Saturday, December 26, 2015

туда сюда - дворец труда


ඊයේ පෙරේදා දින තිහිපයක්ම හිටියේ රෝහල් කාමරයක. දැන් මහගෙදර. ඒත් නිදහසේ ඇවිදින්නට බැහැ. පතහවත්තේ පංසල ආශ්‍රිතව අද ගම්මඩු උළෙලක් පැවැත්වෙනවා. ඒකට ආරාධනා ලැබුණේ මාස ගානකට කලින්. ඒත් එය බලන්න යන්න අමාරුයි.
ඉරීනා මලෙන්කෝ ගේ සෝවියටිකා පොතේ පළමු කාණ්ඩයේ සිංහල පරිවර්තනය කියවා නිම කළා. එයට සෑහෙන කාලයක් ගතවුණා. කියවන්න සෑහෙන්න අමාරුයි, බරයි, සංකීර්ණයි. රුසියාවේ යම් කාලයක් ජීවත් වුනු අපටත් අමාරු නම් අනික් අයට තවත් අමාරු වන්නට ඉඩ තියෙනවා. එය කියවන්නට අමාරුබව යහළුවන් කීපදෙනෙක්මත් මට කියා තිබුණා. පොතේ පෙලගැස්ම රුසියාවේ තිබූ බොහෝ දේ වල වගේම වෙනස් තේරුම් ගන්න එක්වරම අමාරු අකෘතියක එකක්යැයි කීම අසාධාරනද මන්දා. කොහොම වුනත් සාමාන්‍ය පාඨකයාට ‍වඩා රීඩබල් වන විදිහට මෙහි පෙලගැස්වීම කරන්නට තිබුණා. පරිවර්තනයෙදී සෝවියට් සමාජයේ අත්දැකීම් ඇති අයකුගේ ඇසුර ලැබුවා නම් වඩාත් අගෙයි. කොහොම වුනත් මේ කෘතිය සිංහල පාඨකයා අතට පත් කිරීම අගය කරන්නට ඕනා.
රෝහලට මා බලන්න ආ මල්ලි කෙනෙක් කිව්වේ මගේ බ්ලොග් එකේ රුසියාව සම්බන්ධ ලියවිලි ආසාවෙන් කියවූ බවයි. ඔව් මහා ශිෂ්ඨාචාරයක අග්ගිස්ස වුනත් සෑහෙන තරමකට ඇසුරු කරන්නට ලැබීම වාසනාවක් වගේම බෝහෝ ‍අත්දැකීම ඉතුරු කරන්නට හේතුවක්. ලේඛිකාව කියන විදිහේ ආදර්ශ සෝවියට් මිනිසුන් මට හම්බවුනේ එක්කෙනෙක් දෙන්නෙක් නොවේ. මගේ රුසියන් ගුරුවරයා සහ ගුරුවරියගෙන් පටන් ගත්තහම විශ්වවිද්‍යාලේ ආචාර්‍යවරුන්, සහොදර ශිෂ්‍යයින්, පාරෙදි අදුරගත්ත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, (එක් පුංචිම ලමයෙක් අපේ කාමරයට ආවේ පෙට්ටියක දාගෙන ඇතිකරන ලංකාවෙන් ගෙනාපු අලිපැටියකු බලන්න.) ගොවිපලේ වැඩකරන තරුණ ගෙවිලියන්, පුස්තකාල සේවිකාවන්, (මගේ පළමු රුසියානු ගුරුතුමා ඉල්යා ව්ලැදිමිරවිච් විවාහ වී සිටියේ පුස්තකාල සේවයේ නිලධාරිනියක් සමග. ඔහු මට කීවේ විවාහ වෙන්න ඒ වගේ වෘත්තියක් කරන කෙනෙකු තෝරා ගන්න කියා.),පොත්සාප්පුවල සේවක සේවිකාවන්, කම්හල් වල කම්කරුවන් ආදී විශාල පරාසයක් ඊට අයිති වුනා වගේම ඔවුන් සෝවියට් සංගමයේ විවිධ සමූහාණ්ඩුවලට අයත් වීම විශේෂයක්.

මේ ඉන්ටර්පේස් එකේදී විදේශ ශිෂ්‍යයන් (ඔවුන් රට පුරාම සෑම නගරයකම පාහේ සිය ගණනින් නැත්නම් දහස් ගණනින් හිටියා.) විශේෂ කාර්‍යභාරයක් කරන්න ඇති. එහි සෘනාත්මක පැත්ත වැඩි බවයි මගේ කල්පනාව. ඒ වගේම මේ සංස්කෘතියට ගැලපෙන දේවල්ද නොතිබුණා නොවේ. ඒවායේ යටිපෙල ඔවුන් අවබෝධ කරගත්තේ කෙසේදැයි මා දන්නේ නැහැ. හැබැයි බොහොමයක් ඒවා මවා පෑම් නොවෙයි. මට මතකයි රුසියාවට ගිය අළුත මුළින්ම තනිවම කඩපලට ගිහින් බඩු අරන් එන්න පුළුවන් වුණාම පොත් කඩයකට ගියා. අප සිටි නගරය කුඩා නගරයක් හන්දා එහි විදේශ භාෂා පොත් වැඩිය දකින්නට තිබුණේ නැහැ.  මම කියවන්න පුළුවන් රුසියන් ළමා කතා තමා ගත්තේ. ඊට අමතරව ලෙනින්ගේ විශාල උඩුකය පින්තූරයක් මිලදී ගෙන මා කාමරයෙ බිත්තියේ ගැහුවා මතකයි. එහෙම කරපු එකම කෙනා මම වුනත් (කොලොම්බියාවේ, ඇංගෝලාවේ කොමියුනිස්ට් පක්ෂ කාඩරවරුන් ද අප සමග සිටියදීත්) කවුරුවත් ඒ දිහා අමුතුවට බැලුවේ නැහැ. වරක් අපේ කාමරයට ආ පීඨාධිපතිතුමා මගෙන් ඇහුවේ සහෝදරයා ලෙනින්ට ආදරේද? කියලා. පසුව නම් විදේශ සගයින් කිහිපදෙනෙක්ම මා අනුගමනය කල බව දකින්නට තිබුණා. 

Thursday, December 3, 2015

රයිගමින් ආරංචියක්


ඊයේ පෙරේදා අපට රයිගමින් සුභ ආරංචියක් හම්බවුණා. ඒ රයිගම් රාජධානියට අයත් යැයි සිතිය හැකි වලන්වල කැබලි කිහිපයක් හමුවීම. රයිගම උයන්වත්ත වැව අසල ගෙවත්තක වලක් කපන විට තමයි එය හමුවී ඇත්තේ. පොළව මට්ටමින් අඩි අටක් පමණ යටදී තමයි මේවා හමුවෙලා තියෙන්නේ. ඒවා කැටයම් සහිත බවයි අපට ඔත්තුව දුන් සමන් කිව්වේ. කොහොම වුනත් එතන සම්පූර්ණ කැනීමක් කරළා පුරාවස්තුවල කාල නීර්ණය කරන්නත් සිදුවෙයි. මේක අහම්බෙන් සිදුවුණු සිද්ධියක්මත් නෙමෙයි. මම කළින් දවසක ලිව්වා අපි වැවේ අසුන් නාවපු තොට බලන්න ගියා කියලා. එතන තමයි තියෙන්නේ ගැලනිගම වෙල්යායට ජලය සපයන වැවේ තුන්වන සොරොව්ව. (අපි පුංචි කාලේ හිතාගෙන හිටියේ වැවට තියෙන්නේ සොරොව් දෙකයි කියළා. පසුව ලැබුණු තොරතුරු අනුව එය හතරක් වන්න පුළුවන්.) එදා එකපාරටම වැස්සක් කඩා වැටුණු හන්දා අපේ කණ්ඩායට අසළ පිහිටි නිවසට ගොඩ වුණා. එහිදී සමන්ගේ යාළුවකුද වූ ඒගෙහිමියා එක්ක අපි බුලත් විටකින් එහෙම හොදට සප්පායම් වෙලා කතාවට වැටුණා. ජනතාව තමන්ට හමුවන පුරාවස්තු රජයට ලබා නොදෙන්නේ අනියත බියක් නිසා බව අපි ඔවුන්ට තේරුම් කළා. බොහෝ දෙනෙක් බය වන්නේ ඉඩම රජයට ගනීවි කියළා. මේ කියන ගෙදර තිබුනේ වෙහෙරගොඩැල්ල කියන හරියට කිට්ටුවෙන්. මේ හරියේ වෙනත් ගෙවතු වලත් මේ වගේ පුරාවස්තු හමු වෙන්න බොහෝ ඉඩ තියෙනවා. නමුත් අර කිව්ව අනියත බිය හන්දා අපට ඒවා නොලැබී යන්න ඇති.

රයිගම රාජධානියට අයත් භාන්ඩ කිසිවක් හොයා ගන්න අපි බොහෝ මහන්සි වුණා. ඒත් අපට රජමාලිගාව අසලින් හෝ පබළුවක් හෝ කාසියක් වත් හොයා ගන්න  බැරි වුණා. රයිගම් බණ්ඩාර කෙසේ වෙතත් අලකේශ්වර පරම්පරාව ඉතා පොහොසත් බවයි පිළිගැනෙන්නේ. ඒ හන්දා මේ සොයා ගැනීම ඉතා වැදගත්. ඒත් කෝ බලන්න යන්න හෝ වෙලාවක්.

Monday, November 30, 2015

The Selfish Gene


ගුනදාස ලියනගේ මහත්තයාගේ කනිටු පුතා වන වජිර ලියනගේ ඊයේ පෙරේදා දවසක මට කතා කලේ මම මුලින්ම ගිය පාසලේ මුල්ගුරුතුමා වන කුලපාල කුලතිලක මහතා ගැන ලිපියක් ලංකාදීප පත්තරේට ලියපු බව කියන්න. කුලපාල ගුරුතුමාගේ නෝනා මහත්තයා තමයි මගේ පහේ පන්තියේ ගුරුතුමිය. දිනක් වජිර ලියනගේ මහතා හොරණ ටවුමේ පිහිටි කුලපාල මහතාගේ ගෙදරගිය වෙලාවක මට ‍දුරකතනය දුන්නා කතා කරන්න. වයස වැඩි හන්දා මා හරියටම අදුනාගත්තේ නැති වුනත් අපි යටගියාව ගැන බොහෝ දේ කතා කළා. මගේ ගුරුතුමිය අපි ඒ දවස්වල ඇමතූ හැටියට ලොකුහාමිනේ බිතුසිතුවමක් වෙලා බොහෝ කල්.

වජිර මට පහුගිය සුමානේ මට කතා කලේ කුලපාල මහතාගේ මලගම කියන්න. අපේ අම්මාත් කුලපාල සර්ගේ ස්ටාප් එකේ ටික කලක් හිටිය හන්දාත් ඔහු අපේ තාත්තාගේ මිතුරකු වූ නිසාත් මම ගමට ගිහින් අම්මාවත් රැගෙන හොරණ ගියා. ආපසු එන ගමනෙදි පතහවත්තේ ලොකු හාමුදුරුවන් හමු වන්නත් ගියා. අපේ රයිගම උරුම කේන්ද්‍ර ව්‍යාපෘතිය තරමක අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ. අමාත්‍යාංශ මාරුවෙන් සහ මගේ අමාත්‍යාංශ මාරුවෙන් ව්‍යාපෘතිය දැනට තියෙන්නේ අමාරු තැනක. අපි ව්‍යාපෘතියේ පරිමානය සෑහෙන අඩුකළා. සැළසුම හදන මහාචාර්ය ඈෂ්ලි ඩි වොෂ් ගේ අනුදැනුම ඇතිව. ඒ අනුව අපේ ගොඩනැගිල්ලේ මැද පිහිටි ශාලාව 50ක ධාරිතාවක් දක්වා අපි අඩු කළා. ඒ නඩත්තුව සහ උපයෝගිතාව ගැන හිතලා. ඇරත් 200 ක් විතර එකතු වුනොත් අපහසුවෙන් හරි ධර්ම ශාලාවේ රැස් වෙන්න පුළුවන් වනවා. ඒත් මල්ටිමීඩියා වගේ දේවල් නම් එහි නැහැ. කොහොම වුනත් රයිගම වානීජ කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන්නට නව රජය සැලසුම් කරනවා. ඒ හන්දා ශාලාව ටිකක් ලොකුවුනත් කමක් නැහැ කියා සිතුනා. අනික දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම පිවිසුම තියෙන්නේ මෙතනට කිලෝමීටරයටත් අඩු දුරින්.

මහගෙදරින් දවල්ට කාලා පන්සලට යනකොට හාමුදුරුවන් සැතපෙන වෙලාව. සෙනසුරාදා හන්දා පන්සලත් අපේ පුරාවිද්‍යා බිමත් පාලුයි. ඒත් හාමුදුරුවන් අවදියෙන් සිටි හන්දා අපි නොයෙක් දේ ගැන කතා කළා. හාමුදුරුවන් කී දේවල් අතරින් වැඩිම බරක් තිබුනේ Richard Hawkins ගේ The Selfish Gene කියන පොත ගැන. රෑ බොවන කොට වැස්ස පටන් ගන්න හන්දා අපිට කතාව කෙටි කරන්න සිද්ද වුණා.   

Wednesday, November 25, 2015

ආදර සැමරුම් කැටිවුණු නෙතු කදුලින් මුතු පබුලින් නිමා කලෙමි........


අද ඉල්පෝය. පසුගිය පොහොය කිහිපයෙම මම හිටියේ රයිගම පතහවත්ත පංසලේ. අද ගෙදර. කොරියාවට ගිහින් සතියකට පස්සේ දවස් දහයකට ෂැංහායි වලට ගියා. දවස් දහයක් එක දිගට පිටරට ඉන්න එක දැන් ටිකක් අමාරුයි. ඉස්සර නම් මාස ගනන් ඉන්න පුළුවන් වුණා. මම කල්පනා කලේ එහෙම අපහසු වන්නේ ඇයි කියලා. එක පැත්තකට කාර්‍යබහුල රාජකාරි ජීවිතෙන් මදකට අයින් වෙලා ඉන්න ලැබීම සහනයක්. ගෙදර තියෙන අනේක විවිධ වැඩ වලින් මිදීමත් එක්තරා සහනයක්. සමහර අයට ඇතිවන කෑම බීම පිළිබද ප්‍රශ්ණයක් නැතත් දින ගනනක් ගෙදරින් ඈත්වෙලා ඉන්න එක අපහසුයි.

අපි චීනෙට ගියේ සමුද්‍ර පුරාවිද්‍යාව සම්බන්ධ රාජකාරියකට. දහතුන්වන ශත වර්ෂයේදී චීනෙන් ලංකාවට පැමිණි ෂෙන් හෝ නම් සෙන්පතියාගේ නැව් වලින් කිහිපයක්ම ලංකාවේ දකුණු මුහුදේ යට තියෙන බව සොයා ගෙන තියෙනවා. මේ කතාව රයිගමටත් එහි සිටිය අලකේෂ්වරටත් සම්බන්ධයි. (අපි බළාපොරොත්තු වුනේ මේ පිළබද හෝඩුවාවක් හෝ රයිගම කරපු කැනීම් වලින් ලැබෙයි කියලා.) දෙවිනුවර උපුල්වන් දෙවියන්ගේ දේවාලේ තිබුණු දැන් කොළඔ කෞතුකාගාරයේ තියෙන චීන, පර්සියානු සහ දමිල ත්‍රෛභාෂික සෙල් ලිපියත් ඊට සම්බන්ධයි. ඒවා ගැන වෙනම ලියන්න අවශ්‍යයි. ඒ පිළිබද ගවේෂනයක් දැන් සිදුකෙරෙමින් පවතිනවා.

ඊට අමතරව පුරා විද්‍යාවට සම්බන්ධ බොහෝ ස්ථාන නැරඹීමේ අවස්ථාව අපිට ලැබුණා. ඒ සම්බන්ධ සියලු විස්තර ලිවීමට අපහසුයි. කොරියාවේ ගිය වෙලාවේ මම අස්පර්ශ උරුමය සම්බන්ධ දූත මණ්ඩලයකට ගිය එක වැරදියි කියා ලංකාවේ පුස්තකාල අංශයට සම්බන්ධ නිලධාරියෙක් බෝයන්ග්ට ඊමේල් එකකින් ලියා තිබුණා. එයා ලියලා තිබුණේ මම සංස්කෘතික අමාත්‍යාංශයේ වැඩ කලත් ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ නැති නිලධාරියෙක් සහ ආණ්ඩුවේ ඇමති මණ්ඩල වෙනස් වීමත් එක්ක මා වෙනත් තැනකට මාරුවෙලා යන්නත් පුළුවන් කියළා. බෝයනග් ඇහැව්වේ ඒක ඇත්තටම අභ්‍යන්තර ප්‍රශ්ණයක් නිසා ඒගොල්ලන්ට ලියපු එක වැරදි වුනත් ඇත්තටම එහෙම මාරු වෙයිද කියා. අපි කවුරුත් මාරුවීම් වලට යටත් බව මම ඈට කිව්වා. ඒ වගේම ඒක ප්‍රශ්ණයක් නොවන බවත් මම කිව්වා. ඒත් ඇය කොච්චර කන්වින්ස් වුණාද මම දන්නේ නැහැ. මොකද රජයේ සේවයේ මේවාගේ කාරණා පුද්ගලානුබද්ධයි. ඇගේ කිසි උනක් නැති කෙනෙක් යම් තැනකට පත් වුනොත් සේරම හබක් කියන සත්‍යය ඇය අත්දැකීමෙන් දන්නවා ඇති. බොහෝ නිලධාරින් හට ආර්ථිකය ක්‍රියා කරන ආකාරය පිළිබද නිසි අවබෝධයක් නැති නිසා ප්‍රශ්න ඇති වෙනවා. සමහරු සත්භාවයෙන්ම රජයේ මුදල් ඉතිරිකරන්න පෙළඹෙනවා. තවත් සමහරු නීති රීති රැකීම දේවත්වයෙන් සිදුකරනවා. ඒත් නීති හදා ඇත්තේ මොකටද කියළා අමතක වෙනවා. මේ ඔක්කොටමත් වඩා ‍less work, less trouble තියරිය අදහන අය වැඩියි. එක් එක් ක්ෂේත්‍රයෙදි රජයේ භූමිකාව කුමක්දැයි දැන ගැනීම අවශ්‍යයි. කෙසේ වෙතත් අපේ කොරියන් මිෂන් එක සාර්ථකව සහ ඵලදායීව අපි සිදුකල බව කියන්නම ඕනා.

අපේ අමාත්‍යාංශ‍ය ආයිත් දෙකට කඩලා වෙනත් අමාත්‍යාංශත් සමග සම්බන්ධ කරලා හරිම අවුලක් අන්තිමේදි වුනේ. මම කරමින් හිටිය වැඩ වෙනත් අමාත්‍යාංශයකට ගියා. අපි ගන්ධබ්බ කාලෙක හිටියේ. මම කලින් වැඩ කරමින් සිටිය අංශය දැන් තියෙන අමාත්‍යාංශයට යන්න ඉල්ලුවත් ඒක හරියන පාටක් නෑවගේ හන්දා බොහෝ දෙනෙකුගේ නොමනාපයද මැද්දේ සංස්කෘතික පැත්තෙන් වෙනස්ම විෂය පථයක් ඇති අමාත්‍යාංශයකට මාරු වුණා. උරුම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුද්දක් ගෙවුනේ ඉක්මනින් වගේම බොහෝ අත්දැකීම් සහ මතකයන් ඉතිරි කරමින්. විශේෂයෙන් ක්ෂේත්‍රයට ගිය ගමන් ආශ්වාදජනතයි.  කෙසේ වෙතත් ආරම්භ කරපු වැඩ අතරමග නතර කරන්න බැහැ. Ceylon Tea වලට අවුරුදු 150 ක් පිරෙන 2017 අවුරුද්ද වන විට එය යුනෙස්කෝ ලෝක උරුමයක් කිරීම, කොළඔ කටුගෙයි අංග සම්පූර්ණ තොරතුරු මධ්‍යස්ථානයක් හැදීම, රයිගම ජනඋරුම මධ්‍යස්ථානය මේ අවුරුද්දේ නිමකරන්න හිටිය ප්‍රධාන වැඩ.  දඹාන විතරයි ඉවර කරන්න ලැබුනේ.

Sunday, November 22, 2015

සෝල්


සෝල් නගරයට ආවේ පළමු වතාවට. මීට කලින් වතාවේ කොරියාවේ ආවත් ඉන්චොන් වලට ඇවිත් ගියා විතරයි. රටේ ජනගහනය වන මිලියන පනහෙන් පහෙන් එකක් ජීවත් වන්නේ සෝල් නුවර. ඒත් වැඩි තදබදයක් පේන්න නැහැ. අද සෝල් නුවර අපි ගෙවන දෙවෙනි දවස. ඊයේ අපි සෝල් චිත්‍රපට ලේඛනාගාරය  සහ කුගාක් ගුවන් විදුලි ආයතනයට ගියාග කුගාක් කියන්නේ ජනකලා කියන එක. ඒත් ඉංග්‍රීසියෙන් ලියන්නේ ගුගාක් කියළා. හරියට ගැන්ගම් ස්ටයිල් වගේ. අපි වතාවක ගැන්ගම් නේබරර්හුඩ් එක පසු කරන් ගියා. එතකොට ඒගොල්ල කිව්වේ මේක තමයි කැන්නම් ප්‍රදේශය කියලා.

 

ලේඛනාගාරයේ සියළුම දේවල ප්‍රමිතිය ඉතාම ඉහල මට්ටමක තිබුණා. ගොඩනැගිල්ල හදිසි ආපදාවකට පවා ඔරොත්තු දෙන්න සකස් කර ඇති බව අපට පෙන්වා දුන්නා. ලේඛනාගාරයේ තාක්ෂණය වගේම එයට ලේඛන ලබා ගැනීමේ ක්‍රමවේදය පවා ඉතා ක්‍රමවත්.

 

කොරියානු අපිට සෝල් නුවරින් පිට පිහිටි චිත්‍රපට ශබ්දාගාරයක් බලන්න යන්නයි අපි පිටත් වුනේ. අපිටම වෙන් කරගත් බස් රථයෙන් ශබ්දාගාරය තිබුණු ප්‍රදේශයට යන්න අපට පැය බාගයකට වැඩිය ගියා.
ඊටපස්සේ අපි එලිමහන් චිත්‍රාගාරයට ගියා. ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ චංගුමී රූගත කර ඇත්තේ එහිදී. පින්තූර කිහිපයකින් කතාව කෙටි කරන්නට පුළුවනි. එකම ප්‍රශ්නය බෝයන්ග් එවා තිබුණු පින්තූර අටසිය ගානෙන් මොකක්ද තෝරා ගන්නේ කියන එක.


 


Wednesday, October 21, 2015

තෙවැනි දවස

පසුවදා උදේ අපි තවදුරටත් ද්විපාර්ශ්වික සාකච්ඡාව තවදුරටත් පවත්වාගෙන ගියා. එහිදී ඉච්කැප් ආයතයයේ පාලක සභාවේ ආසනයක් අපේ රටට දෙන්නට ඔවුන් කැමැත්ත පල කළා. ඒ ගැන රජය වෙනුවෙන් ස්තූතියත් ඒ සදහා එකගතාවයත් අපි පලකළා. ඊටත් අමතරව පාලක මණ්ඩලයේ මීලග රැස්වීම ලංකාවේ පැවැත්වීම සදහා අපේ අදහස් විමසුවා. මේවගේ වෙලාවක ඒ සදහා වැයවන මුදල් ප්‍රධාන වශයෙන් සලකා බලන්න ඕනා කාරනයක්. එහිදී දැනගන්නට ලැබුනේ සියයට තිහක් අපි වියදම් දරණ විට කොරියාව සියයට හැත්තෑවක් දරන බව. ඒ තත්ත්වය යටතේ ඒ සදහා ප්‍රතිපත්තිමය වශයෙන් අපි එකග වුණා. අපේ ව්‍යාපෘතියේ කටයුතු ගැනත් අපි දීර්ඝ වශයෙන් කතා කළා. අත්සන් කිරීමට නියමිත ගිවිසුමේ පරිච්ඡේද එකින් එකට ගෙන සාකච්ඡා කර සම්මුතීන්ට එළ‍ඹෙන්නට අපට හැකිවුණා.


ඊළගට අපට යන්නට තිබුනේ කේබීසී කියන ආයතනයට. එය කොරියානු ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන ආයතනයක්. අපි ගියේ එහි ප්‍රාදේශික මූලස්ථානයට. එහි ප්‍රධානියා මුනගැහිලා කතා කළා. එහි මූලස්ථානය ඇත්තේ සෝල් නුවර. වැඩසටහන් යන්නේ හයිබ්‍රිඩ් ක්‍රමයකට. මූලික වැඩසටහන් සෝල්නුවරින් ප්‍රචාරය කරන අයුරින් කෙලින්ම ප්‍රචාරය කරනවා. අනෙක් කොටස ප්‍රදේශීය මධ්‍යස්ථානය මගින් නිපදවන වැඩසටහන්. උදාහරනයක් හැටියට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ පලමු කොටස සෝල් නුවරින් දීපව්‍යාප්තව ප්‍රදාරය කෙරෙන අතර දෙවැනි භාගය ප්‍රදේශීය මධ්‍යස්ථානය මගින් සකසන ප්‍රාදේශීය ප්‍රවෘත්ති. අපේ කණ්ඩායම කේබීසී ප්‍රදේශීය මූලස්ථානයට පැමිණීමත් එදා හවස ප්‍රදේශීය ප්‍රවෘත්ති වල විකාශය වූ බව පසුව අපට කිව්වේ බෝයන්ග්. මේ සියල්ලට පසුව අපි අපේ කොරියන් සගයින් තිදෙනාත් සමග බස් රථයෙන් සෝල් බලා එන්න පිටත් වුණා. ගමන පැය දෙකහමාරක විතර එකක්. කලින් කිව්වා වගේ කොරියානු කෙත්වතු, ගම්මාන, කදුහෙල්, බිම්ගෙවල්, සහ කැලෑ රොදවල් මැදින් ගිය ඒ ගමන සුන්දරයි. අධිවේගී මාර්ගය හරහා බස් රථයෙන් එන ගමන් අතරමගදී රාත්‍රී ආහාරය ගත්තා. කොරියානු ක්‍රමයේ වන්පොට් මීල් එකක රහ බලලා අපි සෝල් වලට එනකොට රෑ බෝවෙලා. ‍අපි නවාතැන් ගත් හෝටලය අවට ටිකක් ඇවිදලා නින්දට ගියා.

Tuesday, October 13, 2015

දෙවෙනි දවස

කොරියාවේ ගත කරපු දෙවෙනි දවසේ අපේ වැඩමුළුව පැවැත්වුනා. අපේ මාතෘකාව දැනට ඇනලොග් තාක්ෂණයෙන් පවතින ජනකලා නිර්මාණ එකතුවන් ඩිජිටල් කරන්නේ කොහොමද කියන එක. ඒක බැලුවහම ලොකු රොකට් සයන්ස් එකක් නෙමෙයි. ඒත් ඒගැන ගැඹුරින් බැලුවහම තමයි තේරෙන්නෙ සලකා බලන්න දේවල් කොපමන තියෙනවද කියලා. කොරියාවේ මේ සම්බන්ධ අත්දැකීම් තාක්ෂණික වශයෙන් සහ ආයතනිත වශයෙන් දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. එක සෙෂන් එකක් මෙහෙයවන්නත් මට සිදුවූ නිසා හවස් වෙන කොට මම මනසින් හෙම්බත් වෙලා හිටියේ.  හවස් වරුවේ අපි කොරියාවේ සගයින් හතරදෙනෙකු සමග හැනොක් ගම්මානයේ රාත්‍රී අහාරය ගන්න ගියා. බෝයනග්, සෝයන්ග් සහ ජින් ජියොන් කියන අපේ කාන්තා සගයින් සමග එහි ගියේ ඉච්කැප් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහුගේ නම පාර්ක්. ඉතාලියානු රෙස්ටුරන්ටුවකින් කෑම ගැනීමෙන් අනතුරුව අපි සෝයන්ග් එක්ක හැනොක් ගම්මානයේ ඇවිදින්න ගියා. සෑහෙන දුරක් ඇවිද්දට පස්සේ ඒ නගරයට අළුත් සෝයන්ග්ට ආපසු එන්න පාර සොයා ගන්න බැරි වුණා. එන්නට පාර සොයා දුන්නේ අපි. ඒ පැත්තට තිබුණු උසම ගොඩනැගිල්ල අපි හිටිය හෝටලය බව දැනගෙන හිටියා නම් ඕනා කෙනෙකුට පාර සොයා ගන්න අමාරු නැහැ. රාත්‍රිය තවමත් තරුණ හන්දා අපේ සගයින් දෙදෙනෙකුත් සමග අපි ගියේ නොනිදන වීදියට. එහි තිබූ අවහන්හල් වල ඒතරම් සෙනගක් හිටියේ නැහැ. අපි ගොඩවුනු මියුසික් පබ් එකේ ඒ වෙද්දි කවරුත් නැති තරම්. අපි සෝජු නමැති කොරියන් බීමෙන් තරමක් සප්පායම් වෙලා පබ් එකේ අයිතිකාරයා වගේ පෙනුන කොල්ලා එක්ක කතාවට වැටුනා. ඒත් කතාව වැඩිපුර ගියේ බොඩි ලැන්ග්වේජ් එකෙන්. අපි ලංකාවේ කියල දැනගත්තහම ඔහු ලංකාවේ සින්දුවක් හොයන්නට මහන්සි වුණා. අන්තිමට සොයා ගත්තු එක තමයි අපේ ජාතික ගීය. අපි ජාතික ගීයත් අහලා මධ්‍යම රාත්‍රිය ලංවෙද්දි කාමරයට ඇවිත් නිදා ගත්තා. 

Wednesday, October 7, 2015

Five nights in Korea


පසුගිය සතියට කලින් සතිය ගෙවුනේ දකුණු කොරියාවේ. දෙවෙනි වතාවට එහි ගියේ. ඉරිදා රෑ කොළඹින් ගුවන්ගත වෙලා පැය අටහමාරකට පස්සේ කොරියාවේ ඉන්චොන් ගුවන්තොටට ගොඩබැස්සා. අපිව පිළිගන්න ඇවිත් හිටියේ කොරියාවේ ICHCAP ආයතනයේ නිලධාරිනියක් ඇවිත් හිටියා. එයා බොහොම තරුණයි. නම සෝ-යන්ග්. යන්ග් කියන කොටස කොරියන් නම් වල බහුලව යෙදෙනවා. සෝයන්ග් ගේ ලගම ප්‍රධානියාත් තරුණියක්. ඇයගේ නම බෝයන්ග්. ඇයත් එක්ක අපි ගියේ ඉන්චොන් වලින් කිලෝමීටර දෙසිය පනහක් පමණ දුරින් පිහිටි ජොන්ජු Jeonju කියන නගරයට. බසයෙන් අධිවේගී මාර්ගය හරහා එහි යන්නට පැය දෙකකට වැඩිය ගියා. එය කොරියාවේ Jeollabuk පලාතේ අගනගරය. ඒත් විශාල නගරයක් නොවේ. ඉනිචොන් සිට ඒ දක්වා යන මාර්ගය ඉතා සුන්දරයි. පළමු පාරට තමයි කොරියාවේ ගම්මාන නැත්නම් ග්‍රාමීය ප්‍රදේශ මොන වගේද කියලා දැක්කේ. කුඹුරු වලට අමතරව උෂ්නාගාර වල එළවලු වගාවත් හැමතැනම දකින්නට තිබුණා. අතරින් පතර ගෙවල් සහිත බිම් කඩවල්. ඊට අමතරව පයිනස්, වෙනත් සදාහරිත ගස් වගේම අපේ හෝටන් තැන්නේ තියෙන වෘක්ෂලතාදියට තරමක් සමාන කැලෑ රොදවල් දකින්නට තිබුණා. අධිවේගී මාර්ගය බිම්ගෙවල් කිහියක් හරහා ඉදිරියට ඇදුනා. ගමේත් නගරයේ යටිතල පහසුකම් නම් අදාල පරිදි අඩුනැතිව දක්නට ලැබුණා. සමහරක් ගෙවල් ඇති බිම්කඩවලට යන්න අධිවේගී මාර්ගය දෙපස ඇති කුඹුරු හරහා කුඩා කොන්ක්‍රීට් පාරවල් තිබුණා. එහෙම පාරක ඇවිදගෙන ගිහින් අර ඈතින් පෙනුන ගම්මානයක් බලන්න තිබුණා නම් හොදයි.

අපේ වැඩසටහන අස්පර්ෂ උරුමය හා සම්බන්ධ එකක්. පලමු දිනයේ අපි ඉච්කැප් ආයතනයේ එක් එක් අංශ වලට ගිහින් බැලුවා. ඊලගට ගියේ නගරාධිපතිතුමා හමුවන්න. ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මාව ඹහුගේ කාරයේ නංවාගෙන ගියේ වැඩිදුර තොරතුරු කතා කරන්නට වෙලාවක් ගන්නයි. නගරාධිපතිතුමා අපූරු මනුස්සයෙක්. එයා වැඩකරන මේසය අපිට පෙන්නුවා. එය අපි නැගිට්ටාම අපේ පපුවට තරම් උසයි. එය උඩ එයාගේ ලැප්ටොප් එකත් තියා තිබුණා. මොකද එයා වැඩ කරන්නේ හිටගෙන. එය වඩා ඵලදායි බවයි ඹහුගේ අදහස. නගරයේ තේමා පාඨය වන්නේ

පසුවදා නගරාධිපතිතුමා අපට පණිවුඩයක් එවා තිබුණා ලංකාවේ නගරයක් සමග ද්විත්ව නගර වැඩ සටහනක් කරන්න කැමැති බව. ඒකට හරියන නගරයක් සොයා ගන්න ඹ්නා. රාත්‍රී අහාරය සදහා අපි කොරියානු අවන්හලකට ගියේ. අවන්හලට පහලින් තිබුනේ හැනොක් ගම්මානය කියන පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පයෙන් යුතු ගෙවල් රාශියක් සහිත ප්‍රදේශයක්. එය සංචාරක ආකර්ශණයක් විදිහට පවත්වාගෙන යනවා. කෙනෙක්ට එහි ගිහින් පාරම්පරික විදිහට හෝ නවීන විදිහට ආහාර ගන්නත් නවාතැන් ගන්නත් පුළුවන්. අවුරුද්දකට එය නරඹන්න එන සංඛ්‍යාව මිලියන හයක් පමණ වන බව කියවුණා. රාත්‍රී ජීවියක් තියෙන එක මාවතක් ඒ හැනොක් ගම්මානය අසලින් තියෙනවා. සේරම වැඩ ඉවරවෙලා අපේ සගයෙකු සමග එහි ගියේ බීර වීදුරුවක් බොන්න. අපි නැවත හෝටලයට එනකොට රාත්‍රී දොලහ පසුවෙලා.  

Saturday, September 5, 2015

දඹානෙන් රයිගමට

හිටපු විගනකාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පත් වෙලා දවසෙන් ඉල්ලා අස්වෙන ගමන් අපූරු කතාවක් කළා. එහි යටිපෙල තමයි ඡන්ද දායකයින් වැඩි දෙනෙක් ජවිපෙ හෙවත් යහපාලනයේ නැත්නම් දේශපාලන අවංකත්වයේ ප්‍රතිමූර්තිය ප්‍රතික්ෂේප කරපු හන්දා ඔහුට පාර්ලිමෙන්තුව තුල කරන්න කාර්‍යයක් නැතැයි කියන එක. ජවිපෙ අවංකභාවය ගැන අපට යම් පැහැදීමක් තිබුනත් ජනතාව ඡන්දෙ ඹවුනට නොදීමට වෙනත් හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. කෙසේ නමුත් මායාදුන්නෙ මහත්තයාගේ කතාවේ ගන්න පුළුවන් පැත්තක් තියෙනවා.
ඊයේ පෙරේදා දවසක පිටරටකින් ආපු අපේ මිතුරකුත් සමග සැන්දෑවක් ගත කරන්න ලැබුණා සෑහෙන වෙලාවක් අතීතකාමයේ හැසිරිලා (මගේ පරන ලියවිල්ලක නොස්ටල්ජියා කියන වචනේ දැකලා වයසින් බාල යහළුවෙක් මගෙන් ඇහුවේ ඒකේ තේරුම මොකක්ද කියලා. මම විස්තර කරන කොට ඔහු තමයි අතීතකාමය කියන නම දුන්නේ. මලලසේකර ශබ්දකෝෂයේ තියෙන්නෙ එහෙම වෙන්නැති) මට නම් වර්තමානකාමයේ හැසිරෙන්න ඊට වඩා කැමැත්තක් තියෙන හන්දා බොහෝවෙලාවක් නිහඩවම ඉන්න මට සිද්ධවුණා. අන්තිමට තමයි අපේ කට්ටිය වර්තමානෙට ආවේ.
පිටරටින් ආපු යාළුවා කිව්වේ ලංකාව දැක්කහම මේ අපිලිවෙල ගැන දුක හිතෙනවා කියලා. අපට ඒ ගැන එකග වෙන්න සිදුවුනත් අපිට හැදෙන්නෙ කොහොමද, අක්‍රමිකතා නවත්වන්නෙ කොහොමද කියළා අපිට කියළා දෙන පිටරටින් එන අපේ මිත්‍රයා වගේ අයවුනත් කොච්චර දුරට මේ ක්‍රමයට පොහොර දානවාද කියලා නොකියා කියන්න මට සිද්ධවුණා. පිටරටින් එන අය ඇතුළුව හැමෝම මෙහෙ ඇවිල්ලා හොයන්නේ වංගු. මම මුදල්  අමාත්‍යාංශයේ වැඩ කරන කාලයේ මගේ පාස්පෝට් එක අළුත්කරන්න ඕනා වුනාම මම පෝලිමේ ගිය බව මම ඔවුන්ට කිව්වා. සාමාන්‍යයෙන් යාළුමිත්‍රාදින්ගෙන් ඒවගේ ඉල්ලීම් මට නිතරම ලැබෙනවා. පුළුවන් විටදී මම පෝලිම් පන්නලා උදවු කරලත් තියෙනවා. ඇයි ඒත් ඉතින් මේ වැදි බණ කියන්නේ.  
දැන් පතහවත්තට යමු. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාත් සමග එහි ගියේ ඉදිරිවැඩපිළිවෙල සාකච්ඡා කරන්න. උදේ වරුවේ අපි වැව ආශ්‍රිත ‍‍‍‍ඉතිහාසගත තැන් කිහිපයක් බලන්න ගියා. මෙම ස්ථාන පිළිබදව කරුණු බොහොමයක් එච්. ඩී. පීටර් ජයතිලක හෙවත් පීටර් මහත්තයාගේ රයිගම්පුර පුරාණය පොතෙන් අපට දැනගන්නට ලැබුණා. අසුන් නාවපු තොටුපලත්, වෙහෙරගොඩැල්ලත් අපි බලන්නට ගියා. වෙහෙරගොඩැල්ල සමතලා කරලා දැන් ඊට උඩින් ගෙයක් හදලා. එහි හම්බවුනා කියන රන්කාසි සොයාගන්න ලැබෙන එකක් නෑ වගේ. අපිට සොයා ගන්නට පුළුවන් වුනේ අතීතයට අයිති යැයි සිතිය හැකි වළං කැබලි කිහිපයක් පමනයි. පසුවදාට පෝය යෙදී තිබුණු හන්දා හදපානේ රජ පොකුණ කැමරා කාචයකින් අල්ලා ගන්නට අපිට ඕනා වුනත් කණ්ඩායමේ මා හැර අනෙක් අය කාන්තාවන් වීම නිසා අපිට රෑ බෝවන්නට පෙර විසිර යන්නට සිදුවුණා. රයිගම් රාජධානිය අලලා ඓතිහාසික නවකතාවක් හිතේ ඇදුනත් එය ලියන්න නම් සෑහෙන වෙහෙසක් දරන්න සිදු වෙනවා. කෝ වෙලාවක් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යන්න?

අගහරුවාදා අපි මීගමුවේ වලිසිංහ හරිස්චන්ද්‍ර කෞතුකාගාරය සහ සංස්කෘතික මධ්‍යස්ථානය බලන්න ගියා. එය දැනට නම් පාලුවට ගිහින් වගේ. එය වලිසිංහ හරිස්චන්ද්‍රයන් හිටපු ගෙදරයි. සිංහල බෞද්ධ උරුමය රැකගැනීමේ ව්‍යාපාරයක එතුමා නිරතවී ඇත්තේ. ඒත් ගේ වටේටම කතෝලික අය ජීවත් වන හන්දා මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම්වලට ඔවුන්ගේ සහයක් නැතුවද මන්දා.  ඔහුගේ ශත සංවත්සරයට ප්‍රකාශයට පත් කරපු පොතක් ලැබීම ලොකුදෙයක්. අනුරාධපුර පූජාභූමිය බේරා ගන්නට ඔහු කළ මෙහෙය අමිලයි. එච් සී. පී. බෙල් මහතාගේ සමහර ක්‍රියාවන් පවා ඔහුගේ විවෙචනයට ලක්වී ඇති බව එහි ලියැවී තිබුණා. 

Tuesday, August 11, 2015

නෑ හිත රිදුනේ......


කලිනුත් ලිවුවා වගේ සති අන්ත කිහිපයක් ගෙදිරින් පිට ඉන්න වුණාම වැඩ අවුල් වෙනවා. මාස ගණනක් වෙහෙස මහන්සි වෙලා කණ්ඩායමක් හැටියට වැඩ කරලා හිතේ තියෙන මට්ටමට ලංවෙන්න පුළුවන් විදිහට වැඩක් කලාම හිතට සංතෝෂයි. දඹාන ආදිවාසි කෞතුකාගාරය නවීකරණය නිමා කළාම ඇතිවුනේ ඒ වගේ සතුටක්. ඒ උත්සවය තිබුණේ පසුගිය ඉරිදා. එහෙම සතුටක් තනිවම පැත්තකට වෙලා විදින්න මම කැමතියි. උත්සවය යන අතරතුරත් මම ඒ සතුට බුක්ති වින්දා. එක එක අය දේවල් බුක්ති විදින විදිහ වෙනස්. සමහර වෙලාවට කෙනෙක් තමන්ට අයිති නැති දේත් බුක්ති විදිනවා. එහෙම පුළුවන් නම් ඒකෙ වරදක් නැහැ. අළුත් දේවල් උගෙන ගත්තා. අපේ සමාජය ගැන.  සුන්දරයි කියා හිතූ අසුන්දර හදවත් ද හදුනා ගන්නට පුලුවන් වුණා. ඒත් මේ සේරම දිහා ටිකක් ඈත් වෙලා නිවිහැනහිල්ලේ බලා ඉන්න එක සුන්දරයි.

දැන් මගේ බ්ලොග් ලියවිල්ල දිනපොතක් මට්ටමට වැටිලා. ඒත් ලියවෙන්නෙ කළාතුරකින්. පතහවත්ත පුරාවිද්‍යා බිමේ පිහිටුවන්න යන කෞතුකාගාරය නැත්නම් තොරතුරු මධ්‍යස්ථානයට ගැලපෙන කළමනාකරණ සැලැස්මක් හදමින් ඉන්නේ. නිතරම පාහේ පන්සල්වලින් අපට ඉල්ලීම් එනවා ඒවා සතු පුරාවස්තු ප්‍රදර්ශනය කරන්න කුඩා කෞතුකාගාර නැත්නම් කබඩ් වගේ ඒවා හදලා දෙන්න කියලා. ඒත් ලංකාවේ හැම ගැනම අසීමිත විදිහට කෞතුකාගාර හදන්නත් ඒවා නඩත්තු කරන්නත් රජයට බැහැ. ඒ නිසා ගැලපෙන කලමණාකරන ක්‍රමයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය දෙයක්.   

Tuesday, August 4, 2015

වටම ගොහින්


ක්ෂේත්‍ර චාරිකා යනකොට කන්තෝරුවේ වැඩ අතපසු වෙනවා. ඒත් ක්ෂේත්‍රයේ යන එක ආශ්වාදජනකයි. පසුගිය බදාදා අපි ගියේ බණ්ඩාරගම, කොතළාවල, පතහවත්ත පන්සල ආශ්‍රිත පුරාවිද්‍යාභූමිය ආශ්‍රිත රාජකාරියක් සදහා. කොතලාවල කියන්නේ අපේ ගම. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙක් මාත් එක්ක එයට සම්බන්ධවුණා.අපි ගවේෂණය කළේ රයිගම්බණ්ඩාර රජ්ජුරුවන් කලැයි කියන උයන්වත්ත වැව.ගමේ කිහිප දෙනෙක් එක්ක අපි වැව වටේ ඇවිද්දා. පුංචි කාලේ ගමේ හිටියත් අපට එහෙම වැව වටේටම යන්න ලැබිලා නැහැ. වැවේ වතුර මට්ටම අඩුවීම අපට පහසුවක් වුණා. රජ්ජුරුවන්ගේ මල්උයන තිබුනැයි කියන ප්‍රදේශයේ පස් සාම්පලයක් පරීක්ෂා කරන්න අපි තීරනය කළා.ඒකෙන් මල්වල පරාග තිබුනොත් සොයා ගන්න පුළුවන් වෙයි. අපිට මේ ගමනෙදි විශේෂ දේවල් සොයා ගන්න නොලැබුනත් පරිසරයේ ශාක සහ සත්ව ප්‍රජාව ගැන අවබෝධයක් වගේම ඉතිහාසයට අදාලව ගම්මුන්ගෙන් වැදගත් තොරතුරු රාශියක් දැනගන්නට ලැබුණා. ඒවා ඔස්සේ ආයිත් දිනක් එහි යන්න ඕනා. දවල් දෙකට පමණ පතහවත්තේ ලොකු හාමුදුරුවන් අපිට මාළුපිනි හතඅටක් සහිත දිවා ආහාරයක් ලබා දුන්නා. කෑමෙන් පස්සේ රයිගම කොතලාවල රජමහා විහාරයට ගියා. ලොකු හාමුදුරුවන් මුලින්ම හමු වුනේ උන්වහන්සෙගේ කුටියෙදි. නෑකමට උන්වහන්සේ අපේ බාප්පා. ඉතාම කුඩා කුටියක අල්පේච්චිතව උන්වහන්සේ වැඩ ඉන්නේ. අපි පුළුවන් හැටියට එහි තිබූ කුඩා පුටුවල වාඩිවෙලා අපේ උවමනාව කිව්වා. විශ්‍රාමලත් උපාධිධාරී ගුරුවරයකු ද වන උන්වහන්සේ ගෙන් වැදගත් තොරතුරු රාශියක් අපට ලැබුණා. වැව ආශ්‍රිතව ඇති ගල් ඔරුවත්, අශ්වයින් නාවපු ‍ස්ථානය, අලි නාවපු ස්ථානය සහ පංසලේ තිබෙන පුරාවස්තු ගැනත් අපි දැනගත්තේ උන්වහන්සේගෙන්. පන්සලේ තියෙන ගම්පල යුගයට අයත් පැරණි ලෝකඩ පිළිමත්, පැරණි පුස්කොල පොතුත් අපිට බලන්නට අවස්ථාව ලැබුණා.ඊට අමතරව කිලෝමීටර් අටක් පමණ දුරින් පිහිටි දොඔගොඩ පන්සලේ තියෙන සෙල් ලිපියක් ගැන ලොකුහාමුදුරුවන් අපට කිව්වා. වෙලාව තරමක් ඉක්මවා ගියත් අපි තීරණය කළා සෙල්ලිපිය බලන්නට යන්න. අපි කොළඔට එනවිට රාත්‍රී හතහමාරත් පහුවෙලා.

පසුගිය සිකුරාදා සංරක්ෂණය කරපු අභයගිරි දාගැබ විවෘත කළා. ක්‍රිස්තු පූර්ව පලමුවන සියවසේ ඉදිකරපු අභයගිරි චෛත්‍ය සංරක්ෂණයට අවුරුදු දහඅටක් ගතවෙලා තියනවා. පෞරාණික ගොඩනැගිල්ලක් සංරක්ෂණය කරන එක අමාරු වගේම පරිස්සමෙන් කරන්න ඕනා කාරියක්. ඒ හන්දාම එයට කාලයක් ගතවෙනවා. අභයගිරිය සංරක්ෂණය කරන විට එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගඩොල් එලියට පෙනෙන්න තියනවද නැත්නම් හුණු පිරියම් කරනවද කියන එක විවාදාත්මක වුණා. අභයගිරිය අතීතයෙදී සුණු පිරියම් කර තිබූ බව කියැවෙනවා. අවසානයෙදි එය පුරාවිද්‍යා ස්මාරකයක් අයුරින් ගඩොල් එලියට පෙනෙන්න ඉදිකර තියෙන්නෙ. කෙසේ වෙතත් එය සදැහැවතුන් මල් පහන් පූජා කරන පූජා භූමියක්. සෙනසුරාදා අපි රජගල පුරාවිද්‍යා භූමිය බලන්න ගියා. එය ලෙන් විහාර සහ ගිරිවිහාර වලින් සමන්විත ආරණ්‍ය සංකීර්ණයක්. ඒක ටිකක් දිග කතාවක්.

Sunday, July 19, 2015

Sovietica


Совьетика = Sovi<E2>etica

පසුගිය දවස් තුනක් ගෙවුනේ පොලොන්නරුවේ. පාසල් ළමුන් සදහා වන නේවාසික වැඩසටහනට සහභාගිවන්නට එහි ගියේ. දෙමල මහ සෑයේ සහ තිවංක පිළිම ගෙයි කැනීම් සහ සංරක්ෂණ කටයුතු පිළිබද ප්‍රයෝගික අත්දැකීම් ඉතා සාර්ථකව කෙරුණා කියන්නට පුළුවන්. ඒත් තනි දවසේ වැඩ සටහන වෙනුවට දවස් දෙකක නේවාසික වැඩ සටහනක් තිබ්බහම ළමයින්ට මානසික ඒකාග්‍රතාවය දිගටම තියා ගන්න අමාරු බවයි පෙණුනේ.

හවස් වරුවේ අපට මුණගැසුණා තරුණ කෘෂිකර්ම උපදේශකවරයෙක්. ඔහු කීවේ කෞතුකාගරයට යන්න ඕනා භාණ්ඩ සෑහෙන ගණනක් ජනතාව අතර තිබුනත් ඒවා භාර නොදෙන්නේ බය නිසා කියන එක. ඒකට හේතුව භාණ්ඩ හමුවුණු ඉඩම ආදිය රජයට ගනී කියන බය එක පැත්තකින්. අනෙක් පැත්තෙන් හිරේ විලංගුවේ වැටෙයිද කියන බය. ඊටත් අමතරව බලධාරීන් පිළිබදව විශ්වාසයක් නැතිකම. ඔහු කීවේ උතුරු මැද පළාතේ පුෂ්පය නම් කිරීමේ තරගයට සහභාගී වී ඔහු ජයග්‍රහණය කලත් විදේශ සංචාරයක් ඇතුළු පොරොන්දු වූ තෑගි නොලැබුණු බව. ඒවා නිළධාරින්ම බෙදා හදා ගත්තාලු. මේවාට දැනුවත් කිරීම් කරන්නට අවශ්‍යයි.

අද නුගේගොඩට ගිය ගමන් සෝවියට් පොත් විකුණන “දුයිෂෙන් ගේ පොත් හලට“ ගොඩවුණා. ඒක කරන්නේ අපේ මිත්‍රයෙක්. සෑහෙන දවසකින් මට එහි යන්නට බැරි වුණා. එහිදී ඉරීනා මලෙන්කෝ නැමැති ලේඛිකාවගේ සෝවියටිකා නමැති කෘතියේ සිංහල පරිවර්තනය අරගත්තා. සමාජවාදී සෝවියට් දේශය ගැන නොස්ටල්ජික් හැගීමෙන් ලියපු පොතක් ඒක. මට මතක් වුනේ අපි රුසියාවේ හිටපු කාලය. ඇත්තටම පෙරිස්ත්‍රොයිකාව සිද්ධ වුණේ ඒ කාලේ. අපි එහි ගිය මුල් කාලේ අපි අත්විදි සෝවියට් ක්‍රමය ගැන ලංකාවෙන් ගිය අපේ බොහෝ සහෝදරයින් දක්වපු ආකල්පත් මට මතක් වුණා. ඒ කාලේ බොහෝ දෙනෙක් නිවාඩු කාල වලදී බටහිර රටවලට ගියේ අර්ධකාලීන රැකියාවක් කරලා සල්ලි කීයක් හරි සොයා ගන්නම නොවෙයි. ඒක විලාසිතාවක් වුණා. එම රටවල් වල සවාරි පිළිබද විස්තර සහ රැසියාවේ තත්ත්වය සමග එහි වාතාවරනය සංසන්දනය කිරීමත් හොදින් කෙරුණා. සමහරු කිව්වේ සුද්දන්ට දුන්නා නම් අවුරුද්දෙන් රුසියාව හදයි කියලා. එක පැත්තකින් අපේ කට්ටිය මේවට ආවැඩුවේ ඔවුන්ගේ පරමාදර්ශයත්, උපාධිය ගැනීමෙන් පසු ජීවිතය ගතකරන්න බළාපොරොත්තු වුනෙත් ඒ රටවල හන්දා. මොස්කව් නගරයට මැක්ඩොනල්ඩ් සමාගමේ අවන්හල් ආවහම දිගු පෝලිම් වල අපේ අයත් නිතර සිටියා. කොකාකෝලා බෝතල් වලින් ක්වාස් කරත්තය විස්ථාපනය වෙනවා අපි බලා හිටියේ දුකින්. මොස්කව් වල අති පිරිසිදුවට තිබුණු උමං දුම්රිය පොල බියර් කෑන් ආදියෙන් අපවිත්‍ර වී ගෙන යන හැටි අපි බලා සිටියේ දුකින්. මොස්කව් නගරයට ආවේනික වූ සුවද නැති වෙලා ගියේ බලා හිටිද්දි. මේ ලිස්ට් එක තව බොහෝ දුරට ලියන්න පුළුවන්. පුදුමය නම් ඒ සියල්ලත් තවත් බොහෝ දේත් යටකිව් පොතේ අඩංගුවීම. ඉංග්‍රීසියෙන් රුසියන් සංස්කෘතියේ දේ ලියා ඒවා සිංහලට ගැනීමෙදි ඇතිවී ඇති යම් යම් ප්‍රශ්ණ තියෙයි වගේ පෙනුනත් රසවිදීමට එය එතරම් බාධාවක් නොවෙයි.

Monday, July 13, 2015

දෙලොවක් අතර




ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දූල් කලාම් පසුගිය දිනක ලංකාවට ආවා. ඔහු විදුලිබල අමාත්‍යාංශය විසින් පවත්වපු බලශක්ති වැඩමුළුවක ආරම්භක ආරාධිත දේශණය කරන්න පැමිණියේ. සමාරම්භක උත්සවය කොළඔ හිල්ටන් හෝටලයේ පැවැත්වුනේ. කොහොමද ඒකට යන්නේ කියලා හිත හිතා ඉන්න කොට තමයි රාජකාරී මට්ටමෙන් ආරාධනාව ලැබුණේ. රජයේ සේවකයකු වීමේ වාසිත් සමහරක් වෙලාවට තියනවා.

උත්සවයේදී මේ අද්විතීය විද්‍යාඥයා පිළිබදව හදුන්වා දුන් ආකාරය ගැන ඔහු සතුටු වුනාද මම දන්නේ නැහැ. මම නම් නැහැ. එහිදී අබ්දූල් කලාම් කියන දාර්ශනිකයා, සංවර්ධන චින්තකයා එහෙමත් නැත්නම් අනාගතය දකින්නා එළියට ආවේ ඉතාම දුප්පත් ආකාරයට. අඩුගානේ ඔහුගේ wings of fire කෘතියවවත් හරියට කියවලා තිබුණානම් ඒ හැදින්වීම් මීට වඩා හොද වෙන්න තිබුණා. ලෝකය ගැන ඉතාම පුළුල් දැක්මක් ඇති බොහෝ අය කරන ආකාරයටම ඔහුගේ එදා කතාව ඉතාම සරළව, සජීවිව සහ ගැඹුරුව කළා කියලා මම හිතන්නේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවුරුදු 125 ක් පිරුණා මේ අවුරුද්දට. ඒ නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිතක්, සංඝයා වහන්සේ 125 නමකට දානය, පුරාවිද්‍යා ප්‍රදර්ශණයක් ඇතුළු බොහෝ දේ සිදු කෙරුණා. අනිද්දා පුරාවිද්‍යා සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. පහුගිය දින කිහිපයේ ඒ සම්බන්ධයෙන් තරමක් වෙහෙ‍සෙන්නට සිදු වුණා.

ඊයේ ඒ කියන්නෙ සිකුරාදා නුවර කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරන්නට ගියා. කටුගෙය පිහිටලා තියෙන්නේ රජ්ජුරුවන්ගේ අන්ත:පුර මාලිගයේ. ඊට අල්ලපු ගොඩනැල්ල තමයි ප්‍රධාන බිසවගේ මාලිගය. ඒ අනුව ගොඩනැගිල්ලම පුරාවස්තුවක්. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් එහි සිදුකර තිබූ වෙනස්කම් ඉවත්කරනවාද නැත්නම් ඒවාත් මේ ස්ථානයේ ඉතිහාසයට සම්බන්ධ හන්දා  එහෙමම සංරක්ෂණය කරලා ඉතුරුකරනවාද කියන එක තරමක් විවාදාත්මක වුණා. ඒ සම්බන්ධ නිදසුන් එහෙම නැත්නම් ආදර්ශ කිහිපයක් ඉතුරුකරළා අන්තපුර මාලිගයේ මුල් ස්වභාවය පුළුවන් තරම් රැක ගැනීම තමයි මම හිතන හැටියට හරි. අපි ඒ විදිහට කරන්න තමයි තීරණය කලේ.

නුවර වැව අද්දර තියෙන බිසවුන් ස්නානය කලැයි සැලකෙන උළුපැන්ගෙය ප්‍රතිසංස්කරන කටයුතු බලන්නත් ගියා. වැඩියෙන්ම හිතට වැදුනේ ඇහැලේපොල මාලිගය එහි සංරක්ෂණ කටයුතු සිදුකෙරෙනවා. සිංහල ගෘහ නිර්මාන ශිල්පය වගේම පසුව එම ස්ථානය ඉංග්‍රීසින් විසින් හිරගෙදරක් බවට පත්කළ පසුව සිදුකල වෙනස්කම් ද එහි දකින්නට පුළුවන්. මේ සියල්ල පිටුපස ඇති ඉතිහාසය සහ පුරාවෘත්ත එක්ක සිතුවහම ලොකු කතාවක් ගොඩනැගෙනවා. ඒත් අද නුවරට යන බොහෝ දෙනෙක්ට මේ කතන්දර මග හැරෙනවා. මේ සියල්ල ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරලා ඉක්මනින් මේවා මහජනකාවට විවෘත කිරීම අත්‍යාවශ්‍ය දෙයක්.

Tuesday, June 2, 2015

ඉගිනි ඇට


අද පොසොන් පෝය. වෙසක් පෝදා ලියූ විදිහමට ගමේ පන්සලට රාජකාරී ගමනක් ගියා. ජීවිතේ පළමු පාරට අපේ ගමේ සමාජයක කතාවක් කළ බව මට තේරුණේ කතා කරලා ඉවර වුනහම. අපි හදන්න යන කෞතුකාගාරයේ සංකල්පය හාමුදුරුවන් විස්තර කළා. රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ මාලිගයේ පුරාවස්තු සහ තෙත් කලාපෙන් හොයා ගත්තු අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපියක් වන වැල්මිල්ල සෙල් ලිපියේ අනුරුවක් (සෙල් ලිපිය දැනට තියෙන්නේ කොළඹ කටුගෙයි) ඇතුළු තවත් කෞතුක භාණ්ඩ අපට සොයා ගන්න පුළුවන් වෙයි. රයිගම් කෝරළයේ ජනකලා වලට තවත් මැදිරියක් හදන්නයි අපේ අදහස. ගමේ අයගේ අදහස 200 ක් විතර දාන්න පුළුවන් ශ්‍රවනාගාරයකුත් එයට එක්කරන්න. මම හිතන්නේ මේ වගේ තැනක කුඩා කටුගෙයකට ඒක බරපතල් වැඩියි කියළා. මේවා නඩත්තු කිරීමේ ප්‍රශ්ණ වගේම කොයි තරම් උපයෝගිතාවයක් ඒකේ තියෙයිද කියලා මම ඔවුන්ගෙන් ඇහුවා. රජයේ අරමුදල් වියදම් කිරීමේදි අපට ඇති වගකීම උදාහරනත් එක්ක අප පෙන්නා දුන්නා. අවසානේ ඒගොල්ල එකග වුණා.  අපේ ස්කේල් එක මොකක්ද කියලා සොයා ගැනීමේ අරගලයක අප ඉන්නේ. අපි නිතරම කතා කරන්නේ අග්නිදිග ආසියාවේ ලොකුම පාසල ගැන නැත්නම් දකුණු ආසියාවේ ලොකුම ළමා රෝහල ගැන. කුඩා නගර වල පවා තට්ටු තුන හතරේ සුපර් මාකට් හදලා උඩ තට්ටු වල බල්ලෝ සහ හරක් ලගිනවා.

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගරයේ නිරීක්ෂණ චාරිකාව කලේ ගිය සිකුරාදා. එහි ප්‍රධාන ගොඩනැගිල්ල රිනොවේට් කරලා සෑහෙන කාලයක්. ඒත් කෞතුක භාණ්ඩ තවමත් තියෙන්නේ ගබඩාවේ. මැදිරි සකස් කර නැහැ. එලිමහනේ තියෙන ගල් කැටයම් ආදිය පිලිවෙලකට තියන්න ඕනා. සනීපාරක්ෂක පහසුකම් හදන්න ඕනා. ගබඩාව තියෙන ගොඩනැගිල්ලත් ඉංග්‍රීසි කාලයට අයිතියි. ඒකත් සංරක්ෂණය කරන්න වෙයි. වැඩ ගොඩයි. කොළඔදී කිව්වේ මැදිරි සකස් කර බඩු තියන්න විතරයි තියෙන්නේ කියලා. සේරටම රුපියල් මිලියන පනහක් වත් යයි. අවුට් සොර්ස් කරලා ඉක්මනින් කරන්න වෙන කොට වියදම වැඩියි. ඒත් දෙපාර්තමේන්තුවේ නිලධාරි අඩුයි. ඇස්තමේන්තු හදලා ව්‍යාපෘති ප්‍රමුඛතාවන් හදුනාගෙන වැඩ ඉක්මනින් පටන් ගන්න තීරණය කළා.

එදා උදේ වරුවේ මගේ හිතමිත්‍ර උපාලි නවරත්නගේ පළමු කවි එකතුව එළිදැක්වීමට සහභාගී වුණා. පො‍තේ නම අපූරුයි. ඉගිනි ඇට. මම පොරොන්දු වුනේ විනාඩි දහයක කතාවක් කරන්න. ඒත් ප්‍රධාන දේශක තනතුරක් දීලා විනාඩි තිහක් මට වෙන් කරලා. ඒ කාලේ ඇතුළේ පොත ගැන විවරනයක් කරන්න මම උත්සාහ කළා. මම සාහිත්‍යකරුවෙක් හෝ විචාරකයෙක් නොවන බව කියලාම පටන් ගන්න හිතුණා. ඒත් එහෙම කළේ නැහැ. ක්ෂේත්‍රයේ යන කොට මම සාමාන්‍යයෙන් අදින ඩෙනිමයි උඩින් දාපු කැෂුවල් ෂර්ට් එකයි එතනට නොගැලපුනා වත්ද. මොකද උත්සවය තිබුණේ පළාත් සභා ශ්‍රවනාගාරේ ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්.

ඒත් මම කියපු දේවල් නම් බොහෝ දෙනෙකුට නොගැලපුන බව නම් කියන්නම ඕනා. මොකද මට පසුව කතා කරපු කිහිප දෙනෙක්ටම ඒ ගැන බොහෝ දේ කියන්න තිබුණු හන්දා. ඒ ගොල්ල කවි කාරයෝ සහ සාහිත්‍ය හදාරපු අය. ඒත් එළිදැක්වීම හවසක වුණා නම් මට ඒගොල්ලන් එක්ක කතිකාවට යන්න තිබුණා. ඒ හන්දා කරබාගෙන හිටියා. ඒත් සුන්දරයි. තරහ ගියේ නැහැ. 

 

Monday, May 4, 2015

වරිග මහගෙදර


දඹානේ තිබුණු වරිග මහගෙදර හෙවත් ආදිවාසී කෞතුකාගාරය නවීකරනය කිරීමේ ව්‍යාපෘතියට පසුගිය දින කිහිපයකදීම එහේ යන්නට වුණා. පසුගිය සැරේ එහේ ගියේ නවීකරන කටයුතු සිදුවන ආකාරය බලන්නත් ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කරගන්නත්. අප බලාපොරොත්තු වුණේ සවස තුනට පමණ එහි ලගා වන්නට. කොහොම වුනත් අපි එහි යනවිට පහමාරත් පසුවෙලා. අපි එහි ගියේ කොළඹ සිට නුවර හරහා දහඅට වංගුව පාරේ. දහඅට වංගුව පාරේ යන්න වඩාත් කැමති දෙපස සුන්දර පරිසරය හන්දා. විශේෂයෙන් හුන්නස්ගිරිය පැත්තේ පරිසරය ඉතාම මනස්කාන්තයි. බොහෝවිට හුන්නස්ගිරිය හරහා අපි ගියේ රාත්‍රියට වුනත් එදා නම් දවල් කාලයේ එය පසු කරන්නට අපට හැකිවුණා. අපි පුංචි කාලේ මිහිර පත්තරේ ගිය අපි අසාවෙන් කියවපු හුන්නස්ගිරි කු පාමුල ළමා නවකතාවේ ඒ පරිසරය විස්තර කෙරුනු හැටි තාමත් මතකයි. හරිප්‍රිය ගුණසේකර ඇන්ද පින්තූර වල හුන්නස්ගිරි කන්දේ හැඩය නම් හරියටම තිබුණා. ඒත් ඒ චිත්‍ර අනුව අපි හිතාගෙන හිටියේ හුන්නස්ගිරිය හුදකලා කන්දක් කියලා. ඒත් ඇත්තටම හුන්නස්ගිරිය තියෙන්නේ කු වළල්ලක් අතර.

අපි කතා කරගන්න සිටියේ කටුගෙයි නිලධාරීන් සහ ඊට සම්බන්ධ තවත් කිහිප දෙනෙක් එක්ක. මේ සියළුම නිලධාරින් රජයේ නොවන ඒ ගමේම ආදිවාසී අය. එදා ආදිවාසී නායක වන්නිල ඇත්තන් නුවර ගොස් ආපසු පැමිණි හෙයින් තෙහෙට්ටුව හන්දා හමුවන්න එන්න බැරිබව දන්වා තිබුණා. අපිට බොහෝ දේ කතා කරන්න එදා වෙලාව තිබුණා. දැනටත් ජීවමාන ආදීවාසීන්ගේ පිලිරූ හා ඡායාරූප ආදිය කටුගෙයි තැබීම පිළිබදව එල්ල වන විවේචන ආදිය ගැනත්. අපේ අදහස වුනේ සම්මත කටුගෙයකින් එහාට ගිහින් මෙය ජීවමාන කටුගෙයක් විය යුතු බවයි. අළුතෙන් හදපු හිටපු වැදි නායක තිසාහාමිගේ ජීවමාන සමාන පිළිරුව දුටු ආදිවාසී නායකයා කදුළු සැලූ බව අපට දැන ගන්නට ලැබුනා. තව කිහිප දෙනෙක් ඇවිත් ඒ වටා නැටුවලු. අපි අදහස් කලෙත් කිරිකොරහ ආදී ශාන්තිකර්ම පෙන්වීමට එහි ඉඩ සැලසීමටයි.

අපේ කතාව ඉවරවෙනකොට රාත්‍රී නවයත් වෙලා. දඹානේ වරිග මහගෙදර බි‍මට වැටුනු අදුරයි පාලුවයි මැද අපි තවත් ටික වෙලාවක් එහි රැදුනා. කිලෝමීටර හත අටක් එහායින් පිහිටි මහියංගන නාගදීපේ තිබෙන පුරාවිද්‍යා සංචාරක බංගලාවට අපි ගියේ රාත්‍රී ආහාරය ගැනීමට සහ විවේක ගැනීමට. නාගදීප වැව් ඉස්මත්තේ පිහිටා ඇති සංචාරක බංගලාව අවට අදුරෙන් වෙලා ගනිද්දි කටගැස්මකුත් අතරින් මීවිතකුත් ගලා ගියේ අපේ අල්ලාප සල්ලාපය මැද. කොහොම හරි මධ්‍යම රාත්‍රිය පසුවනතුරුත් අපේ කතාබහ දික්වුනා. නොනිදාම පහන්කර පාන්දරින් කොළඹ බලා පිටත් වුණේ පසුවදාත් අත්‍යාවශ්‍ය වැඩකටයුතු තිබුණු හන්දා.  

Saturday, May 2, 2015

කවුද හරි?


අද වෙසක් පෝය. දවස් හතරක නිවාඩුවක්. අවුරුදු නිවාඩුවට පස්සේ ටිකක් හුස්ම ගන්න පුළුවන් වුණා. අවුරුදු නිවාඩුවට ගමේ ගිය වෙලාවේ තුන්පාරක්ම පංසල් වලට යන්නත් හාමුදුරවන් එක්ක කතා තරන්නත් පුළුවන් වුණා. ඉස්සර නම් බොහෝ අවුරුදු කාල වල එහෙම යන්න ලැබුණේ නැති බව කල්පනා වුණා. හාමුදුරුවොත් ඒ ගැන හිතනවා ඇති බාග වෙලාවට. මොකද අපි දැක්ක ගමේ පවුල් වල අපේ පරම්පරාවේ බොහෝ අය අනුගමනය කළ සාමාන්‍ය ක්‍රමය තමයි ඒ. ඒ කිව්වේ ඉගෙන ගෙන ගෙවල් දොරවල් හදා කාර් බාර් ගත්තට පසසේ ඊළගට හොයන්නේ සමාජ තත්ත්වය. සමාජයේ පිලිගැනීමක් ලබා ගන්න ආරම්භයක් ගන්න හොදම තැනක් තමයි පන්සල. ගෙදරට සමීපව ඇති පංසලට යන්න ලැබුණේ අවුරුද්ද ලැබුවාට පසුව. ඒත් තරමක් දුරින් ඇති පංසලට දෙපාරක්ම ගියේ එහි ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටින කෞතුකාගර ව්‍යාපෘතිය පිළිබදව කතා කරගන්න.

පරමාර්ථය මොකක් වුනත් පංසලට නිතර යන්න පුරුදු වුණාම හාමුදුරුවන් අපට සමීප වෙනවා. එතකොට හාමුදුරුවන් සමග විවෘතව කතා තරන්නට ඉඩ ලැබෙනවා. බොහෝ කතා අතරේ පතහවත්ත පංසලේ ලොකු හාමුදුරුවන් කිව්ව කතාවක් මෙහෙමයි. පිටරට ගිය වෙලාවක බස් එකකට නගින්නට කවුරුත් සංසුන්ව ඉදලා බසයට ගොඩවුනු වෙලාවේ ලංකාවේ පුරුද්දට බසයේ ඉස්සරහ සීට එක හොයාගෙන ඉදිරියට ගියාලු. ඒක අනෙක් අයට ටිකක් අමුතු විදිහට පෙනෙන්න ඇති. පෝලිමෙන් පිට යනවා වගේ. එතකොට තමයි හාමුදුරුවන්ට මේක දැනිලා තියෙන්නේ. කොහොම වුනත් ඇදුම ආදිය හන්දා අන් අයටත් ඒ වෙන කොට ඒක තේරිලා තියෙනවා.

පංසලේ පොඩිහාමුදුරුවන් ගෙන් නායක හාමුදුරුවන් ගැන ඇහුවාම කිව්වේ ඥාති පංසල් වලට අවුරුද්දට ගිහින් කියලා. ඒත් අපිට වගේ නෑදෑ ගෙවල්වල යන්න ලොකු වෙලාවක් හාමුදුරුවන්ට යන්නේ නැහැ. මොකද ගිහියන් වගේ යන යන හැම තැනින්ම කෑම බීම ගැනිල්ලක් හාමුදුරුවන්ගේ නැති නිසා. නෑගම් ගිය පංසලේ ලොකු හාමුදුරුවන් බෝධිමළුව අමදිමින් ඉන්න වෙලාවක නම් එතනම දනගහලා වැදලා ආපසු එන්න පුළුවන් බවයි හාමුදුරුවන් කීවේ.

අපේ පංසලේ ලොකුහාමුදුරුවන් කිව්වේ උන්වහන්සේගේ වයසේ හාමුදුරුවන් පංසල් වල ඇත්තේම නැහැ කියළා. ඒකට හේතුව නම් උන්වහන්සේලාගේ තරුණ කාලයේ තමයි බණ්ඩාරනායක මහතා ඝාතනය වුනේ. මේ සිද්ධිය මත ලංකාවේ සියළුම පංසල් වල හාමුදුරුවන්ට නිගා කරන ව්‍යාපාරයක් තිබුනලු. පසංල් ඉදිරියට සෙනග ඇවිත් හාමුදුරුවන්ට නොයෙකුත් උපහාස අපහාස කළාලු. ඉවසගන්න බැරිව බොහෝ හාමුදුරුවන් සිවුරු හැර ගියාලු. දවසක් අපේ හාමුදුරුවන් අළුබෝමුල්ලේ (සැතැක්ම හයක් හතක් එහා) උත්සවයකට බසයෙන් වඩින විට හාමුදුරුවන්ගේ ආසනයේම ඉදගත්තු බීමත් පුද්ගලයකු ගමන පුරාම උන්වහන්සේට කුණුහරුපයෙන් බැන බැන ගියාලු. මේවා ඇහුවාම මට හිතුනේ එදා සමාජය අදටත් වඩා කොයි තරම් අවිචාරශීලිද කියා.

ඊලගට පොඩි හාමුදුරුවන් මගේ පොත ගැන ලොකු හාමුදුරුවන්ට කියා තිබුණු නිසා ඒ ගැන විමසුවා. මා කීවේ ඒක තරුණ කාලයේ කියපු කරපු දේවල එකතුවක් මිසක් ගැඹුරු දෙයක් නොවේ කියළා. උන්වහන්සේ කිව්වේ ඒ වුනත් එය කියවීමට කැමත්තෙන් ඉන්නා බවයි. උදාහරනයක් හැටියට උන්වහන්සේ කිව්වේ මීමන ප්‍රේමතිලකයන් ලියු යුරෝපීය චාරිකා සම්බන්ධ පොතේ එක කතාවක්. ඒ කාලේ පත්තර කළාව ගැන අත්දැකීම් ලබා ගන්න ඔවුන්ව යුරෝපීය රටවලට යවා තියෙනවා. පැරිස් නගරයට ගිය වෙලාවේ මහ රෑ ටැක්සියක යන අතරේ හතරමං හන්දියකට ආවහම රතු එළිය දැල්විලා තිබුනාලු. ටැක්සි රියදුරා වටපිට බලා කිසිම වාහනයක් නැති නිසා රතු එළිය දැල්වෙද්දීම ඉදිරියට ගියාලු. ඊලගට මේ අවස්ථාවට එංගලන්තෙදීත් මුහුණ දෙන්න වුනාලු. එහෙත් එතනදී රියදුරා වාහන පාරේ නැතත් රතු එළිය නිමිලා කොළ එළිය දැල්වෙන තෙක් බලා සිට තමයි රථය ඉදිරියට ගෙන ගොස් තිබෙන්නේ ලොකු හාමුදුරුවන් අපෙන් ඇහුවේ කවුද හරි කියළා. ඇත්තටම කවුද හරි?

Wednesday, April 15, 2015

යාපනය


පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් දෙක ගෙවුණේ යාපනයේ. අනුරාධපුරේ මිතුරු සමාගම් වල රැස්වීම් වලටත් සහභාගී වෙලා යාපනයට යනකොට රෑ හතට කිට්ටුයි. මාන්කුලම් පසු කරන කොට මට මතක් වුණේ ජාතික භෞතික සැලැස්මට අනුව එය උතුරේ අගනගරය සැලසුම් කලේ එහි බව. එහෙත් දැන් ඒ බව කාටත් අමතක වෙලා වගෙයි. භූගෝලීය වශයෙන් ගත්තහම එය හො තේරීමක් වගේ පෙනුනත් යාපනයට ගියාම ඒ ගැන දෙපාරක් හිතන්න අවශ්‍ය බව පේනවා. මොකද යාපනය සියළු අංශවල කේන්ද්‍රස්ථානයක් ලෙස සෑහෙන දුරට ස්ථාපිත වෙලා ඉවරයි. කිලිනොච්චියේ පාර අයිනේ තියෙන යුද්ධකාලේ කොටි විසින් විනාශ කරපු ජල ටැංකිය යුධ ස්මාරකයක් ලෙස ස්ථාපිත කරන්න යන එක ගැන ඒ දවස්වල නම් මගේ ඒතරම් මනාපයක් තිබුණේ නැහැ. ඒත් ඒ අසලින් යන කොට ඒ ගැන ඇතිවුනේ වෙනස් හැගීමක්. ඒහි තිබුණු වැකියත් ඊට හේතු වෙන්න ඇති - Say no to destruction. එතන සමරුහලකුත් තිබුණා ඒත් අපි එතන නැවැත්වුවේ නැති හන්දා ඒකේ මොනවගේ සිහිවටනද තියෙන්නේ කියලා බලන්න බැරිවුණා. ඒක නම් ටිකක් වැඩි වැඩක් වගේ.

අපි රෑට නැවතුනේ උදයන් නම්වූ ගෙස්ට් හවුස් එකේ. කළින් ඒක උදයන් පත්තරය අච්චු ගහපු කාර්යාලය. ඒ කාලෙ පාවිච්චි කරපු බංකරයත් තාම එහි තියනවා. උදයන් ගෙස්ට් හවුස් එක පිරිසිදු වගේම ඉහල ආගන්තුක සත්කාර සේවාවක් සලසන තැනක්. රාත්‍රියේ යාපනයේ ටවුමේ සහ ඕලන්ද කොටුව වටේ රවුමක් ගහලා නැවත උදයන් වෙත එන‍කොට රෑ බෝවෙලා. ඒ එනකොට අපිට කිතුල් රා වඩියක් සූදානම් වෙලා තිබුණා. ඒවත් භුක්ති විදලා නිදාගන්නකොට මධ්‍යම රාත්‍රිය වෙලා.

යාපනයේ තියෙන පැරණි පුරාවිද්‍යා ස්ථාන අතර ඉස්සර කරේ කියාගෙන බඩු ගෙනියනකොට මහන්සි වුණාම බර නිදහස් කරලා ගිමන් අරින වෙලාවට කරේ තියෙන බඩු පහසුවෙන් (දෙකට නැවී බර බිමින තියන්නෙ නැතිව) සැහැල්ලු කරගන්න යම් උසකින්යුතුව නිම කරපු ගල් නිර්මිත සහ ගවයින්ට පිට කසා ගන්න ගලින් කරපු නිර්මිතත් ඇති බව පැවසුණා.

පසුවදා උදේට නගරයේ තියෙන මලයාලම් තෝසේ කඩෙන් කෙහෙල් කොලේට දාලා දෙන රස නහර පිනවන තෝසේ උළුදු වඩේත් එක්ක කාලා අපි ගියේ කදුරුවෙල විහාරෙට. එයට පාවිච්චි කරන අනෙක් නම කන්දරෝඩෙයි. ඊළගට දඔකොලපටුනට ගිහින් ආපසු යාපනයට එනකොට දවල් එකොලහටත් ලගයි. අපි ගිය රාජකාරිය තිබුණේ යාපනයේ කොටුවේ. ඒ එහි සංරක්ෂණ කටයුතු පිළිබදව. කොටු පවුරේ වැඩ නම් බොහොමයක් හොදින් කෙරී ගෙන යනවා. ඒත් outer defence area එකේ තව වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඊට අමතරව යාපනය ගැන තවත් ලියන්න දේ බොහොමයි.  

Sunday, April 5, 2015

රජෙය් බරපැන


 

ඔස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි පිළිබඳ පොතක් එළිදක්වන බව ඉරිදා පත්තරේ තිබුණා. එළිදක්වන උත්සවය තියෙන්නේ ඔහු ඉගෙනගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ. ඒ හන්දා සහභාගී වන්නට ලැබෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ දැයට කිරුළට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලේ හදපු auditorium එකේ තමයි මේ එළි දැක්වීම පැවැත්වෙන්නේ. පාසලක ප්‍රධාන ශාලාව ගැන හිතුවහම මේ ශාලාව සෑහෙන්න ලොකු සහ පහසුකම් සහිත එකක්. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලෙට බොහොම කිට්ටුවෙන් තියෙන වයඔ විශ්ව විද්‍යාලෙටත් තව auditorium එකක් දැයට කිරුළ යටතෙම හැදුවා. හරිනම් කරන්නට තිබුණේ පාසලටත් විශ්ව විද්‍යාලෙටත් පාවිච්චි කරන්න එක ශාලාවක් හදන එකයි. ඒත් විශ්ව විද්‍යාල සමාජයට විවෘත කරන්න අපි සූදානම් නැහැ. හුගක් විශ්ව විද්‍යාල ඒවා ස්ථාන ගත කර ඇති ප්‍රදේශයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. සේවා සැපයීම් ආදියෙන් පමණක් නොවෙයි එහි පවත්වන පාඨමාලා පවා ප්‍රදේශයේ ආර්ථිකයට හැකි තරම් අදාල වනවා නම් හොදයි. දැයට කිරුළට මුදල් වෙන් කිරීමේ රාජකාරී වලට මා සෘජුවට සම්බන්ධවී සිටියත් මම සම්බන්ධ වන විට මේ ඉදිකිරීම් සෑහෙන්න දුර ගිහින් නැත්නම් නවත්වන්න උත්සාහයක් හෝ ගන්න තිබුණා. මොකද ඒ වගේ සමහර උත්සාහ ඵල දැරූ බව මා අත්දුටු නිසා.

ඇත්තටම හැම පාසලකටම හොඳ ශාලාවක් හදා දෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් දැන්මම නෙමෙයි මගේ හිතේ. ප්‍රාග්ධන වියදම් කරන කොට අපට මීට වඩා කල්පනාකාරී වන්න තිබුණා. අනුරාධපුරයේ දැයට කිරුළට හදපු අති විශාල සහල් ගබඩා හරිහැටියට පාවිච්චි වෙනවාද කියන එක ප්‍රශ්නයක්. හම්බන්තොට නගරයේ හදපු සම්මන්ත්‍රණ ශාලාව මාස ගානකින්වත් පාවිච්චි කරළා තිබුණු බවක් මෑතදී ඒ අසලින් යන විට පෙනුනේ නැහැ. සමහරක් මෙවැනි ප්‍රාග්ධන වියදම් වල නිස්සාරභාවය පැහැදිලිව පෙනෙනවා. ඒත් සමහර ඒවා එක පාරට පෙනෙන්නේ නැහැ. උදාහරණ ලෙස ජලසම්පාදන ක්‍රම හදනකොට ඒවා සැලසුම් කරන්නේ ඉදිරි ඉල්ලුමද සලකා. ඒ අනුව සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් ඉලක්ක කරගෙන හදන යෝජනා ක්‍රම විශාල ධාරිතාවයෙන් යුතු සංරචක වලින් සමන්විත වෙනවා. ඒත් අවුරුදු ගානක් ගියත් අර සම්පූර්ණ ධාරිතාවය හෝ ඉන් අඩක්වත් පාවිච්චි නොවන අවස්ථා බොහොමයක් දකින්නට පුළුවන්. මෙතනදී divisibility කියන එක ප්‍රශ්ණයක් වන්න පුළුවන්. උදාහරනයක් හැටියට airport  එකක runaway එකේ බාගයක් හදන්නට බැහැ. ඒත් ජලසම්පාදන ක්‍රමයක මීට වඩා flexibility එකක් තියෙනවා. ඒකට තරමක් ඔලුව වෙහෙසන්න වෙනවා. අපිට තියෙන උපකරන හා ඒවයේ ධාරිතාව වගේම අනාගතයේදී අවශ්‍යතාව පරිදි ඒකක එකතු කිරීමේ හැකියාව සොයාබලන්න වෙනවා. එක එක ක්ෂේත්‍රයේ අපේ මොඩලය මොකක්ද කියන එක වගේම සමස්ථ ආර්ථික මොඩලය මොකක්ද කියන එකත් අපේ දෘෂ්ඨි පථයෙන් තරමක් ඈත බවයි පෙනෙන්නේ.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...