Sunday, December 29, 2013




ඛෙත්තාරාමයේදී
වරෙන් මචං උඩ තට්ටුවට
එතන බියර් පෝලිම අඩුයි
සිගරට් කොටේ
බීල ඉවරනම් මට දීපං මචං
අඳුනන නාඳුනන
කවුරුත් මචංලා වූ මොහොතක්
අවසානයේ
දිනුමත් පැරදුමත්
එක සිතින් දරාගෙන
ප‍්‍රශන්ටේශන් සෙරමනියත්
හුනස්නෙන් නැගිට බලාසිටින
පේ‍්‍රක්ෂක සහෘදයින් අතරින්
හඩු ගාගත් ඇඳුම් ඇදගත්
පුංචි කොල්ලෝ කුරුට්ටෝ
පීරති අසුන් අතර ඇති
කහ ගොඩවල්
සොයා ගන්නට
ඉතුරුකර ගිය බීම බෝතල්
සහ පොටේටෝ චිප්ස් ටින් වල
ඉතුරු අර්තාපල් පෙති
නැතිනම්
අත්හැර දමා ගිය

නළාවක් 

Tuesday, December 17, 2013

කිඹුලන් වැඩි වුනත් එකද??

අද විදුසර පත්තරේ පලවී තිබුණු ලිපියක තිබුණා කිඹුලන්ටත් මෙවලමක් පාවිච්චි කිරීම තුලින් කාර්ය කරගැනීමේ හැකියාවක් ඇතිබව. එනම් උන් කුරුල්ලන් අල්ලා ගැනීම සඳහා නහයේ ගසා ගෙන සිටින ලී දඩු පාවිච්චි කරන බව. පහුගිය කාලයේ නිල්වලා  ගගේ කිඹුලන් එහි නාන්න එන අයට නිතර පහර දෙන්න පටන් ගත්තා. එයින් කීපදෙනෙතුටම ජීවිතද අහිමි වුණා. එහිදී කිඹුලන් පහර දීම සඳහා දීර්ඝ කාලීනව සැලසුම් කරන බව අසන්නට ලැබුණා. මේ ගැන තවත් කතාවක් මට කීවේ අකුරුස්ස පැත්තේ හිතවතෙක්. අකුරුස්ස පැත්තේ  මාළු අල්ලන කෙනෙක් පුරුදු වෙලා හිටියේ ගඟ අයිනේ තිබුණු ගහකට නැගලා එහි ගඟට බර වුණු අත්තකට නැගලා බිලී පිත්තෙන් මාළු අල්ලන්නට.  ගංගාවේ අනෙත් ඉවුරේ කිඹුලා කිහිප දිනක් දුටුවත් ඔහු එය ගානකට ගෙන නැහැ. දිනක් එයා මාළු අල්ලන්න හිතාගෙන ගහට නගින්නට ලැහැස්ති වෙනකොට ඔහු දැකලා තියෙන්නෙ කිඹුලා අර ගහේ අත්තේ රැකගෙන ඉන්නා බව.


Monday, December 9, 2013

කොච්චි මිරිස්

පාර්ලිමේන්තුවේ අයවැය විවාද යන අතරේ අපේ දවසත් හරිම කාර්ය බහුල වුණා. ඒත් ඒ අතරතුර යම්කිසි සටහනක් තියන්න හිතුවා.
අද අම්මා ගෙදරින් බත් උයාගෙන ඇවිත් තිබුණා. වෑංජන් එකක් වශයෙන්  තිබූ අල බැදුමට කොච්චි මිරිස් කරලුත් දාලා තිබුණා. මතක හැටියට කොච්චි මිරිස් කෑවේ අවුරුදු ගණනාවකට පස්සේ. ඉස්සර නම් කොච්චි මිරිස් අපි නිතර කෑවා. දැන් නොපුරුදු බව හින්දද කොහෙද දැවිල්ල වැඩියෙන් දැනෙනවා. ගමේ පාසලේ ඉගෙන ගත් කාලේ විවේක කාලයේදී අපට ලැබුණු ඇදිහැස බිස්කට් අපි කෑවේ පාසල් වත්තේ වවා තිබූ සුදු කොච්චිත් එක්කයි. ඒ දවස් වල මොනවා කෑවත් සැරට කෑමටයි අපි හුරු වෙලා හිටියේ. කොච්චි අඹරලා හදා ගත්තු ලුණු මිරිසක් එක්ක පාන් කාලක් කන එක අපිට බොහොම හුරු දෙයක්. සමහර කුරුල්ලනුත් දැවිල්ල නොතකා කොච්චි කෑමට ප්‍රිය කරන බව ඒ දවස්වල අපි දැක්කා. සාමාන්‍යයෙන් කොළපාට වන කොච්චි මිරිස් වලට අමතරව විවිධ කොච්චි වර්ගත් තිබුණා. ප්‍රමාණයෙන් තරමක් ලොකු සුදු කොච්චි ඉන් එක වර්ගයක්. ගෙදර පපඩම් බදින වෙලාවට පපඩම් බැදලා ඉවර වුනහම කොච්චි මිරිස් කරල් ගොන්නක් කොළ කිහිපයකුත් එක්කම කඩා ගෙන ඇවිත් බැද ගත් විට රස නහර පිනා යන බැදුමක් හදා ගන්නට පුළුවන් වුණා. උදේ කෑමට කඩල තම්බපු දවසට එය තෙම්පරාදු කරන්නට අබ වලට අමතරව ප්‍රධාන වශයෙන් යෙදුවෙත් කොච්චි කරල්.


ආර්ථික මධ්‍යස්ථානයට ගියහම විකුණන්නට තබා තියෙන කොච්චි දැක්කත් ඒවයේ උපයෝගිතාවයක් මතක් නොවන හන්දා මිලදී ගන්න පුරුද්දක් මට ඇතිවුණේ නැහැ. ඒත් ඒවාට නගරයේ තවමත් හො ‍ඳ ඉල්ලුමක් ඇති බවට ඇති හොඳම සාධකය නම් ඒවා‍යේ මිල. සමහර දවස්වල උදේට පාර අයිනේ දමා ගොස් තිබෙන තොවිල් තටු දුටුවහම මතක් වන්නේත් සමහර පුරුදු සමහර අය අත් නොහැර ගමෙන්  නගරයට ගෙනැවිත් ඇති බව. මා අදහස් කලේ අළුත් පරිසරයක හැසිරෙන්නට සමහරුන්ගේ ඇති නොහැකියාව ගැන නම් නොවේ. 

Friday, November 29, 2013

අපේ කාලෙ වීරයින්
1976 දී පැවැත්වුණු නොබැඳි සමුළුව ගැන පාසල් වියේ මතකය තවමත් අවදි කරන්නට පුළුවනි. එදා ආපු නායකයින් බොහෝ දෙනෙක් අපේ රටේ ජනප‍්‍රිය චරිත බවට පත්වුණා. කර්නල් ගඩාපි, සැම්බියාවේ කෙනත් කවුන්ඩා, ටැන්සානියාවේ ජූලියස් නියරේරේ, යුගෝස්ලාවියාවේ මාර්ෂල් ටිටෝ සහ තවත් බොහෝ දෙනෙක් නම් කරන්නට පුළුවනි. මේ දේ මට මතක් වුණේ ළඟදි තිබුණු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වුණු විදෙස් රාජ්‍ය නායකයින් ගැන එදා තරම් කාටවත් නිනව්වක් ඇති බවක් නොපෙනුණු හන්දායි. ඒකට හේතුව මොකක්ද කියලා සිතා බලන්නට වටිනවා. එක පැත්තකින් එදාට වඩා අද සන්නිවේදන ක‍්‍රම ඉතා දියුණුයි වගේම තොරතුරු ගලා යාම ඉතා සීඝ‍්‍රයි. එදා සන්නිවේදන මාධ්‍යය ප‍්‍රධාන වශයෙන් පුවත්පත සහ ගුවන් විදුලියට සීමා වීමම මේ තත්ත්වයට එක හේතුවක් වන්නට ඇති. 

මෙහි තවත් පැත්තක් ඇතිබව සිතන්නට පුළුවන්. මගේ මතකයට එන්නේ යම් කිසි මට්ටමකින් මේ නායකයින් සමග කිට්ටුවන්ත වූ මගේ හිතමිතුරන් මේ නායකයින් ගැන මා සමග පැවසූ දේවල්. ඝානාවෙන් පැමිණි ලිනුස් මගේ සමීප මිතුරකුව සිටියා. අපි අපේ රටවල සමාජය, ඉතිහාසය, දේශපාලනය වගේ මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට සහ එකිනෙකා සමග බෙදාහදා ගැනීමට අප පුරුදුවී සිටියා. ඔහු ඝානාවේ තරුණ සංවිධාන නායකයකු ලෙස වරක් ගඩාපිගේ ආරාධනයෙන් ලිබියාවේ සංචාරයක නිරතවී තිබුණා. ඒ ගමනේදී ගඩාපි හමුවී (එක් දහස් නමසිය අසූව දශකෙය් මුල් වකවානුවේ) කතා කරන්නට ලැබුණු බව ඔහු කීවා. බටහිරට ගැති නොවුණු සහ අනුකරණයෙන් තොර තමන්ටම ආවේණික සංවර්ධන ප‍්‍රවේශයක් පිළිබඳ විශ්වාසයකින් ගඩාපි පසුවූ බවයි ලිනුස් මා සමග පැවසුවේ. එය අප‍්‍රිකානු ප‍්‍රවේශයක් කරගන්නට ඔහු වැර දැරුවා. ඒ අනුව ඔහු කලාපයේ තරුණයන් අතර එය ප‍්‍රචාරය කරන්නත් වෙහෙසුණා.

මීළඟට මට මතක් වුණේ මගේ ටැංසානියානු මිතුරන් 1999 අවුරුද්දෙ, ජුලියස් නියරේරේ ලන්ඩන් නුවර රෝහල්ගතවී ඉන්නා දවස් වල දුක්වූ අන්දම. නියරේරේ අසාධ්‍ය ලෙස රෝගාතුර වී රෝහල්ගත කර සිටින විට ටැංසානියානු මිතුරන් සිටියේ තමන්ගේ දෙමව්පියන්ගෙන් කෙනෙක් රෝගාතුර වූ විටක හැසිරෙන ආකාරයට.  තමන්ගේ නායකයාට ඔවුන්ගේ බැඳීම ඒතරම් දැඩි වුණා. එහෙම වුනේ ඇයිදැයි ඔවුන් විස්තර සහිතව මා සමග පැවසූවා. ඔහු වාසය කල නිවහන කොයි තරම් සරල එකක්දැයි ඔවුන් මට පෙන්නුවා. ඔවුන් නියරේරේ හැඳින්වූයේ Mwalimu යන නමින්. ස්වාහිලි බසින් එහි තේරුම ගුරුවරයා යන්න. ඇත්ත වශයෙන්ම වෘත්තියෙන් ඔහු ගුරුවරයෙක්.


Monday, November 25, 2013

Les Miserables

රුසියාවේ විශ්ව විද්‍යාලේ දෙවන වසරෙදි මම ෆැකල්ටිය මාරු කළා ඇග්‍රොනමි (Agronomy) වල ඉඳන් Plant Protection වලට. ඒක තරමක රැඩිකල් තීරණයක්, ඇග්‍රොනමි පීඨය කියන්නෙ සාමාන්‍ය එහෙම නැත්නම් general කෘෂි විද්‍යාව ඉගෙන ගන්නා පීඨය. Plant Protection ෆැකල්ටියේ මූලික වශයෙන් ඉගෙන ගන්නේ ශාක ව්‍යාධිවේදය, කෘමි විද්‍යාව සහ කෘෂිකර්ම රසායන විද්‍යාව. පාසලේ උගත් කාලේ සිහිනයක් වුණු ජීව විද්‍යාඥයකු වීමට ඒ හරහා කිට්ටු වෙන්නට පුළුවන් බව මට තේරුණා. මෙම විෂයන් අතුරින් මගේ ප‍්‍රියතම විෂය වුණේ  ශාක ව්‍යාධිවේදය. අපිට තුන්වන වසරේ මෙම විෂය උගැන්වූයේ ඒ වසරේ දී විශ‍්‍රාම ගැනීමට නියමිතව සිටි කථිකාචාරිනියක්. ඇයගේ දැනුම මදක් පැරණි වුවත් විෂයය පිළිබඳ මනා දැනුමකින්  යුක්ත වූවා. ඇය කොමියුනිස්ට් පක්ෂයේ මූලධර්ම තදින් ඇදහූ අයෙක්. මේ විෂයේදී දේශන, ප‍්‍රයෝගික පංති වගේම තෝරාගත් ව්‍යාධියක් පිළිබඳව එහි ජීව විද්‍යාව, හානි සහ වැළැක්වීමේ ක‍්‍රම පිළිබඳව නිබන්ධ - Course Work  කිහිපයක් ද කරන්නට සිදුවෙනවා.  ඒ වගේ නිබන්ධයක් සාර්ථකව කරන්නට  නම් විෂයය පිළිබඳ හොඳ දැනීමක් වගේම භාෂාව හැසිරවීම හොඳින් කරන්නට අවශ්‍යයි. මා ලිවූ නිබන්ධය පිළිබඳ කරුණු සහිත මූලාශ‍්‍ර අපේ පුස්තකාලයේ සොයා ගන්නට බැරි වූ අවස්ථා වල මම නගරයේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වල පුස්තකාල පීරුවා.

වරක් මගේ නිබන්ධනය පරීක්ෂා කරපු කථිකාචාර්ය වරයා ඇසුවේ රුසියන්කාරයෙක් තරමටම ඔබේ රුසියන් භාෂා දැනුම හොඳයි කියා ඔප්පු කරන්නද ඔබ උත්සාහ කරන්නේ කියා. එහෙම ඇහුවේ මම කොපිකර ඇතැයි ඔහු සැක කල නිසා. මේ අයුරින් ඉතා හොඳ ලකුණු අරන් අවසාන විභාගයට ගියත් මට විභාගයට පෙනී සිටින්නට අවසර ලැබුණේ නැහැ. එයට හේතුව දේශන කිහිපයක් සහ ප‍්‍රායෝගික පංති කිහිපයකට මා සහභාගී වී නොතිබීම. ඒ අනුව අනෙක් සිසුන් විභාගය අවසන් කිරීමෙන් පසුව මා වැනි පාඩම් අතපසු කල අයට ඒ ඒ පාඩමට අනුව පාඩම් දෙන්නට සිදුවුණා. එහිදී සිදුවන්නේ ආචාර්යවරයකු විසින් අප විසින් අතපසු කල එක් එක් පාඩම ගෙන ඒ පිළිබඳ න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම පරීක්ෂා කිරීමයි. මේ අයුරින් සියලු මග හැරැණු පාඩම් නැවත දීලා අපිට විභාගයට එන්න දිනයක් ලැබුණා.

විභාගය පැවැත්වුණේ වාචික පරීක්ෂණ ක‍්‍රමයට. එක් එක්කෙනාට ලැබුණු ප‍්‍රශ්න පත‍්‍රයට ඇති තරම් කාලය අරන් පිළිතුරු ලියලා වාචිකව එය ආචාර්යවරයාට ඉදිරිපත් කරන්න  ඕනා, අවශ්‍ය විට රූපසටහන් හෝ ගණිත සූත‍්‍ර ආදියද ඉදිරිපත් කරමින්. අපි ලබා දෙන පිළිතුරු අනුව 1 සිට 5 දක්වා වූ පරිමාණයකින් ලකුණු  ලබා දුන්නා.  5 - විශිෂ්ට, 4- හොඳයි , 3- සතුටුදායකයි, 2- අසතුටුදායකයි (නැවත විභාගය සඳහා පෙනීසිටිය යුතුයි) සහ 1- ඉතා අසතුටුදායකයි (සාමාන්‍යයෙන් නොයෙදේ) වශයෙන්.

අතේ ඇඟිලි පහ වගේ දන්න මේ විෂය සම්බන්ධ  ඕනම ප‍්‍රශ්නයක් මට අභියෝගයක් වුණේ නැහැ. මම විනාඩි හතළිස් පහක් යන්නට පෙර සියලුම ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලියා වාචික පරීක්ෂණයට පළමුවෙන්ම ඉදිරිපත් වුණේ ඉතා විශ්වාසයෙන්. සියලුම ප‍්‍රශ්න සඳහා ඉතා සාර්ථක ලෙස පිළිතුරු දීමෙන් අනතුරුව ප‍්‍රශ්න පත‍්‍රයේ නොතිබූ අමතර ප‍්‍රශ්නයක් ඇසීම සිරිතක්. එයටත් සාර්ථක ලෙස පිළිතුරු දෙන්නට මට හැකිවුණා. අපට ඒ අවස්ථාවෙම අපේ වාර්තා පොතට ලකුණු ලබා දෙන ක‍්‍රමයක් තමයි තිබුණේ. මට හිමි ලකුණු සටහන් කරන්නට පෙර අපේ වැඩිමහලු කථිකාචාර්යවරිය මට පැවසුවා මට ලබාදෙන්නේ හොඳ සමාර්ථයක්  - එනම් හතරක් බව. මා පෙරළා ඇසුවේ මා අසතුටුදායක ලෙස ප‍්‍රශ්න පත‍්‍රයට උත්තර දුන්නාද යන වග. ඈ පැවසුවේ ඒ පිළිබඳ කිසිදු සැකයක් හෝ මගේ විෂය දැනුම පිළිබඳව කිසිදු සැකයක් නැති බව. එසේ නම් විශිෂ්ට සාමාර්ථයක් මට හිමිවිය යුතු බව මා තර්ක කළා. ඇය කීවේ මා නියමිත කාලයට විභාගය නොදුන් නිසා මට හොඳ සමාර්ථයක් පමණක් දිය හැකි බවයි. මෙය අසාධාරණ බවත්  විභාගයක් යනු සිසුන්ගේ දැනුම මිස විනය මනින මිනුම් දණ්ඩක් නොවිය යුතු බව මා පෙන්වා දුන්නා. ඈ කීවේ තරුණයා ඒ ඔබේ රටේ ක‍්‍රමය වෙන්න ඇති නමුත් මේ අපේ සෝවියට් ක‍්‍රමයකියා.

එහෙත් මගේ විෂය දැනුම අගය කිරීමක් හැටියට ඇය එක් යෝජනාවක් කළා. ඒ තමයි මේ වර විභාගයට අසතුටුදායක ගේ‍්‍රඩයක් (2 ක්) ලබා දීමට සහ පීඨාධිපතිගේ අවසරය ඇතිව වහාම, ඒ මොහොතේම  නැවත විභාගයට පෙනී සිටින්නේ නම් ප‍්‍රශ්න පත‍්‍රයකට උත්තර දීමකින් තොරව මට විශිෂ්ට (5 ක්) ගේ‍්‍රඩයක් ලබාදෙන බව. ඒ දක්වා කිසිදු විභාගයක් අසමත් වී නොසිටි මම එයට අකමැතිවූවාක් මෙන්ම තරුණ වයසේ සිටි මගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාමට එය හේතු වුණා. වහා මගේ ශිෂ්‍ය වාර්තා පොත ඇයට ඉදිරිපත් කොට කරුණාකර මට ලකුණු හතරක් දමා මා පිටත් කරන ලෙස ඉල්ලා සිටියා. ඇය නොපැකිලව ඒ ඉල්ලීම ඉටු කළා.

මේ සිද්ධියෙන් ශාක ව්‍යාධිවේද දෙපාර්තමේන්තුව ගැන මා තදින් කලකිරුණා. අවසාන වසරේ පර්යේෂණ තුළින් ලිවිය යුතු තීසිසිය සඳහා එම දෙපාර්තමේන්තුව තෝරා ගෙන සිටියත් වහා එය වෙනස් කොට මා එතරම් දක්ෂ නොවූ කෘමි විද්‍යාව වෙත මාරු වුණා. එය මගේ සමස්ත විභාග ප‍්‍රතිඵල වලට පමණක් නොවේ මුළු ජීවිතයේ ඉදිරිගමන සෑහෙන දුරකට වෙනස් කරන්නට එය හේතු වුණ බවයි මගේ විශ්වාසය.


Sunday, November 24, 2013

අහසින් පොළවට

පසුගිය දවස් කිහිපයේ වූ අවිවේකී බව හන්දා සටහනක් තැබීම අතපසු වුණා. කොහොම වුණත් මොනොලොග් එකක් විදිහට මේ සටහන් පෙළ පැවතීම ගැන මම සතුටු වනවා. එක පැත්තකින් ඩයලොග්  වලට  වඩා මොනොලොග් මගේ ජීවිතයට සමීපයි. කෙසේ වෙතත් මෙහි සටහනක් තැබුවහම රසිකයන් කිහිපදෙනෙකු හෝ ඒ වටා එක්වෙනවා දකින්නට ලැබීම සතුටක්. ඒ ප‍්‍රතිචාරය මට හොඳටම ඇති වගේම ඉහළින් අගය කරනවා.

පසුගිය දින කිහිපයේ අදහස් කිහිපයක් හිත  ළග කැරකුණත් ඒවා සටහනක් බවට පත් කරන එක පසුවට කල් දැම්මා. එක හේතුවක් තමයි එකදිගටම රුසියාවේ අත්දැකීම් ලියන  එක ඒකාකාරී වේ යැයි සිතූ හන්දා.  ඒ වුනත් එදිනෙදා ජීවිතයේ සිදුවීම් වලට එක පාරටම එන්නත් අපහසුයි. මොකද කියනවා නම් මා ලියූ සටහන් වලින් ගෙනා වටපිටාවට වඩා හාත්පසින් වෙනස් රාජකාරී මෙන්ම පෞද්ගලික වටපිටාවක අද ජීවත් වන හන්දා. ඊට අනුරූපව සිතුම් පැතුම් ද යම් තරමකට හෝ වෙනස් නූණා යැයි කිව්වොත් එය බොරුවක්.  

කනිෂ්ඨ නිලධාරියකු විදිහට කොළඹින් පිට පළාත් වල රාජකාරී කරපු කාලේ ආශ්වාදජනක බව මා කලිනුත් ලියා තිබෙනවා.   බදුල්ලෙත් අනුරාධපුරෙත් අවුරුදු දහයක් පමණ වැඩ කරලා කොළඹට එන්න හේතු වුණේ මූලිකවම මගේ සමීපතමයකුගේ ඉල්ලීමක්. පර්යන්තයේ ඉන්නවාට වඩා වැඩි යමක් හරයට ආවාම කරන්න පුළු වන් කියන අදහසින් තමයි කොළඹට ආවේ. කොළඹට ඇවිත් අවුරුදු ගණනක් යනකම් සියල්ල සිතැගි පරිදි සිද්ද වුණා. ප‍්‍රශ්න ක‍්‍රමයෙන් වැඩිවන්නේ තනතුරෙන් ඉහළ යනකොට සහ යම්කිසි විදිහකට සගයින් අතරින් කැපී පේන්න ගත්තහම. ඒත් ඒවන විට ආපසු ගමන් බැරිවන තත්ත්වයට පත්වෙලා. දැනට රාජකාරී කරන ස්ථානය එතරම් අපි‍්‍රය නොවුණත් සමහර විට හිතෙනවා දිගටම පර්යන්තයේ හිටියා නම් හොඳයි කියලා. එහෙම වුණා නම් මේ වන විට කොළඹට ආවත් සේවා ස්ථානය වෙනස් වන්න හොඳටම ඉඩකඩ තිබුණා.


කොහොම වුනත් කියමනක් තියෙනවා රස්සාවයි පරස්තාවයි සිදුවන්නේ දෛවයට අනුවයි කියලා.

Monday, November 18, 2013

Global Action local reaction

ගාල්ල කියන්නේ ලංකාවේ නගර අතුරින් වැඩි අනන්‍යතාවයකින් යුතු නගරයක්. පුංචි කාලේ ගාල්ලේ යද්දිත් ඒ අනන්‍යතාවය හොඳින් දකින්නට පුළුවන් වුණා. කොළඔ පැත්තේ ඉඳන් ගාලු පාර දිගේ යනවිට, ආලේප කරන ලද හුණුවල මුහුදු සුළං වැදී, අවපැහැ ගැන්වුණු බිත්ති වලින් යුතූ, මුහුද අද්දර පිහිටි නිවාස වල මලානික පෙනුමත් එක්ක ඇතිවන කනස්සලු හැඟීමෙන් යුතුව ගාල්ල ටවුමට ඇතුළුවන විට දර්ශනය වන ගාලු කොටුවේ ප‍්‍රතාපවත් බවෙන් සිත යළිත් ප‍්‍රබෝධමත් වෙනවා. ඒ දිනවල ගාල්ලේ තිබුණු ලංගම බස් වලට පවා අනන්‍යතාවයක් තිබූ බවයි මට මතක. එනම් ඉදිරිපස පාපුවරුව නිර්මාණය කොට තිබුණේ වෙනස් ආකාරයකට. ඒ වගේම ගාල්ල නිජබිම කරගත් අපේ නෑදෑයින්ගේ බස් වහරේ පැවති අනන්‍යතාවයත් ඊට හේතු වන්න ඇති.

ගාල්ල ලංකාවේ අගනගරය වන්නට ඉහළ විභවතාවයකින් යුතුවූ නගරයක්  වූ බව මා අසා තිබෙනවා. අද කොළඔ අවට ප‍්‍රදේශවලට විවිධ අංශ වලින් හිමිවී ඇති ප‍්‍රමුඛතාව එදා තිබුණේ ගාල්ලට බව සිතන්නට කාරණා තිබෙනවා. කාලයක් යනතුරු ලංකාව ජාත්‍යන්තරයට සම්බන්ධවන දොරටුව වුණේ ගාල්ල. යුරෝපයේ සිට පෙරදිගට යන නෞකා සඳහා දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් වරායෙන් පස්සේ මුලින්ම හමුවන වරාය ලෙස ගාල්ලට හිමි වුණේ ලෝකයේ නාවුක සිතියමේ වැදගත් තැනක්. ඒ දිනවල නැව් වලට ආහාර, ජලය සහ ගල් අඟුරු සැපයීම සඳහා ගාල්ල වැදගත් වන්නට ඇති.  ඕල්කට් තුමා වගේම ලංකාවට එකල පැමිණි විදේශිකයින් බොහොමයක් ගොඩබැස්සේ ගාල්ලේ වරායෙන්. ඉතාලි රැකියා සඳහා පසු කලක ලංකාවේ විවිධ පළාත් නම් දැරූවත් මුලින්ම ඒ සඳහා පිරිසක් ගියේ ගාල්ලෙන්. මේ ආදී කරුණු බොහොමයක් ගෙනහැර පාන්නට පුළුවන්. කොහොම වුණත් ගාල්ලට තිබුණු මේ ප‍්‍රමුඛතාවය හීනවී ගියේ මා අසා ඇති විදිහට මූලිකවම අභ්‍යන්තර සාධකයක් මත නොවෙයි. ඒකට හේතුව තමයි ඊජිප්තුව විසින් 1869 දී සූවස් ඇල විවෘත කිරීම. එහෙම වුණේ කොහොමද කියලා හිතාගන්නට අද ජාත්‍යන්තරය නැව් මාර්ග ගැන සලකා බැලුවහම කෙනෙකුට අපහසු නැහැ.

Friday, November 15, 2013

රුක් අග ක‍්‍රීඩාව
රුසියාවේ ඉගෙන ගත් කාලේ කාලයක් තදින් ඇබ්බැහි වුණු  විනෝදාංශ අතරින් එකක් තමයි චෙස් ක‍්‍රීඩාව.  රුසියන් සිසුන් මෙන්ම විවිධ රටවල් වලින් පැමිණි සිසුන් සමග චෙස් ඇදීම බොහොම ආශ්වාදජනක දෙයක්. එක අතකින් එක් එක් ජාතීනට ආවේණික සීතීමේ ක‍්‍රමවල ඇති වෙනස්කම් බලා ගන්නට මෙය හොඳ අවස්ථාවක්.  අනෙක් අතට සටනේ උද්වේගකර අවස්ථාවල එක් එක් පුද්ගලයින් ප‍්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යනය කරන්නත් කෙනෙකුට මෙය යොදා ගන්න පුළුවන්.  චෙස් ඇදීමෙන් යම් තරමකට තෙම්පරාදු වුනහම අපේ රුසියන් සගයෙක් යෝජනා කළා නගරයේ ඇති චෙස් අදින මහජන උද්‍යානයට ගොස් අපේ දක්ෂතා උරගා බැලීමට.

අපේ චෙස් කට්ටල එහෙම ලක ලැහැස්ති කරගෙන එක් හැන්දෑවක අපි ගියා අපේ මිතුරා කිව් උද්‍යානය වෙත. එහි එක් වීදියක් දිගට මැදින් තණකොළ වවලා මල් පඳුරු සිටවලා තිබුණා. ඒ අතරින් චෙස් ඇදීම සඳහා පහසු විදිහට සිමෙන්තියෙන් නිම කරපු කුඩා මේස සහ පුටු දිගටම තබා තිබුණා. නොයෙකුත් වයස් කාණ්ඩ වල - ළමයින්, තරුණයන්, මැදිවියේ අය සහ මහලු අයත් ඒ අතර සිටියා චෙස්, දාම් සහ ඒ වගේ තවත් නොයෙකුත් ක‍්‍රීඩා කරමින් වැඬේට බහින්නට පෙර ක‍්‍රීඩාව කෙරෙන ආකරය දෙස අපි විමසිල්ලෙන් බැලුවේ ක‍්‍රීඩකයන්ගේ මට්ටම පිළිබඳ අදහසක් ලබා ගැනීමට. ඇත්ත වශයෙන් කිව්වොත් ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුද්ධයක්. කිසියම් කෙනෙක් ඒ තරම් වේගයෙන් චෙස් ක‍්‍රීඩා කරනවා මම ඊට පෙර දැක නැහැ. චෙස් ඉත්තන් ගේ ස්ථාන වෙනස්වීම් පිළිබඳව සිතන්නට හෝ වේලාවක් නැත්තේ ඒ තරම් වේගයෙන් වෙනස්කම් සිදුකෙරෙන හන්දා. අහල පහළ තිබුණු හැම පෙතකින්ම අපට ඇහුණේ ටක්.. ටක්.. ටක්.. යනුවෙන් වේගයෙන් ඉත්තන් කොටු හරහා ගමන් කරන හඬ. එත් එක්කම අපි තීරණය කළේ එහි ගොස් ක‍්‍රීඩා කිරීමට පෙර අප තවත් බොහෝ දුරක් චෙස් ක‍්‍රීඩාව ප‍්‍රගුණ කළ යුතු බව.     

Thursday, November 14, 2013


අපේම පුංචි ලෝකයේ අප ඉන්නේ.......

ඉන්දියාව අඟහරු ග‍්‍රහයා වෙත රොකට්ටුවක් යවපු පුවත ඊයේ පෙරේදා අහන්නට ලැබුණා. ගමන අතරමැදදි එහි යම් දෝෂයක් වූ බවද අනතුරුව අසන්නට ලැබුණා. මේ ප‍්‍රවෘත්තිය අප රටේ එක්තරා රූපවාහිනී නාලිකාවකින් ප‍්‍රචාරය කරනවා මා බලා සිටියේ විමතියෙන්. එහි නිවේදකයා කීවේ මිලියන් ගණනක් දුප්පතුන් සිටින රටේ, දහසකුත් එකක් ප‍්‍රශ්ණ අමතක කර රොකට් යැවීම විහිළුවක්වැනි කතාවක්. අපේ රටේ තරුණ මාධ්‍යවේදින් ගේ දැනුම සහ ආකල්ප තමයි මේකෙන් නිරූපණය වන්නේ. 

මෙහිදී මට මතක් වුණේ රැසියාවේ ඉගෙන ගත් කාලයේ සෝවියට් සංගමයේ නිර්මාතෘ ලෙනින්ගේ  උපන්දිනය සැමරීම වෙනුවෙන් රචනාවක් ලියූ කාලය. ලෙනින්ගේ චරිතයේ ශක්තිමත් තැන් සොයා යද්දි ඔහුගේ පුළුල් පරිකල්පන ශක්තිය පිළිබඳව සහ දුරදිග බලා තීරණ ගැනීමේ හැකියාව පිළිබඳව උදාහරණ රාශියක් හමුවුණා.

ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂය 1917 විප්ලවයෙන් පසු රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසුව පිහිටවු සමාජවාදී රජයේ මුල් කාලයේදී රටේ තැන් තැන් වල සිවිල් යුද්ධ තත්ත්වයක් පැවතුණා වගේම තරුණ ආණ්ඩුව ආහාර බෙදාහැරීම ඇතුළු අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒ අතරතුරේ සයිබීරියාවට කඩා වැටුණු උල්කාපාතයක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය පැන නැගුණා. බොහෝ දෙනෙකුගේ අදහස වුණේ රජය අභියෝග රැසකට මුහුණ දී ඇති එම අවස්ථාවේ එවැනි කටයුත්තක් සඳහා සම්පත් යෙදවීම යෝග්‍ය නොවන බවයි. නමුත් ඒ සඳහා ප‍්‍රමුඛත්වය ලබාදීමට ලෙනින් කටයුතු කළා පමණක් නොවෙයි ඒ සඳහා විද්‍යාඥයින්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයා දුන්නා. 

අභ්‍යාවකාශ විද්‍යාව හරහා රටක ආර්ථිකය හා සමීපව බැඳුණු ව්‍යවහාරික විද්‍යාවන්හට ලැබෙන පිටිවහල ඉමහත්. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන කෙනෙකු අනිවාර්යයෙන් කියවිය යුතු ඉතා වටින් පොත් කිහිපයක්ම ඉන්දියාවේ ජනාධිපතිවරයකුවූ ආචාර්ය අබ්දුල් කලාම් විසින් ලියා තිබෙනවා. Wings of Fire ඉන් එක් කෘතියක්.

“We can not solve our problems with the same level of thinking that created them”
                                                                                                      - Albert Einstein

  

Tuesday, November 12, 2013

බිත්ති කඩදාසි
බොහෝ බටහිර රටවල කරනවා වාගේම රුසියාවේ ඉගෙන ගත් කාලේ අපේ කාමර වල තීන්ත ආලේප කරනවා වෙනුවට බිත්ති කඩදාසි ඇලවීම කළා. සීත සෘතුවේදී කාමර වල උණුසුම පවත්වා ගන්නත් එය උපකාරී වුණා. විවිධ වර්ණ සහ මෝස්තර වලින් ලබා ගැනීමට හැකිවීමත් එහි වාසියක්. අවුරුදු කිහිපයක් ගියහම බිත්ති කඩදාසි කිලුටු වෙලා නැවත අලුත් කඩදාසි අලවන්න සිදුවෙනවා. අපේ කාමරයේ බිත්ති කිලුටු වෙලා තිබුණු හන්දා අලුතින් කඩදාස අලවන්න අපි තීරණය කළා. පළමුවෙන්ම මාර්කට් එකට ගිහිල්ලා ගැලපෙන බිත්ති කඩදාසි අරගෙන ආවා. තරමක් මිල වැඩි වුණත් වෙළඳහල් වල තිබෙන බිත්ති කඩදාසි වලට වඩා තත්ත්වයෙන් උසස් ඒවා මාර්කට් එකෙන් මිලදී ගන්න පුළුවන් වුණා. එහිදී ප‍්‍රමාණය පිළිබඳ මිනුම් ආදිය කරන්න අපේ රුසියන් සගයෙක් අපට මග පෙන්වූවා.
ඊළඟට ඇලවීමේ කාරිය. එහිදීත් අප රුසියන් මිත්‍රයාගේ මග පෙන්වීම අපට ලැබුණා පමණක් නොවේ සම්පූර්ණයෙන්ම වැඩය ඉවර වන තුරුම ඔහු අපට උදව් කළා. බිත්ති කඩදාසි ඇලවීම වෙනමම උගත යුතු කලාවක්. එහිදී අනුගමනය කළයුතු විශේෂ වත් පිළිවෙත් තියෙනවා. ඒවා නොසලකා හැරියොත් කාර්යය සාර්ථක වන්නේ නැහැ. පළමුවෙන්ම අලවන පාප්පය සාදා ගැනීම. ඒ සඳහා පාන්පිටි පාවිච්චි කරන්න පුළුවන් වුණත් ඒ සඳහාම සකස් කළ වෙළළින්  මිලදී ගතහැකි ගම් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. මොනවා පාවිච්චි කළත් එම මිශ‍්‍රණයේ පදම වැඩිය උකු නොවන්නත් පමණට දියාරු වන්නත් සකසා ගැනීම වැදගත්. ඒකට යම් අතේ හුරුවක් තිබීම අවශ්‍යයි. කඩදාසි ඇලවීමට පෙර බිත්ති පිරිසිදු කරගැනීම වැදගත් වගේම බිත්ති මතුපිට සුමටව සහ පමණට වියළිව ඇතිදැයි පරීක්ෂා කළ යුතුයි. කඩදාසි අලවන කාලය තුළ සහ ඊට පසු යම් වේලාවක් යනතුරුත් කාමරය හැකිතරම් දුරට පිටින් එන උණුසුම් හෝ සිසිල් වාතයට නිරාවරණය නොවන ලෙස වසා තැබීම වැදගත්. කඩදාසි අලවන විට බිත්තියට සහ කඩදාසියට අතරින් වායු බුබුළු ඇති නොවීමට වග බලාගත යුතුයි. මෙකී නොකී වත් පිළවෙත් අනුගමනය කිරීමෙන් බිත්ති කඩදාසි ඇලවීම සාර්ථකව කරගන්නට පුළුවන්.
මේ සම්බන්ධයෙන් අපේ රුසියන් සගයත්, මමත්, තවත් අත්උදව් කාරයින් කිහිපදෙනෙකුත් කොයිතරම් විශේෂඥයින් වුණාද කියනවා නම්, රුසියන් මිතුරන්ගේ කාමරවල කඩදාසි ඇලවීම සඳහා පවා අපට ඇනවුම් ලැබුණා. ඒ සඳහා අප අය කළේ වොඞ්කා බෝතල දෙකක ගාස්තුවක් පමණයි. සාමාන්‍යයෙන් හවස පහට හයට පටන් ගන්නා කඩදාසි ඇලවීම ඉවරවෙන්නේ රෑ එකට දෙකට පමණ. අපේ නීතිය අනුව වැඩෙන් හතරෙන් තුනක්වත් නිමවෙන්න කලින් මීවිත රහබැලීම තහනම්. ඒවන කොට කඩදාසි ඇලවීමෙ අමාරු කොටස්, ඒ කියන්නේ ජනෙල්, දොරවල්, බිත්ති කබඞ් වගේ දේවල් ඇති තැන් අලවලා ඉවරකර ගතයුතුයි. හැබැයි ඊට පස්සේ අර අපට ගාස්තුව වශයෙන් ලැබුණු වොඞ්කා බෝතල දෙක පමණක් නොවෙයි අපි ළඟ තිබූ බෝතල් දෙක තුනක් විතර ඉවර වුණු අවස්ථාද තිබුණා. ඒක රඳා පවතින්නේ ඒ වෙලාවෙදි එකතුවන සමාගමයේ සංඛ්‍යාව සහ සංයුතිය අනුව. හොඳින් කාමරයක කඩදාසි අලවලා ඉවරවුනහම සිතට දැනේනනේ පුදුමාකාර සතුටක්. එය වෘත්තීයමය සතුටක් කිව්වොත් නිවැරදියි. ඒ අනුව මෙය ඉතාම ආශ්වාදජනක ක‍්‍රියාවක් වුණ බව නොකියා බැහැ.
මේ අතර අපේ එක් මැදපෙරදිග මිතුරකුගේ කාමරයේ කඩදාසි ඇලවීමට ඔහුට අවශ්‍ය වුණා. මිතුරන් ඔහුට කියා තිබුණේ අපේ කණ්ඩායමට එය බාර දෙන හැටියට. තරමක පන්ඩිතයකු වූ අපේ මිතුරා කියා තිබූනේ එයට විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවන බවත් ඔවුනට එය පහසුවෙන් කර ගැනීමට පුළුවන් බවත්. ඒ ගැන මගේ අමනාපයක් නොවූ හන්දා රෑ දහයට පමණ ප‍්‍රගතිය බැලීම සඳහා මම ඔවුනගේ කාමරයට ගොඩවුණා. එහිදී මා දැක්කේ මා කලින් කියූ වත් පිළිවෙත් සියල්ලම පාහේ නොසලකා හැර ඇතිබව. එම නිසා මුවෙන් නොබැණ එතනින් ඉවත් වන්නට මට සිදුවුණා. සාර්ථකව කඩදාසි අලවා අවසන් කළ නිසා අපේ මිතුරා සිටියේ ප‍්‍රීතියෙන්. පසුවදා ඔහු ඒ වෙනුවෙන් සාදයක්ද සංවිධානය කළා.  
අපේ යාලුවාගේ ප‍්‍රීතියට යම් බාධාවක් දින කිහිපයකින් සිද්ධ වුණා. එනම් අලුතෙන් කඩදාසි අලවපු බිත්තියෙන් සර සර හඬක් මතු වීමයි. මේ හඬ එන්න එන්නම වැඩිවුණා. දින කිහිපයකින් තත්ත්වය තවත් භයානක වුණා. එනම් කඩදාසි ආස්තරණය බිත්තියෙන් සම්පූර්ණයෙන්ම ගැලවී බිත්තියෙන් වෙන්වීමයි. එහෙත් කඩදාසි වෙන් නොවී දෙවන බිත්තියක් නැත්නම් කබොලක් ලෙස එය පැවතුණා. ප‍්‍රධාන ප‍්‍රශ්ණය නම් එය රැළිවැටී ඇදකුදවී තිබීමයි. එවිට අපේ මිතුරාගේ කාමරය පැරණි බලකොටුවක තිබූ ගොරහැඩි බිත්ති වලින් යුතු ගුහාවක් ලෙස දිස්වුණා. පසුව ඔහු එයට ප‍්‍රිය කරන්නට පටන්ගත් නිසාදෝ ඔහු එම කාමරයේ සිටියතාක් කල් අර කබොළ ඒ විදියටම තිබුණා. ප‍්‍රිය සාද ආදිය පැවතුණු විට මිතුරන් ඇඟිල්ලෙන් හෝ පෑනකින් ඇන අර කබොළ සිදුරුකොට සිනාසුනවිට ඔහුත් එයට එක්වී සිනාසෙන්නට අපේ මිත‍්‍රයා පසුව පුරුදුවුණා.

Sunday, November 10, 2013

වැව් බැඳි රටේදී
අනුරාධපුරයේ රාජකාරී කරන්නට ලැබීම කෙනෙකුට වාසනාවක්. එක පැත්තකින් එය පැරණි රාජධානියක් වගේම අගනුවරක්. අනෙක් පැත්තෙන් තවමත් ජීවමානව ඇති අති විශිෂ්ට වාරි ශිෂ්ටාචාරය ඇසුරු කරන්න ලැබෙන එක විශේෂයෙන් තෙත් කලාපේ මුල් බැස ගත් කෙනෙකුට හැබෑම වාසනාවක්. 1997 අවුරුද්දේදී මම අනුරාධපුරයේ වැඩ කරන්න මාරුවීමක් ඉල්ලා සිටින විට සාමාන්‍යයෙන් රැඩිකල් අදහස් දරන අපේ තාත්තා පවා ඊට කැමති වුණේ නැහැ. එක පැත්තකින් ත‍්‍රස්තවාදී කලබල අනෙක් පැත්තෙන් කොළඹින් ඈත දුෂ්කර පළාතක් වීම. කොහොම නමුත් අනුරාධපුරයේ ගතකරපු කාලේ ජීවිතයේ සුන්දර කාලයක්.
ඊට පෙර මම අනුරාධපුරයට ගොස් තිබුණේ වතාවක් හෝ දෙවතාවක් පමණයි. විදේශාධාර මත ක‍්‍රියාත්මක වූ ව්‍යාපෘතියක වාරිමාර්ග සංරචකය බාරව තමයි මට වැඩකරන්න තිබුණේ. මේ හන්දා මට නිතරම ක්ෂේත‍්‍රයට යන්නට සිදුවුණා. අගෝස්තු මාසේ දැඩි නියඟයත් එක්ක හමා එන වියළි සුළඟ හන්දා මගේ ඇස්වලින් නොනවත්වා කඳුළු ගලන්නට පටන් ගත්තා. වෛද්‍ය උපදෙස වුණේ අව් කණ්ණාඩියක් පාව්ච්චි කිරීම. කොහොම නමුත් මම සුමාන දෙක තුනක් යනකොට ඒ පරිසරයට හොඳින් අනුහුරු වූ හන්දා අව් කණ්ණඩිය ඉවත ඇම්මා.
අනුරාධපුරයේ වැව් පිහිටා තිබුණේ cascade ක‍්‍රමයට. ඒ කියන්නේ තනි වැව් වශයෙන් නොවෙයි වැව් පංති වශයෙන්.
මේ ක‍්‍රමයෙදි ඉහළින් පිහිටි කුඩා වැව් වලින් නික්මෙන ජලය ක‍්‍රමයෙන් විශාල වැව් වලට එකතුවෙනවා. මේ ක‍්‍රමය හන්දා පවතින ජලය ඉහළ කාර්යක්ෂමතාවයකින් භාවිතා කිරීමට හැකි වෙනවාට අමතරව එය පාංශු සංරක්ෂණ ක‍්‍රමයක්.  නොච්චියාගම පැත්තේ තිබුණු කැස්කේඩයක වැවක් හෝ දෙකක් තිබුණේ කැලය මැද. ඒ කියන්නේ ඒ වැව් යටතේ පෝෂිත ප‍්‍රදේශයක් (command area) වෙනත් වචන වලින් කියනවා නම් කුඹුරු නැහැ. අපි මුලින් හිතුවේ ඒ වැව් යටතේ වූ කුඹුරු පසුව වල්බිහිව ඇති බවයි. එහෙත් තවදුරටත් සොයා බැලීමේදී ඒවා ජලය රඳවා ගැනීමේ වැව් හැටියට හිතාමතා ඉදිකරපු ඒවා යැයි සිතන්නට කාරණා අපට හමුවුණා. කොහොම වුණත් කැස්කේඩය සම්පූර්ණයෙන් ප‍්‍රතිසංස්කරණය කරන අපේ ප‍්‍රවේශයට අනුව මෙම කුඹුරු නැති වැවුත් ප‍්‍රතිසංස්කරණය කරන්නට අපි තීරණය කළා. 
මේ වැව් ප‍්‍රතිසංස්කරණය කර දින කිහිපයක් ගතවෙද්දි කැලේ ඇති වැව් සාදා මහජන මුදල් නාස්ති කරන බව සඳහන් කරමින් ප‍්‍රවෘත්ති පත‍්‍රයක වාර්තාවක් පල වූණා. අදාළ වාර්තාකරු කැඳවා මේ සංකල්පය පැහැදිලිකර ප‍්‍රවෘත්තිය නිවැරදි කිරීම සඳහා මට සෑහෙන වෙහෙසක් ගන්න සිදුවුණා.
තවත් වතාවක් නටඹුන් වී අතැර දැමූ වැවක් නැවත ප‍්‍රතිසංස්කරණය කරන්න අදාළ ගමේ වැසියන්ගෙන් අපට ඉල්ලීමක් ලැබුණා. එම වැවේ වැව් කණ්ඩිය යම් පමණකට දක්නට තිබුණත් සොරොව්වක් එහෙම තිබුණේ නැහැ. කුඹුරු වල සලකුණු පමණක් තිබුණේ දීර්ඝ කාලයක් වගා නොකිරීමේ හේතුවෙන්. ඉංජිනේරු මහතෙක්ද ගමනට හවුල් කරගෙන අපි මේ වැව පරීක්ෂා කරන්නට ගිය ගමනෙන් පසු අපි යෝජනාවට එකඟ වුණා. ඒ ගමේ ගොවියන් බොහෝ දෙනෙක් ඉඩම් හිඟයෙන් පෙළුණු හන්දා යෝජනාවට අපි විශේෂ සැළකිල්ලක් දැක්වූවා. වැහි කාලයට පවා එහි වතුර රඳන්නේ නැත්තේ සොරොව් නොමැති නිසාත් මෙන්ම වෑකණ්ඩිය කැඞී බිඳී ගොස් ඇති නිසා බව ගැමියන් අපට පැවසුවා. ඒ සහභාගිත්ව සංවර්ධන සංකල්ප වලට සංවර්ධන වැඩවල ඉහළ තැනක් දී තිබූ කාලයක්. ඒ අනුව ඉක්මනින් සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කොට ඉදිකිරීම් නිම කළා.
ඊළඟට ආ මාස් කන්නේ වැස්සෙන් වැව පිරේ යැයි බලාපොරොත්තුවෙන් ඉඩම් කච්චේරියක් පැවැත්වීමට කටයුතු සූදානම් කළේ ගොවියන් තර ඉඩම් බෙදා දීමට.එම මාස් කන්නයට ඒ ප‍්‍රදේශයට ඇති තරම් වැස්ස වැටුණත් අපේ බලාපොරොත්තු සුන් කරමින් වැවට වතුර පිරීම සිදුවූයේ නැහැ.පසුව තේරුණු අන්දමට එක පැත්තකින් මානව ක‍්‍රියාකාරකම් ඇතුළු නොයෙකුත් සාධක බලපෑමෙන් වැවේ පෝෂක ප‍්‍රදේශය අවහිර වීම් වලට ලක්වී ඇති හන්දා වැවට ජලය එකතුවීම සීමිතයි. අනෙක් පැත්තෙන් වැව් පත්ලේ පසේ සිදුරුසහිත බව (porosity) වෙනස්වීම් හන්දා වැවේ වතුර නොරඳා පහළට කාන්දුවන ප‍්‍රමාණය වැඩිවෙලා. සරල පරීක්ෂණ කිහිපයකින් මේ සාධක පිළිබඳව අපට සොයාබලන්නට තිබුණා.
ඊට පසුව නම් අතහැර දැමූ වැවක් ප‍්‍රතිසංස්කරණය කරන්න යන විට විශේෂ සොයාබැලීම් කරන්න අපි පසුබට වුණේ නැහැ. ඒ හැම විටම පාහේ අපිට පෙනී ගිය දෙයක් තමයි වැවේ වතුර පිරීමේ හැකියාව හොඳින් ඇත්නම් එවැනි වැවක් කිසිදින පාළුවට එහෙම නැත්නම් අත්හැරී යන්නේ නැහැ කියන එක. හැබැයි අපට පාඩම ඉගෙන ගන්න රටේ මුදල් වලින් යම් කොටසක් නාස්ති කරන්නට සිදුවුණා.

Thursday, November 7, 2013

විලම්බීත
ටී.බී. ඉලංගරත්න සූරීන්ගේ විලම්බීත පුංචි කාලෙදි වගේම පසු කාලෙකත් එකසේ මගේ හිත්ගත් කෘතියක්. පසුගිය ශත වර්යේ මැද භාගයේ උඩරට පළාත්වල උතුරාගිය ගැමි සුවඳ මෙම කෘතියෙන් හොඳින් ආඝ‍්‍රානය කරන්න පුළුවන්.  විලම්බීත යන වචනයේ නියම තේරුම පාරිභාෂික වචන වලින් තවමත් නොදන්නවා වුණත් මගේ ඇඟට තේරුණු හැටියට එය හිතට දැනෙන ආගන්තුක, නුහුරු සහ තරමක විකාරරූපී අත්දැකීමක්. අලුත් ඉස්කෝලෙකට ගියාම, පළමුවරට යම් රටකට ගියාම, අලුත් රස්සාවකට හෝ සේවා ස්ථානයකට ගියාම මෙවැනි හැඟීම් ඇතිවන්න ඉඩ තියෙනවා. එවැනි හැඟීම් වචනයෙන් විස්තර කරන්න තරමක් අමාරුයි.
වෙලාවේ හැටියට මතක්වන තරමක් හෝ කිට්ටුවෙන් යන උදාහරණයක් තමයි පාසල් නේවාසිකාගාරයේ සිටි කාලේ නිවාඩු දවසකට චිත‍්‍රපටයක් බලන්න හෝ වෙසක් දිනවලට තොරණ බලන්න මහපාරේ පයින් මරදානේ සිට බොරුල්ලට, පිටකොටුවට හෝ වෙනත් තැනකට අප කැන්දා යන ගමන. ආචාර්ය වරුන් කෙනෙක් හෝ දෙන්නෙක් සහ ශිෂ්‍ය නායකයින් විසින් පරක්කරමින් යන මේ ගමනේදී හැමෝම දෙන්නා බැගින් පොලිම් ගැසී පාරේ ගමන් කරන එක විලම්බීතයක් ලෙසයි මට පෙනුණේ. සාමන්‍ය ඇඳුමින් සැරසී යන ඒ casual ගමන දෙදනා බැගින් පෝලිම් ගැසී යන එක තරමක odd හන්දා පාරේ ගමන් කරන කවුරුන් වුණත් අපි දෙස බැලුවේ මද සිනහවකින්.  පාසල් නිල ඇඳුමින් සැරසී ගියා නම් එය එතරම් විලම්බීතයක් නොවන්නට තිබුණා. කොහොම වුණත් කෙනෙක් සමාන්‍යයෙන් විලම්බීතවලට කාලයක් යද්දි හුරුවෙනවා. එහෙම වෙන්නේ එය හුදෙක් පුරුද්දක් බවට පත්වුණහම. එවිට ඒ ක‍්‍රියාව කෙනෙක් කරන්නේ අනිච්චානුගතව.
ජීවිතයේදී විලම්බීත වලට බහුලව මුහුණ දෙන්නට වුණා වගේම අදටත් විලම්බීත දකින අවස්ථා තියෙනවා. සමහරවිටක අදටත් අපේ කාර්යාලයේ සමහර නිලධාරීන් හැසිරෙන ආකාරය දැක්කහම මට හිතෙන්නේ ඔවුන් කරන කියන දෙය පුරුද්දක් හැටියට කරන බව. එම නිසා පිටින් බලන කෙනෙකුට එය විලම්බීතයක් ලෙස පෙනෙන්නට පුළුවන්. සමහර විට එලඹසිටි සිහියෙන් නොමැති හන්දා අර නිලධාරීන්හට මෙය වැටහෙන්නේ නැහැ. සමහරවිට එය අධික රාජකාරී ලැදිබව වෙන්නටත් ඉඩ තියනවා. එවැනි පිරිස වැඩිවුනහම කාර්යාලය කෘත‍්‍රීම බවක් ගන්නවා. හරියට රොබෝවන් ඉන්න තැනක් වගේ. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එවැනි කාර්යාලයක් අකාර්යක්ෂම බව.
සමහරවිට නැගෙනහිර ආසියාවේ රටවල ජාතීන්ගේ ලේවලම දක්නට ඇති වැඩට ඇති දැඩි ඇල්මත් මීට කිට්ටුවෙන් යනවද මන්දා? මේක ඔවුන්ට කරන අපහාසයක් එහෙම නොවෙයි. මා ඇසුරු කල එම කලාපයේ මිත‍්‍රයෙක් අපේ රටේ සෑහෙන තරම් කරක් ගැසීමෙන් පසුව කීවේ අපේ රටේ ක‍්‍රමයත් ඒ තරම්ම නරක නොවන බව. එනම් ඔවුන් විශාල stress එකක් යටතේ වැඩ කරලා විශාල ආදායමක් ඉපැයූවත් සමහර විට අප තරම් සැහැල්ලුවෙන් එදිනෙදා ජීවිතය ගතකරන්නට නොලැබීම අභාග්‍යක් ලෙසයි ඔහු දැක්කේ. අපේ කාර්යාලයකට ගියත් දකින්නට තියෙන්නේ එතරම් බරපතල් නොවූ සිනා මුහුණු. ඔහුගේ තර්කය එහෙම සැහැල්ලුවෙන් (කාර්යාලයේදී පමණක් නොවේ) ගත කරන්නට පුළුවන්වන් නම් ආදායම අඩුවුණත් මොකද කියන එක.
මම ජපානේ ගතකරපු මාස එකහමාර වැනි කාලය තුළ (2004 oS)අහන්නට ලැබුණු දෙයක් තමයි සඳුදා උදේට ඈත නගරවල සිට එන අධිවේගී දුම්රිය ප‍්‍රමාද වීමට ඉඩ ඇති බව. එයට හේතුව ලෙස කියවුණේ සති අන්තයට ගම් රටවල් බලා ගිය අය ආපසු සඳුදා උදේ වැඩට එන්න ඉන්න අතරතුර අධික ආතතිය හන්දා දුම්රියට පැන සියදිවි හානි කරගන්නා අවස්ථා ඇතිබව. 

Monday, November 4, 2013

කාලය මැවු වෙනසක අරුමේ
ගමේ පාසලේ ඉගෙන ගත්තු කාලේ ඒ පාසලේ ළමුන් අතරින් වෙනත් ගමකින් පාසල් පැමිණි එකම ශිෂ්‍යයා මම බවයි මට මතක. මම ඒ පාසලට ඇතුළත් වන්නට හේතු වුණේ අපේ අම්මා කලක් එම පාසලේ උගන්වපු හන්දා. පසු කාලීනව අම්මා වෙනත් පාසලකට මාරුවී ගියත් පහේ පංතිය දක්වා ඒ ඉස්කොලෙට මම ගියා. අපේ පාසලේ පංති තිබුණේ අට ශ්‍රේණිය දක්වා පමණයි. ඊට පසුව අල්ලපු ගමේ - පොකුණුවිට - තිබුණු ඉස්කෝලෙට නැතිනම් හොරණ ඇති ඉස්කොලෙකට යන්න වෙනවා. අටේ පංතිය පාස් කරන ළමයින්ගෙන් වැඩි දෙනෙකුගේ තේරීම වුණේ මොකක්දැයි මට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. කොහොම වුණත් ආර්ථික අපහසුතා ඇතුළු විවිධ හේතු මත කිලෝමීටර දෙකතුනක් ඈතින් පිහිටි හොරණ නගරයේ පිහිටි ජනප‍්‍රිය පාසලකට හෝඩියේ පංතියේදී ඇතුළත් වීමට වරම් නොලැබූ ඔවුන්ගෙන් බහුතරය අටේ පංතියෙන් පස්සේ හොරණ පාසල් වලට ඇතුල්වුණාය කියලා හිතන්න අමාරුයි. 
ඒ කාලේ අද වගේ නොවෙයි. වටපිටාවේ සිදුවුණු කුඩා සිද්ධියක් වුනත් හැමෝම අතරේ ඉක්මනින් ප‍්‍රචාරය වුණා. විශේෂයෙනම අපිට අරුම පුදුම හැටියට පෙනුණ දේවල්. උදාහරණයක් හැටියට පොකුණුවිටට සර්කස් වීරවිජය ආවාහම දින ගණනක් යනකම් හැමෝම කතා කළේ ඒ ගැන. එහෙම නැත්නම් වෙසක් එකට හොරණ විද්‍යාරත්නයේ සත්සතිය නිර්මාණය කරලා එහි   හයවන සතියේ මුචලින්ද නාගයා විසින් බුදුහාමුදුරුවන් වැස්සෙන් ආරක්ෂා කරනවා පෙන්වන්නට කෘත‍්‍රිම වැස්සක් නිර්මානය කිරීම පිළිබඳ ආරංචිය කොල්ලන් අතර පැතිරගියේ විදුලි වේගෙන්. සමහරවිට හොරණ අශෝකා සිනමා ශාලාවේ පෙන්වපු චිත‍්‍රපට වල තිබූ සටන් පිළිබඳවත් මේ වගේ ආරංචි පැතිර ගියා.
හයේ පංතියට යන විට මේ පාසලෙන් අස්වෙලා කොළඹ ඉස්කෝලෙකට එන එක එක පැත්තකින් දුකක් වුනේ මගේ පළමු පාසලේ සිටි යහළුවන්ගෙන් වෙන්වීමට සිදුවීම නිසා. අපේ පංතියේ සිටි යහළුවන් බොහෝ දෙනෙක් සමග ඒ තරමටම සමීප සම්බන්ධතාවක් තිබුනේ. විශේෂයෙන් වාර විභාග පැවැත්වෙන කාලයට පාසල කළින් ඇරුනහම යාළුවන්ගේ ගෙවල් වලට සහ ගමේ වෙල් එළියේ, කුඩා කඳුගැටවල සහ කැලෑවල ඇවිදින්න අපට කාලය තිබුණා. ඒ ගමන් වලදී මට තෑගි හැටියට ලැබුණේ ඉත්තෑකූරු, කුරුලු පිහාටු වගේ දේවල් සහ බුලත්හපයන් සහ ගප්පින් වගේ මාළු. වඩාත් වටිනා තෑග්ගක් ලෙස ලැබුණු හා පැටවුන් තුන්දෙනා ගෙනා පෙට්ටියේම දමා ආපසු ගෙනයන්නට සිද්ද වුනේ ගෙදරින් එල්ල වුණු බලවත් විරෝධය හේතුවෙන්. පාසලින් අස්වී යන දවසේ අළුත් ඉස්කෝලේ වාර විභාග ඉවරවී විරාමයක් ලැබුණුවිට ඇවිත් යන්න පොරොන්දුවෙමින් තමයි මම සමුගත්තේ. එහෙත් එදා මෙදාතුර පාසල පසු කර අනේකවාරයක් එහා මෙහා ගොස් ඇතත් කිසි දිනක පාසලට ගොඩවෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. එක හේතුවක් තමයි බොහෝ විට එවැනි දවස් පාසල් නිවාඩු දවස්වීම.
මෑත දිනකදී පාසල පසුකරගෙන යනවිට මට මතක්වුණේ මගේ පරණ යහළුවන්. පාසල නිවාඩු හන්දා වහලා තිබුණත් යහළුවන්ගේ නිවෙස් වලට ගොඩවදින්නට ඉන් බාධාවක් නැති බව මට කලින් කල්පනා නොවුණු හැටි. පාසලට කිට්ටුවෙන් සිටි යහළුවකුගේ ගෙදරට ගියත් ඔහු ගෙදර සිටියේ නැහැ. ඔහුගේ වැඩිමහල් සහෝදරියට මා හඳුනාගැනීමට බැරිවුණා පමණක් නොවෙයි හඳුනා ගන්නට අවශ්‍යතාවයක් තිබුනෙත් නැහැ. අපි පුංචි කාලේ ඒ ගමේ මිනිස්සු අතර තිබුණු ලෙන්ගතුකම, සරලකම කොහේදෝ ගිහින් කියන එක මට තේරුණා. සමහරවිට ජීවිතයේ  නොයෙකුත් කරදර බාධක අතර අර ගුණාංග සැඟව යන්නට ඇති. මම ආපසු ආවේ මිතුරාගේ දුරකථන අංකය ලබාගෙන. කොහොම වුණත් ඒකෙනුත් වැඩි ප‍්‍රයෝජනයක් ඇති නොවන බව මට ඒ වනකොටත් වැටහී ගොස් තිබුණේ. දින කිහිපයකට පසු එම අංකයට ඇමතුවත් මම සිතුවාසේම මට ලැබුණේ බොහොම ගොරහැඩි ප‍්‍රතිචාරයක්.

Friday, November 1, 2013

මැදිවදන
කලින් කල මා දුටුදෑ ආගිය තැන්, හමුවු සහ ඇසුරේ සිටි අය ආශ‍්‍රයෙන් චමත්කාරයක්, සංවේදිතාවයක් හෝ විමතියක් ඇති කරන්නට සමත් වූ අත්දැකීම් පොතක් ලෙස ලියා පල කරන්නට මා පසුගිය මාස කිහිපය තුළ ගන්නා ලද උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ළමා කාලයේ සිට තාරුණ්‍ය හරහා රැකියාවේ මුල් අවධිය දක්වා අත්දැකීම් ගොනු කර ලියැවුණු නිම් වළලුයනුවෙන් නම් කරන ලද පොත දැනට මුද්‍රනය වෙමින් පවතී. නිම් වළලු නමින්ම මෙම බ්ලොගය ආරම්භ කරනු ලැබූයේ එම පොතට ප‍්‍රචාරයක් ලබා දෙන්නට නොව දවසේ මහන්සිය කාන්සිය හා සිත්තැවුල් නිවන්නට කෙරුණු මෙම ලිවීමේ පුරුද්ද දිගටම පවත්වාගෙන යාමේ අරමුණෙනි. කෙසේ වෙතත් මෙහිදී ලිවීම් රටාව මදක් වෙනස් වූයේ සංස්කරන වලින් හෝ පසුව කෙරෙන එකතු කිරීම් වලින් තොරවන බැවිනි. මෙම බ්ලොගයේ පළමු පෝස්ට් එක ලෙස අත්හදා බැලීමට මම යොදාගත් සඳරැස් වතුරේකතාංගය නිම් වළලු පොතෙන් ගත්තකි.
ඒ අනුව මෙහි අරමුණ ජීවිතයේ හමුවූ සුන්දර මෙන්ම කටුක අත්දැකීම් මතක පොතෙන් ගිලිහෙන්නට පෙර හැකි පමණ සටහන් කර තැබීමයි. කටුක සහ සුන්දර බව මනෝමූලිකව සාපේක්ෂ වනවා වගේම කාලයට සාපේක්ෂ වේ. යොවුන් වියේ කටුක යැයි සිතූ ඇතැම් අත්දැකීම් කෙනෙක් මැදි වයසට ළඟා වන විට සුන්දර ලෙස දකින්නට පුළුවන. ඒ වගේම සුන්දරවූ අත්දැකීමක් දෙස කෙනෙක් පසුකාලීනව උපේක්ෂාසහගතව බලන්නට පෙළඹේ. ඒ වගේම තමන්ගෙ වටපිටාවෙ සුන්දරත්වය විඳින්නට නම් පහන් සිතක් අවශ්‍යයි. එක් එක් අවධි හරහා ජීවිතය ගලාගෙන යනකොට නොයෙකුත් කටුකොහොල් එකතුවෙලා අර පහන් සිත වැසී යන්නත් හොඳටම ඉඩ තිබෙනවා. මේ වගේ අතීතානුස්මරණයක් එවැනි දේකින් හැකි පමණකට හෝ අප ගලවා ගන්නටත් උදව් වෙනවා.
ඒ කාලයේ බෙහෙවින්ම ගමක ලක්ෂණ වලින් යුතුවූ අපේ ගමේ සිට අපේ අගනුවර සහ රටවල් කිහිපයක්ද හරහා යන මතක පොතේ හැලහැප්පීම බොහොමයි. ඒ අතරතුර ළංවී ඈත් වුනු, නැවත ලංවුන, හැමදාටම ඈත් වුණු මෙන්ම තවමත් ඉඳහිට හිතට එබිකම් කරන හිත් බොහොමයි. කලකට ඉහතදී නම් එවැනි සිත් ගැන නිසඳැස් කවිපද ලියුවා. මොකද එවැනි අතිශය සංවේදී දේවල් ගෙඩිපිටින් නැවත වමෑරීම සුදුසු නොවේ යැයි කල්පනා කල හන්දා. එවැනි කවිපද කිහිපයක් නිම් වළලු පොතට ඇතුලත්.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...