධනයකුත් ලැබුනා. ඒ කියන්නේ ආර්ථිකය සහ සංවර්ධනය ඇසුරු කරගෙන. සමහරක් මාතෘකා වෙනස් වෙන්න පුළුවන් වගේම ඒවා දිගේ ටිකක් එහාට යන්න පුළුවන් වුනත් මම බ්ලොග් එකේ ලියන දේ වලට සමානව තමයි එහෙම ලියුවත් ලියවෙන්නේ. සංඛ්‍යා ලේඛණ ආදිය වැඩිපුර හවුල් කරගන්නට පුළුවන්. මොකවත්ම නොකර ඉන්නවට වඩා මේකවත් (බ්ලොග් එක) ලියන එකෙන් යම්කිසි තරමකට ලිවීමේ ආසාව සන්සිදෙනවා. කියවන ඉතාම ස්වල්පදෙනෙක් හරි ඉන්න එක අනිත් හේතුවයි.

අපේ පුරාවිද්‍යා කණ්ඩායම ඊයේ පෙරේදාත් රයිගම ගවේෂණයට ගියා. මගේ ස්ථාන මාරුවත් සමග දැන් මට එහි යන්න ඉස්පාසුවක් නැහැ. ඒ ගැන සියුම් කණගාටුවක් තියෙනවා. මම මේ ගවේෂණයට සහභාගී වීමෙන් මට තේරුම් ගිය දෙයක් තමයි රටේ උරුමය තබා අපේ ගම වටපිටාවේ ඇති  ඓතිහාසික උරුමය පවා දැකබලා ගන්න කුඩා කාලේ අපට අවස්ථාවක් නොවූ බව. මම කලිනුත් සටහනක් කර ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඩී බී කුරුප්පු මහතාගේ පොතක එන පරිදි ඔවුන් කුඩාකාලේ පසලෙන් ගිය චාරිකාවකදි හොරණ ඇල්ලෙ කන්දේ තියෙන වනහාමිගේ ගල් ගුහාව බලන්න ගොස් තිබුණා. (ඔහු මුලින් අකුරුකර තිබුණේ හොරණ කිට්ටුව උඩුවේ පාසලක) වනහාමිගේ ගුහාව ප්‍රාග් ‍‍ ඓතිහාසික ලෙනක්. ඒ තබා වීදියගොඩ පංසල, වල්ගම වැව, පොකුණුවිට පංසලේ සෙල්ලිපිය හා බිතුසිතුවම් සහ රයිගම රාජධානියට අදාල බොහෝ තැන් මම දැක්කේ මේ ගවේෂණයෙදි. රමුක්කන පංසල වගේම ගුංගමුවේ ලෙන් විහාරය සහ ලෙනවර පන්සල්ද ඉතා වැදගත් බව අපේ කට්ටිය මට කිව්වා. මෙකී නොකී සේරම ටික එකතු කරළා හෙරිටේජ් ට්‍රේල් එකක් හදලා බ්‍රෝචර් එකක් නිර්මාණය කරන්නයි අපි හිතාගෙන ඉන්නේ. ඒකෙන් බාල පරම්පරාවට මේවා බලන්න රුකුලක් වන්න පුළුවන් වගේම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටත් පිටිවහලක් වේවි. දකුණු අධි‍වේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව මගින් මේ ස්ථාන වලට පහසුවෙන් ප්‍රවේශ වෙන්නත් පුළුවන්.

ජපානයේ එක්තරා ග්‍රාමීය දුම්රියපලක් පවත්වාගෙන යන්නේ එය පාවිච්චි කරන එකම එක පාසැල් දැරියක් නිසා බව පසුගියදා වාර්තා වුණා. අපේ දුම්රිය සේවයෙත් දුම්රිය ස්ථාන අතර ඇති සමහර නැවතුම්පල මේ වගේ මගීන් වෙනුවෙන් නිල නොවන වශයෙන් භාවිත වුණු බව අප අසා තිබෙනවා. (ඒ ගැන වැඩිය විස්තර කතා කරන එක හොදද මන්දා? ) විශේෂයෙන් ප්‍රධාන දුම්රිය වලට අමතරව දිවෙන මන්දගාමී දුම්රිය. මෙයින් සමහරක් නැවතුම්පල ඈත අතීතයේදී ‍තේ ආදී නිෂ්පාදිත පටවා ගන්න භාවිතා වුණු ඒවා.

 

Tuesday, January 5, 2016

නාගරීකරනය

මහාචාර්ය ගංගානාත් දිසානායකගේ පැණි වළලු 3 සම්පූර්ණයෙන් වගේ කියලා ඉවර කළා. ඉතාම රසවත් සහ හෘදයාංගම ලියවිල්ලක්. ටික දවසක් නිකන් ඉන්න එක කම්මැලියි. ඒත් එක වෙලාවකට හිතෙනවා ඇයි මෙච්චර වැඩ වැඩි කන්තෝරුවක වැඩ කරන්න තෝරා ගත්තේ කියළා. කූල් එකේ ඉන්න පුළුවන් තැන් කොච්චරවත් තියෙද්දිත්. අනික වැටුපෙත් වෙනසක් වෙන්නෙත් නැහැ වැඩි වන තැනුත් තියෙනවා. ඒත් ඒ වගේ තැනකට ගිහින් වැඩ කරද්දි වැඩ වැවෙයි.  ඒ හන්දා වැඩ හිතන තරම් අඩු වෙන එකක් නැහැ. අනික ඒක කොච්චර තෘප්තිමත් වෙයිද කියන එකත් ප්‍රශ්ණයක්. ඒ කියන්නේ දැන් තෘප්තිමත්  කියන එකද? මම හරියටම දන්නේ නැහැ. රටේ සිද්ධ වෙන දේවල් වල යම් මට්ටමක හෝ කොටස් කාරයෙක් වීමද රැකියාවේ තෘප්තිය?
පරන කන්තෝරුවේදි අතපසු වෙලා තිබුනු වැඩ කිහිපයක් අරන් ආවා කරන්න. හිමින් කරගෙන යනවා. ඒ අතරේ පත්තරේ ගිය ලිපියක් කියවූවහම ලිපියක් ලියන්න ඕනයි කියලා හිතුවා. බොහොම ටිකයි ලිව්වේ. එහෙම පටන් අරන් අත ඇර දාපු ලිපි බොහොමයි. බ්ලොග් එකේ ලියන දේවල් ගැන වුනත් වෙලාවකට හිතෙනවා so what කියලා. නිම් වළලු පො‍තේ ලියැවුණු දේත් කාලයක් ලියාගෙන බලාගෙන හිටියා නම් හිතෙයි සෝ වට් කියළා.


කොහොම වුනත් පත්තරේ තිබ්බ ලිපිය නාගරීකරණය ගැන. පරිපාලනමය සීමා නීර්ණය මත දැනට ලංකාවේ නාගරික ජනගහනය සියයට 18 යිලු. එත් නවීන ගනන් හැදීම් අනුව (චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගි කොට ගෙන) එය සියයට 47-48 ක් පමණ වේලු. ඒක ඇත්ත වෙන්න ඕනා. පසුගිය කාලෙදී ලංකාවේ අර්ධ නාගරීකරනය තදින් සිදුවුණු බව පේනවා. රිබන් ටයිප් එකෙන් තරමක් ඈත්වෙලා ජනාවාස පෙරිපරියට පෙනිටේට් වෙලා වගේ. නාගරීකරනය සංවර්ධනයට ධනාත්මකව සහසම්බන්ධ බව ලිපියේ කියවුණා. ඒ අනුව ක්‍රමයෙන් මුළු රටම නාගරීකරනය කරන්නද අපි යන්නේ. ආර්ථිකයක නාගරික අංශයට සහ ග්‍රාමීය අංශයට පැවරනු නිශ්චිත කාර්යභාරයක් තියනවා. උදාහරනයක් හැටියට සිංගප්පූරුවේ ආර්ථිකය තුළ ග්‍රාමීය අංශයට කාර්යභාරයක් නැහැ. ග්‍රාමීය අංශය මූලිකවම නියෝජනය කරන්නේ ආර්ථිකයේ ප්‍රාථමික අංශයයි. සරළවම ගත්තහම මහපොලවට සෘජුවම (මම කලින් වැරදියට කියව්වේ ස්රුජුව කියා මගේ විශ්ව විද්‍යාල සිසුවියක තමයි මට ඉගැන්නුවේ එය ශබ්ද කරන්නේ රිජු ව කියා.) සම්බන්ධ සියළුම ක්‍රියාකාරකම් ප්‍රාථමික යයි සලකන්නට පුළුවන්. කෘෂිකර්මය, පතල් කැනීම හා ධිවර කර්මාන්තය ඒ අතරින් ප්‍රධානයි. ඒ අනුව දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රාථමක අංශයට හිමි තැන සලකන්න අවශ්‍යයි. කෘෂිකර්මාන්තය සැලකුවහම ලංකාවේ නම් සියයට 10 ක් විතර නියෝජනය කරනවා. අනෙක් රටවලත් දල දේශීය නිෂ්පාදිතයේ ආංශික සංයුතිය සහ නාගරික සහ ග්‍රාමීය ජනගහන ප්‍රතිශත සංසන්දනය කරලා බලන්න ඕනා. කොහොම වුනත් ක්‍රමවත් නාගරීකරනය සංවර්ධනයට ධනාත්මකව සහසම්බන්ධ බව හිතන්න පුළුවන්. ඒ අනුව අපටම ආවේනික මොඩලයක් හදා ගන්නට පුලුවන් වේවි. මගේ හිතේ මැවෙන්නේ ක්ලස්ටර් මොඩල් එකක්. අපේ අවේනිකතාව ඉතුරු වන. හැබැයි කාලයට අනුව පරිනාමනය නැත්නම් අනුගත වන්න පුළුවන්. කොහොම නමුත් මම කලිනුත් ලියා ඇති පරිදි ග්‍රාමීය අංශයේ ඵලදායිතාව වගේම එහි වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වයත් ඉහළ නංවන්න ඕනා.  

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...