Friday, November 15, 2013

රුක් අග ක‍්‍රීඩාව
රුසියාවේ ඉගෙන ගත් කාලේ කාලයක් තදින් ඇබ්බැහි වුණු  විනෝදාංශ අතරින් එකක් තමයි චෙස් ක‍්‍රීඩාව.  රුසියන් සිසුන් මෙන්ම විවිධ රටවල් වලින් පැමිණි සිසුන් සමග චෙස් ඇදීම බොහොම ආශ්වාදජනක දෙයක්. එක අතකින් එක් එක් ජාතීනට ආවේණික සීතීමේ ක‍්‍රමවල ඇති වෙනස්කම් බලා ගන්නට මෙය හොඳ අවස්ථාවක්.  අනෙක් අතට සටනේ උද්වේගකර අවස්ථාවල එක් එක් පුද්ගලයින් ප‍්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යනය කරන්නත් කෙනෙකුට මෙය යොදා ගන්න පුළුවන්.  චෙස් ඇදීමෙන් යම් තරමකට තෙම්පරාදු වුනහම අපේ රුසියන් සගයෙක් යෝජනා කළා නගරයේ ඇති චෙස් අදින මහජන උද්‍යානයට ගොස් අපේ දක්ෂතා උරගා බැලීමට.

අපේ චෙස් කට්ටල එහෙම ලක ලැහැස්ති කරගෙන එක් හැන්දෑවක අපි ගියා අපේ මිතුරා කිව් උද්‍යානය වෙත. එහි එක් වීදියක් දිගට මැදින් තණකොළ වවලා මල් පඳුරු සිටවලා තිබුණා. ඒ අතරින් චෙස් ඇදීම සඳහා පහසු විදිහට සිමෙන්තියෙන් නිම කරපු කුඩා මේස සහ පුටු දිගටම තබා තිබුණා. නොයෙකුත් වයස් කාණ්ඩ වල - ළමයින්, තරුණයන්, මැදිවියේ අය සහ මහලු අයත් ඒ අතර සිටියා චෙස්, දාම් සහ ඒ වගේ තවත් නොයෙකුත් ක‍්‍රීඩා කරමින් වැඬේට බහින්නට පෙර ක‍්‍රීඩාව කෙරෙන ආකරය දෙස අපි විමසිල්ලෙන් බැලුවේ ක‍්‍රීඩකයන්ගේ මට්ටම පිළිබඳ අදහසක් ලබා ගැනීමට. ඇත්ත වශයෙන් කිව්වොත් ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුද්ධයක්. කිසියම් කෙනෙක් ඒ තරම් වේගයෙන් චෙස් ක‍්‍රීඩා කරනවා මම ඊට පෙර දැක නැහැ. චෙස් ඉත්තන් ගේ ස්ථාන වෙනස්වීම් පිළිබඳව සිතන්නට හෝ වේලාවක් නැත්තේ ඒ තරම් වේගයෙන් වෙනස්කම් සිදුකෙරෙන හන්දා. අහල පහළ තිබුණු හැම පෙතකින්ම අපට ඇහුණේ ටක්.. ටක්.. ටක්.. යනුවෙන් වේගයෙන් ඉත්තන් කොටු හරහා ගමන් කරන හඬ. එත් එක්කම අපි තීරණය කළේ එහි ගොස් ක‍්‍රීඩා කිරීමට පෙර අප තවත් බොහෝ දුරක් චෙස් ක‍්‍රීඩාව ප‍්‍රගුණ කළ යුතු බව.     

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...