Monday, November 4, 2013

කාලය මැවු වෙනසක අරුමේ
ගමේ පාසලේ ඉගෙන ගත්තු කාලේ ඒ පාසලේ ළමුන් අතරින් වෙනත් ගමකින් පාසල් පැමිණි එකම ශිෂ්‍යයා මම බවයි මට මතක. මම ඒ පාසලට ඇතුළත් වන්නට හේතු වුණේ අපේ අම්මා කලක් එම පාසලේ උගන්වපු හන්දා. පසු කාලීනව අම්මා වෙනත් පාසලකට මාරුවී ගියත් පහේ පංතිය දක්වා ඒ ඉස්කොලෙට මම ගියා. අපේ පාසලේ පංති තිබුණේ අට ශ්‍රේණිය දක්වා පමණයි. ඊට පසුව අල්ලපු ගමේ - පොකුණුවිට - තිබුණු ඉස්කෝලෙට නැතිනම් හොරණ ඇති ඉස්කොලෙකට යන්න වෙනවා. අටේ පංතිය පාස් කරන ළමයින්ගෙන් වැඩි දෙනෙකුගේ තේරීම වුණේ මොකක්දැයි මට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. කොහොම වුණත් ආර්ථික අපහසුතා ඇතුළු විවිධ හේතු මත කිලෝමීටර දෙකතුනක් ඈතින් පිහිටි හොරණ නගරයේ පිහිටි ජනප‍්‍රිය පාසලකට හෝඩියේ පංතියේදී ඇතුළත් වීමට වරම් නොලැබූ ඔවුන්ගෙන් බහුතරය අටේ පංතියෙන් පස්සේ හොරණ පාසල් වලට ඇතුල්වුණාය කියලා හිතන්න අමාරුයි. 
ඒ කාලේ අද වගේ නොවෙයි. වටපිටාවේ සිදුවුණු කුඩා සිද්ධියක් වුනත් හැමෝම අතරේ ඉක්මනින් ප‍්‍රචාරය වුණා. විශේෂයෙනම අපිට අරුම පුදුම හැටියට පෙනුණ දේවල්. උදාහරණයක් හැටියට පොකුණුවිටට සර්කස් වීරවිජය ආවාහම දින ගණනක් යනකම් හැමෝම කතා කළේ ඒ ගැන. එහෙම නැත්නම් වෙසක් එකට හොරණ විද්‍යාරත්නයේ සත්සතිය නිර්මාණය කරලා එහි   හයවන සතියේ මුචලින්ද නාගයා විසින් බුදුහාමුදුරුවන් වැස්සෙන් ආරක්ෂා කරනවා පෙන්වන්නට කෘත‍්‍රිම වැස්සක් නිර්මානය කිරීම පිළිබඳ ආරංචිය කොල්ලන් අතර පැතිරගියේ විදුලි වේගෙන්. සමහරවිට හොරණ අශෝකා සිනමා ශාලාවේ පෙන්වපු චිත‍්‍රපට වල තිබූ සටන් පිළිබඳවත් මේ වගේ ආරංචි පැතිර ගියා.
හයේ පංතියට යන විට මේ පාසලෙන් අස්වෙලා කොළඹ ඉස්කෝලෙකට එන එක එක පැත්තකින් දුකක් වුනේ මගේ පළමු පාසලේ සිටි යහළුවන්ගෙන් වෙන්වීමට සිදුවීම නිසා. අපේ පංතියේ සිටි යහළුවන් බොහෝ දෙනෙක් සමග ඒ තරමටම සමීප සම්බන්ධතාවක් තිබුනේ. විශේෂයෙන් වාර විභාග පැවැත්වෙන කාලයට පාසල කළින් ඇරුනහම යාළුවන්ගේ ගෙවල් වලට සහ ගමේ වෙල් එළියේ, කුඩා කඳුගැටවල සහ කැලෑවල ඇවිදින්න අපට කාලය තිබුණා. ඒ ගමන් වලදී මට තෑගි හැටියට ලැබුණේ ඉත්තෑකූරු, කුරුලු පිහාටු වගේ දේවල් සහ බුලත්හපයන් සහ ගප්පින් වගේ මාළු. වඩාත් වටිනා තෑග්ගක් ලෙස ලැබුණු හා පැටවුන් තුන්දෙනා ගෙනා පෙට්ටියේම දමා ආපසු ගෙනයන්නට සිද්ද වුනේ ගෙදරින් එල්ල වුණු බලවත් විරෝධය හේතුවෙන්. පාසලින් අස්වී යන දවසේ අළුත් ඉස්කෝලේ වාර විභාග ඉවරවී විරාමයක් ලැබුණුවිට ඇවිත් යන්න පොරොන්දුවෙමින් තමයි මම සමුගත්තේ. එහෙත් එදා මෙදාතුර පාසල පසු කර අනේකවාරයක් එහා මෙහා ගොස් ඇතත් කිසි දිනක පාසලට ගොඩවෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. එක හේතුවක් තමයි බොහෝ විට එවැනි දවස් පාසල් නිවාඩු දවස්වීම.
මෑත දිනකදී පාසල පසුකරගෙන යනවිට මට මතක්වුණේ මගේ පරණ යහළුවන්. පාසල නිවාඩු හන්දා වහලා තිබුණත් යහළුවන්ගේ නිවෙස් වලට ගොඩවදින්නට ඉන් බාධාවක් නැති බව මට කලින් කල්පනා නොවුණු හැටි. පාසලට කිට්ටුවෙන් සිටි යහළුවකුගේ ගෙදරට ගියත් ඔහු ගෙදර සිටියේ නැහැ. ඔහුගේ වැඩිමහල් සහෝදරියට මා හඳුනාගැනීමට බැරිවුණා පමණක් නොවෙයි හඳුනා ගන්නට අවශ්‍යතාවයක් තිබුනෙත් නැහැ. අපි පුංචි කාලේ ඒ ගමේ මිනිස්සු අතර තිබුණු ලෙන්ගතුකම, සරලකම කොහේදෝ ගිහින් කියන එක මට තේරුණා. සමහරවිට ජීවිතයේ  නොයෙකුත් කරදර බාධක අතර අර ගුණාංග සැඟව යන්නට ඇති. මම ආපසු ආවේ මිතුරාගේ දුරකථන අංකය ලබාගෙන. කොහොම වුණත් ඒකෙනුත් වැඩි ප‍්‍රයෝජනයක් ඇති නොවන බව මට ඒ වනකොටත් වැටහී ගොස් තිබුණේ. දින කිහිපයකට පසු එම අංකයට ඇමතුවත් මම සිතුවාසේම මට ලැබුණේ බොහොම ගොරහැඩි ප‍්‍රතිචාරයක්.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...