Tuesday, November 12, 2013

බිත්ති කඩදාසි
බොහෝ බටහිර රටවල කරනවා වාගේම රුසියාවේ ඉගෙන ගත් කාලේ අපේ කාමර වල තීන්ත ආලේප කරනවා වෙනුවට බිත්ති කඩදාසි ඇලවීම කළා. සීත සෘතුවේදී කාමර වල උණුසුම පවත්වා ගන්නත් එය උපකාරී වුණා. විවිධ වර්ණ සහ මෝස්තර වලින් ලබා ගැනීමට හැකිවීමත් එහි වාසියක්. අවුරුදු කිහිපයක් ගියහම බිත්ති කඩදාසි කිලුටු වෙලා නැවත අලුත් කඩදාසි අලවන්න සිදුවෙනවා. අපේ කාමරයේ බිත්ති කිලුටු වෙලා තිබුණු හන්දා අලුතින් කඩදාස අලවන්න අපි තීරණය කළා. පළමුවෙන්ම මාර්කට් එකට ගිහිල්ලා ගැලපෙන බිත්ති කඩදාසි අරගෙන ආවා. තරමක් මිල වැඩි වුණත් වෙළඳහල් වල තිබෙන බිත්ති කඩදාසි වලට වඩා තත්ත්වයෙන් උසස් ඒවා මාර්කට් එකෙන් මිලදී ගන්න පුළුවන් වුණා. එහිදී ප‍්‍රමාණය පිළිබඳ මිනුම් ආදිය කරන්න අපේ රුසියන් සගයෙක් අපට මග පෙන්වූවා.
ඊළඟට ඇලවීමේ කාරිය. එහිදීත් අප රුසියන් මිත්‍රයාගේ මග පෙන්වීම අපට ලැබුණා පමණක් නොවේ සම්පූර්ණයෙන්ම වැඩය ඉවර වන තුරුම ඔහු අපට උදව් කළා. බිත්ති කඩදාසි ඇලවීම වෙනමම උගත යුතු කලාවක්. එහිදී අනුගමනය කළයුතු විශේෂ වත් පිළිවෙත් තියෙනවා. ඒවා නොසලකා හැරියොත් කාර්යය සාර්ථක වන්නේ නැහැ. පළමුවෙන්ම අලවන පාප්පය සාදා ගැනීම. ඒ සඳහා පාන්පිටි පාවිච්චි කරන්න පුළුවන් වුණත් ඒ සඳහාම සකස් කළ වෙළළින්  මිලදී ගතහැකි ගම් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මොනවා පාවිච්චි කළත් එම මිශ‍්‍රණයේ පදම වැඩිය උකු නොවන්නත් පමණට දියාරු වන්නත් සකසා ගැනීම වැදගත්. ඒකට යම් අතේ හුරුවක් තිබීම අවශ්‍යයි. කඩදාසි ඇලවීමට පෙර බිත්ති පිරිසිදු කරගැනීම වැදගත් වගේම බිත්ති මතුපිට සුමටව සහ පමණට වියළිව ඇතිදැයි පරීක්ෂා කළ යුතුයි. කඩදාසි අලවන කාලය තුළ සහ ඊට පසු යම් වේලාවක් යනතුරුත් කාමරය හැකිතරම් දුරට පිටින් එන උණුසුම් හෝ සිසිල් වාතයට නිරාවරණය නොවන ලෙස වසා තැබීම වැදගත්. කඩදාසි අලවන විට බිත්තියට සහ කඩදාසියට අතරින් වායු බුබුළු ඇති නොවීමට වග බලාගත යුතුයි. මෙකී නොකී වත් පිළවෙත් අනුගමනය කිරීමෙන් බිත්ති කඩදාසි ඇලවීම සාර්ථකව කරගන්නට පුළුවන්.
මේ සම්බන්ධයෙන් අපේ රුසියන් සගයත්, මමත්, තවත් අත්උදව් කාරයින් කිහිපදෙනෙකුත් කොයිතරම් විශේෂඥයින් වුණාද කියනවා නම්, රුසියන් මිතුරන්ගේ කාමරවල කඩදාසි ඇලවීම සඳහා පවා අපට ඇනවුම් ලැබුණා. ඒ සඳහා අප අය කළේ වොඞ්කා බෝතල දෙකක ගාස්තුවක් පමණයි. සාමාන්‍යයෙන් හවස පහට හයට පටන් ගන්නා කඩදාසි ඇලවීම ඉවරවෙන්නේ රෑ එකට දෙකට පමණ. අපේ නීතිය අනුව වැඩෙන් හතරෙන් තුනක්වත් නිමවෙන්න කලින් මීවිත රහබැලීම තහනම්. ඒවන කොට කඩදාසි ඇලවීමෙ අමාරු කොටස්, ඒ කියන්නේ ජනෙල්, දොරවල්, බිත්ති කබඞ් වගේ දේවල් ඇති තැන් අලවලා ඉවරකර ගතයුතුයි. හැබැයි ඊට පස්සේ අර අපට ගාස්තුව වශයෙන් ලැබුණු වොඞ්කා බෝතල දෙක පමණක් නොවෙයි අපි ළඟ තිබූ බෝතල් දෙක තුනක් විතර ඉවර වුණු අවස්ථාද තිබුණා. ඒක රඳා පවතින්නේ ඒ වෙලාවෙදි එකතුවන සමාගමයේ සංඛ්‍යාව සහ සංයුතිය අනුව. හොඳින් කාමරයක කඩදාසි අලවලා ඉවරවුනහම සිතට දැනේනනේ පුදුමාකාර සතුටක්. එය වෘත්තීයමය සතුටක් කිව්වොත් නිවැරදියි. ඒ අනුව මෙය ඉතාම ආශ්වාදජනක ක‍්‍රියාවක් වුණ බව නොකියා බැහැ.
මේ අතර අපේ එක් මැදපෙරදිග මිතුරකුගේ කාමරයේ කඩදාසි ඇලවීමට ඔහුට අවශ්‍ය වුණා. මිතුරන් ඔහුට කියා තිබුණේ අපේ කණ්ඩායමට එය බාර දෙන හැටියට. තරමක පන්ඩිතයකු වූ අපේ මිතුරා කියා තිබූනේ එයට විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවන බවත් ඔවුනට එය පහසුවෙන් කර ගැනීමට පුළුවන් බවත්. ඒ ගැන මගේ අමනාපයක් නොවූ හන්දා රෑ දහයට පමණ ප‍්‍රගතිය බැලීම සඳහා මම ඔවුනගේ කාමරයට ගොඩවුණා. එහිදී මා දැක්කේ මා කලින් කියූ වත් පිළිවෙත් සියල්ලම පාහේ නොසලකා හැර ඇතිබව. එම නිසා මුවෙන් නොබැණ එතනින් ඉවත් වන්නට මට සිදුවුණා. සාර්ථකව කඩදාසි අලවා අවසන් කළ නිසා අපේ මිතුරා සිටියේ ප‍්‍රීතියෙන්. පසුවදා ඔහු ඒ වෙනුවෙන් සාදයක්ද සංවිධානය කළා.  
අපේ යාලුවාගේ ප‍්‍රීතියට යම් බාධාවක් දින කිහිපයකින් සිද්ධ වුණා. එනම් අලුතෙන් කඩදාසි අලවපු බිත්තියෙන් සර සර හඬක් මතු වීමයි. මේ හඬ එන්න එන්නම වැඩිවුණා. දින කිහිපයකින් තත්ත්වය තවත් භයානක වුණා. එනම් කඩදාසි ආස්තරණය බිත්තියෙන් සම්පූර්ණයෙන්ම ගැලවී බිත්තියෙන් වෙන්වීමයි. එහෙත් කඩදාසි වෙන් නොවී දෙවන බිත්තියක් නැත්නම් කබොලක් ලෙස එය පැවතුණා. ප‍්‍රධාන ප‍්‍රශ්ණය නම් එය රැළිවැටී ඇදකුදවී තිබීමයි. එවිට අපේ මිතුරාගේ කාමරය පැරණි බලකොටුවක තිබූ ගොරහැඩි බිත්ති වලින් යුතු ගුහාවක් ලෙස දිස්වුණා. පසුව ඔහු එයට ප‍්‍රිය කරන්නට පටන්ගත් නිසාදෝ ඔහු එම කාමරයේ සිටියතාක් කල් අර කබොළ ඒ විදියටම තිබුණා. ප‍්‍රිය සාද ආදිය පැවතුණු විට මිතුරන් ඇඟිල්ලෙන් හෝ පෑනකින් ඇන අර කබොළ සිදුරුකොට සිනාසුනවිට ඔහුත් එයට එක්වී සිනාසෙන්නට අපේ මිත‍්‍රයා පසුව පුරුදුවුණා.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...