Sunday, November 10, 2013

වැව් බැඳි රටේදී
අනුරාධපුරයේ රාජකාරී කරන්නට ලැබීම කෙනෙකුට වාසනාවක්. එක පැත්තකින් එය පැරණි රාජධානියක් වගේම අගනුවරක්. අනෙක් පැත්තෙන් තවමත් ජීවමානව ඇති අති විශිෂ්ට වාරි ශිෂ්ටාචාරය ඇසුරු කරන්න ලැබෙන එක විශේෂයෙන් තෙත් කලාපේ මුල් බැස ගත් කෙනෙකුට හැබෑම වාසනාවක්. 1997 අවුරුද්දේදී මම අනුරාධපුරයේ වැඩ කරන්න මාරුවීමක් ඉල්ලා සිටින විට සාමාන්‍යයෙන් රැඩිකල් අදහස් දරන අපේ තාත්තා පවා ඊට කැමති වුණේ නැහැ. එක පැත්තකින් ත‍්‍රස්තවාදී කලබල අනෙක් පැත්තෙන් කොළඹින් ඈත දුෂ්කර පළාතක් වීම. කොහොම නමුත් අනුරාධපුරයේ ගතකරපු කාලේ ජීවිතයේ සුන්දර කාලයක්.
ඊට පෙර මම අනුරාධපුරයට ගොස් තිබුණේ වතාවක් හෝ දෙවතාවක් පමණයි. විදේශාධාර මත ක‍්‍රියාත්මක වූ ව්‍යාපෘතියක වාරිමාර්ග සංරචකය බාරව තමයි මට වැඩකරන්න තිබුණේ. මේ හන්දා මට නිතරම ක්ෂේත‍්‍රයට යන්නට සිදුවුණා. අගෝස්තු මාසේ දැඩි නියඟයත් එක්ක හමා එන වියළි සුළඟ හන්දා මගේ ඇස්වලින් නොනවත්වා කඳුළු ගලන්නට පටන් ගත්තා. වෛද්‍ය උපදෙස වුණේ අව් කණ්ණාඩියක් පාව්ච්චි කිරීම. කොහොම නමුත් මම සුමාන දෙක තුනක් යනකොට ඒ පරිසරයට හොඳින් අනුහුරු වූ හන්දා අව් කණ්ණඩිය ඉවත ඇම්මා.
අනුරාධපුරයේ වැව් පිහිටා තිබුණේ cascade ක‍්‍රමයට. ඒ කියන්නේ තනි වැව් වශයෙන් නොවෙයි වැව් පංති වශයෙන්.
මේ ක‍්‍රමයෙදි ඉහළින් පිහිටි කුඩා වැව් වලින් නික්මෙන ජලය ක‍්‍රමයෙන් විශාල වැව් වලට එකතුවෙනවා. මේ ක‍්‍රමය හන්දා පවතින ජලය ඉහළ කාර්යක්ෂමතාවයකින් භාවිතා කිරීමට හැකි වෙනවාට අමතරව එය පාංශු සංරක්ෂණ ක‍්‍රමයක්.  නොච්චියාගම පැත්තේ තිබුණු කැස්කේඩයක වැවක් හෝ දෙකක් තිබුණේ කැලය මැද. ඒ කියන්නේ ඒ වැව් යටතේ පෝෂිත ප‍්‍රදේශයක් (command area) වෙනත් වචන වලින් කියනවා නම් කුඹුරු නැහැ. අපි මුලින් හිතුවේ ඒ වැව් යටතේ වූ කුඹුරු පසුව වල්බිහිව ඇති බවයි. එහෙත් තවදුරටත් සොයා බැලීමේදී ඒවා ජලය රඳවා ගැනීමේ වැව් හැටියට හිතාමතා ඉදිකරපු ඒවා යැයි සිතන්නට කාරණා අපට හමුවුණා. කොහොම වුණත් කැස්කේඩය සම්පූර්ණයෙන් ප‍්‍රතිසංස්කරණය කරන අපේ ප‍්‍රවේශයට අනුව මෙම කුඹුරු නැති වැවුත් ප‍්‍රතිසංස්කරණය කරන්නට අපි තීරණය කළා. 
මේ වැව් ප‍්‍රතිසංස්කරණය කර දින කිහිපයක් ගතවෙද්දි කැලේ ඇති වැව් සාදා මහජන මුදල් නාස්ති කරන බව සඳහන් කරමින් ප‍්‍රවෘත්ති පත‍්‍රයක වාර්තාවක් පල වූණා. අදාළ වාර්තාකරු කැඳවා මේ සංකල්පය පැහැදිලිකර ප‍්‍රවෘත්තිය නිවැරදි කිරීම සඳහා මට සෑහෙන වෙහෙසක් ගන්න සිදුවුණා.
තවත් වතාවක් නටඹුන් වී අතැර දැමූ වැවක් නැවත ප‍්‍රතිසංස්කරණය කරන්න අදාළ ගමේ වැසියන්ගෙන් අපට ඉල්ලීමක් ලැබුණා. එම වැවේ වැව් කණ්ඩිය යම් පමණකට දක්නට තිබුණත් සොරොව්වක් එහෙම තිබුණේ නැහැ. කුඹුරු වල සලකුණු පමණක් තිබුණේ දීර්ඝ කාලයක් වගා නොකිරීමේ හේතුවෙන්. ඉංජිනේරු මහතෙක්ද ගමනට හවුල් කරගෙන අපි මේ වැව පරීක්ෂා කරන්නට ගිය ගමනෙන් පසු අපි යෝජනාවට එකඟ වුණා. ඒ ගමේ ගොවියන් බොහෝ දෙනෙක් ඉඩම් හිඟයෙන් පෙළුණු හන්දා යෝජනාවට අපි විශේෂ සැළකිල්ලක් දැක්වූවා. වැහි කාලයට පවා එහි වතුර රඳන්නේ නැත්තේ සොරොව් නොමැති නිසාත් මෙන්ම වෑකණ්ඩිය කැඞී බිඳී ගොස් ඇති නිසා බව ගැමියන් අපට පැවසුවා. ඒ සහභාගිත්ව සංවර්ධන සංකල්ප වලට සංවර්ධන වැඩවල ඉහළ තැනක් දී තිබූ කාලයක්. ඒ අනුව ඉක්මනින් සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කොට ඉදිකිරීම් නිම කළා.
ඊළඟට ආ මාස් කන්නේ වැස්සෙන් වැව පිරේ යැයි බලාපොරොත්තුවෙන් ඉඩම් කච්චේරියක් පැවැත්වීමට කටයුතු සූදානම් කළේ ගොවියන් තර ඉඩම් බෙදා දීමට.එම මාස් කන්නයට ඒ ප‍්‍රදේශයට ඇති තරම් වැස්ස වැටුණත් අපේ බලාපොරොත්තු සුන් කරමින් වැවට වතුර පිරීම සිදුවූයේ නැහැ.පසුව තේරුණු අන්දමට එක පැත්තකින් මානව ක‍්‍රියාකාරකම් ඇතුළු නොයෙකුත් සාධක බලපෑමෙන් වැවේ පෝෂක ප‍්‍රදේශය අවහිර වීම් වලට ලක්වී ඇති හන්දා වැවට ජලය එකතුවීම සීමිතයි. අනෙක් පැත්තෙන් වැව් පත්ලේ පසේ සිදුරුසහිත බව (porosity) වෙනස්වීම් හන්දා වැවේ වතුර නොරඳා පහළට කාන්දුවන ප‍්‍රමාණය වැඩිවෙලා. සරල පරීක්ෂණ කිහිපයකින් මේ සාධක පිළිබඳව අපට සොයාබලන්නට තිබුණා.
ඊට පසුව නම් අතහැර දැමූ වැවක් ප‍්‍රතිසංස්කරණය කරන්න යන විට විශේෂ සොයාබැලීම් කරන්න අපි පසුබට වුණේ නැහැ. ඒ හැම විටම පාහේ අපිට පෙනී ගිය දෙයක් තමයි වැවේ වතුර පිරීමේ හැකියාව හොඳින් ඇත්නම් එවැනි වැවක් කිසිදින පාළුවට එහෙම නැත්නම් අත්හැරී යන්නේ නැහැ කියන එක. හැබැයි අපට පාඩම ඉගෙන ගන්න රටේ මුදල් වලින් යම් කොටසක් නාස්ති කරන්නට සිදුවුණා.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...