Monday, November 18, 2013

Global Action local reaction

ගාල්ල කියන්නේ ලංකාවේ නගර අතුරින් වැඩි අනන්‍යතාවයකින් යුතු නගරයක්. පුංචි කාලේ ගාල්ලේ යද්දිත් ඒ අනන්‍යතාවය හොඳින් දකින්නට පුළුවන් වුණා. කොළඔ පැත්තේ ඉඳන් ගාලු පාර දිගේ යනවිට, ආලේප කරන ලද හුණුවල මුහුදු සුළං වැදී, අවපැහැ ගැන්වුණු බිත්ති වලින් යුතූ, මුහුද අද්දර පිහිටි නිවාස වල මලානික පෙනුමත් එක්ක ඇතිවන කනස්සලු හැඟීමෙන් යුතුව ගාල්ල ටවුමට ඇතුළුවන විට දර්ශනය වන ගාලු කොටුවේ ප‍්‍රතාපවත් බවෙන් සිත යළිත් ප‍්‍රබෝධමත් වෙනවා. ඒ දිනවල ගාල්ලේ තිබුණු ලංගම බස් වලට පවා අනන්‍යතාවයක් තිබූ බවයි මට මතක. එනම් ඉදිරිපස පාපුවරුව නිර්මාණය කොට තිබුණේ වෙනස් ආකාරයකට. ඒ වගේම ගාල්ල නිජබිම කරගත් අපේ නෑදෑයින්ගේ බස් වහරේ පැවති අනන්‍යතාවයත් ඊට හේතු වන්න ඇති.

ගාල්ල ලංකාවේ අගනගරය වන්නට ඉහළ විභවතාවයකින් යුතුවූ නගරයක්  වූ බව මා අසා තිබෙනවා. අද කොළඔ අවට ප‍්‍රදේශවලට විවිධ අංශ වලින් හිමිවී ඇති ප‍්‍රමුඛතාව එදා තිබුණේ ගාල්ලට බව සිතන්නට කාරණා තිබෙනවා. කාලයක් යනතුරු ලංකාව ජාත්‍යන්තරයට සම්බන්ධවන දොරටුව වුණේ ගාල්ල. යුරෝපයේ සිට පෙරදිගට යන නෞකා සඳහා දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් වරායෙන් පස්සේ මුලින්ම හමුවන වරාය ලෙස ගාල්ලට හිමි වුණේ ලෝකයේ නාවුක සිතියමේ වැදගත් තැනක්. ඒ දිනවල නැව් වලට ආහාර, ජලය සහ ගල් අඟුරු සැපයීම සඳහා ගාල්ල වැදගත් වන්නට ඇති.  ඕල්කට් තුමා වගේම ලංකාවට එකල පැමිණි විදේශිකයින් බොහොමයක් ගොඩබැස්සේ ගාල්ලේ වරායෙන්. ඉතාලි රැකියා සඳහා පසු කලක ලංකාවේ විවිධ පළාත් නම් දැරූවත් මුලින්ම ඒ සඳහා පිරිසක් ගියේ ගාල්ලෙන්. මේ ආදී කරුණු බොහොමයක් ගෙනහැර පාන්නට පුළුවන්. කොහොම වුණත් ගාල්ලට තිබුණු මේ ප‍්‍රමුඛතාවය හීනවී ගියේ මා අසා ඇති විදිහට මූලිකවම අභ්‍යන්තර සාධකයක් මත නොවෙයි. ඒකට හේතුව තමයි ඊජිප්තුව විසින් 1869 දී සූවස් ඇල විවෘත කිරීම. එහෙම වුණේ කොහොමද කියලා හිතාගන්නට අද ජාත්‍යන්තරය නැව් මාර්ග ගැන සලකා බැලුවහම කෙනෙකුට අපහසු නැහැ.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...