Monday, November 25, 2013

Les Miserables

රුසියාවේ විශ්ව විද්‍යාලේ දෙවන වසරෙදි මම ෆැකල්ටිය මාරු කළා ඇග්‍රොනමි (Agronomy) වල ඉඳන් Plant Protection වලට. ඒක තරමක රැඩිකල් තීරණයක්, ඇග්‍රොනමි පීඨය කියන්නෙ සාමාන්‍ය එහෙම නැත්නම් general කෘෂි විද්‍යාව ඉගෙන ගන්නා පීඨය. Plant Protection ෆැකල්ටියේ මූලික වශයෙන් ඉගෙන ගන්නේ ශාක ව්‍යාධිවේදය, කෘමි විද්‍යාව සහ කෘෂිකර්ම රසායන විද්‍යාව. පාසලේ උගත් කාලේ සිහිනයක් වුණු ජීව විද්‍යාඥයකු වීමට ඒ හරහා කිට්ටු වෙන්නට පුළුවන් බව මට තේරුණා. මෙම විෂයන් අතුරින් මගේ ප‍්‍රියතම විෂය වුණේ  ශාක ව්‍යාධිවේදය. අපිට තුන්වන වසරේ මෙම විෂය උගැන්වූයේ ඒ වසරේ දී විශ‍්‍රාම ගැනීමට නියමිතව සිටි කථිකාචාරිනියක්. ඇයගේ දැනුම මදක් පැරණි වුවත් විෂයය පිළිබඳ මනා දැනුමකින්  යුක්ත වූවා. ඇය කොමියුනිස්ට් පක්ෂයේ මූලධර්ම තදින් ඇදහූ අයෙක්. මේ විෂයේදී දේශන, ප‍්‍රයෝගික පංති වගේම තෝරාගත් ව්‍යාධියක් පිළිබඳව එහි ජීව විද්‍යාව, හානි සහ වැළැක්වීමේ ක‍්‍රම පිළිබඳව නිබන්ධ - Course Work  කිහිපයක් ද කරන්නට සිදුවෙනවා.  ඒ වගේ නිබන්ධයක් සාර්ථකව කරන්නට  නම් විෂයය පිළිබඳ හොඳ දැනීමක් වගේම භාෂාව හැසිරවීම හොඳින් කරන්නට අවශ්‍යයි. මා ලිවූ නිබන්ධය පිළිබඳ කරුණු සහිත මූලාශ‍්‍ර අපේ පුස්තකාලයේ සොයා ගන්නට බැරි වූ අවස්ථා වල මම නගරයේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වල පුස්තකාල පීරුවා.

වරක් මගේ නිබන්ධනය පරීක්ෂා කරපු කථිකාචාර්ය වරයා ඇසුවේ රුසියන්කාරයෙක් තරමටම ඔබේ රුසියන් භාෂා දැනුම හොඳයි කියා ඔප්පු කරන්නද ඔබ උත්සාහ කරන්නේ කියා. එහෙම ඇහුවේ මම කොපිකර ඇතැයි ඔහු සැක කල නිසා. මේ අයුරින් ඉතා හොඳ ලකුණු අරන් අවසාන විභාගයට ගියත් මට විභාගයට පෙනී සිටින්නට අවසර ලැබුණේ නැහැ. එයට හේතුව දේශන කිහිපයක් සහ ප‍්‍රායෝගික පංති කිහිපයකට මා සහභාගී වී නොතිබීම. ඒ අනුව අනෙක් සිසුන් විභාගය අවසන් කිරීමෙන් පසුව මා වැනි පාඩම් අතපසු කල අයට ඒ ඒ පාඩමට අනුව පාඩම් දෙන්නට සිදුවුණා. එහිදී සිදුවන්නේ ආචාර්යවරයකු විසින් අප විසින් අතපසු කල එක් එක් පාඩම ගෙන ඒ පිළිබඳ න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම පරීක්ෂා කිරීමයි. මේ අයුරින් සියලු මග හැරැණු පාඩම් නැවත දීලා අපිට විභාගයට එන්න දිනයක් ලැබුණා.

විභාගය පැවැත්වුණේ වාචික පරීක්ෂණ ක‍්‍රමයට. එක් එක්කෙනාට ලැබුණු ප‍්‍රශ්න පත‍්‍රයට ඇති තරම් කාලය අරන් පිළිතුරු ලියලා වාචිකව එය ආචාර්යවරයාට ඉදිරිපත් කරන්න  ඕනා, අවශ්‍ය විට රූපසටහන් හෝ ගණිත සූත‍්‍ර ආදියද ඉදිරිපත් කරමින්. අපි ලබා දෙන පිළිතුරු අනුව 1 සිට 5 දක්වා වූ පරිමාණයකින් ලකුණු  ලබා දුන්නා.  5 - විශිෂ්ට, 4- හොඳයි , 3- සතුටුදායකයි, 2- අසතුටුදායකයි (නැවත විභාගය සඳහා පෙනීසිටිය යුතුයි) සහ 1- ඉතා අසතුටුදායකයි (සාමාන්‍යයෙන් නොයෙදේ) වශයෙන්.

අතේ ඇඟිලි පහ වගේ දන්න මේ විෂය සම්බන්ධ  ඕනම ප‍්‍රශ්නයක් මට අභියෝගයක් වුණේ නැහැ. මම විනාඩි හතළිස් පහක් යන්නට පෙර සියලුම ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලියා වාචික පරීක්ෂණයට පළමුවෙන්ම ඉදිරිපත් වුණේ ඉතා විශ්වාසයෙන්. සියලුම ප‍්‍රශ්න සඳහා ඉතා සාර්ථක ලෙස පිළිතුරු දීමෙන් අනතුරුව ප‍්‍රශ්න පත‍්‍රයේ නොතිබූ අමතර ප‍්‍රශ්නයක් ඇසීම සිරිතක්. එයටත් සාර්ථක ලෙස පිළිතුරු දෙන්නට මට හැකිවුණා. අපට ඒ අවස්ථාවෙම අපේ වාර්තා පොතට ලකුණු ලබා දෙන ක‍්‍රමයක් තමයි තිබුණේ. මට හිමි ලකුණු සටහන් කරන්නට පෙර අපේ වැඩිමහලු කථිකාචාර්යවරිය මට පැවසුවා මට ලබාදෙන්නේ හොඳ සමාර්ථයක්  - එනම් හතරක් බව. මා පෙරළා ඇසුවේ මා අසතුටුදායක ලෙස ප‍්‍රශ්න පත‍්‍රයට උත්තර දුන්නාද යන වග. ඈ පැවසුවේ ඒ පිළිබඳ කිසිදු සැකයක් හෝ මගේ විෂය දැනුම පිළිබඳව කිසිදු සැකයක් නැති බව. එසේ නම් විශිෂ්ට සාමාර්ථයක් මට හිමිවිය යුතු බව මා තර්ක කළා. ඇය කීවේ මා නියමිත කාලයට විභාගය නොදුන් නිසා මට හොඳ සමාර්ථයක් පමණක් දිය හැකි බවයි. මෙය අසාධාරණ බවත්  විභාගයක් යනු සිසුන්ගේ දැනුම මිස විනය මනින මිනුම් දණ්ඩක් නොවිය යුතු බව මා පෙන්වා දුන්නා. ඈ කීවේ තරුණයා ඒ ඔබේ රටේ ක‍්‍රමය වෙන්න ඇති නමුත් මේ අපේ සෝවියට් ක‍්‍රමයකියා.

එහෙත් මගේ විෂය දැනුම අගය කිරීමක් හැටියට ඇය එක් යෝජනාවක් කළා. ඒ තමයි මේ වර විභාගයට අසතුටුදායක ගේ‍්‍රඩයක් (2 ක්) ලබා දීමට සහ පීඨාධිපතිගේ අවසරය ඇතිව වහාම, ඒ මොහොතේම  නැවත විභාගයට පෙනී සිටින්නේ නම් ප‍්‍රශ්න පත‍්‍රයකට උත්තර දීමකින් තොරව මට විශිෂ්ට (5 ක්) ගේ‍්‍රඩයක් ලබාදෙන බව. ඒ දක්වා කිසිදු විභාගයක් අසමත් වී නොසිටි මම එයට අකමැතිවූවාක් මෙන්ම තරුණ වයසේ සිටි මගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාමට එය හේතු වුණා. වහා මගේ ශිෂ්‍ය වාර්තා පොත ඇයට ඉදිරිපත් කොට කරුණාකර මට ලකුණු හතරක් දමා මා පිටත් කරන ලෙස ඉල්ලා සිටියා. ඇය නොපැකිලව ඒ ඉල්ලීම ඉටු කළා.

මේ සිද්ධියෙන් ශාක ව්‍යාධිවේද දෙපාර්තමේන්තුව ගැන මා තදින් කලකිරුණා. අවසාන වසරේ පර්යේෂණ තුළින් ලිවිය යුතු තීසිසිය සඳහා එම දෙපාර්තමේන්තුව තෝරා ගෙන සිටියත් වහා එය වෙනස් කොට මා එතරම් දක්ෂ නොවූ කෘමි විද්‍යාව වෙත මාරු වුණා. එය මගේ සමස්ත විභාග ප‍්‍රතිඵල වලට පමණක් නොවේ මුළු ජීවිතයේ ඉදිරිගමන සෑහෙන දුරකට වෙනස් කරන්නට එය හේතු වුණ බවයි මගේ විශ්වාසය.


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...