Saturday, December 31, 2016

සුභ අළුත් අවුරුදු !!!

දෙසැම්බර් 31 වනදා උදේම මහ ගෙදර ට ගිහින් එන්න සැලසුම් කළේ. ඒත් තේ බීලා පත්තර එහෙම බලලා ඉවර වෙනකොට ගොඩගේ සමාගමෙන් කතා කළා. අළුත් පොතේ ISBN  අංකය 2016 වර්ෂයේ හන්දා පොත 31 ට ඉස්සර වෙලා out කරන්න අවශ්‍යයි කියලා කිව්වා. ඒ ගමන ආයි පාරක් මට මේල් කරලා තිබුණු පිටපතේ සෝදුපත් බලා දුන්නා. දැන් මේ කතාව පරිවර්තනය කර බොහෝ කලක් ගිහින් හන්දා ඒක ආසාව දැන් ගිහින්. මොනවා හරි කරලා ඉවර කරන්න තමයි හිතෙන්නේ. මට ඒ ගැන උනන්දුව තිබුණු කාලයේ සමාගම උනන්දු වුණේ පොත් ප්‍රදර්ශණයට සූදානම් වන්න.

‍ඒවා මේවා ඉවර වෙලා ගෙදර යනකොට හවස 3 යි. පුරුදු පරිදි පන්සලටත් ‍ගොඩවෙලා හාමුදුරුවන් සමග කයිවාරුවකුත් ගහලා ගෙදර එන්න පිටත් වුණා. මග දිගට හැම තැනම traffic අළුත් අවුරුද්දට ගෙවල් වලට බඩු ගන්න ජනතාව පාරට බැහැලා. පාරේ හැමතැනම රතිඤ්ඤා, නිලා ආකාස විකුණනවා. රෑ දොලහ වෙනකන් ඉදලා මේවා පත්තු කරන්න ඇති උනන්දුව හිතා ගන්න බැහැ. අද පලමුවනදා නිවාඩු දවසක් හන්දා බොහෝ දෙනෙක් රෑ වෙනකන් ඇහැරිලා ඉන්න ඇති. පිට රටවලත් බොහෝ දෙනා අළුත් අවුරුද්ද උදාවෙන සැණකෙලි බලන්න නගර වලට රැස් වෙනවා. හැමදාම මම කැමති ගෙදරට වෙලා නිස්කාන්සුවේ ඉන්න.


අපේ හිතමිත්‍ර ආචාර්ය ටියුඩර් වීරසිංහ ඊයේ පෙරේදා පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් කර තිබුණා. ඒකෙ හරය තමයි මාක්ස්වාදය, ජාතිවාදය (පැසිස්ට්වාදය) සහ ලිබරල්වාදය පසුගිය ශතවර්ෂයේ කලින් කළ ඉස්මතු වෙලා නැතිවී ගිය නැත්නම් යන බවයි. ඒ වගේ අවස්ථාවක අපේ රට බරපතල විදිහට ලිබරල්වාදයට නැඹුරුවන එක මොඩකමක් බව. ලිබරල්වාදය නැත්නම් නවලිබරල්වාදය මතවාදයක් හැටියට විවාදයට ලක්වී ඇතත් ආර්ථක න්‍යායක් හැටියට තවමත් ප්‍රතික්ෂේප වී නැති බවයි මගේ අදහස. කෙසේ නමුත් එය කළමනාකරනය කිරීම අවශ්‍යයි. ඒ රජයේ සෘජු මැදිහත්වීමෙන්ද නැත්නම් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් පමණක්ද යන්න වෙනම කාරනයක් සහ රටේ තිබෙන ආයතන වල මට්ටම අනුව තීරණය වන දෙයක්. 

Tuesday, December 20, 2016

දේශීයකරණය


පසුගිය සතියක පමණ කාලය දුරු රටක සිටින නෑදෑයන් දකින්නත්, පරණ යාලුකම් රෙපෙයාර් කර ගන්නත් වගේම අලුත් පරිසරයක ගත කරන්නත් අවස්ථාව ලැබුණා.  අද Daily Mirror පත්තරේ මුල් පිටුවේ  Sri Lankan maid leaves Singapore as a business women කියන ප්‍රවෘත්තියක් තිබුණා. ඒ වගේ කතා විරල වුනත් ඒ වගේ දිරිය කාන්තාවන් අප අතර ඉන්නවා. Singapore Airlines එකේ තිබෙන චිත්‍රපට අතරේත් සිංගප්පූරුව දියුණුවෙමින් පවතින කාලේ දරුවන් හතරදෙනෙක් එක්ක වැන්දඹුවක් වුනු දිරිය කාන්තාවකගේ කතාවක් තිබුණා. එහෙම පුංචි තැනකින් පටන් අරන් දුර ගමනක් යන එක කොයි කාලේ වුනත් ලෙහෙසි නැහැ. අපේ රටේ සිට මැදපෙරදිග housemaid ලා හැටියට යන අයගේ ජීවිත කොයිතරම් දුරට සාර්ථක වෙනවාද කියා සොයා බලන්න අවශ්‍යයි. හුක් අයට වෙන්නෙ සල්ලි වගේම තව තවත් දේවල් අතරේ අතරමං වීම.


ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන විදේශ ආයෝජන සමාගම් වල කටයුතු ගැන කෙරුණු කතා බහකදී අලුත් දෙයක් අහන්නට ලැබුණා. අපේ රටේ දැනට තියෙන සෘජු විදේශ ආයෝජන සමාගම් හුක් ආවේ අසූවේ නැත්නම් අනුවේ දශකයේ වෙන්න ඇති. ඒ කාලේ මේවායේ ආකර්ශනයට බලපෑවේ ලාබ ශ්‍රමයයි. එහෙත් තව දුරටත් අපේ රටේ සංපේක්ෂව ලාබ ශ්‍රමය සොයා ගන්නට බැහැ. එසේ නම් ඉහල ඵලදායිත්වයක් කාර්යක්ෂමතාවක් වගේම ඉහල තාක්ෂනය වගේ කාරනා මුල් කොට ගන්න අවශ්‍යයි. විදේශ ආයෝජන හරහා රැකියා වලට අමතරව ලැබෙන දේවල් තමයි තාක්ෂණය, තාක්ෂණික දැනුම, කලමණාකාරිත්වය වගේ දේවල්. ඒත් දැනගන්න ලැබුණු දේ තමයි ලංකාවට පැමිණි සමහර සමාගම් කාලය අනුව දියුණු වනවා වෙනුවට එකතැන පල්වෙමින් දවසින් දවස තම වපසරිය අඩුකරගනිමින් සිටින බව. ඒගොල්ලන්ගේ අපනයන අඩුවෙලා විතරක් නොවෙයි වෙළදපලවල් හුක් අහිමිකරගෙන. සමහර සමාගම් ලබා ගත්ත ඉඩමෙන් හතරෙන් එකයි දැන් භාවිතා වෙන්නේ. ඉතිරිය ඔහේ නිකන් තියෙනවා විතරක් නෙමෙයි වෙන කෙනෙකුට ප්‍රයෝජනයට ගන්නත් බැහැ. ඒකට කියන්න වෙන්නේ localization කියලා. නෙදර්ලන්තයේ ඉදන් පශ්චාත් උපාධිය කරලා ලංකාවට එනකොට කන්තොරුවේ නිලධාරින්ගේ වැඩ ඉබිගමනින් බව පෙනෙන්ට තිබුණා විතරක් නොවේ එය වේගවත් කරගන්න උත්සාහ කළා. එය කොයි තරම් සාර්ථක වුනාද කියන්න දන්නනේ නැහැ. මොකද ක්‍රමයෙන් අප කවුරුත් අඩු වැඩි වශයෙන් localize වෙන හන්දා. 

Sunday, November 20, 2016

towards export oriented economy????

විවිධ කාරනා උඩ සති අන්තය නිකන්ම ගෙවී ගියා. කාලෙකට ඉස්සර විශේෂයෙන්ම නෙදර්ලන්තෙ හිටපු කාලේ අපි පුරුදු වෙලා තිබුණේ සිකුරාදට have a nice weekend කියන්ට. ඉදහිට එහෙම දැනුත් කියන්නේ හෘදයාංගම කෙනෙක්ට. ඊයේ පෙරේදා දවසක ලෝක බැකුවේ වැඩ කරන තරුණ කාන්තාවකට එහෙම කිව්වහම ඈ කීවේ no no I am not going to disturb you over the weekend කියලා. මොකද ඇය මට නිතර පාහේ කතා කරනවා.

මගේ ලියවිලි ගැන මගේ සහෝදරයෙක් යම් කිසි අදහසක් කිව්වහම මට ඒක ගොඩක් වටිනවා. මම ලියන්නේ ඒ සතුටත් එක්ක. අපි දෙන්නම winter එකක ඇති පාලු අදුර වගෙම එහි සුන්දරත්වය ගැන සමාන අදහස් දරන බව මට වරෙක තේරුණා. ඒත් තවමත් කැමති මගේ ලියවිලි මොනොලොග් එකක් හැටියට යන එක. මාව කියවන සහෘදයන් කිහිප දෙනාත් ඒක තේරුම් ගත්ත එක ගැන තවත් සතුටුයි. කාරනා දෙකක් ගැන ලියන්න හිතා ගත්තේ. එකක් තමයි සමහර වෙලාවට ‘කැපවෙලා’ වැඩ කරන මහන්සියෙන් වැඩ කරන කෙනාට ස්වභාවධර්මය වුනත් සලකන බව. ගෙදර අතුගාන පිරිසිදු කරන (අඩු ගානේ උත්සාහ කරන) හෝ ඒහෙම නැත්නම් ඇග වෙහෙසා වැඩ කෙරෙන කෙනෙකුට අමුතුවෙන් fitness හදා ගන්න jogging කරන්න හෝ වෙනත් උපකරණ පාවිච්චි කරන්න අවශ්‍ය නෑ කියන එක. ඒකට වෙනම වියදමක් හෝ වෙලාවක් යන්නේ නෑ. උදේට කෑම හදද්දි මට ලූණු කපන්න සිද්ද වෙනවා. අතේ ලූනු සුවද සෑහෙන වෙලාවක් තියෙනවා. ඒත් සම්බෝල හදන්න දෙහි මිරිකන කොට ලූණු සුවද ඔක්කොම යනවා. ඒකත් ඒ වගේ.


අපේ රට විශාල export drive එකකට යන මාවතකට අපි අවතීර්ණ වෙළා ඉන්නේ. මම අපේ supper market එකකින් හාල් කිලෝ පහක බෑග් එකක් ගෙනාවා ඒකේ ගුල්ලෝ. ආර්ථික මධ්‍යස්ථානෙට ගිහින් බිත්තර ගන්න කොට මම තෝරලා ගන්නේ. බිත්තර වල තියෙන්න ඹ්න basic quality එක තමයි dung  නොගෑවුනු බව. කඩේ ‍මනුස්සයා මගෙන් අහනවා ඇයි පුංචි බිත්තර තෝරන්නේ කියා. මම කීවේ මම තෝරන්නේ පිරිසිදු බිත්තර මිසක් ප්‍රමාණය නොවේ කියළා. අද ගෙනාපු මුකුණුවැන්න මිටියේ තිබුණු දිලීර නැති වේලිච්ච නැති කොටස හොයා ගන්න පැය බාගයකට වැඩිය ගියා. Exercise එකක් තමයි. අපි පුංචි කාලේ අපේ ගමේ පොල් ලෙලි ගැහුවේ බංඩයියා කියළා වැඩිහිටියන් හැදුන්වූ ගැමියා විසින්. ඔහු විතරක් නොවේ ඒ දවස් වල හැමෝම පොල් ලෙලි ගැහුවේ ප්‍රමිතියකට. දැන් ලෙල්ල සම්පූර්ණයෙන් නොගහා බාගෙට ති‍යන්නේ පොල් ගෙඩිය ලොකුවට පේන්න. ඒකේ තවත් වාසි තියෙනවා. මම super market එකෙන් ගෙනාපු පොල් ගෙඩියත් කලටියක්. මොකද පොල් කට්ට පේන්නේ නැහැ. ජාත්‍යන්තරයට යන්න ඉස්සර වෙලා අපිට ගොඩක් ඇතුල හදා ගන්න සහ mind set එක වෙනස් කර ගන්න වෙයි. 

Monday, November 14, 2016

සමූපකාර


අදත් පෝය දවසක්. ඉල් පොහොය. සුදා ට පොහොය වැටුණු හන්දා තරමක හෝ විවේකයක් ලැබුණා. පසුගිය සෙනසුරාදා ගමේ ගිය වෙලාවේ පන්සලට ගොඩ වැදුනේ ලොකු හාමුදුරුවන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න ඇති කැමැත්ත හන්දා. අපි විවිධ මාතෘකා ගැන බොහෝවිට කතා කරනවා. එදා උන්වහන්සේ කතා කළේ අපේ තාත්තා ගැන. එතනින් දේව ඇදහිලි ආදියට කතාව ඇදී ගියා.

අද හවස කොණ්ඩය කපන්න හිතාගෙන එළියට බැස්සත් කිට්ටුව තිබෙන බාබර් සාප්පු ඔක්කොම වහලා තිබුණු හන්දා පයින් සෑහෙන දුරක් ඇවිදින්න සිදු වුණා. සති අන්තය නිමා වන දවසේ කොළඹ පාරක ඇවිදගෙන යන හැම විමට මගේ හිත පාසල් කාලෙට යනවා. අකැමැත්තෙන් වුනත් ඉරිදාට නේවාසිකාගාරයට එන එක හිතේ තදින් ඇිලා තියෙනවා. තාත්තාත් එක්ක ටවුන් හෝල් එකේදී බස් එකෙන් බැහැලා නොරිස් කැනල් වීදිය හරහා පයින් ගිය හැටි.


අපේ හාමුදුරුවන් නිතරම කියන කතාවක් තමයි යම් කිසි දෙයක් කාලානුරූපව පරිනාමනය වූයේ නැත්නම් ටිකෙන් ටික අභාවයට යන බව. අපේ තාත්තා 1950 ගණන් වල සමූපකාරය පත්‍රයට ලියූ ලිපි කිහිපයක්ම කියවන්නට ලැබුණා. එතකොට තේරුම් ලිය දෙයක් තමයි අපේ රටේ සමූපකාරයත් අර හාමුදුරුවන් කී ගොන්නටම දාන්න පුළුවන් කියන එක. දියුණු රටවල් බොහොමයක සමූපකාර ක්‍රමය නවීනත්වයට පත්වෙමින් අලුත් මාන සොයා ගොස් ඇති බව දකින්නට පුළුවන්. එහෙත් අපි සමූපකාර කඩෙන් එපිටට ගියා නම් ඒ බොහොම අඩුවෙන් බවයි. සමූපකාර ණය දෙන සමිති වල සාර්ථකත්වය නම් විශේෂයක්. පහත ඇත්තේ ඒ ලිපියකින් කොටසක් 


සමූපකාරය 1955 නොවැම්බර් මස 30 වැනි බදාදා
සමූපකාර ප්‍රගතිය
බුත්තල වැදිරට කොරළේ හා දම්බගල්ල නිකවැටිය කොරළේ, සමූපකාර සමිති පිළිබ ගරු සංවිධායක කොතලාවල, ඩබ්ලිව්. ඒ. ඩී. ඇස්. ගුණසිංහ මහතා විසිනි.
මානව ප්‍රගතිය වශයෙන් ගනු ලබන්නේ මනුෂ්‍ය කොට්ඨාශයකගේ සාමූහික ඉදිරි ගමනකි. තනි පුද්ගලයකුගේ ඉදිරි ගමන ප්‍රගතියක් වශයෙන් ගනු නොලැබේ. එහෙත් සාමූහික ඉදිරි ගමනක පුද්ගලයන්ගේ ඉදිරි ගමනද ගැප්වී ඇති බව අප මෙහිදී අමතක නෙකළ යුතුය. ප්‍රගතිය යන වචනයෙහිම සමූහ අර්ථයක් විද්‍යාමානවේ. මානව ප්‍රගති මාර්ගයක් වශයෙන් ගත හැක්කේ සාමූහික වීමේ ලැදිකමයි. මනුෂ්‍ය වර්ගයා පවුල් වහයෙන්, ගෝත්‍ර වශයෙන්, ජාති වශයෙන්, ආගම් වශයෙන්, අධිරාජ්‍ය වහයෙන් කැටී නොවිණි නම්, මානව ප්‍රගතිය අද මෙසේ නොවන්නට ඉඩ තිබිණි. ඒ නිසා සාමූහිකවීම, සංගමය ප්‍රගති සංයමයට පදනම බව පෙනෙයි.
ප්‍රගතියට අවශ්‍ය මෙවලම් නිපදවනු ලබන්නේ එක් එක් මිනිසකු විසින් වන්නට පිළිවනි. එහෙත් එම මෙවලම හෝ මෙවලම් බහුජන ප්‍රචාරයට පත්වනතුරු එය ප්‍රගතියේ අංගයක් වශයෙන් ගණන් ගත නොහැකිය. ප්‍රගතිය පොදුවූ දෙයකි. පොදුවූ දෙයක නිෂ්පත්තිය සම්+උපකාරයෙනි සිදුවන්නේ. එහෙයින් මානව ප්‍රගතිය හුදු සමූපකාර ක්‍රමයකැයි ගත හැක.
එහෙත් අප අද සියළු සමූපකාර කටයුතු, සමූපකාර කටයුතු වශයෙන් නොහඳුනමු. සමූපකාර යැයි කී කළ ඉතා අඩු වශයෙන් කරුණු ගන්නා තැනැත්තාගේ මනසට නැගෙනුයේ සමූපකාර කඩේ පමණකි. එයින් එහා සඹුපකාරයක් ගැන ඔහුගේ දැනීමෙක් නැති. හැඳිනීමෙක් නැති එහෙත් සමාජයේ තරමක් ගැටී වැඩ කරණ කෙනෙකුට වර්ග අසූවක් පමණවූ සමිති වර්ග රාශියක් මනසට නැගෙයි. එහෙත් උසස් අධ්‍යාපනයක් ලබන විස්තීර්ණ ඥානයක් ඇත්තෙකුට මුළු මනුෂ්‍ය සංහතියේම ඉදිරි ගමන සමූපකාර ක්‍රමයක් හැටියට වැටහෙන්නට බැරි නැත්තේය. පෙණෙන්ට බැරි නැත්තේය.
එහෙත් අප මධ්‍යස්ථ වශයෙන් කරුණු සලකා බලන කල්හි ලෝකයෙහි සමූපකාර ව්‍යාපාරවල ප්‍රගතිය සමූපකාර ප්‍රගතිය වශයෙන් ගණන් ගන්නට සිදුවේ වේ. එවිට ලෝකයේ සමූපකාර ප්‍රගතියත් මානව ප්‍රගතියත් සරල සමාන්තරව ගමන් කරණ බව පිළිගන්නට අපට සිදුවේ. 
ලෝකයේ සමූපකාර ඉදිරිගමන ගැන කල්පනා කිරීම මක් කල් තබා ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන ගැන සලකා බැලීම වඩාත් ප්‍රයෝජනවත් වේ යැයි සිතිය හැකිය. 

Tuesday, November 1, 2016

හොස්ටල් පරිප්පු


බොහොම කාලෙකට පස්සෙ සෑම මාසයකම අවසන් සෙනසුරාදා පැවැත්වෙන සාදයට සහභාගි වන්න ලැබුණා. එතනදි විවිධාකාර අය හම්බ වෙන්න පුළුවන්. අපේ පාසලේ එකම පන්තිවල හිටිය මිත්‍රයෙක් හමුවුණා. පසුගිය සෙනසුරාදාවක පාසලේ නේවාසිකාගාරයේ පැවැත්වුණු දානයක් ගැන විස්තර ඹහුගෙන් දැන ගන්නට ලැබුණා. 

කලින් දවසක සෙනසුරාදාවක කුලරත්න ශාලාවේ පැවැත්වුණු සංගිත ප්‍රසංගයක් බලන්න ගිය වෙලාවේ නේවාසිකාගාරය අදුරේ වෙලී තිබුණු බව මම කලින් ලියුවා. ඒත් එහෙම වුනේ නේවාසිකාගාරය බොහොම එලිය තිබුණු ජීවමාන තැනක් හැටියට අපේ මතකයේ තැන්පත් වෙලා තියෙන හන්දයි කියළා මට හිතුණේ. ඒත් අපේ මිත්‍රයා කිවු කරුනු අනුව ඒක එහෙමම නොවන බවයි මට තේරුම් ගියේ.  ඹහු කී හැටියට සති අන්තයෙදී නේවාසිකාගාරයේ රැදී සිටියේ ළමයින් 30 ක් පමණයි. එක පැත්තකින් දැනට නේවාසිකව සිටින සිසුන් ගණන අඩු වෙන්න ඇති. අනෙක් කාරණය දැන් අධිවේගී මාර්ග ඇතුළුව ප්‍රවාහන පද්ධතිය සාපේක්ෂව දියුණු හන්දා බොහෝ දෙනෙක් සති අන්තයේ නිවෙස් බලා යෑම. කොහොම වුනත් ඈත ප්‍රදේශ වලින් ආපු ළමයි බොහෝ දෙනෙක් වඩා සැපපහසුකම් සහ නිදහස ඇති පෞද්ගලික නවාතැන් වල නවතින බවයි දැනගන්නට ලැබුණේ. සමාජ-ආර්ථික තත්ත්වයේ වෙනස්වීමේ එක් පැතිකඩක් තමයි ඒකෙන් අපට පෙනෙන්නේ. 

Friday, October 28, 2016

පුංචි කතන්දර


බොහෝ කාලෙකට පස්සේ ඉස්කෝලෙකට ගොඩවැදෙන්න ලැබුණා. කලින් සේවාස්ථානයේ වැඩ කරද්දි නම් අපි නිතර පාහේ පාසල් වලට ගියා. ඒ දැයේ උරුමය දරුවන්ටයි කියන වැඩ සටහනත් එක්ක. අපි ඒ වැඩ සමහනට නව අංග එක්කරමින් අළුත් මුහුනුවරක් දෙමින් හිටියේ. කොහොම වුනත් මේ සැරේ ඉස්කොලෙකට ගියේ පොත් එලි දැක්වීමකට. ඒ කියන්නේ ලමුන්ගේ පොත් එලි දැක්වීමක්. පුංචි ළමයි ලියපු ලමා කතන්දර සීයකට වැඩි ගානක් එදා එළි දැක්වුණා.

ඒ උත්සවයට මට ආරධනා කලේ එම පාසලේ ගුරුවරියක ලෙස දැනට සේවය කරන මා විශ්වවිද්‍යාලයේ උගැන්වූ කාලයේ එහි සිටි ශිෂ්‍යාවක්. මා විශ්වවිද්‍යාලයේ දී assignment එකක් දීපු වෙලාවට මමත් ඒ සම්බන්ධව ලිපියක් ලියලා පත්‍රයක පල කරන සම්ප්‍රදායක් පවත්වාගෙන ගියා. මේ සමප්‍රදාය අනුගමනය කරමින්දෝ තමන්ගේ ශීෂයයන් ‍කතන්දර පොත් ලියන අතරේ අපේ ගෝලයාත් විෂය කරුනු ආශ්‍රිතව හරවත් පොතක් ලියා තිබුණා.

විශ්ව විද්‍යාලෙදි පුංචි ගෑනු ළමයි හැටියට දැක්ක අය දැන් මුහුකුරා ගිය වැඩිහිටියන් වේ ගෙන යන හැටි දැකීමත් එක්තරා සතුටක්. වැඩකරන දිනයක් නිසා බොහෝ වේලාවක් ගත කරන්න අවසරයක් නැතත් පැයකට හෝ සහභාගී වන්න හිතාගෙන මම කොට්ටාවට ගියේ. සාමාන්‍යයෙන් සිදු වන පරිදිම පාසල් වල පැවැත්වෙන වැඩසටහන් වලදී කාලය ගැන හැගීමක් නැතුව යන එක යලිත් වරක් අත්දකින්නට සිද්ධ වුණා. පුතාලගේ පාසල් වලට ගියහම මෙය නිතරම අත්විදින්න සිදු වෙනවා. කෙහොම හරි පැය දෙකකට ආසන්න කාලයක් එහි ගතකර කිරිබත් කාලා තේවතුරත් බීලා කාර්යාලයට එනකොට දවස් බාගයක් ගෙවිලා. ආරාධිත අමුත්තෙක් හැටියට ළමයින්ගේ කතන්දර පොත් පාර්සලයකුත් මට ලැබුණා. ළමයින්ගේ නිර්මාණශීලිත්වය ඒ පොත් බැලුවහම මොනවට ඔප්පු වෙනවා. ඒවා මොට නොකර පවත්වාගෙන යාමයි කෙරෙන්නට අවශ්‍යය.


මා කියවා ඉවර කරපු මහාචාර්ය ඒ.වී. සුරවීරගේ චරිතාපදානය බොහොම රසවත්. එහි තියැවෙන බොහෝ හැගීම් අපට ළගයි. පොත කියවීමෙදි සිතට නැගුනු තව දෙයක් තමයි කලාකරුවන් බිහිවන විශේෂ වටපිටාවන් කිහිපයක් රටේ ඇති බව. උදාහරනයක් හැටියට මාර්ටින් වික්‍රමසිංහ ඇතුලුව ගාල්ලෙන් එන කලාකරුවන් සමූහය වගේම, මහගමසේකර කේ ජයතිලක ඇතුලුව ගම්පහ සියනෑකොරලෙන් එන අය වගේම රයිගම් කොරළය මුල් කරගෙන එන කණ්ඩායමකුත් හමුවනවා. තව ටිකක් ළංවෙලා බැලුවොත් මා සදහන් කරප්‍ර පරම්පරාවලට වඩා එහා ගිය අතීතයක් සහ කලාකරුවන් පරම්පරවක් සහ එයට මුල්වුනා කියලා හිතන්න පුළුවන් ආයතනත් හදුනාගන්න පුළුවන්. වීදාගම ඝනානන්ද පිරිවෙන, කෑරගල පත්මාවතී සහ තොටගමුවේ පිරිවෙන් මෙයට සාක්ෂි දරනවා ඇති 

Monday, October 24, 2016

කෙටි ගැදි කවි

දවස් කිහිපයකට කලින් ලියුව දේ ඉවර කරගන්න බැරි වුණා. ඒ හන්දා අත්හැර දැම්මා. සමන් අතාවුදහෙට්ටි අලුතින ලියපු සමන් කියයි කියන පොත කියවන්නට ලැබුණා. ඒ අතරතුර ගොඩගේ පොත්හලට ගොඩ වෙන්න අවස්ථාවක් ලැබුණා. ‍පොත් දෙකක් ගත්තා. අලුත් ඒවා ම නොවේ. එකක් මහාචාර්ය ඒ.වී. සුරවීරයන්ගේ බාලේ පටන් කාලය ගෙවුණා මෙසේ. ඒක ඹහුගේ චරිතාපදානය. තව පුංචි පොතක් ගත්තා. ඒ උදය ප්‍රශාන්ත මැද්දෙගම කතුවරයාගේ පරිවර්තනයක් වුනු චාල්ස් බොද්ලෙයා නම් ප්‍රංශ කතුවරයාගේ කෙටි ගැදි කවි නම් පොත.

ගොඩගේ ආයතනයේදි පොත් ගන්න ඇවිත් හිටිය මිත්‍රයෙකුත් හමුවුණා. මගේ පොත කියවලා ඒකේ කතා අතරමග නතර වෙනවා කියලා හිනා වුණු අයගෙන් එක්කෙනෙක් එයා. මම බැලුවා එයා ගත්ත පොත් ටික. ඒ අතර කෙටි ගැදි කවි පොතත් තියෙනවා මම දැක්කා. ඒ පොතේ චාල්ස් බොද්ලෙයා ගේ කෙටි ගැදි කවි ඇරුනහම එවකට කථිකාචාර්ය කෙනෙක් වුණු උදය ප්‍රශාන්තගේ කෙටිම කෙටි කතාත් ඇතුලත්වී තිබුණා.


දින කිහිපයකට කලින් තෙහෙට්ටුව මකා ගන්නට Facebook එකේ කරක් ගහන කොට පරන යාලුවෙක්ගේ ගිනුමක් අහම්බෙන් දකින්නට ලැබුණා. ඒ බංග්ලාදේශ් වලින් ආපු මිතුයෙකු වූ අමිතාවා. ඹහුගේ ගිනුම හරහා තවත් පරන යාළුවන් හම්බවුණා ඒ අතරින් ඉන්දියාවේ රජිනි ට දාපු request එකට ඒ වෙලාවෙම respond කරපු ඔහු ඒත් එක්කම දුරකතනයෙන් කතා කළා. ඔහු පවුලේ අයත් සමග සිම්ලා වල නිවාඩුවක් ගත කරන්න ගිහින් හිටියේ. අවුරුදු 25 කටත් පසුව හන්දා අපට කතා කරන්න බොහෝ දේ තිබුණා. 

Friday, September 30, 2016

පාසල් ගොඩනැගිලි


පාසල් ගොඩනැගිලි ගැන තව ටිකක් ලියන්නට හිතුණා. මා ගිය ගමේ පාසලේ තිබුනේ ගොඩනැගිලි දෙකයි. මේ එකක වත් පංති බිත්ති වලින් වෙන් කර තිබුණේ නැහැ. ඒක ප්‍රාථමික විදුහලක්. යම් හේතුවක් හන්දා 9 පන්තිය දක්වා පන්ති පැවැත්වුණා. පාරට වඩා කිට්ටුවෙන් පිහිටි වඩා පැරණි ගොඩනැගිල්ල ඉංග්‍රීසි H අකුර හැඩයේ එකක්. ඇත්තටම කිව්වොත් සමාන්තර දිග ශාලා දෙකක් මැදින් යාකරලා. මැද කොටසත් පන්තියක් හැටියට පාවිච්චි කළා. වහ‍ලය සිංහල උළු. අලුත්වැඩියාවක් නැති හන්දා තැනින් තැන හිල්ද තිබුණා වගේ මතකයි. එතකොට බාග මැද මිදුල් දෙකක් (තුන් පැත්තකින් වටවුණු) තියෙනවා. එයින් එක මැද මිදුලක ලොකු රත්මල් පදුරක් තිබුණා. ඒ වුනාට ඒකේ මල් කහ පාටයි.නොතිබීම. මෙහි අනෙක් විශේෂත්වය නම් වහලය රදවා ගන්න බිත්ති කණු ඇරුනහම එක පැත්තකින් වත් සම්පූර්ණ බිත්තියක් පිහිටා  මේ ගොඩනැගිල්ලට සමාන්තරව තමයි වඩා අළුත් අනෙක් ලොඩනැගිල්ල තිබුණේ. එහි වහලය රටඋළු. එක පැත්තක කෙලවරේ බිම තරමක් උස් කොට වේදිකාවක් හදා තියෙන්නේ විවිධප්‍රසංග ආදීය තියන්න. (මේ හැම ගොඩනැගිල්ලකම ලමයින් වගේම නිත්‍ය හිමිකාරයන් වුණේ පරෙවියන්.) ඊටම අල්ලලා තමයි මුල් ගුරුතුමාගේ කාමරය තිබුණේ. ඒක ඇතුලේ කබඩ් වල දාලා විශාල සිතියම් ලෝක ගෝල සහ සීනු තිබුණා. එහි ලොකුමහත්තයා නිතරම හිදගෙන ඉන්න පුටුවක් එහි තිබුණා. උදේට ගුරුවරුන් පැමිණ අත්සන් කරන පොත තිබුණේ ඒ මේසය උඩ.

අර එච් ගොඩනැගිල්ලේ එක් කෙලවරක ගුරුවිවේක කාමරය තිබුණා. ඊට අල්ලලා තව කුඩා ගොඩනැගිල්ලක් තිබුණා. එය කලින් කළ විවිධ දේවලට පාවිච්චි කළා වගේ මතකයි. ගබඩාවක් හැටියට, සංගීත කාමරය හැටියට සහ එහි පිටුපස කිරි ආදිය රත්කිරීමට කුස්සියක් ලෙස ආදී වශයෙන්. එයට ඉස්සරහින් වෙනම හතරැස් ගොඩනැගිල්ලක් තිබුණා. ඒ තමයි බුදුමැදුර. ඉස්කොලේ හැටියට ඒක ලොකුයි. මට මතක හැටියට හොරණ පාසල් වල හෝ එච්චර ලොකු බුදුමැදුරක් තිබුණේ නැහැ. එය වසාගෙන වගේ පැතුරුණු මූණ මල් ගහක් තිබුණා කහ පාට මල් පිපුණු. ගෙඩියට ඇස් කට නහය තිබ්බහම මූණක් ලැබෙනවා.
මේ ගොඩනැගිලිත් මහ පාරත් අතර තරමක් ලොකු මිදුලක් තිබ්බා. ඉස්සරම කාලේ උදේ රුස්වීමත් එතන තිබ්බා මතකයි. ඒකේ තැන් තැන් වල කැනාස් මල් වවලා තිබුණා. හරියටම පාසලට ඉස්සරහින් මහ පාරේ තිබුණේ විශාල වංගුවක්. මේ හන්දා එතන අනතුරු බහුල තැනක් වුණා.

විදුහලේ පිටිපස කන්දක් තිබුණා. විශාල ගල් වලින් එය සෑදී තිබුණා. එක පැත්තකින් එයට යන්න කවුරුන් හෝ පඩි පෙළක් ගලින් හදා තිබුණා. උඩ මයියොක්කා වගේ වගාවන් සුලුවෙන් කර තිබුණා ඊට පහලින් පුංචි පිට්ටනිය සහ ඊටත් පහලින් ලොකු පිට්ටනිය. ඒවාට එපිටින් කැසිකිලි හා වැසිකිලි තිබුණා. ලොකු පිට්ටනිය සහ ලොකු මහත්තයාගේ කාමරය අතරින් වතුර බොන ලිද තිබුණා. වාරාවසානයේදී වගේ ලිද ඉස්සේ ළමයින් විසින් මයි.


අනෙක් රටවල පාසල් ගොඩනැගිලි ගත්තහම බොහෝවිට පිහිටා ඇති ස්ථානයෙන් ස්වායත්තව සමජාතීය ස්වරූපයක් තිබුණු බව මතකයි. එතකොට ඹ්නම තැනකදි එහෙම ගොඩනැගිල්ලක් ගත්තහම මේ පාසලක් කියලා කියන්න පුලුවන්. (මෙහෙත් ගමේදි නම් එහෙමයි) මේ ගැන විවිධ මත තියෙන්න පුළුවන් වුනත් එහෙම සමජාතීය බවක් තියෙන එකට මා නම් කැමතියි. මේක සමහරවිට පැටලෙන්නේ අපේ රටේ “නමගිය” පාසල් වල තමන්ටම ආවේනික වූ ගෘහනිර්මාණ ශිල්පයෙන් යුතු ගොඩනැගිලි පිහිටා තිබීම නිසයි. ඒකට යම් යම් ‍ඓතිහාසික හේතුත් සම්බන්ධ හන්දා ඒ උරුමය තියා ගන්නත් වෙනවා. හැබැයි ඒකම irony එකක් වන්නේ අසාමාන්‍ය තරගයකට හා විවිධ ප්‍රශ්න වලට හේතුවක් වී ඇති ලමුන්ට නමගිය පාසලක් ලබා දීමට දෙමව්පියන් තමන්ට හැකි උපරිමයෙන් දරන වෑයම් වලට වක්‍රව හෝ මෙයත් බලපාන්නට ඇති ඉඩ. මට මතකයි සෝවියට් සංගමයේ විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර එකම සැලැස්මකට අනුව මුලු රටේම හදලා තිබුණු බව. ඒ කාලේ එහෙ හිටපු ඹ්නම කෙනෙකුට පහසුවෙන් අදුර ගන්න පුළුවන් සහ ඇස් දෙක වහගෙන ඹ්නම තැනක ඇවිදින්න තරම් අපට පුරුදු ඒ ගොඩනැගිල්ලක මා ඇදපු චිත්‍රයක් නිම් වළලු පොතේ ඇතුලත්. (advertisement එකක් නෙමේ.)  

හොස්ටල් කොලම

මේ සැරේ කොළඹ පොත් ප්‍රදර්ශනයට ගියත් මට ගන්න ලැබුනේ එක පොතක් විතරයි. ඒ පුෂ්පානන්ද ඒකනායක කතුවරයා ලියූ හොස්ටල් කොලම. සෙනග අතරේ තෙරපි තෙරපි අමාරුවෙන් පොත් බලන්න අමාරුයි. එහෙම නොවෙන්න නම් සෑම පොත් ප්‍රදර්ශන කුටියක්ම විශාලව හදන්න ඹ්නා. ඒගොල්ල එහෙම නොකරන්නේ ප්‍රායොගික අපහසුතා හන්දම නොවේ කියන එකයි මට තේරුණේ. මීමැස්සො වගේ පොදි කකා තෙරපි තෙරපි පොත් විකුණන වෙළද කුටියකට ඇති ඉල්ලුම වැඩි ඇති. නැත්නම් පෙනෙන්නේ මැස්සො ඇහිරෙන තැනක වෙලදාම අඩු වෙන්න ඒක හේතු වනවා ඇති.

හොස්ටල් කොලමට නැවත ආවොත් පුවත්පත් කලාවේදියකු වන පුෂ්පානන්ද ඒකනායක සති අන්ත පත්තරයකට ලියුව කොලම තමයි පොතක් හැටියට එලිදක්වා තියෙන්නේ. ඔහු‍ ඉගෙන ගත්තු මහනුවර ධර්මරාජයේ නේවාසිකාගාරයේ ජීවිතය ගැන තමයි මේ පොත. කාලවකවානුව හැත්තෑවෙ දශකය හන්දා අපේ නේවාසිකාගාර ජීවිතයට කිට්ටුයි. ඒ විතරක් නෙවෙයි, උදේ පහට නැගිට්ට වෙලාවේ සිට රාත්‍රී නමයට නින්දට යන වෙලාව දක්වා කාල සටහන කොළඹ තිබුනු අපේ නේවාසිකාගාරයට සමානයි. ඊට අමතරව hostel trips සහ නේවාසික දිනයන් ආදිය බොහෝ දුරට සමානයි. ලොකුම වෙනස තමයි ධර්මරාජේ landscape එක. පඩිපේලි, කුගැට ආදිය සහිත ඉස්කෝලයක් බොහොම ලස්සන ඇති.

අපි ගමේ ඉස්කොලෙ ඉන් කොළඹට එනතුරු හිතා හිටියේ පාසල් ගොඩනැගිලි කියන්නේ මිටි බිත්ති හා කනු කිහිපියකින් වට වෙච්ච ලොකු බාල්ක සහිතව සෘජුකොනාශ්‍රාකාර, පල දෙකට වහලය ගහපු, රට උළු (පරන නම් සිංහල උළු) සෙවිල්ලපු ගොඩනැගිලි පමනයි කියා. පාසල් වල සම්පූර්ණයෙන් බිත්තිවලින් වටවුණු ශාලා සහිත ගොඩනැගිලි තියෙන්නට පුළුවන් බව පසුව අපට තේරුණා. ඒත් පාසල කියන හිතේ ඇිලා තිබුණු චිත්‍රයේ  හැමදාම තිබුනේ කලින් කී වර්ගයේ ගොඩනැගිලි.  


හයේ හෝ හතේ පන්තියේ ඉංග්‍රීසි අච්චු පොතේ පාසලක් ගැන කතාවක් තිබුණා. පාසල තලාහේන මහා විද්‍යාලය. මම ඒ පාඩමට කැමතියි. ඒ එහි ඇ තිබූ අර කලින් කී විදිහේ පාසල් ගොඩනැගිලි හන්දා වෙන්න බොහොම ඉඩ තියෙන්නේ දැනටත් එය මතක හන්දා. ඒ කාලේ ඒක ඉතාම කෙටි අතීත කාමයක්. 

Friday, September 23, 2016

නුහුරු රස දැනුනා

සිහිනයකි රෑ වැඩසටහන දිගටම වගේ බලන වැඩසටහනක් ඊයේ පෙරේදා විශාරද ෂෙල්ටන් පෙරේරාගේ දියනිය - අනුරාධා පෙරේරා - සහ පැරිසියේ ජීවත් වන සිංහල තරුණියක්ද එහි ගීත ගායනයට පැමිණියා. ඔවුන්ගේ ගායනයන් කන්කළු විතරක් නොවෙයි අපිට එදිනෙදා ඇහෙන බොහෝ ගායනයන්ට වඩා ඉහල මට්ටටමක තිබුණා. මා කලින් දිනයක ලියූවා මතකයි විකටර් රත්නායක ශූරීන් කිව්වා (ශූරීන් කියන පදයේ ස්ත්‍රීලිංග වචනය මොකක්ද දන්නේ නැහැ.) වඩාත් සෘංගාරාත්මක ගීතයක් ගැන. ඔහුගේ පුතනුවන් කිව්වේ වඩාත්ම romantic හඩ තියෙන්නේ තාත්තට නෙමෙයි මිල්ටන් අංකල් (මල්ලවආරච්චි) ටයි කියලා. එයට එකග වෙන්න පුළුවන්. එයට හොදම උදාහරණය සහ මගේ තේරිම අනුව වඩාත්ම romantic  සිංදුව ගැන කියන්නයි මම යන්නේ.

මේ ගීතය එන්නේ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කරපු නිල්ල සොයා චිත්‍රපටයේ. නිල්ල සොයා චිත්‍රපටය මා නැරඹුවේ පාසල් නිවාඩු කාලේ අම්මාගේ ගමේ ගිහින් එහි පාසල් ශාලාවක් තුළ සීතලේ ගුලිවෙලා. ඒ දවස්වල නිවාඩු කාල වලදී මේ වගේ ගම්මාන වල සතියක් විතර තිස්සේ ඒ වගේ චිත්‍රපට පෙන්වනවා. මතක හැටියට 2.30 සහ 6.30 වශයෙන් දර්ශන වාර දෙකක් තිබුණා. දෙකම houseful. මොකද ඒ ගමේ අයට චිත්‍රපටයක් බලන්න නම් කිලෝමීටර 15 ක් පමණ ගෙවා දියතලාවට නැත්නම් බණ්ඩාරවෙලට යන්න වෙනවා. කොහොමින් හරි අපි ඒ සතිය පුරාම නොවරදවා  හැම චිත්‍රපටයක්ම 6.30 දර්ශනය නැරඹුවා. වැඩියම පෙන්නුවේ බන්දු සමරසිංහ, ප්‍රෙඩී සිල්වා,  දොන් සිරිසේන, ලිලියන් එදිරිසංහ නොවැරදී රගපෑ සේන සමරසිංහගේ චිත්‍රපට. ඒවා බලලා අපි ඉල ඇදෙනකම් හිනා වුනා. කස්තුරි සුවද, නිල්ල සොයා එසේ බලපු චිත්‍රපට අතරින් මට මතක් වෙන ඒවා.

මේ ගීතය පසුකාලීනව ඇසුනේ කොළඹ පොත් ප්‍රදර්ශණයට ගිය වෙලාවක. (අවුරුදු ගණනකට පෙර.) එහි තිබූ සංගීත සැන්දෑවක යුවලක් මේ ගීතය ඉතා මිහිරෙන් ගායනා කළා. ඇත්තමට එදා තමයි මෙහි නියම අරුත තේරුණේ.  මිල්ටන් මල්ලවාරච්චි නැමැති අතිශය හෘදයාංගම හඩක් ඇති ගායකයා සමග මෙහිදී යුගගී ගයන්නේ ප්‍රවීන ගායිකා ඇන්ජලීන් ගුනතිලක. මතකය හරිනම් සහ පද අනුව මෙහි ගේය පද බණ්ඩාර කේ. විජේතුංග කියන අති ප්‍රවීන ගීත රචකයාගේ.

මියුරු පෙම් මදිරාවේ
නුහුරු රස දැනුනාවේ
සත්සරේ රැව් දිදී
පුරවන්න මා දෙසවන් සොඳුරේ

දෙතොල් පෙති පුබුදාලා
පියුම් පැහැ විහිදාලා
දෙනෙතෙහී නිල්මිණී
ලෙළවන්න මා නළවා සොඳුරේ

හසරැල් අමා දියේ
තිසරුන් තෙමී ගියේ //
රන්වන් ලතාවෙන් ඉන්න ලංවී
සුදේහිනියේ දිවා රැයේ

ඳුහෙල් මැදින් ඇදී
එමි ආදරේ සොයා//
සිහිනෙන් පැතූසේ වස්තුවක් දැන්
තියෙයි හිනැහී මගේ කියා

අපේ හිතමිත්‍ර ජයනාත් කොහේදෝ ලියලා තිබුණා වගේම දවසක් අපි දඹානේ සිට හුන්නස්ගිරිය පසුකරමින් එනවිට අපට මේ ගීතයේ නුහුරු රස මීවිතක් අතරින් හොඳින්ම දැනුනා. පද හොින් ඇහැව්වොත් බැලුවොත් එය දැනේවි.




Thursday, September 22, 2016

ඉස්සර විදිහට දුව පැන යන එක මතකද තහනම් කරපු දිනේ


හාමුදුරුවරුන්ගේ ජීවිතය ගැන මම මීට කලිනුත් ලිව්වා මතකයි. දරුපවුල් හදා වඩා ගන්නේ නැතිව ගෙවන ජීවිතය හුගක් හුදකලා සහ පාලු එකක් වෙන්න ඇති කියා. ඒක එහෙම නොවන බව වැඩි වැඩියෙන් හාමුදුරුවන් ආශ්‍රය කරන්න කරන්න තේරුම් යනවා. ඊයේ පෙරේදා අපි වාද්දුව පැත්තේ පන්සලකට ගියාම අපිට හමුවුණු පොඩි හාමුදුරුවන් සමග අපේ උවමනාව කීවාම උන්වහන්සේ කිව්වේ ලොකු හාමුදුරුවන් හමු වන්න කියා. ඒ වෙලාවේ ලොකු හාමුදුරුවන් දානය වළදන බවයි අපට තේරුණේ. ඉතින් අපි ටිකක් බලා සිටියා. ටික වේලාවකින් හාමුදුරුවන් ආවත් එතරම් ප්‍රියමනාප මුහුණක් පෙන්නුවේ නැහැ. අපි රයිගම අවට පුරාණ පන්සල් වල තොරතුරු ලේඛනගත කරන බව උන්වහන්සේට කිව්වා. එහෙම රලු වාගේ පිටින් පෙනුනාට ටික වේලාවක් අපේ විස්තරය අහලා (පැහැදුනාද මන්දා) ටිකක් ලිහිල් බවක් පෙන්නුවා. ඊලගට උන්වහන්සේගේ දේශපාලන affiliation එක ගැනත් ඒ සම්බන්ධ තොරතුරුත් අපට කීවා. ඒත් එක්කම පන්සලේ ඉතිහාසය ගැනත් විදුහල්පති කෙනෙක්ව සිට විශ්‍රාම ගිය බවත්, උන්වහන්සේ උගන්වන පිරිවෙන් ගැන ආදිය කතා කළා. ගෝල හාමුදුරුවන් 50 ක් හැදුව බවත් වාර්ෂික පෙරහැර 35 ක් ද කොහෙද පැවැත්වූ බවත්. මේ අතර තවත් කළ කී බොහෝ දේ අපට කිව්වා. හාමුදුරුකෙනෙක් ගේ ජීවිතය ගෙවෙන්නේ එහෙම තමයි. උන්වහන්සේ මේවා ආවර්ජනය කළේ ආඩම්බරයෙන්. ඒ වෙනකොට හාමුදුරුවන් අපට බොහොම කුළුපග වෙලා. අපට දවල්ට කන්න දෙයක් ඒ වන විට ඉතුරුවෙලා නැති හන්දා අපි පන්සලෙන් රසකැවිලි, කෙසෙල්ගෙඩි සහ අයිස්ක්‍රීම් කාලා සාමනේරනමක් විසින් පිළියෙල කරලා දීපු තේ එකත් බීලා බඩ පුරවා ගත්තා. ‍අපි ඇති තරම් කනවාද කියළා බලන්න ලොකු හාමුදුරුවන් කුස්සියටම ආවා. ඊට පස්සේ ආයිත් කතාව පටන් ගත්තා. බුලත්විටක් එහෙම කන්නෙ නැතුව ඇති කියන ගමන් බුලත් තට්ටුවත් අපට දුන්නා. ආයි දවසක එන පොරොන්දුව ඇතිව තමයි අපි හාමුදුරුවන්ට සමු දුන්නේ.

එදා අපි දවල්ට බත් කෑවේ අපේ ගමේ කඩේකින්. ඒක පාර අයිනේ වෙල් ඕවිටක හදපු තාවකාලික මඩුවක්. ඒත් ඕවිටේ කඩය වටේට නොයෙකුත් එළවලු වගා කර තිබුණා. උයා තිබුනු දේවලින් කොටසක් එයින් නෙලා ගත්ත අස්වැන්න. ඒ අතරින් කොච්චි සම්බෝලය විශේෂයි. මෙහි කෘත්‍රිම රසකාරක භාවිතයක් නැති බව සදහන්. තව ටිකක් පිලිවෙලකට පවත්වාගෙන ගියා නම් එතනට සෑහෙන ඉල්ලුමක් ඇති වන්නට පුලුවන්. ඉස්සර කාලේ වගේ නොවෙයි කෑම වේල් ගෙදරින් පිට ගන්න සෑහෙන පිරිසක් දැන් ගමෙත් ඉන්නවා. අපි පුංචි කාලේ අපිට මතක හන්දියේ කඩවලින් අපේ ආතා එහෙම තේ බොන්න යනවා. ඒත් උවමනාවටම නෙවෙයි වගේ. කයිවාරුවකුත් ගහලා වට පිටේ තොරතුරුත් අහගෙන පත්තරෙත් බලලා එන්න වෙන්න ඇති. ඒ ඇරුනහම කඩෙන් කෑම කන්නේ ලොරිවල වැඩ කරන අය.



Saturday, September 17, 2016

රාජ්‍ය සේවය පිණිසයි

 ටික කාලෙකට පෙර එක්තරා පර්යේෂණ ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩ කිරීමට ලැබුණා. එතන හිටිය කිහිප දෙනෙක් වෘත්තීය ව්‍යාපාරිකයින්. ආචාර්ය උපාධි තියෙන කිහිප දෙනෙක්ම එහි හිටියා. මා සාමාන්‍ය යෙන් මේ වගේ අවස්ථාවල බොහෝ දෙනෙක් කරන ආකාරයට පොලිස් කාරයාගේ චරිතයට ආවේස වන්නේ නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර යම් රජයේ ආයතනයක් මණ්ඩලයක් බවට පත් කර ඇත්තේ යම් කිසි ස්වාධීනතාවක් හරහා එහි mandate එක මුදුන් පමුණුවා ගැනීමේ අරමුනෙන්. එහෙත් පුදුමයකට වගේ එතන සිටි බොහෝ දෙනා මගෙන් බලාපොරොත්තු වුණේ අරවගේ පොලිස්කාරකමක්. උපායශීලි විදිහට flexible වන එක ඒගොල්ලන් දැක්කේ දුර්වලකමක් විදියට. බොහෝ අය කැමතියි ප්‍රශ්න තවතවත් අවුල් කරගෙන කතා කර කර ඉන්න. ඒ ආකාරයෙන් එක පැත්තකින් කාලය නාස්ති වනවා. අනෙක් පැත්තෙන් ප්‍රශ්න තවත් ව්‍යාකූල වනවා වගේම උත්තර ලැබෙන්නේ නැහැ. උදාහරන කොතෙකුත් කියන්න පුළුවනි. ඒ අවුරුද්දේ අයවැය යෝජනාවක් කිබුණා  අප සිටි ක්ෂේත්‍රයට සම්බන්ධ. නමුත් යෝජනාවේ කියවුණු scope එකට එහා ගියේ නැත්නම් එහි ප්‍රයෝජනයක් නැහැ. ඒත් මුදල් වෙන්වී තියෙනවා. ඉතින් මේ කට්ටිය ලෑස්ති අර යෝජනාව දේවභාෂිතය වගේ අරගෙන ඒකම කරන්නයි ලෑස්ති වුනේ. බොහොම අමාරුවෙන් නිෂේධ බලය යොදලා තමයි හරි පාරට දාගන්න පුලුවන් වුනේ. නමුත් ඒ ගොල්ලන් ඒකෙන්වත් පාඩමක් උගෙන ගත් බවක් පෙනුනේ නැහැ. හුගක් වෙලාවට අපේ රටේ පුද්ගලික අංශය වුනත් රජයට බැන බැන වුනත් රජයේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ pragmatic approach  නොවෙයි  bureaucratic approach වගෙයි පෙනෙන්නේ.

තව වතාවක් මට මතකයි (මේක අර කලින් කී ආයතනයට සම්බන්ධ නැහැ.) එක්තරා බෝගයකට වසංගතයක් මට්ටමට රෝගයක් බෝවීගෙන ගියා. ඒ අනුව ඒ සදහා ප්‍රතිකර්ම යෙදීමට මධ්‍යකාලීනව යම් මුදලක් අනුමත කරනු ලැබුවා. නියමිත කාලය ඉවර වෙලා මුදල් ප්‍රමාණයත් ඉවරවෙලා ඊලග අවුරුද්දේ මුදල් වෙන්කිරීමේ අවස්ථාවෙදි විශාල ප්‍රශ්නයක්. අදාල දෙපාර්තමේන්තුව තවදුරටත් මුදල් ඉල්ලනවා. ඒත් සාමාන්‍ය මතය වුණේ අනුමත මුදල් සහ කාලය ඉවර වෙලා හන්දා තවදුරටත් සල්ලි දෙන්න බැහැ කියා. අදාල අනුමැතිය ගැන අර රෝගකාරකයා වුනු වයිරසයට දැනීමක් නැතිද කියා ඇසුවත් බොහෝ දෙනෙක්ට එය වැටහුනේ නැහැ. බොහෝ වෙලාවට අවශ්‍ය වන්නේ අදාල කාර්‍ය ඉෂ්ට වුනාද නැද්ද කියන එක ගැන සමාලෝචනයක් කර අවශ්‍ය වේ නම් ඉලක්කගත ලෙස තවදුරටත් මුදල් ලබාදීම සදහා පියවර ගැනීමයි. ඒ සදහා අතුරු අනුමැතියක් අවශ්‍ය වේ නම් ඒ සදහා කටයුතු කරන්න පුලුවනි. ඒත් ඉතින් මොකටද එච්චර කරදර වෙන්නේ?  

ඊයේ පෙරේදා දිනයක රයිගම රාජධානියෙන් ගිණිකොන පැත්තේ ඇති ගම්මාන වල චාරිකාවක යෙදෙන්න හැකි වුණා. ඒ පැත්තේ තියෙන්නේ බොල්ගොඩ ගග ආශ්‍රිත වගුරුබිම්. අටුළුගම කන්දේ තිබුණයි කියෙන අට්ටාල ඒ පැත්තෙන් සතුරන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඉදිකරන්න ඇතැයි කියලයි අපේ මිතුරු පුරාවිද්‍යාඥයා කීවේ. අනෙක ඒ පැත්තේ වගුරු බිම් හන්දා වැඩි ජනාවාස වෙලා නැති හැඩයි. ඒ හරියේ තිබුනු පන්සල් සියල්ලම පාහේ පසුකාලීනව ඉදිකෙරුනු ඒවා. වාද්දුව පැත්තට බර වෙන්න පැරණි පන්සල් දකින්නට පුළුවන්. වාද්දුවේ පල්ලියේ ඉතිහාසයත් 1883 දක්වා යන බව එහි සදහන් පුවරුවලින් කියවෙනවා. එහෙත් එහි ඇති දේවමෑනියන්ගේ ප්‍රතිමාව මුහුදෙන් පාවී ආපු ලීයෙන් කල එකක් බවත් එය අවුරුදු 400 ක් පමණ පැරණි බවයි බැතිමතුන්ගේ මතය.

                                          වාද්දුවේ ශුද්ධාත්ම දෙව් මැදුර

                                           දේව ප්‍රතිමාව 


තල්පිටියේ දළදාවත්ත පන්සලේ බිතු සිතුවම්

වාද්දුව මහා විහාරයේ ඹ්ලන්ද ගෘහ නිර්මාණ ආභාෂය ලද පිළිමගෙය







Monday, September 12, 2016

පුල පුලා බලා ඉන්න සාහිත්‍ය මාසය

අද හජ්ජි උත්සවය හන්දා රජයේ නිවාඩු. ඒත් mercantile holiday එකක් නෙමෙයි. ඒ හන්දා පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය අංශයට අද වැඩ කරන දවසක්. ඒත් එම ආයතන වල වැඩකරන ඉස්ලාම් ආගම අදහන උදවියට අද නිවාඩු දෙනවා. කාලයක් රජයේ සේවකයන්ටත් මේ ක්‍රමය අත්හදා බැලුවා. මොන යම් හේතුවක් හෝ හන්දා එය අතහැර දැම්මා.

සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය කියලා කියන්නේ. ‍ඒ සදහා පැවැත්වෙන දේවල් අතරින් කොළඹ පොත් ප්‍රදර්ශනය විශේෂයි. ඒත් මට සිද්ද වෙලා තියෙන්නේ ඒක ඉවර වෙන්නෙ කවදද කියලා බලා ඉන්න. මගේ අලුත් පර්වර්තන පොතේ දෙවන වර සෝදුපත් බලන්න ගියාම මට දැන ගන්න ලැබුණේ පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් සූදානම් කෙරෙන පොත් වල වැඩ හන්දා මගේ පොතේ වැඩ පමා වන බවයි. ඒ හන්දා මම පිටපත ගෙදර අරන් ආවත් තවමත් පිටුවක් හෝ පෙරලලා බැලුවේ නැහැ. ප්‍රදර්ශනය ඉවර වුනාම ගිහින් දෙන්න හිතා ගෙන ඉන්නේ. අපි වගේ කෙනෙක් පොතක් ගහනවා නම් සාහිත්‍ය මාසය මග ඇරලා බාර දෙන්න වග බලා ගැනීමට අවශ්‍යයි. ඒත් මෙවර මම පොත බාර දුන්නේ මැයි මාසයේ පමණ. ඒක පරක්කු වැඩි ඇති.

මොහාන් රාජ් මඩවල ඉතාම ඉක්මනින් නමක් හදා ගත්ත ලේඛකයෙක්. (ඒ සදහා ඹහු සෑහෙන කලක් මහන්සි වෙන්න ඇති. ) YouTube එකේ rajina කියලා සෙවුවොත් ඹහුගේ අලුත්ම නවකතාව ගැන සෑදු ට්‍රේල් එක බලන්න පුළුවන්.  අනුලා බිසව ගැන අළුත් කෝනයකින් බලන්න කතුවරයා උත්සාහ ගත්ත බව කීවේ ඹහු.

පසුගිය දිනවල මහවැලි ක්‍රීඩා තරග පැවත්වුණා. ඒ පැවැත්වෙන්නේ මහවැලි කලාප වල ජීවත්වන තරුනයන්ගේ ක්‍රීඩා හැකියා එළිදක්වන්නයි. දල වශයෙන් ගත්තහම ලංකාවේ වගා ඉඩම් ප්‍රමාණයෙන් තුනෙන් එකක් වගේ ප්‍රමාණයකට වාරි පහසුකම් දෙන්නයි මහවැලි ව්‍යාපාරය හැදුවේ. ඊට සමගාමීව ජල විදුලි බලාගාර වලට අමතරව මහවැලි නගර, ක්‍රීඩාංගන, මාර්ග පද්ධති සහ නොයෙකුත් ප්‍රජා පහසුකම් ඉදිකෙරුනා. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වන්න ඇත්තේ අළුත්ම කෘෂිකාර්මික සංස්කෘතියක් මතින් ආර්ථිකයේ පිම්මක් ඉස්සරහට පනින්නයි. මූලික සැලසුම් වලට FAO සහ UNDP සමබන්ද වූ බව දැනගන්නට තිබුනත්, අපේ වාරි ඉතිහාසයේ අතීතකාමයත් මෙයට බලපාන්න ඇති. අපේ රටේ තිබෙන ඉඩම් ප්‍රමානය බැලුවහම, අපට යන්න තිබුණේ අපටම ආවේනික precision agriculture ක්‍රමයකට. ඒකට අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ආදිය සපයා ගැනීම සහ භාවිතයට ගොවීන්ට හැකියාවක් වගේම හුරුවක් තිබුනයි කියලා හිතන්න අමාරුයි. ඒ සදහා රජය පැහැදිලිවට  මැදිහත් විය යුතුව තිබුණා. (දැනුත් ප්‍රමාද නැහැ) දැන් වන්නේ කාලයත් එක්ක invisible hand එකෙන් අවශ්‍ය තාක්ෂණය සහ උපකරන ටිකෙන් ටික භාවිතයට එක් වීමයි. ඒත් කලින් හිතපු මොඩල් එකෙන් වෙනස් තැනකට වටපිටාව ඇවිත්. මේවා පර්යේෂණ කරන්න පුලුවන් මාතෘකා.


ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...